|
‘‘ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ’’
ඈ ළමැද සයනයක් කරගත් කිසිවකුට ඈ ළය මඬල නොපෙනෙයි. ඇය ලෝකයට අභිසාරිකාවක් වූයේ එහෙයිනි. රුපියල් ශත අබිමුවේ සිරුර මිල කරන ගැහැනුන්ගේ කතාන්දර සොයා අප කළ අබිනික්මනේ තවත් සටහනකි මේ.
රාත‍්‍රි සමාජ ශාලාවල විකිණෙන ගැහැනුන්ගේ ජීවිත අභ්‍යන්තරය විනිවිද බලද්දී වඩා සංවේදී හා වඩා දුක්ඛදායී ජීවිත කතාන්දර අප අබියස දිග හැරේ. ඒ හැම ජීවන කතාන්දරයක්ම පාහේ අවසානයේ ඉතිරි කරලන පැනයක් තිබේ. එනම් ඇය අභිසාරිකාවක් වූයේ ඇගේ වරදින් පමණක්මද යන පැනයයි.
හිරු අවරගිර සැඟව ගොස් කළුවරේ දුහුල් සළුපිළි සෙයිලමේ අහුමුළු නෑර දැවටෙන හෝරාවේ සිට රාත‍්‍රි සමාජ ශාලාවල මොනර කිරිල්ලියන් නෙතු පියන් හැර දවසේ රාජකාරිය උදෙසා සූදානම් වෙයි. බොහෝ දෙනා නිදි සුව විඳින රාත‍්‍රීන් හි ඔවුන් නිදිවර්ජිතව තවත් සල්ලාල රාත‍්‍රියකට නෙත් අඳුන් ගා වත්සුණු කොපුල් මත තවරමින් දුහුල් සළුපිළි ගත දවටයි. තරු විසුල අහස යට වූ සඳ පහන් හැම රැයක සමනල වෙස්ගෙන සැරසෙන ඒ රෑ කිරිල්ලියන්ගේ රාජකාරිය ඒකාකාරි වෙයි. වෙනස් වෙන්නේ ඔවුන්ගේ ඇල්ම, බැල්ම, පහස, රසය සොයා එන අනුරාගී පිරිමින්ගේ ස්වරූපය හා ස්වභාවය පමණි. සමාජශාලා දොරටු අසල සිට දොරටු පල්ලන් සේ දොරටු මුර කරන්නේ බවුන්සර්ලාය. බවුන්සර්ලා මෙන්ම ඞීලර්ලා ද සමාජශාලා වෙත පැමිණෙන්නවුන් දැඩි නිරීක්‍ෂණයකට ලක් කරති. බොහෝ විට රාත‍්‍රි සමාජ ශාලා වෙත පැමිණෙන්නවුන් එන්නේ සුඛෝපභෝගී රථවලිනි. එය ඒ පැමිණෙන්නන්ගේ පන්තිය, සමාජ තරාතිරම නිහඬවම කියාපාන අනන්‍යතාවයේ සංකේතයක් බඳුය.
|
සාමාන්‍යයෙන් බවුන්සර්ලාගේ ස්වරූපය හැඩිදැඩිය. තමාට අවනත නොවන අවසඟව යන ඕනෑම ගනුදෙනුකරුවෙක් මෙල්ල කිරීමට ඔවුහු පසුබට නොවෙති. ඒ මුහුණත සිනා රැල්ලක් මතුවන ලකුණක්වත් සොයාගත හැකි තත්පරයක් ගැන සිතා ගැනීම උගහටය. සමාජ ශාලාවේ ප‍්‍රධාන දොරටුව ගනුදෙනුකරුවකුට විවර වන්නේ අදාළ ප‍්‍රවේශ පත‍්‍රය මිලදී ගත් ඉනික්බිතිවය. සාමාන්‍යයෙන් එහි මිල රුපියල් පන්සියයකි. පන්සියයක ප‍්‍රවේශ පත‍්‍රය මිලදීගත් පසු ගනුදෙනුකරුවන් ඇතුළු කරන්නේ බවුන්සර්ලා තවත් රාජකාරියකට සැදී පැහැදී සිටින කාමරයකටය. එනම් ගනුදෙනුකරුවන්්ගේ සකල ශරීරයම දෑතින් ස්පර්ශ කරමින් පරීක්‍ෂාවට ලක් කිරීමේ රාජකාරිය එම කාමරයේ දී ඉටුවේ.
සමාජ ශාලා ප‍්‍රවේශයෙහි දොරගුළු ඇරෙන්නේ එම පරීක්‍ෂණයෙන් ද සමත් වීමෙන් අනතුරුවයි. සමාජ ශාලාව පුරා වැතිරගත් භාවාත්මක කළුවර පලවා හරින නියෝන් එළි මැද දහසකුත් දේ සිදුවෙයි. ඒ සිදුවන සියල්ල වූ කලී කෙළවරක් සීමාවක් නැති මිනිස් ආශාවන් සන්තර්පණය කරගැනීමට මිනිසා දරන ව්‍යායාමයේ එක් ප‍්‍රතිඵලයකි. අඳුරත් නැති එළියත් නැති ශාලාව පුරා ගලා යන්නේ වේග රිද්ම බටහිර සංගීතයයි. ඒ ශාලාව පුරා තරුණියෝ ඔබ මොබ සරති. ඒ හැම තරුණියකම සරාගී පෙනුමින් යුතුවෙයි. හැම තරුණියකම සැරසී සිටින්නේ තම කලවා ප‍්‍රදේශ මැනවින් නිරූපණය වන පරිදි කෙටි කලිසමකින් හෝ සායකිනි. ඇඟටම තද වූ උඩුකයේ ළමැද අඩක් නිරාවරණය වී ඇත. අඩනිරුවත් ළමැද හා නිරුවත් කලවා පිරිමි සිත් මත අනුරාගය වඩවාලන තුරුම්පුවක් බවට පත් කරන මේ තරුණියෝ තමන්ට වසඟ වෙන පිරිමින්ගේ ඉහමොළ සූරාකන රාජකාරියක් වෙනුවෙන් සූදානම් වී සිටිති.
ඔබ මොබ සරණ තරුණියන් මෙන්ම අසුන්වල වාඩිවී අනුරාගී ඉරියව් විදහා දක්වමින් සල්ලාපයේ යෙදෙන තරුණියන් ද රාත‍්‍රි සමාජ ශාලා වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ නෙතට හසුවෙයි. වරෙක ඔවුහු කොක්හඬලා සිනාසෙති. අඩ නිරුවතටත් වඩා නිරුවත් වූ සිරුර පිළිබඳ ඔවුන්ට වගේ වගක් නැති ගානය. කකුලක් පිටට වැටුණු කකුලින් නිරාවරණය වන සිරුරෙහි වරෙක වැසී පවතින්නේ මේ මොහොතේ නිරාවරණය නොවිය යුතු යැයි සිතන අඟපසඟම පමණි. එහෙත් රාත‍්‍රි සමාජ ශාලා වෙත පැමිණෙන්නවුන්ට මේ සියල්ලම නෙත් සිත් පිනවන සුබ දසුන් මිස නෙතට සිතට අපුලක් දනවන දැකීමක් පවකැයි සිතන දසුන් නම් නොවේ. සර්... ඒ ගනුදෙනුකරුවන් වෙත ලැබෙන ගෞරවපූර්ව ආමන්ත‍්‍රණයයි. එන්න සර් මෙහෙට... සර්ට ඕනෑ කෙනෙක් බලලා තෝරගන්න... ඞීලර්ලා තම සේවය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට සැදී පැහැදෙන්නේ එසේය. ඇතැම් තරුණියෝ නිදා වැටෙමින් සිහින දකිති. ඞීලර්ලා එවන් තරුණියන් අවදි කරන්නේ නිරුවත් කලවා ප‍්‍රදේශයට සෙමින් පහරක් ගැසීමෙන් හෝ කකුල සෙලවීමෙනි. රාත‍්‍රී සමාජ ශාලාවල සේවය කරන මේ තරුණියන් වයසින් බොහෝ ළාබාලය. සාමාන්‍යයෙන් ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර වෙයි. ඔවුන්ගේ රූප සෝභාව මෙන්ම ඇඳුම් පැළඳුම් ද පිරිමි සිත් ආකර්ෂණය කරනසුළු වෙයි. පැමිණෙන පිරිමියා කාගේ කවුරුන් වුවත් ඔවුන්ට එයින් කම් නැත. ඒ ඕනෑම පිරිමියකු හා ඔවුන් මිතුරු ලීලාවෙන් කතා බහ කරන්නට පසුබට නොවේ. කරවටා අතක් යවමින් අඳුරු මුල්ලක අසුනකට බරවෙන්නට ඒ කිසිදු තරුණියක් නොපැකිළෙයි. මොහොතක දී ඇතිවෙන ඒ බැඳීම තුළ ආදරය දයාව වෙනුවට ඇත්තේ මැදියම් රැය ගෙවී හිරු ඇහැරෙන්නට පෙර නිමාවෙන අඳුරු රෑ ජීවිතේ මොහොතක් මොහොතක් පාසා තම වසඟයට පත් පිරිමියාගේ පොකැට්ටුවේ අන්තිම රුපියල දක්වා වියපැහැදම් කරවන පරමාර්ථය පමණකි.
රාත‍්‍රි සමාජ ශාලාවන්හි ගනුදෙනුකරුවන් බවට පත්වන්නේ තරුණයන් පමණක් නොවේ. තරුණ විය ඉක්මවූ මැදිවියේ පිරිමින් මෙන්ම තලත්තෑනි පිරිමින් ද එහි ගනුදෙනුකරුවෝ වී සිටිති. සමාජ ශාලාවල තරුණියන්ගේ කොපුල්, ගෙල හා දෙතොල් සිය දහස්වර මෙම ගනුදෙනුකරුවන්ගේ සිප ගැනීමට ලක්වේ.
|
එහෙත් ඒ කිසිදු හාදුවක අනුරාගයම හැරෙන්නට ආදරයක පහස කැටි වී නැත. සමාජ ශාලාවල තරුණියන් දෙවුර දරන ප‍්‍රධාන රාජකාරිය වන්නේ ගනුදෙනුකරුවන්ගේ පසුම්බිය හිස් කිරීමය. රුපියල් මිස සෙනෙහස නන්නාඳුනන පිරිමින් ළඟ දණින් වැටී ඔවුහු නොඅයදිති. හැඟීම් පිරුණු ජීවිතය පසෙක තබා ඒ රෑ සමනලියන් සොයන්නේ ජීවිතය උදෙසා මොනර කොළය. තම ගනුදෙනු කරුවන්ගේ මනස සුරංගනා ලෝකවලට ගෙන යමින් ඔවුහු ගනුදෙනුකරුවන් සමග තොඳොල් බස් දොඩති. නිරුවත් අඟපසඟ ගනුදෙනුකරුවන්ට ස්පර්ශ කරන්නට ඉඩ සලසති. ඔවුන් වර්ණ ගල්වන සිහින අතර ගනුදෙනුකරුවන් අතරමං වන්නේ නිරායාසයෙනි. මත්පැන් දුම්වැටි රාත‍්‍රී සමාජ ශාලා තුළට පිටින් රැුගෙන යෑම තහනම් වෙයි. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් එයින් මිලදී ගත හැකිය. එහෙත් එසේ මිලදී ගත හැකි වන්නේ එහි පවතින සාමාන්‍ය මිල ගණන් යටතේ නම් නොවේ. වර්ගය අනුව මත්පැන්වල මිල වෙනස් වුවද ඕනෑම මත්පැන් වර්ගයක ඩ‍්‍රෑම් එකක මිල අඩුම වශයෙන් රුපියල් පන්සියයකි. රාත‍්‍රි සමාජ ශාලාවල එකින් එකට මිල ගණන් වෙනස් වුවද සාමාන්‍යයෙන් සලකා බැලූ විට සිසිල් බීම බෝතලයක මිල රුපියල් හත්සියය ඉක්මවයි. බියර් බෝතලයක මිල රුපියල් දහස ඉක්මවයි. හිමකිරම එකක මිල, දුම්වැටි පැකැට්ටුවක මිලත් රුපියල් දහස ඉක්මවයි. පිළියෙළ කරන ලද නූඞ්ලස් බඳුනක මිල ද රුපියල් එක්දහස් පන්සියයකට ආසන්න වෙයි. මත්පැන් වර්ගවල මෙන්ම ආහාරවල ද මිල සමාජ ශාලාවෙන් සමාජ ශාලාවට වෙනස් වුවද ඕනෑම සමාජ ශාලාවක මේ මත්පැන් ආහාර ඇතුළු සියල්ල විකිණෙන්නේ ඉතා ඉහළ මිල ගණන් යටතේය. රාත‍්‍රි සමාජ ශාලාවල නිත්‍ය ගනුදෙනුකරුවන් බවට පත්වන්නේ ධනවත් පවුල්වල තරුණ තරුණියෝ ය. සාමාන්‍ය ආර්ථික මට්ටමක සිටිනවුන්ට රාත‍්‍රි සමාජ ශාලා ජීවිතයට අනුගත වීම අසීරුය. ඒ එහි එක් දිනක් ගත කරන්නට අති විශාල මුදලක් වැය කරන්නට සිදුවන හෙයිනි. ධනවත් පවුල්වල බොහෝ තරුණයෝ මෙන්ම තරුණියෝ ද යහමින් රුපියල් සත වියදම් කරමින් වර්ණවත් හීන සහිත මේ මායාකාරී සල්ලාල ලෝකයට පිවිසෙති. ගනුදෙනුකරුවන් වෙතින් තමන්ට අවශ්‍ය කෑම බීම ලබාගන්නා අතරම යම් යම් හේතු දක්වමින් ඔවුන්ගෙන් මුදල් ඉල්ලා සිටීම ද රාත‍්‍රි සමාජ ශාලාවල සේවය කරන තරුණ තරුණියන්ගේ සිරිතකි.
සැබැවින්ම රාත‍්‍රි සමාජ ශාලාවල මෙහෙ කරන තරුණියන්ට තමන් වගුරන ශ‍්‍රමයට සරිලන වැටුපක් හිමි වන්නේ නැත. තමන් වෙතට එන හැම ගනුදෙනුකරුවෙකුගෙන්ම ඔවුන් සන්තෝසමක් ලබා ගන්නට උත්සාහ කරන්නේ එහෙයිනි. තමන් විසින් තෝරා ගන්නා ලද තරුණියට සාමාන්‍යයෙන් රුපියල් 1500ක හෝ 2000ක පමණ සන්තෝසමක් ලබාදීම ගනුදෙනුකරුවන්ගේ ද සිරිතකි. එසේ තරුණියන්ගේ අතමිට මෙලවෙන සන්තෝසම අනුව ඒ වෙනුවෙන් ගනුදෙනුකරුවන්ට ඇය වෙතින් ලැබෙන ”ආදරය ද” අඩු වැඩි වෙයි.
රාත‍්‍රි සමාජ ශාලාවල සේවය කරන මේ තරුණියන් සමාජ ශාලාවල සේවිකාවන් බවට පත්වීම දක්වා පෙළ ගැසී ඇති කතාන්දරවල ද බොහෝ දුක්ඛදායී සිදුවීම් ගැබ්ව පවතී. එහෙත් රාත‍්‍රි සමාජශාලා ජීවිතය තුළ ඔවුන් හැසිරෙන්නේ එවන් අඳුරු සේයාවන් කිසි දිනෙක තමන් අත්නොදුටු ආකාරයේ සැහැල්ලූ විලාසයකිනි. රාත‍්‍රී සමාජ ශාලා ජීවිතයේ තවත් තොරතුරු සමඟ අපි ලබන සතියේදීත් හමුවෙමු.
සටහන - සංජීවිකා සමරතුංග
නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව - 1

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සාමාන්‍ය දේවල් අද ලෝකයේ හැටියට. එහෙත් ලංකාවේ සිදුවන්නේ නිතරම නරක පැත්ත විතරයි. බටහිර රටවල මේ කියන දේවල් මේ විදියටම සිදුවන්නේ නැහැ.(නදී)
අංගොඩ ?.....රාත්‍රී සමාජශාලා යනු තවත් මානසික රෝහල් වර්ගයකි. සල්ලි දීලා ලෙඩ බෝකරන්නෝ. (නි)
මේවා අනුමත කළ බටහිර රටවලත් අපරාධ අඩුවෙලා නැහැ. මෙය කවුරුත් තේරුම්ගත යුතුයි (නි)
ගැහැණියකට ඔබින රැකියාවක් තරන්න ගැහැනිය දැනගත යුතුයි.(නදී)
දුමින්ද හරි . අපාය මිනිසුන්ට පේනවා නම් වැරදිවලින් මිදේවි (නි)
අම්ම්බපලීයන් නැති ලෝකෙක ජීවත්වෙලා කුමකටද ?(නදී)
සත්‍යා එහෙනම් ඔයා ඔය වැඩේ අද ඉඳලම පටන්ගන්නකො (නි)
රාත‍්‍රි සමාජ ශාලා යනු භාවනා මධ්‍යස්ථාන නොවන බව සියල්ලන්ම දනී. මේ රාත්‍රී සමාජ ශාලාවල එක් පැතිකඩක් පමණි. ලංකාවේ සමාජ ශාලා ගැන මම වැඩි යමක් නොදනිමි. නමුත් ඕස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ, ඩුබායි හා ඇමරිකාවේ සමාජශාලා සාමන්‍ය ජනතාවටත් විවෘතය. සමහර ස්ථානවල බීම ලංකාවටත් (මෙහි සඳහන්) වඩා අඩුය. අබිසරුලියන් නොමැති ගැටවරයන් සඳහාම වෙන්වූ, කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ, සාමාන්‍ය පිරිමි හා ගැහැණුන්ට වෙන්වූ සමාජශාලා ඉහත සඳහන් රටවල ඕනෑතරම් පවතී. මෙහි සමාජශාලා යනු සාමාන්‍ය ජන ජීවිතයෙන් කොටසකි. නමුත් ඉන් අදහස් වන්නේ මෙහි යන සියලු දෙනා අබිසරුලියන්ගේ පහස සොයන අය යන්න නොවේ. සමහරු එසේය. නමුත් බහුතරයට එසේ නොවේ. නමුත් ලංකාවේ අනුගමනය කරන්නේ බටහිර වැරදි දේවල්ම පමණි. ඒ නිසා ලංකාවේ සමාජශාලා යනු ඉහත ලිපියේ කියවෙන ඉහළ සමාජයට පමණක් විවෘත අබිසරුලියන්ගේ පහස ලබන තැනක් විය හැක.
දුප්පත් කම හින්ද මේවා කරන්නේ. ඔවුන්ට ගරහන්න එපා. එයාලටත් ජීවිතයක් දෙන්න පුලුවන්නම් එක පින් සිද්ද වෙනවා.(නදී)
සිරී, ලෙඩ රෝග වැළදෙන්නේ නැති විදියට මේ දේවල් කරන්න අවකාශය තිබෙනවා. මේ අවශ්‍යතාවය සපුරා ගන්න නොහැකිව කී දෙනෙක් අපේ රටේ ඉන්නවාද? ඒ අයගේ මානසික තත්වය මොකක්ද? මේකට නීතියෙන් ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ (නි)
ඔය සමාජ ශාලාවලට යන්නේ කමකට නැති සමාජ පිළිල.සමාජයට වැඩක් නැති අයට ලෙඩ රෝග නෙමේ මොනවයින් මොනවා වුණත් මොකද. (නි)
සමහර බටහිර රටවල්වල සමාජ ශාලා ලංකාවේ වගේ පිස්සු ලෝක නෙමේ.පවුල් පිටින් ගිහිල්ලා යාලු මිත්‍රයෝ හමුවෙලා කතා බහ කරලා, සින්දු අහලා, ටිකක් නටලා, කෑම කාලා සතුටින් විසිර යන තැන්. කිසිම කෙනෙකුට තහනමක් නැහැ.මිනිස්සුන්ට විවේකිව යාලු මිත්‍රයෝ එක්ක ගතකරන්න පහසුකම් සලසලා තියෙනවා (නි)
මේවා ගැන මිනිස්සු දැනුවත් වෙලා ඉන්න එක හොදයි (දී)
ඒඩ්ස්, සිෆිලිස් වැනි ලිංගික රෝගාබාධ වලට කදිම තෝතැන්නකි. සත්‍යා, මේකෙන් කොච්චර මිනිස්සුන් ලෙඩ වෙනවද? (නි)
ප්‍රියා, මොනවද ඔයා කියලා තියෙන මෝඩ කතාව, "ගෙදර ගැහැනුන්ට මේ වගේ වැඩ බැහැ කියලා" තමුන් එහෙම වුණාට මුළු රටටම එක පෙන්වන්න ඕනෑ නැහැ නේද.අම්මට , අක්කට නංගිට මේ වගේ දෙයක් කරන්න උත්සාහයක් දීලා තියෙනවා වගේ කතාව (නි)
සනත්, ඔයාගේ පවුලේ කෙනෙක් අම්බපාලියක් වුනොත් ඔයා ඔහොම කියනවද? ඔයා වගේ පිරිමි නිසා තමයි අම්බපාලියන් වුණ අය 75% ම ඉන්නේ. (නි)
මේවට පුරුදු වුණ ගැහැනුත් පිරිමිත් ආයේ මේවායින් වළක්වනවා බොරු (නි)
මේ ලිපියත් ඉතාම හොද ලිපියක්. (ස)
සල්ලි දැක්කහම ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් කරාවි (නි)
මේ රට නීතියක් නැති, පාලනයක් නැති රටක් විදිහටයි මම දකින්නේ. නීතිය ශක්තිමත් නම් සමාජ අපචාර මහා පරිමානවම සිදුවෙන්න ඉඩක් තියේවිද මේ බෞද්ධ රටේ..? කවුරු කොහොම කිව්වත් මේ රටේ ඉපදුනේ මහා පාප කර්මයකට කියලයි කියන්න තියෙන්නේ. (නි)
මේ පින්තූරවල ඉන්නේ විදේශීය කාන්තාවන්. අපේ ැම්බපාලියන්ට මේ රූප ගැලපෙන්නේ නැත.(නදී)
අපේ ගෙවල් වල ගෑණුන්ට බැරි වැඩ මෙයාලා හොදට කරනවා (නි)
සල්ලි දැක්කහම ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් කරාවි.(ස)
මේ ලිපියත් ඉතාම හොද ලිපියක්. (ස)
කෝ අපේ සේනාව? (නි)
මිට වඩා ලංකාවේ අංගවිකල දරුවන් කොචර ඉන්නවද? මේ වියදම් කරන සල්ලි ඒ දරුවන්ට වියදම් කළා නම් කොච්චර පිනක්ද? පොඩ්ඩක් තම තමන් ගැන සිතන්න. කොපමණ මුදල් නිකන් නාස්ති කරනවද කියලා. (නි)
මතක තියාගන්න පව්කලොත් යන්න වෙන්නේ අපායට, එතකොට නිදහසට කාරණා නැහැ. (ස)
මම හැම තිස්සෙම කියන දෙයක් තමයි ගැහැණියට වෙනස්කම් කරන්නේ ගැහැනියක්ම තමයි. අහල ඇතිනේ සමහර අම්මලා කියනවා හෝදලා ගෙට ගත්තම පුතා පිරිසිදුයි කියලා. මම කියන්නේ හෝදලා ගෙට ගත්තම ගැහැණියත් පිරිසිදුයි. අම්බපාලියක් උනේ ඇයි කියන ප්‍රශ්නෙට කවුරුත් උත්තර දෙන්නේ නැහැ. හැබැයි කියන්න තියන ජරා කතා ඔක්කොම කියනවා මතක තිය ගන්න අම්බපාලියක් වෙන්න ඔය පිරිමි කියන අයත් සම්බන්දයි කියලා. අම්බපාලියන්ගේ ඇතුල් කතාව ගොඩක් සංවේදීයි. ඒ නිසා දැන්වත් අපහාස නොකර කාන්තාවට සමාජයේ ලැබිය යුතු ආදරය කරුණාව ගෞරවය සහ නිසි තැන ලබා දුන්නොත් අනාගතයේ අම්බපාලියන් බිහිවෙන එක සීමා කරගන්න පුළුවන් වේවි.(නදී)
නගරයේ මේ වැඩේ මෙහෙම කරන එක ලොකු දෙයක්. මේක ඉෂ්ඨ කර ගන්න බැරිවෙන කොට ගමේ ස්ත්‍රී දූෂණ වෙනවා. මම නම් හිතන්නෙ මේක බලහත්කාරකමක් නෙමෙයි. මේ වැඩේට දෙපාර්ශ්වයම කැමතියි. මේක කාම අපචාරයක් නොවේ යයි මම සිතමි. (නි)
රෙබර්ට්, ඔබ නිවැරදියි. ලංකාවේ තියන්නේ බෝතල්, යුරෝපයේ තියෙන්නේ සමාජ ශාලා සහ බාර්. ලංකාවට වඩා ගණන් අඩුයි. බීර රු400-650. වොඩ්කා සහ රෙඩ්බුල් රු-1000. (නි)