එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත්, බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය කඩා වැටීම, ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් බව අමුතුවෙන් කිවයුතු නැත. යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසිය හතළිස් දෙදෙනකු සිටි අතර, දිවි බේරාගත්තේ එක් මගියකු පමණි. සුළු තුවාල ලැබූ එම මගියා පසුව රෝහල්ගත කෙරුණි.
ගුවන් යානය, ගුජරාටයේ, අහමදාබාද් නුවර, සර්දාර් වල්ලභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවනට නැගුණේ, එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමටය. යානය ගුවන්ගත වූයේ 12 වැනිදා දහවල් ඉන්දියාවේ වේලාවෙන් 1.39 ටය. යානය බ්‍රිතාන්‍යයේ වේලාවෙන් එදිනම සවස 6.25 ට ගැට්වික් ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණි. යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 12 කි.
දෙසිය හතළිස් දෙදෙනකු රැගත් යානය, ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තුවක් යෑමටත් පෙර, යානය අකරතැබ්බට මුහුණ දුන්නේය. ඒ, එය අඩි 625 ක් ඉහළින් පියාසර කරද්දීය. ඉන්දීය ගුවන් ගමන් සේවා නියාමන අධිකාරියට අනුව, යානයේ දෝෂයක් ඇතැයි නියමුවන් දැනුම් දී ඇත. එසේ දැනුම් දුන් සැණින් යානය කඩා වැටුණි.
යානය කඩා වැටුණේ අහමදාබාද් නුවර, මේඝානි නගර්, ප්‍රදේශයේ බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසු නේවාසිකාගාර ගොඩනැගිල්ල මතටය. මේඝානි නගර් යනු ජනාකීර්ණ ප්‍රදේශයකි. ගුවන් යානය නේවාසිකාගාර ගොඩනැගිල්ල මතට කඩා වැටීමෙන් වෛද්‍යවරයකු සහ වෛද්‍ය සිසුන් ද ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගොඩනැගිල්ලේ සිටි තවත් වෛද්‍ය සිසුන් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
යානයේ, දෙසිය හතළිස් දෙදෙනාගෙන් 169 දෙනකු ඉන්දීය ජාතිකයන් වූ අතර, 53 දෙනකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. ඊට අමතරව, එක් කැනේඩියානුවකු සහ පෘතුගීසි ජාතිකයන් 7 දෙනකු සිටි බව මේවනවිට අනාවරණය විය. අනතුරින් යානයේ සිටි 242 දෙනාගෙන් 241 දෙනෙක් මියගියහ. 40 හැවිරිදි එක් තරුණයකු දිවි ගලවා ගත්තේය.
අනතුරින් දිවි ගලවා ගත්තේ, ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍යය ජාතික මගියෙකි. ඔහු කඩා වැටුණු ගුවන් යානයේ ‘11 ඒ’ ආසනයේ අසුන් ගෙන සිටි බව පැවැසෙයි. ‘11 ඒ’ යනු ගුවන් යානයේ හදිසි පිටවීමේ දොර අසල ඇති ආසනයයි. මෙම මගියා විශ්වාෂ් කුමාර් රමේෂ්ය. සුළු තුවාල ලබා දිවි බේරාගත් රමේෂ්, අහ්මදාබාද් රෝහලට ඇතුළත් කෙරුණි. දින කීපයකින් ඔහු රෝහලෙන් පිටවී යනු ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇත. රමේෂ් සමග ඔහුගේ 45 හැවිරිදි සොහොයුරා අජේ කුමාර් ද යානයේ සිට ඇත. සොහොයුරා දිවි ගලවා ගැනීමට සමත් වූයේ නැත. මොවුන් ඉන්දියාවට පැමිණ තිබුණේ ඉන්දියාවේ සිටින ඥාතීන් හමුවීමටය.
"මට විස්තර කරන්න බැහැ. හැමදේම වුණේ මගේ ඇස් ඉදිරිපිට. අනතුරින් පසු යානයේ හදිසි පිටවීමේ දොරටුව කැඩී තිබුණා. මගේ ආසනයත් කැඩිලා තිබුණේ. දොර කැඩී තිබුණ තැනින් විශාල එළියක් දැක්කා. මම එතනින් යානයෙන් පිටතට ආවා. සියල්ල මගේ ඇස් ඉදිරිපිට සිදු වුණා. මම දිවි ගලවා ගත්තේ කෙසේදැයි මම දන්නේ නැහැ.. ටික වේලාවක් මම සිතුවේ මමත් මැරෙයි කියලා. නමුත් මම ඇස් අරින කොට, මම ජීවතුන් අතර සිටින බව මට වැටහුණා, එළියට යන්නයි හට ඕනෑ වුණේ. ඉතිං මම ඒක කළා. ඒ වනවිටත් යානය ගිනි ගනිමිනුයි තිබුණේ. මම පිටතට ගියාට පසුවයි එය පුපුරා ගියේ' යැයි රමේෂ් පසුව මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පවසා ඇත. යානය ගුවන්ගත වෙද්දී විශාල ශබ්දයක් නැගෙන්න වූ බවත්, එම අවස්ථාවේදී තමන් සහ තම සොහොයුරා බියට පත් වුණු බවත් රමේෂ් පැහැදිලි කර ඇත.
මේ අතර, යනයේ සිටියදී මියගිය පිරිස හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ගේ ඩී.එන්.ඒ. සාම්පල පවා ලබා ගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී.
යානයේ අනතුර සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත. යානය අනතුරට පත්වූයේ කාර්මික දෝෂයක් නිසා යැයි පැවැසෙයි. යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටි දෙකක් තිබුණු අතර, එයින් එකක් ඊයේ (13) සොයා ගැනුණි. ඒ අනුව, ඉදිරි පැය කීපයේ දී යානය අනතුරට ලක්වුණු අයුරු ගැන හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වේවි යැයි විශ්වාස කෙරේ.
ගුවන් යානය අනතුර ගැන සැලවීමෙන් තමන් අතිශය කම්පනයට පත්වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි. බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ද අනතුර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බව නිවේදනය කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (13) ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගියේය. ගුජරාටය යනු මෝදිගේ උපන් ගම් පළාතය. අනතුර සිදුවුණු ස්ථානය දැක බලා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි රෝහලට ගොස් අනතුරින් දිවි ගලවා ගත් විශ්වාෂ් කුමාර් රමේෂ් ද හමුවිය.
බෝයිං යනු ඇමෙරිකන් ගුවන් යානා නිෂ්පාදන සමාගමය. ‘එයාර් ඉන්දියා’ අයිති ‘ටාටා’ සමාගමටය. මියගිය අය වෙනුවෙන් ‘බෝයිං‘ සමාගමත්, ‘ටාටා’ සමාගමත් වෙන වෙනම වන්දි ලබා දීම සිදුවනු ඇත. ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන්, ඉන්දියාව සිදු කරන විමර්ශනවලට ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත් සම්බන්ධ වී සිටින බව ද පැවැසෙයි.
මේ අතර, කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ සිට මියගිය මගීන් සම්බන්ධ පුවත් සහ අවසන් මොහොතේ ඔවුන් ගත් ඡායාරූ, වීඩියෝ දසුන් ආදිය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. ගුවන් යානය අවසන් වරට ගුවන්ගත වන අයුරු, එය කඩා වැටී පිපිරීම් දුම්වලා නැගෙන අයුරු, යානය කඩා වැටී වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරය දෙදරා විනාශ වන හැටි දැක්වෙන ආරක්ෂක නැමරා වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධිය පත් වූයේ අහමදාබාද් ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස කදුළු මතකයක් ලෝක ඉතිහාසයට එක් කරමිණි.
ගුවන් යානයේ සිටි රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම මේ වනවිට ලොව වඩාත් කම්පාවන කරුණක් වී ඇත. මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයකු වූ ආචාර්ය ජෝෂි, වසර 6 ක් පුරා ජීවත් වූයේ ලන්ඩනයේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහු තම දරු තිදෙනා ඇතුළු සිය පවුලට ලන්ඩනයේ සැපවත් ජීවිතයක් බවත්, ඔහු උත්සාහවන්ත පියකු බවත් පැවැසෙයි.
වසර 6 ක මහන්සියේ ප්‍රතිඵලය වූයේ ජෝෂිට ඔහුගේ බිරිඳ සහ දරු පවුල ලන්ඩනයට රැගෙන යෑමට හැකියාව උදා වීමය. ඒ අනුව, ඉන්දීය වෛද්‍යවරයකු වූ බිරිඳ සහ දරුවන් කැටුව ලන්ඩන් ගොස් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ජෝෂි ඉන්දියාවට පැමිණි අතර, ජෝෂි බිරිඳ සහ දරුවන් ආපසු ලන්ඩන් බලා යෑමට ගොඩවී සිටියේ මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයටය. ජෝෂිගේ බිරිඳ, උදයිපූර් නුවර පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබූ අතර, දින දෙකකට පෙර සිය රැකියාවෙන් ඉල්ලා අස්වූයේ ලන්ඩන් යෑමේ අපේක්ෂාවෙනි.
ජෝෂි පසහ බිරිඳගේ දරු තිදෙනාගෙන් පිරිමි දරුවන් වයස අවුරුදු පහක නිවුන් දරුවන් වූ අතර, දියණිය 8 හැවිරිදි වියේ පසු වූවාය. ජෝෂි, අවසන් වරට බිරිඳ සහ දරුවන් සමග ලබා ගත් සෙල්ෆි ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණි. ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවටද වරක් පැමිණ ඇතැයි පැවැසෙයි.
(***)
ලුසිත ජයමාන්න
ඉන්දීය මාධ්‍ය සහ ඒ.එෆ්.පී. අසුරිණි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කැඩුණු හදිසි දොරින් විසිවුණා