දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු එහෙත් විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් ගෙවීම පැහැර හරින ලද මුදල් ප්‍රමාණය රුපියල් කෝටි හැත්තෑහත්දහස් තුන්සියයක් බව පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී (කෝපා) හෙළි වී තිබිණි. මෙම හිඟ මුදලට අදාළ කාල සීමාව කුමක්දැයි පැහැදිලි නැතත් මේ තරම් විශාල මුදල් කන්දරාවක් හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් නොලැබී යාම රාජ්‍ය ආදායමට ඇතිකරන බලපෑම ඉතා විශාල බව කිවයුතු නැත.
කෝපා කමිටුව මෙහි දී පෙන්වා දී තිබුණේ මේ මුදලින් රුපියල් කෝටි විසිදහස් එකසියයක් කිසිදු නීතිමය ගැටලුවකින් තොරව අයකළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවය. එසේ නම් එම මුදල ලබා ගැනීම මෙතෙක් කාලයක් පමාවීමට හේතුව කුමක්දැයි වහාම සොයා බැලිය යුතු නොවේ ද?
මේ තරම් ආදායමක් පහසුවෙන් ලබා ගැනීමට තිබිය දී එය අතපසු කළ නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන මට්ටමින් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වනතුරුත් ගෙන නැත්නම් එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවෙමින් පවතින දූෂිත ක්‍රියාවක් බවට සැකයක් මතුවීම වැළැක්විය නොහැක.
ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක දූෂිත නිලධාරීන් සිටිය හැක. එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් මීට පෙරද හෙළි වී තිබේ. රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට දූෂිත දේශපාලනඥයන් පමණක් නොව දූෂිත නිලධාරීන් ද වගකිව යුතු බවට දේශීයව සහ ජාත්‍යන්තරව පවා චෝදනා එල්ල වීමට හේතුව මෙවැනි සැක සහිත පොලු තැබීම් බව පෙන්වා දිය යුතුය. මේ පොලු තැබීම්වල අක්මුල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අතරට පවා විහිදී තිබෙන බවට සැකයක් නැත.
ඇතැම් ආදායම් බදු ලිපිගොනු අතුරුදන් කිරීම්, යට ගැසීම් සහ නොසලකා හැරීම් දූෂිත නිලධාරීන්ගේ අත යට ගනුදෙනු සමඟ ගහට පොත්ත මෙන් ඇලී තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. රාජ්‍ය සේවා කොමිෂන් සභා සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා කොතරම් ක්‍රියාත්මක වුවද දේශීය ආදායම් නිලධාරීන් රුපියල් කෝටි හැත්තෑ දහස් ගණනක් හිඟ හිටවා තැබීමට හේතුව සොයා ගැනීමට මේ දක්වා හැකියාවක් නොලැබීම නම් මහත් අවාසනාවක් බව ද පෙන්වා දිය යුතුය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණු චෙක්පත් අතර රුපියල් කෝටි 200කට වැඩි අගරු චෙක්පත් 4831ක් තිබෙන බව ද සඳහන්ය. අගරු චෙක්පත් නිකුත් කළ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට මොනම දෙපාර්තමේන්තුවකටවත් කිසිදු අපහසුකමක් නැත. එවැනි අගරු චෙක්පත් ගැන සොයා නොබලන නිලධාරීන් කවුදැයි සොයා ගැනීම ද අපහසු කරුණක් නොවේ. මේ සියලු වගකිවයුතු නිලධාරීන් දූෂිත හෝ අකාර්යක්ෂම හෝ නිලධාරීන් යැයි අපි නොකියමු. එහෙත් ඒ තරම් පහසුවෙන් සොයාගත හැකි කරුණු පවා යට ගසා තිබීම එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් බලවත් සැකයක් ඇති කරන බව නම් සඳහන් කළ යුතුය.
හරියට විමර්ශනයක් කළහොත් ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් සහ ආයතන සමඟ බලවත් දේශපාලනඥයන් පවත්වන සම්බන්ධතා සොයා ගැනීමට අපහසු නොවනු ඇත. රටේ ඉතා සීමිත ආදායම් ලබන පුද්ගලයන් පවා ගෙල සිරවෙන තරමට බදු ගැසීමට සියලු නීති සකසා රජයේ බලධාරීන්ට මෙසේ කෝටි දහස් ගණනින් බදු පොලු තබන තෝරුන් මෝරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වීම යට ඉහත දක්වන සම්බන්ධතා ද හේතුවිය හැක.
හිඟ හිටවා ඇති කෝටි හැත්තෑදහසකට අධික මුදලින් කෝටි පනස් දහස් දෙසීයක් යම් යම් හේතු මත අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇතැයි කෝපා කමිටුව ප්‍රකාශ කර තිබිණි. ආණ්ඩුවේ බලධාරීන් රටේ පොදු මහජනතාව දැඩි පීඩාවට ලක් කරමින් ඔවුන් මත බදු පිට බදු ගැසීමට ක්‍රියා කරද්දී මෙසේ බිලියන සිය ගණනින් හිඟ හිටුවා ඇති බදු මුදල් අයකර ගැනීමට ක්‍රියා නොකිරීම මහා පුදුමයකි.
කෝටි හැත්තෑ දහසකට අධික මුදලක් යනු විදුලි බිල වැඩිවීම මුළුමනින්ම වළක්වා ගැනීමට හැකි තරම් විශාල මුදලකි. පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල සැලකිය යුතු පමණින් අඩු කළ හැකි මුදලකි. ජනතාවගේ ජීවන බර අඩු කිරීමට යොදාගත හැකි මුදලකි. ආණ්ඩුවේ බලධාරීන් නිරතුරුව ප්‍රකාශ කරන්නේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමකින් තොරව ආර්ථිකය ඉදිරියට ගත නොහැකි බවය.
එසේ කියන්නේ පහසුවෙන් අයකර ගැනීමට හැකියාව තිබෙන කෝටි හැත්තෑදහසක බදු ආදායමක් නොසලකා හරිමිනි. මෙය තවත් බලවත් දේශපාලනඥයන් සහ බලවත් ධනවතුන් අතර පවතින කුප්‍රකට සම්බන්ධතාවල ඍජු ප්‍රතිඵලයකි. දුප්පතුන්ට බදු ගෙවීමට බල කරද්දී කෝටි දහස් ගණනින් බදු ගෙවීම් පැහැර හරින තෝරු මෝරුන්ට ලිස්සා යාමට ඉඩ හැරීම ජාතික අපරාධයකි.
(***)
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෝටි හැත්තෑදාහක බදු යටගහන බහිරවයෝ