IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජනපති ඝාතනය කරන්නට එදා කතරගමට බෝම්බ ඇදුම් ගෙනා කොටියා ඇල්ලු හැටි

කතරගම නගරයේ පිහිටි විශ‍්‍රාම ශාලාවක ගබඩා කාමරයේ ක‍්‍රියාවිරහිතව තිබූ රෙදි සෝදන යන්ත‍්‍රයක් අස්සේ සඟවා තිබියදී සොයාගත් කිලෝ 3ක් පමණ බර අධිබලැති සී.4 පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද බෝම්බ ඇඳුම් කට්ටලයක් සොයාගැනීමත් සමගම එය ගෙනවිත් සැඟවූ පුද්ගලයන් සෙවීමේ බාරධුර කටයුත්තට අත ගසනු ලැබුවේ රාජ්‍ය බුද්ධි අංශයේ සහ රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමකි.බෝම්බ ඇඳුම් කට්ටලය විශ‍්‍රාම ශාලාවට හොර රහසේ ගෙනවිත් සැඟවූ පුද්ගලයා ගැන ඒ වනතෙක් කිසිදු හෝඩුවාවක් පොලිසියට ලැබී තිබුණේ නැත. හෝටලයේ කළමනාකරු ඇතුළු එහි සේවකයන් 10 දෙනෙකු පමණ කතරගම පොලිසියට ගෙනවිත් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරනු ලැබුවත් බෝම්බ ඇඳුම් කට්ටලය ගෙනා අය ගැන ඔවුන්ගෙන්ද මොනයම්ම ආකාරයක හෝ හෝඩුවාවක් හෙළිකර ගැනීමට නොහැකිවූ නිසා අවසානයේ ඔවුන් සියලූ දෙනාද මුදාහරිනු ලැබීය. බෝම්බ ඇඳුම් කට්ටලය මීට වසර පහකට පමණ කලින් නිෂ්පාදනය කර ඇති බව පරීක්ෂණවලින් හෙළිවී තිබූ නිසා රාජ්‍ය බුද්ධි අංශය සහ රහස් පොලිසියේ නිලධාරීන් මෙම බෝම්බ ඇඳුම් කට්ටලය ගෙනා පුද්ගලයා ගැන මොනයම් හෝ තොරතුරක් සොයාගැනීම සඳහා හෝටලයේ එදා මෙදා තෙක් සේවකය කළ පුද්ගලයන්ගේ වතගොත සොයාබැලීමට තීරණය කර තිබේ. බෝම්බ ඇඳුම් කට්ටලය 2007 වසරේදී පමණ නිෂ්පාදනය කර ඇති එකක් බව පරීක්ෂවලින් හෙළිවී තිබූ නිසා ඒ වසරේ සිට මේ දක්වා මෙම විශ‍්‍රාම ශාලාවේ සේවය කර ඉවත්ව ගිය පුද්ගලයන්ගේ පැටිකිරිය අවුස්සා බැලීමේ වෙහෙසකර කටයුත්ත ආරම්භ කරනු ලැබුවේ රාජ්‍ය බුද්ධි අංශයේ හා රහස් පොලිසියේ නිලධාරීන් විසිනි. විශ‍්‍රාම ශාලාවේ සේවකයන් ගැන තොරතුරු සඳහන් කර ඇති පොත්පත් ලේඛන එකිනෙක සියුම් ලෙස කියවා බලමින් යනවිට සැකයට තුඩුදෙන පුද්ගලයකුගේ නමක් සොයාගැනීමට පරීක්ෂක කණ්ඩායම්වලට හැකිවී ඇත. පරීක්ෂක කණ්ඩායම් විසින් සොයාගත් ඒ සැකකටයුතු පුද්ගලයා මොහොමදු අක්බාර් මොහොමදු ඉසාදික් නම් විය. රාජ්‍ය බුද්ධි අංශයේ හා රහස් පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවති ඊළඟ අභියෝගය වී ඇත්තේ මේ කියන පුද්ගලයා සිටින ඉසව්වක් සොයාගැනීමය. ගාල්ල උණවටුන ප‍්‍රදේශයේ වාහන අලෙවිසැලක සේවය කරමින් සිටියදී මොහොමදු අක්බාර් මොහොමදු ඉසාදික් නමැත්තා රාජ්‍ය බුද්ධි අංශයේ හා රහස් පොලිසියේ නිලධාරීන්ට කොටුවූයේ පසුගිය 13 වැනිදා රාත‍්‍රී කාලයේදීය. මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී මෙතෙක් කාලයක් සැඟව තිබූ අතිශය වැදගත් තොරතුරු රැසක් එකිනෙක අනාවරණය වන්නට පටන්ගෙන ඇත්තේ පරීක්ෂණ කණ්ඩායමද මවිතයට පත් කරවමින් යැයි කියති. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ ජාතිකයෙකු පමණක් නොව මරාගෙන මැරෙන කළු කොටි ත‍්‍රස්තවාදියකු බවද වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවිණි යැයි රහස් පොලිසිය කියයි. මොහුගේ සැබෑ නම වූයේ කන්දවේලූ ශශිකලා රාජන් වන අතර පදිංචිය බදුල්ල ප‍්‍රදේශයේය. වයස අවුරුදු 37කි. බදුල්ල පදිංචිව සිටියදී 2006 වසරේදී හිටිහැටියේ ගමෙන් අතුරුදන් වී ඇති මොහු මඩකළපුවේ එවකට කොටි පාලනය යටතේ පැවති කොක්කඩිචෝලේ ප‍්‍රදේශයේ කොටි කාර්යාලයක සේවය කර ඇති අයෙකි.කොටි කාර්යාලයේ ටික කාලයක් සේවය කර ඇති ශශිකලා රාජන් වන්නියට ගොස් ඇත්තේ කළු කොටියකු ලෙස පුහුණුවීම් ලබාගැනීම සඳහාය. කළු කොටියකු ලෙස පුහුණුවීම් ලබා ඇති සැකකරු අවසානයේ මුස්ලිම් ජාතිකයකු ලෙස වෙස් වළාගන දකුණට පැමිණෙන්නේ ඉහළ පෙළේ ප‍්‍රබල දේශපාලනඥයකු ඝාතනය කිරීම සඳහා යැයි කියති. ඝාතන ඉලක්කය ලැබුණු පසු මෙම කළු කොටි ත‍්‍රස්තවාදියා කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන්ද හමුවී රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගි වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. මොහොමදු අක්බාර් මොහොමදු ඉසාදික් යන නම යොදා පදිංචිය මන්නාරමේ බව සඳහන් කරමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක්ද මොහු අතට පත් කරන්නේ කොටි නියෝජිකයකු විසිනි. මෙම ව්‍යාජ ජාතික හැඳුනුම්පතද පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයාගනු ලැබීය. මෙසේ වන්නියේ සිට දකුණු පළාතට පැමිණි ඉසාදික් යන නමින් පෙනී සිටි කළු කොටියා කතරගම ප‍්‍රදේශයේ පිහිටි විශ‍්‍රාමශාලාවක සේවය සඳහා පැමිණ ඇත. කතරගම ජනාධිපති පාසල සහ කනිෂ්ඨ පොලිස් නිලධාරීන් ලැගුම් ගන්නා මැණික් සිසිර නිවාඩු නිකේතනයද පිහිටා ඇත්තේ කමර 65කින් යුත් මෙම විශ‍්‍රාම ශාලාවට යාබදවය. මෙම විශ‍්‍රාම ශාලාවේ අයිතිකරු ගාල්ල ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වන අතර කළු කොටියාද මුස්ලිම් ජාතිකයකු බව පැවසීම නිසා ලෙහෙසියෙන්ම එහි සේවකයකු ලෙස එක්වීමට හැකිවී ඇති බව කියති. මෙම කොටි ත‍්‍රස්තවාදියා කතරගම වැසියන් අතර පෙනී සිට ඇත්තේ සාදික් යන නමිනි. විශ‍්‍රාමශාලාවේ සේවය කරමින් සිටි අතරවාරයේ තවත් කොටි නියෝජිතයකු 2007 වසරේ පැමිණ මරාගෙන මැරෙන මෙම බෝම්බ ඇඳුම කට්ටලය ගෙනැවිත් බාරදුන් බවත් එම පුද්ගලයා ගැන කිසිවක් කීමට තමා නොදන්නා බවත් සැකකරු පරීක්ෂණ කණ්ඩායම්වලට පවසා ඇති බවද කියති. ඝාතන ඉලක්කය සපුරාගන්නා තෙක් සහ වන්නියේ ඇති එවකට සිටි කොටි බුද්ධි අංශ නායකයන්ගෙන් අවශ්‍ය උපදෙස් හා නියෝග ලැබෙන තෙක් බෝම්බ ඇඳුම් කට්ටලය විශ‍්‍රාම ශාලාවේ පරණ බඩු ගබඩාවේ අබලන් රෙදි සෝදන යන්ත‍්‍රය අස්සේ සුරක්ෂිතව සඟවා තැබූ බව සැකකරු පවසන්නේ යැයිද පරීක්ෂණ කණ්ඩායම් පවසයි. කතරගම පූජා භූමිය වැඳ පුදා ගැනීමට පැමිණෙන ඉහළ පෙළේ ප‍්‍රබල දේශපාලනඥයකු ඝාතනය කිරීම සඳහා කුරුමානම් අල්ලමින් සිටියදීත් ඒ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවී ඇත්තේ වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවන් හා කොටි ත‍්‍රස්තවාදීන් අතර ඒ කාලයේ දරුණු ගැටුම් ඇවිලී යමින් තිබූ නිසාය. ”කොටි ත‍්‍රස්තවාදීන් අන්ත පරාජයන්වලට ලක්වූ බවත් දිනෙන් දින පසු බසිමින් සිටි නිසා මට අවශ්‍ය උපදෙස් ලබාදීමට ඒ පැත්තේ සිටි කොටි නායකයන්ට නොහැකි වුණා. ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට නොහැකිවුණා. ඒ නිසා ඝාතන සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට නොහැකිවුණා” යැයි සැකකරු පොලිසියට පවසා ඇති බවද දැන ගැනීමට ඇත. ඔහු කතරගම ගත කළ කාලය තුළදී ප‍්‍රදේශයේ සිංහල තරුණියක සමග පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කරගෙන සිටි බවට ප‍්‍රකාශ කළ නිසා ඒ තරුණියද සොයාගත් පොලිසිය ඇයගෙන්ද ප‍්‍රශ්න කර ඇත. තරුණිය කියා ඇත්තේ තමා මේ කියන පුද්ගලයා සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පැවැත්වූයේ නොමැති බවය. කතරගම පොලිසියේ එවකට සේවය කළ ද්‍රවිඩ පොලිස් කොස්තාපල්වරයකු සමගද සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි කියන මෙම සැකකරු එම කොස්තාපල්වරයාගේ විවාහ මංගල්‍ය උත්සවයටද සහභාගි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට හැකිව තිබේ. පොලිස් කොස්තාපල්වරයා මොහු ඇසුරු කර ඇත්තේ කොටි ත‍්‍රස්තවාදියකු බව නොදැන යැයිද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇතැයිද කියති. අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ හා රහස් පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාවය හා මනා කැපවීම නිසා මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය සැඟවූ කොටි ත‍්‍රස්තයා ගැන තොරතුරු හෙළිකර ගැනීමට හැකිවී තිබේ. මෙම බෝම්බ ඇඳුම් කට්ටලය සොයාගනු ලැබුවේ ජනවාරි මස 31 වැනිදාය. පරණ බඩු බාහිරාදිය ගබඩාකර ඇති කාමරයේ ඇති අබලන් පුටු, මේස සෑදීම සඳහා ගෙන්වූ වඩු කාර්මිකයකු ක‍්‍රියාවිරහිතව පැත්තකට කර දමා තිබූ රෙදි සෝදන යන්ත‍්‍රයේ මෝටරය ගැලවීමට ගිය අවස්ථාවේ මෙම බෝම්බ ඇඳුම් කට්ටලය දැක විශ‍්‍රාම ශාලාවේ කළමනාකරු හරහා ඒ බව කතරගම පොලිසියට දැනුම්දීමෙන් පසු පොලිසිය පැමිණ එම බෝම්බ ඇඳුම් කට්ටලය සොයාගෙන තිබිණි.

විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
ඇදුම කට්ටලය



අදහස් (0)

ජනපති ඝාතනය කරන්නට එදා කතරගමට බෝම්බ ඇදුම් ගෙනා කොටියා ඇල්ලු හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site