IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්තුමන්ලා මෙන් නොව, සුවිශේෂ තැනැත්තකු බැවිනි. ෆ්‍රැන්සිස් පාප්තුමාණෝ පසුගිය ඉරිදා (20) පාස්කු දේව මෙහෙයට සහභාගි වී, ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි ජනතාව අතරට ගියහ.

මෙය පාප්තුමන්ගේ අවසන් දේව මෙහෙය විය. වතිකාන වාර්තාවල දැක්වෙන්නේ, රෝගී වී සිටි පාප්තුමන් වෛද්‍ය උපදෙස් පවා නොතකා දේව මෙහෙය පවත්වමින් ජනතාව අතරට ගිය බවය. පැය කිහිපයකට පසු 88 හැවිරිදි පාප්තුමන් ස්වර්ගස්ථ වූයේ, ආඝාත තත්වයකට පත් වී, සිහිසුන් වීමෙනි. පාප්තුමන්ගේ හෘදය අකර්මණ්‍ය වූ බව වෛද්‍යවරු පවසති.

පසුගිය පෙබරවාරියේ පාප්තුමා රෝහල්ගත කෙරුණේ පෙනහලු ආසාදනයක් නිසාය. එය නිව්මෝනියා තත්වයක් තෙක් දුරදිග ගියේය. පාප්තුමන්ගේ වකුගඩු අක්‍රිය වීමට ද පටන්ගත්තේය. කෙසේ නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් සහ ලෝ දනන්ගේ යාච්ඤා හේතුවෙන් රෝගී තත්වය තරමක් සුව අතට හැරුණු අතර, මාස දෙකකට පසු පාප්තුමන් රෝහලෙන් පිට වී ගියේය. රෝහලෙන් පිට වී ආපසු වතිකානයට ගිය පාප්තුමන් විවේක සුවයෙන් පසු වුණු අතර, ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද ඉතා අඩුවෙනි.

පාප්තුමන් රෝහලෙන් පිට වී ආවේ පිරිහුණු සෞඛ්‍ය තත්වයකිනි. ඒ බව වතිකානය ද නොසඟවා නිවේදනය කර තිබුණි. වෛද්‍යවරුන්, පාප්තුමන්ට උපදෙස් දී තිබුණේ ජනතාව අතරට නොයන ලෙසය. එසේ වුවත්, දැඩි අසනීපයෙන් මෙන්ම දැඩි අපහසුවෙන් සිටියත්, පාප්තුමන් එතුමන්ට හිමි රාජකාරිවල නියැළුණේ මහත් උනන්දුවකිනි. අවසන් මොහොත තෙක්ම ෆ්‍රැන්සිස් පාප්තුමා සම්ප්‍රදායට අනුව කටයුතු කළත්, ජනතා බහුමානයට පාත්‍ර වූ තැනැත්තෙකි.

පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෙස පාප් ධුරයට පත් වූයේ, ආජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ය. ආජන්ටිනාව ලතින් ඇමෙරිකාවට අයත් විශාලතම රාජ්‍යයයි. සෙසු ලතින් ඇමෙරිකා රටවල මෙන්ම ආජන්ටිනාවේ ද බහුතරය කතෝලිකය. එපමණක් නොව, ඔවුන්ගෙන් බහුතරය දිළින්දෝය. 1936 දෙසැම්බර් 17 වැනිදා උපත ලැබූ බර්ගොග්ලියෝ, සැබෑ කිතුනුවකු බව අවිවාදෙයන් පිළිගත යුතුය. එතුමා රසායන තාක්ෂණ ශිල්පියෙකි. රසායන විද්‍යා උපාධිධරයකු මෙන්ම සාහිත්‍ය සහ මනෝවිද්‍යා පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි. තරුණ වියේදී එතුමා රාත්‍රී සමාජ ශාලාවල කලහකාරීව හැසිරෙන පිරිස් බෙල්ලෙන් අල්ලා එළියට ඇද දමන ‘බවුන්සරයෙක්’ විය. කෙමෙන් කෙමෙන් ආගමට නැඹුරු වූ එතුමා පූජකවරයකු බවට පත් වූයේ 1969 දීය. එතුමා 1998 දී බූනෝස් අයර්ස් හි අගරදගුරු ලෙසත්, 2001 වසරේ පෙබරවාරි 21 වැනිදා කාදිනල් පදවියටත් පත් කරනු ලැබුවේ දෙවැනි ජුවාන් පාවුල් පාප්තුමන් විසිනි.

ලොව කෝටි 120ක් පමණ වන කිතුනු බැතිමතුන් නියෝජනය කරමින්, පළමුවැනි ෆ්‍රැන්සිස් ලෙසින් පාප් ධුරයට තේරී පත් වූයේ 2013 වසරේ මාර්තු 13 වැනිදාය. පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෙස තමා හඳුවන්නැයි එතුමන් තීරණය කළේ, 13 වැනි සියවසේ ඉතාලියේ ෆ්‍රැන්සිස්ටන් නිකායේ පුරෝගාමි, අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් මුණිවරයාට ගරු කරමිනි. අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් මුණිවරයාණන් ද දුප්පතුන් වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි. 2013 දී පාප් ධුරයට පත් වීමෙන් පසුවත්, ඊට පෙරත් දුප්පතුන් වෙනුවෙන් කැපවී කටයුතු කරන පළමු ෆ්‍රැන්සිස් පාප්තුමන් චාම් සරල දිවි පෙවෙතක් ගත කළ අයෙකි. දකුණු ඇමෙරිකාවෙන්, එසේත් නැති නම් ලතින් ඇමෙරිකානු රටකින් බිහි වූ පළමු පාප්වහන්සේ ලෙස ද මෙතුමන් සැලකෙයි.

266 වැනි පාප්තුමන් ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් පාප් ධුරයට පත් වූයේ ඊට පෙර පාප්තුමන්ව සිටි 16 වැනි බෙනඩික් පාප්තුමන් සෞඛ්‍ය ගැටලු‍ හේතුවෙන් විශ්‍රාම යෑම හේතුවෙනි. සාමාන්‍යයෙන්, පාප් ධුරයට කෙනකු තෝරා ගැනෙන්නේ එම ධුරයේ සිටින පාප්තුමන් ස්වර්ගස්ථ වීමෙන් දින 15ක් තුළදීය. එහෙත් 16 වැනි බෙනඩික් පාප්තුමාණෝ එම සම්ප්‍රදාය කඩ කළහ. එතුමාණෝ ධුරයෙන් ඉල්ලා අස්වූහ. එසේ ඉල්ලා අස්වූ දෙවැනි පාප්තුමන් වන්නෝ එතුමෝය. මීට පෙර පාප්තුමකු ධුරයෙන් ඉල්ලා අස්වූයේ 1415 දීය. එසේ ඉල්ලා අස්වූයේ 12 වැනි ග්‍රෙගරි පාප්තුමාය.

‘පාප්’ යන වදන සිංහලට පෙරළෙන්නේ, ‘පෝප්’ යන ඉංග්‍රීසි වදනෙනි. එය ග්‍රීක වදනක් වන ‘පාපා’ යන්නෙන් බිඳී ආවකි. ‘පාපා’ යනු ‘පියාණන්’ ය. වර්තමානයේ පාප් ධුරයට කෙනකු පත්වන්නේ කාදිනල්වරුන්ගේ ඡන්දයෙනි. මෙම කාදිනල්වරුන් පත් කරනු ලබන්නේ පාප්තුමා විසිනි. කාදිනල් ධුර සඳහා රදගුරු මෙන්ම පූජකවරුන් ද තෝරා ගැනීම සිදු කෙරෙන්නේ පාප්තුමන් විසිනි. පාප්තුමාගේ රාජධානිය රෝමයේ වතිකානයයි. ලොව කුඩාම රාජ්‍යය ලෙස සැලකෙන්නේ ද වතිකානයයි. වතිකාන රාජ්‍ය නායකයා පාප්තුමාය. හෙක්ටයාර් 44ක් පුරා විහිදෙන වතිකානය පිහිටුවනු ලැබුවේ 1929 දීය. වතිකානයේ ජනගහනය 798කි.

පාප්තුමකු ස්වර්ගස්ථ වීමෙන් පසු, නව පාප්වරයකු තෝරාගැනීම සැබැවින්ම සංකීර්ණ ක්‍රියාවලියකි. ඊට අදාළ වත්පිළිවෙත් ඇත. පාප්තුමා වතිකානයේ නායකයා වන බැවින්, පාප්තුමන්ගේ අභාවයෙන් පසු වතිකානයේ අන්තර්වාර පාලනයක් පවතී. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ පුරප්පාඩු වන පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා පත් කරගැනීම ඉදිරි දින 15කට පසුව සිදුවනු ඇති අතර, නව පාප්තුමකු තෝරා පත් කරගන්නා තෙක් වැඩ බලන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කාදිනල් කෙවින් ෆැරල් පියතුමාය.

නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුමට දායක වන්නේ, ලොව පුරා සිටින කාදිනල්වරුන් 253 දෙනාය. මෙම කාදිනල්වරුන්, නැති නම් අපේක්ෂකයන් අතරේ පැවැත්වෙන ඡන්ද විමසුම ‘කොන්ක්ලේව්’ ලෙස හැඳින්වෙයි. ඡන්ද විමසුම, සිස්ටයින් දේවස්ථානයේ සිදු කෙරෙනු ඇත. වයස අවුරුදු 80 වැඩි කාදිනල්වරුන්ට පාප් ධුරයට ඉදිරිපත් විය නොහැකි නමුත්, නව පාප්වරයකු තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකිය. පාප් ධුරයට තෝරා ගැනෙන්නේ අවුරුදු 80 අඩු කාදිනල්වරුන්ගෙන් කෙනෙකි.

 

(***)
ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී. ඇසුරිනි



අදහස් (0)

ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1440 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site