එක් වරකදී හසු වූ ආසියාවේ වැඩිම හෙරොයින් මත් කුඩු තොගය හසුවූයේ ඉකුත් අගෝස්තු මාසයේදීය. ඒ කොළඹ වරායට ගොඩබා තිබූ කන්ටේනරයකිනි. රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම සිදුවීම යන්තම් යටපත් වෙද්දී නැවත එය ඉස්මතු වූයේ අගමැතිගේ ලේකම්වරයකු එම කන්ටේනරය සම්බන්ධයෙන් යැවූ බව කියන ලිපියක් හේතුවෙනි.
කරච්චියේ ෂා ඉන්ඩස්ටී‍්‍රස් වෙතින් මෙම කන්ටේනරය නැව් ගත කර තිබුණේ ඉකුත් ජූනි මස 17 වැනි දා ය. අඩි 40ක් පමණ දිගැති එම කන්ටේනරයේ ග‍්‍රීස්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇතැයි සඳහන් කර තිබිණි. ජූනි 22 වැනි දා වන විට එය ලංකාවට ළඟා විය.
මාස දෙකකට ආසන්න කාලයක් කන්ටේනරය වරායේ තිබිණි. ඒ අතර කාලය තුළ අගෝස්තු 25 වැනි දා තමින් යුත් ලිපියක් රේගුව වෙත ලැබී ඇතැයි කියති. ඒ අගමැති දී මු ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගෙනි. එහි සඳහන්ව තිබී ඇත්තේ මාලිගාවත්තේ සමාගමක් විසින් ගෙන්වන ලද කන්ටේනරය ප‍්‍රමාද ගාස්තුවලින් සහ වරාය ගාස්තුවලින් නිදහස් කොට මුදා හැරීමට අවශ්‍ය පියවර ගනු ලබන්නේ නම් අගමැති වෙනුවෙන් ස්තුති වන්ත වන බවයි.
මෑතකදී ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ මෙම සමාගම මගින් ගෙන්වනු ලබන ප‍්‍රථම කන්ටේනරය මෙය වන බවත් ඒ වෙනුවෙන් විශාල බද්දක් ගෙවීමට සමාගමට පුළුවන් කමක් නැති බවත් එම ලිපියේ සඳහන් කර තිබී ඇත. මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ද මේ කන්ටේනරය ගැන ලැබුණු තොරතුරක් මත ඒ ගැන අවධානයෙන් සිට ඇත.
ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, රේගු අධීක්ෂණ අංශය ආදියෙහි නිලධාරීන් ඉදිරිපිට අගෝස්තු 30 වැනි දා කන්ටේනරය විවෘත කැරිණි. ග‍්‍රීස් ටින් තුළ අසුරා තිබූ දකුණු ආසියාවේ එක්වරකදී හමු වූ වැඩිම හෙරොයින් කුඩු තොගය හමු වූයේ එහි දී ය. එහි තිබූ හෙරොයින් තොගයේ ප‍්‍රමාණය කිලෝ 262කට අධිකය.
ඒ පිළිබඳව සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට පත් වූහ. ඒ ජමීල් නම් පකිස්තානුවකු සහ තවත් පුද්ගලයෙකි. ඊට සම්බන්ධ බව කියන සර්දාර් ඛාන් නම් සැකකරුවකු පාකිස්තානයේ කාශ්මීර ප‍්‍රදේශයේ දී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පසුගිය හය වැනි දා නිවේදනය කළේය. සැකකරු උදර්පන නීතිය යටතේ ලංකාවට ගෙන්වීමට නියමිත බව ද රෝහණ මහතා සඳහන් කළේය. එය එසේ වෙද්දී අගමැති ලේකම්වරයකු මීට සම්බන්ධ වූයේ කෙසේ දැයි බොහෝ දෙනා සොයති.
අගමැතිගේ ලේකම්ගේ ලිපියේ සඳහන් වන බව කියන මාලිගාවත්තේ සමාගම ලියා පදිංචි කර ඇත්තේ ජූලි තුන් වැනි දා බව දැනගන්නට ඇත. කන්ටේනරය නැව් ගත කර ඇත්තේ ජුනි 17 වැනි දා ය. එය ලංකාවට සේන්දුවී ඇත්තේ ජුනි 22 වැනි දා ය. කන්ටේනරය ලංකාවට ළඟාවී දින දහයකට පසු එකී සමාගම ලියා පදිංචි කර ඇත. කන්ටේනරය බාර ගැනීමේ අදහසින් සමාගම ලියාපදිංචි කළේ දැයි සැක මතු වන්නේ ඒ නිසාය.
ඇතැම් විට මෙය කුඩු කන්ටේනරයේ නියම ශ‍්‍රී ලාංකික හිමිකරු ගැන අවධානය වෙනතකට යොමු කිරීමට යොදා ගත් උපක‍්‍රමයක් බව සමහරු කියති. අගමැතිගේ ලේකම්වරයකු හා කුඩු කන්ටේනරය අතර ඇති සම්බන්ධය කුමක්දැයි සෙවීමේ වගකීම පොලිසියට පැවරෙයි.
රජයේ උසස් නිලධාරීන් සමග සමීප සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට කුඩු ජාවාරම්කරුවන් මාන බලන බවට හොඳම උදාහරණය මීට වසර දහයකට පමණ පෙර වාර්තා විය. ඒ කුඩු රජකුගේ දියණියගේ මගුල් ගෙදරට එවකට සිටි පොලිස්පතිවරයා සහභාගි කරවා ගැනීමයි.
කුඩු රජා අත්අඩංගුවට ගැනීමට එම නිවසට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ එවකට සිටි නිලධාරීහු එම නිවසේ තිබූ සංයුක්ත තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගත්හ. ඒවා පරීක්ෂා කර බලද්දී හෙළි වූයේ තම ප‍්‍රධානියා එනම් පොලිස්පති එම නිවසේ තිබූ මංගලෝත්සවයකට සහභාගි වූ බවයි. එම ඡායාරූප මාධ්‍ය මගින් ද ප‍්‍රකාශයට පත් වීමත් සමග තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස පොලිස්පතිට බලපෑම් එන්නට විය. අවසානයේ ඔහුට තනතුර හැර දමා යන්නට විය. එවැනි වැටලීමක් අද කළා නම් ඇතැම් විට වැටලීම කළ නිලධාරීන්ට පැය විසි හතරක් ඇතුළත ගෙදර යෑමට සිදු වනු ඇත. එකල එසේ වූයේ නැත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ එවකට සිටි අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු කෙළින් වැඩ කළහ.
කුඩු ජාවාරම්කරුවන් ප‍්‍රභූන් ළං කර ගැනීමට උත්සාහ කරන ආකාරය කියා පෑමට එය එක් උදාහරණයක් පමණි.
වරකදී හමුවූ වැඩිම කුඩු තොගය ගැනත්, ඊට දේශපාලනඥයන්ගේ හෝ වෙනත් උසස් නිලධාරීන්ගේ ඇති නෑදෑකම් ගැනත් සොයා බලා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි ද, එලෙස සාධාරණ පරීක්ෂණයක් කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසි හතර පැයක් තුළ ස්ථාන මාරු නොකරනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හැමෝටම බෙදල දීල වගේ? නීතියක් කොහෙවත් නැහැ. බලය අරන් මෙහෙම කරන්න පුලුවන්ද? මේවයි අපරාධ. මේ රටේම විසදා ගන්න කෙනෙක් නැද්ද?(දිල්)
මෙන්න මේ වගේ දේවල් වලට ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.පින් සිදුවෙන වැඩ මේවා (නි)
අජිත් ඔයා හරි බොලඳයි. ඔයා තාම දන්නෙ නැහැ මිනිසුන්ගෙ හැටි. (ස)
අජිත් ලියලා තියෙන්නේ නියම ළිං ගෙම්බෙකුගේ කතාවක්!!! (නි)
මේ ලිපිය කියවීමෙන් මට හැඟුනේ අපේ රටේ ප්‍රභූන් කියන්නේ කාටද යන ප්‍රශ්නයයි. මගේ හැඟිම නම් මේ සියලු දෙනා අපේ රට වනසන්නෝය. (ස)
මේ වගේ ලොකු වැඩ කරන්නේ පොඩි මිනිස්සු නොවේ (නි)
අජිත් තොත්ත බබා වෙන්න හදනවා (නි)
මම නම් මගේ ඡන්දය නැවත නම් දෙන්නෙ නැහැ (නි)
පිස්සුද අජිත්, ඒ ගොල්ලන් ඔක්කොම දන්නවා. (නි)
ජනතාව හොඳින්ම දන්නවා මෙම සිද්ධියට කවුරුද සම්බන්ධ කියලා.තරුණ පරපුර වැනසූ පසු රටේ අනාගතයක් නැහැ වැඩිහිටියනි, තරුණයෙනි, මේ ඔබේ වාරයයි.නැගී සිටින දැනුවත් කරන්න. (ස)
එතකොට මතට තිත කිය කියා ..තමයි මෙයාල මේ සේරම කරන්නේ ..නේද ..? (ස)
මේ ගැන පත්තරේ පොල් ගෙඩි අකුරින් හැමදාම ලියන්න ඕනා. හෙඩ් ලයින් එකට. මාස හත අටක් පමණ කාලයක් ජනතාව දැනුවත් වෙන්න ..නැතිනම් අමතක ගණයට වැටෙනවා ...?සත්‍ය හෙළි වන තුරුම ..මාද්‍ය නැගී සිටිය යුතුයි මගේ අදහස ...?(නදී)
මෙයට සම්බන්ද අයට ජනතා වරම නැවත ලැබීම කනගාටුවට කරුනක්. (නදී)
අදත් පුළුවන්. ගරු ගොඨාභය මැතිතුමනි, කරුණාකර මීට මැදිහත් වී සත්‍ය හෙළිකරන්න. අපි ඔබ ගැන විස්වාසය තියමු! ඔබ ජනාධිපති තුමාගේ මල්ලි නිසාත්, ඔබ අවංක නිසාත් ඔබ අපට විස්වාස නිසාත් ඉක්මනින් යුක්තිය ඉටුකරවී කියා අපි බලා ඉදිමු.(දිල්)
අයියෝ අජිත්, ඕකට කතා ගොඩක් තියෙනවා. "හොරාගේ අම්මගෙන් පේන අහනවා", "බඩුත් හාමුදුරුවන්ගේ : නඩුත් හාමුදුරුවන්ගේ" මම දන්නේ නැහැ මොකද්ද ගැලපෙන එක කියලා. හැබැයි එක දෙයක් පැහැදිලියි අජිත් තාම පොඩි ළමයෙක් බව. (නදී)
අපෝ අජිත් මට නම් බැහැ (නදී)
අජිත් වගේ අය ලංකාවේ ඉන්නකම් ලංකාවට බුදු සරණයි !!! (ස)
මා මුහුණ දුන් සත්‍ය සිදුවීමක් කෙටියෙන් ලියන්නම්. අගා අප වැඩ බිමේ සිටි ධනවත් උප කොන්ත්‍රාත් කරුවෙක්. අපේ රටේ වගේම පකිස්තානයේත් බල පුළුවන්කාර අය තමයි විශාල වැඩබිම් වල උප කොන්ත්‍රාත් වැඩ කරන්නේ. දිනක් ඔහු මගෙන් ඇහුවා ලංකාවේ දන්නා හඳුනන ඇමති කෙනෙක් හෙම ඉන්නවද කියලා. මොකක්ද උවමනාවයයි ඇහුවාම ඔහු කිව්වා මගේ ගෝලයෙක් කොළඹදී අත් අඩංගුවට පත්වෙලා තියෙනවා එයාව බේරගන්න උදව්වක් ගන්න කියලා. සිද්දිය ඇහුවට ඔහු කිව්වේ නැහැ.දේශපාලකයෝ හඳුනන්නේ නැහැ කියලා මා ප්‍රශ්නෙන් මග හැරියා. මෙයින් මාස කීපයකට පසු මා ඔහුගෙන් ඇහුවා ගෝලයා බේරා ගත්තද කියලා. හාපෝ ඔවු කෝටියක් වටිනා මගේ මිනිහා ලක්ෂ එකහමාරක් අහවල් මිනිස්ටර්ට දීලා බේරා ගත්තා කියලා ඔහු වෙච්ච සිද්දිය කිව්වා. මත් කුඩු පාර්සලයක් එක්ක ගෝලයා රේගුවට අහුවෙලා. පාර්සලය තමන්ගේයැයි කියන්න වෙන නියෝජිතයෙක් ඉදිරිපත් උනත් රේගු නිලධාරින් තරයේම කියා සිටියා එය රැගෙන ආවේ මේ ගෝලයාමයි කියා. මිනිස්ටර්ගේ එක කෝල් එකෙන් මගේ ගෝලයා එළියට ආවා. ඊයේ එයා තව තොගයක් අරගෙන තව රටකට ගියා.(නදී)
අනේ අපි කවදාක පීනමුද ඒ ගගේ. අපි නිකමිම නිකම් පස්ස විකාගෙන ප්‍රතිචාර දානවා හිත සැහැල්ලු කරගන්න විතරක්.(නදී)
" අවසානයේ ඔහුට තනතුර හැර දමා යන්නට විය. එවැනි වැටලීමක් අද කළා නම් ඇතැම් විට වැටලීම කළ නිලධාරීන්ට පැය විසි හතරක් ඇතුළත ගෙදර යෑමට සිදු වනු ඇත. එකල එසේ වූයේ නැත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ එවකට සිටි අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු කෙළින් වැඩ කළහ". (නදී)