තමන් නිවන් දැකපු කෙනෙක් බව පිටිදුවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියෝ ඉකුත් සතියේ ඉරිදා ලංකාදීපයට කීහ. ඒ හිමියෝ එහිදී නිවන ඔප්පු කර පෙන්වීමට ධර්ම සංවාදයකටද ආරාධනා කළහ. එයට පිළිතුරු දෙන රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ එම සංවාදය භාරගන්නා බවද කීහ. මේ එම සාකච්ඡාවයි.
ප‍්‍රශ්නය: නිවන් ලැබීයැයි කියන පිටිදුවේ සිරිධම්ම හිමියන් පසුගියදා ඉරිදා ලංකාදීපය සමඟ සාකච්ඡා කරමින් විවෘත ධර්ම සංවාදයකට එන්නැයි ආරාධනා කළා. ඔබ වහන්සේ මෙම අභියෝගය භාරගත් බවත් ආරංචි වුණා. ඇත්තද?
පිළිතුර: පිටිදුවේ සිරිධම්ම නොහොත්, සමන්ත භද්‍ර කියන භික්ෂුවක් තමන් රහත්වෙලා කියලා ප‍්‍රකාශ කරලා තිබුණා. උන්වහන්සේගේ රහත් බව ප‍්‍රතික්ෂේප කරනවා නම් ඒ අයට අභියෝග කරන බවත් ප‍්‍රකාශ කරලා තිබුණා. රහතන් වහන්සේ නමක් මෙහෙම අභියෝග කරන්නෙ නෑ. අභියෝගය කියන දේ වෛරය, ක්‍රෝධය සමඟ ගොඩනැගිච්ච එකක්. ඔය කියන හාමුදුරුවො රහත්වෙලා නෑ. මම ධර්ම සංවාදයට එන්න සූදානම්. මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ඉතා ඉක්මනින් කටයුතු සූදානම් වෙනවා.
ප‍්‍රශ්නය: පසුගිය කාලය පුරාම බුදුවී යැයි, මාර්ග ඵල ලැබී යැයි බොහෝ දෙනා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. රටටම බණ කිවූ පිටිදුවේ හාමුදුරුවොත් නිවන් දැකලලූ. මේ කාරණය ඔය තරම් පහසු දෙයක්ද?
පිළිතුර: නෑ. එහෙම ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ තිබුණ ලෝභ, ද්වේශ, මෝහ ස්වරූපය නොවෙයි, අද තියෙන්නෙ. රහත් වෙන්න ලෝභ, ද්වේශ, මෝහ සම්පූර්ණයෙන් නැතිවිය යුතුයි. සෝවාන් වෙන්න නම් දස සංයෝජන වලින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡුා, සීලබ්බත පරාමාස කියන මේ තුන සහමුලින්ම නැති කරන්න ඕනෑ. සරලව කියනවා නම් බුද්ධ කාලයට වඩා අද ලෝභ, ද්වේශ, මෝහ වැඩිවීමේ අවස්ථාව වැඩියි. අද ආශාව වැඩි වෙන්න, ද්වේශය වැඩිවෙන්න, මෝහය වැඩි වෙන්න හේතු වැඩියි. අද නිවන් දකින්න බෑ කියලා මා කියන්නෙ නෑ. නමුත් මේ කියන්නා වූ අය අතර ඔය කියන නිවන නෑ.
ප‍්‍රශ්නය: නිවන් ලැබූ හෝ මාර්ග ඵලලාභියෙක් අද වැඩ ඉන්නට බැරිද?
පිළිතුර: බුදු දහම නෛර්යානිකයි. නිවනට පමුණුවනවා. ඒ නිසා අදත් නිවන් දකින්න පුළුවන්. බෑ කියල මා කියන්නෙ නෑ. කොහේ හරි එවැනි තත්ත්වයකට පත්විය හැකි අය ඉන්න ඕන. එහෙත් විරල කාරණයක්. ප‍්‍රකටව කතා කරන කිසිම කෙනකුගෙ ඔය ගුණය නෑ.
ප‍්‍රශ්නය: සැබෑ මාර්ග ඵල ලාභියෙක් තමන් මාර්ග ඵල ලැබී යැයි ප‍්‍රකාශ නොකරන බව අප අහලා තියෙනවා. මේ කතාව ඇත්තද? අද එහෙම ප‍්‍රකාශ කිරීමෙන් කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද?
පිළිතුර: යමෙක් රහත් යැයි ප‍්‍රකාශ කරනවා නම් ඔහු දැඩි මෝඩයෙක් බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තියෙනවා.
මෝඩ කෙනෙක් එවැනි දෙයක් ප‍්‍රකාශ කළ හැකියි. ඊළඟට තමන්ගෙ නැති ගුණ ප‍්‍රකාශ කරලා කීර්තිය ප‍්‍රශංසාව බලාපොරොත්තුවෙන් මෙවැන්නක් ප‍්‍රකාශ කළ හැකියි. තවත් දෙයක් උමතු ස්වභාවය. පිස්සු වැටුණු අයත් මා රහත් කියලා කියවනවා. අනෙක් කාරණය අධිමානය. තව එක හේතුවක් තියෙනවා. මම ඒ හේතුව දැන් කියන්නෙ නෑ. ඉහත කාරණා හතර බලලා ඔය කියන අයගෙ මානසික තත්ත්වය තීරණය කළ හැකියිනෙ.
ප‍්‍රශ්නය: බුදුහාමුදුරුවොත් තමන් වහන්සේ බුද්ධත්වය ලැබූ බව උපකට ප‍්‍රකාශ කළ බව කියැවෙනවා. මේ මතය පිටි¥වේ හාමුදුරුවොත් පසුගියදා ඉරිදා ලංකාදීපයට ප‍්‍රකාශ කළා...?
පිළිතුර: බුදුහාමුදුරුවො එහෙම ප‍්‍රකාශ කළ බව කියැවෙනවා. උන්වහන්සේ එහෙම කළේ ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ. තමන් වහන්සේ හඳුන්වල දුන්නා.
එක් අවස්ථාවක උන්වහන්සේගේ වෙනස දැකලා අහනවා ඔබ මනුෂ්‍යයෙක්ද, ඔබ දෙවියෙක්ද, ඔබ යක්ෂයෙක්ද? මේ ආදී වශයෙන්. උන්වහන්සේ ළඟ කාමාදී ආශ‍්‍රව තිබුණෙ නෑ. ප‍්‍රහීන කරලා. මේ අවස්ථාවේ තමන් ලැබූ තත්ත්වය ”බුද්ධ” කියලා ප‍්‍රකාශ කරනවා. එහෙම දේශනා කළේ අන්‍යයන් පහදවා ගන්න නෙවෙයි.
නමුත් පිටිදුවේ හාමුදුරුවො ධර්මය වැරදියට අල්ලාගෙන ඉන්නෙ. බුදුහාමුදුරුවො දේශනා කරනවා, සර්පයෙක් අල්ලද්දි ඒ සර්පයා වලිගයෙන් හෝ බඩින් අල්ලා ගත්තොත් හපා කනවා. ඒ නිසා උගේ කටින්ම අල්ලා ගත යුතුයි කියලා. ධර්මයත් මේ වගේ. යමෙක් ධර්මය වැරදියට අල්ලා ගත්තොත් එයින් තමන් විනාශ වෙනවා. ජම්බුක ආජීවකයා අවුරුදු 50ක් තමන් රහත් කියලා මිනිස්සු මුලා කෙරුවා. අසූචි කකා ඔය අවුරුදු 50ම හිටියෙ. ඕවගෙ රහත් වුණා කියල බොරුවට කීව අයගෙ කතා ඕනෑතරම් තියෙනවා. පිටිදුවේ හාමුදුරුවො විතරක් නෙමෙයි. අපි ගොඩක් ගැඹුරට යන්න ඕනෑ නෑ. සරල උදාහරණ ඕනෑ තරම් තියෙනවා. කිසිවෙක් ගුණය කියන එක ප‍්‍රකාශ කළ යුතු නෑ. සිල්වතෙක් කියලා ප‍්‍රකාශ කරන්නෙ තමන් වටා විශාල පිරිසක් ඒකරාශි කරගෙන ගෞරව, ලාභ සත්කාර ලබන්න. මේ අයගෙ අනුගාමිකයො වෙන අයත් සසරට මහා පාපයක් කර ගන්නෙ.
ප‍්‍රශ්නය: නිවන් දැකි කෙනෙක් හඳුනා ගන්න හැකිද? එවැනි කෙනෙකුගේ ලක්ෂණ මොනවද?
පිළිතුර: නිවන් ලැබූ උත්තමයෙක් එකවර හඳුනාගන්න බෑ. වර්ණයෙන්, ස්වභාවයෙන්, කතාබහින්, දුටු පමණින් කෙනෙක් හොඳයි නරකයි කියලා හඳුනා ගන්න බෑ. නරක පුද්ගලයෙක් හොඳ කෙනකුගෙ වෙස් දරාගන හැසිරෙන්න පුළුවන්. කතාබහිනුත් එහෙමයි. එහෙනම් කෙනෙක් හඳුනා ගත හැක්කේ දීර්ඝ කාලයක් ආශ‍්‍රය, නිග‍්‍රය කිරීමෙන්. බුද්ධියෙන් කළ යුතු දෙයක්. එහෙම නැතුව රහත්වරු ප‍්‍රකාශ කර කර යන්නෙ නෑ. භාවනාවෙන් යම් උසස් තලවලට පැමිණීමට උත්සාහ දරන හාමුදුරුවරු මේ රටේ ඉන්නවා. උන්වහන්සේලා තමන්ගෙ සීලය ගැනවත් ප‍්‍රකාශ කරන්නෙ නෑ.
රහතන් වහන්සේ නමක් හඳුනා ගන්න නම් ධර්මය අවබෝධ කරගත යුතුයි. පුංචි පුංචි දේට හිතේ උපදින මානය පවා කෙලෙස්. සුඛෝපභෝගී වාහන තියාගෙන, මහා මන්දිරවල ජීවත්වෙන. ආරක්ෂකයෝ තියාගෙන ඉන්න අයට මොන නිවන්ද මහත්තයො. රහත්කම හොරු අරන් යයි කියන බයට ද ආරක්ෂකයො තියාගන්නෙ. පිටි¥වේ හාමුදුරුවො ඔය වගේනෙ. මේවා බරපතල කෙලෙස්.
ප‍්‍රශ්නය: පිටිදුවේ හාමුදුරුවන් රහත්වීම ගැන ප‍්‍රකාශ කිරීම නිසා රටේ කුදු මහත් ජනතාව මහා විමතියකට පත්වෙලා. ඇත්තටම මේ වෙන්න යන්නෙ කුමක්ද?
පිළිතුර: අනාගතයේ ශාසනය, විනාශ වෙන්නෙ ධර්මය නිසා නෙවෙයි, ධර්මය වගේ දේවල් පහළවීම නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උදාහරණයක් විදියට රත‍්‍රන් විනාශ වෙන්නෙ රත‍්‍රන් වගේ දේවල් ලෝකයේ පහළවීම නිසා. දැන් ශාසනයට වෙලා තියෙන්නෙත් මේකයි. අනාගතයේ ධර්මධරයන්, විනයධරයන් ලෙස පෙනී සිටින පිරිසක් නිසා ශාසනය පිරිහෙන බව බුද්ධ දේශනාවේම සඳහන් වෙන්නක්. මේ කියන ශාසන කරුණ තමයි දැන්වෙලා තියෙන්නෙ.
ප‍්‍රශ්නය: පිටිදුවේ හිමියන් ප‍්‍රකාශකොට තිබුණා උන්වහන්සේට මානසික රෝගයක් නැති බව. අවශ්‍ය නම් මනෝවෛද්‍යවරු කැඳවා විත් පරීක්ෂා කරන්න කියලා. ඒ ප‍්‍රකාශය ගැන ඔබවහන්සේට මොකද හිතෙන්නෙ?
පිළිතුර: මේ ආකාරයේම සිද්ධියකට මා දැනුත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තමයි බුදුහාමුදුරුවන්ට මිහිඳු හාමුදුරුවන්ට සංඝමිත්තා තෙරණියට අසභ්‍ය වචනයෙන් බැණලා, ලියපු එක්තරා මහාචාර්යවරයෙක් යැයි කියාගන්නා කෙනෙක්. පසුගිය කාලෙ හිටියා මේ ලේඛන අප පොලිසියට ඉදිරිපත් කළා. පසුව ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කළා. මේවා මානසික රෝග. ගල්කිස්සෙ උසාවියෙ දැන් නඩුවකුත් තියෙනවා. මම ධර්ම දේශනාවලට අංගොඩ මානසික රෝහලට වැඩම කරනවා. එතන ඉන්න සමහර අය මහා දාර්ශනික දේවල් කතා කරන්නෙ. දවසක් එතනදි එක මුස්ලිම් ජාතික රෝගියෙක් ඇවිත් මා හමුවුණා.
”හාමුදුරුවනේ මාව අඳුනනවද” කියලා ඇහුවා.
මම කිව්වා ”ඔව් ඔව් මම අඳුනනවා” කියලා කිව්වා.
එතකොට ඔහු කියනවා ”මමත් ප‍්‍රසිද්ධ කෙනෙක්නෙ. මම තමයි මුළු ලෝකෙටම වීසා හදන්නෙ” කියලා.
කතාව හොයල බැලූවම මේ මානසික රෝගියා මක්කම වීසා නැතුව යන්න හදද්දි අසුවෙලා දැන් පිස්සු. ඒ වුණාට කියන්නෙ පුදුම දාර්ශනික කතා. මහා දාර්ශනික කතා කියන මිනිස්සු අංගොඩ ඉන්නවා. සාමාන්‍ය මිනිහෙක් මේ කෙනෙක් එක්ක කතා කළාම පිස්සු ස්වභාවය කෙසේ වෙතත් හිතන්නෙ පණ්ඩිතයෙක් කියලා මම හිතන්නෙ ඔය සමහරුන්ට තියෙන්නෙත් මානසික රෝග. ඒකට අනික් අය මානසික වෛද්‍යවරු එක්කන් ගිහින් හරියන්නෙ නෑනෙ. තමන් ගිහින් ලෙඬේ කියලා බේත් ගන්න එපායැ.
ප‍්‍රශ්නය: මාර්ග ඵල ලාභීන්, රහතුන් බිහිවුණ බව දවසින් දවස වාර්තා වෙද්දිත් අපේ මහා නායක හිමිවරු නිහඬ ඇයි...?
පිළිතුර: බුද්ධ ශාසනය හෝ බෞද්ධයා නීතිරීතිවලින් පාලනය කරන ක‍්‍රමයක් නෑ. විවෘත වූ තරමට තමයි ධර්මය බබළන්නෙ. නමුත් මහානායක හාමුදුරුවරු ඉන්නවනෙ. උන්වහන්සේලා මෙවැනි දේ සම්බන්ධව නිතර සාකච්ඡා කරනවා. නොයෙක් උත්සාහ ගන්නවා. ඒත් එම උත්සාහ මල්ඵල ගැන්විලා නෑ. අප හිතනවා, ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා ඒකරාශිවෙලා ධර්මය පිළිබඳව, බුද්ධ ශාසනයට හානි පමුණුවන මිථ්‍යා ගැන කතිකාවතකට යා යුතුයි කියලා. එවැනි රැකවරණයක් ඉතා ඉක්මනින් ආවොත් මේ බොහෝ ගැටලූ මග හැරේවි.
ප‍්‍රශ්නය: වර්තමානයේ ශාසනය විකෘත කරන බලවේග බොහොමයක් මතුවෙලා තියෙනවා. මේවාට විසඳුමක් හැටියට ඔබවහන්සේ නඩු කියන්න යන බවකුත් ආරංචි වුණා. මේ කතාව ඇත්තද?
පිළිතුර: බුදුහාමුදුරුවො ලංකාවෙ උපන්නා කියලා පසුගිය කාලෙ කිව්වා. රාවණා රජතුමා ලංකාවේ ඉපදුනා, ඔහු මේ රටේ පැරණිම රජු කියලා කිව්වා. ඔය පිටිදුවේ හාමුදුරුවො විතරක් නෙවෙයි තව සිවු පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ නමකුත් මේ දවස්වල ඉන්නවා. ඔය මහරහතන් වහන්සේත් පසුගිය කාලෙ අපට බැණලා තිබුණා. සිරිවර්ධන කියලා බුදු කෙනෙක් හිටියා. සෝවාන් වුණා කියන අය විශාල පිරිසක් හිටියා. 2004 වසරේ පත්තරේක ඔය පිටිදුවේ හාමුදුරුවො ”ප‍්‍රත්‍යක්ෂයට මග කියන බෞද්ධ චින්තනය” කියලා ලිපියක් ලියලා තිබුණා. ඒ ලිපියෙ හැටියට බුදුහාමුදුරුවන්ටත් වඩා ඥානය ඉක්ම වූ කෙනෙක් හැටියටයි. මේ භික්ෂුව ලියලා තිබුණෙ. සදොස් කරුණු බොහෝයි. ඒවා නිදොස් කරලා ඉදිරිපත් කළාම ඒක පත්තරේ පළවුණේ නෑ. මේ තියෙන්නෙ ඒ පිටපත. (පෙන්වයි) 2004 කාලයේම පිටිදුවේ හාමුදුරුවො මේ පන්සලට වැඩියා ධර්ම දේශනාවකට. රුපියල් දාහයි ඒ වෙලාවේ දායකයො පූජා කළේ. ඒක මදි කියලා උන්වහන්සේ මෙතන කෑගහපු ආකාරය උන්වහන්සේටත් මතක ඇති. අද නිවන් දැක්කා කියන්නෙ මේ හාමුදුරුවොයි. භික්ෂූන්වහන්සේලා දේශපාලනයට ඒම අනුමත කරන්නත් බෑ.
ඊළඟට ධර්ම පොතපත, ලිපි ලේඛනවල බොහෝ වැරදි තියෙනවා. එන්න ඒ පොත් පෙන්නන්න. (පොත් දහස් ගණනක් පෙන්වයි) ඉතින් මේ වැරදි පොත් මිනිස්සු අතට යනවා. මේවාට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. පිටිදුවේ හාමුදුරුවො ලියපු පොත්වල වැරදි බලන්නකො. ඕනතරම්. විශේෂයෙන් බෞද්ධ පොත්, ලේඛන මුද්‍රණය කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ සොයා බලන කමිටුවක් අත්‍යවශ්‍යයි. ”බුදුහාමුදුරුවන්ට පිස්සු” කියලා ලියපු ලිපිත් පසුගිය කාලෙ පළවුණා. මේ සමහර දේවල්හි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ තියෙනවා. ඒ නිසා ධර්මය විකෘති කිරීම සම්බන්ධ පොදුවේ අපි නඩුවකට යාමට සූදානමින් ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිදූව හාමුදුරුවන්ව අපේ පවුල ඉතා ලඟින් ඇසුරු කලා. එතුමා රහත් බව කීම ඇත්තක්.(නදී)
අවසරයි අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරිම නිරවුල්, සංෂිප්තයි. ඔබවහන්සේට ජය ප්රාසර්ථනා කරමි. (ස)
අවසර අපේ හාමුදුරුවනේ, මෙපමණ කාලයක් බුදුදහම පැවතගෙන ආවේ මහා සංඟ රත්නය නිසයි. අපේ ගොඩක් මිනිසුන් අද රහත් කියන කතා සමග අසරණ වෙලා. ඒ අයව විශ්වාස කල හැකි ආකාරයට කටයුතු කළ යුතුයි කියා මම හිතනවා. එයාලා පන්සල් වලින් ඈත් වෙලා. වැඩිහිටියන්ට වදින්නේ නෑ. එයාලත් සෝවාන් සකුර්දා ගාමින් කියලා. මේ ගැන වග කිව යුතු ස්වාමින්වහන්සේලා එකතු වී අපේ බුදු දහම සුරැකීමට කටයුතු කල යුතු කාලයයි කියා මා සිතනවා. (නදී)
සංයුක්ත නිකායේ පින්ඩෝල සූත්‍රයේ ඉතා පැහැදිලි වශයෙන් සඳහන් වන පරිදි පින්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේත් තමන් වහන්සේ සති, සමාධි, ප්‍රඥා වැඩූ හෙයින් අරහත් බවට පත්වූ බව ප්‍රකාශ කළහ. නමුත් එය භික්ෂූන් වැරදි යැයි ප්‍රකාශ කරන විට ගෞතම බුදුන් වහන්සේ එය නිවැරදි යැයි අනුමත කළ සේක. (නදී)
පැහැදිලිව හා කාලෝචිතව පිළිතුරු දී තිබෙනවා. (නදී)
ගරුතර ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේලා කලයුත්තේ බුදුන්ගේ නියම දේශනාව සොයා ධර්ම සංඝායනාවක් කිරීමයි. පුවත් පත් වලින් වාද විවාද කිරීමෙන් පලක් නැත.(නදී)
ඉතාම කාලෝචිත ලිපියක්. මමත් බෞද්ධ පොත් පත් සම්බන්ධ කමිටුවක අවශ්‍යතාව හොඳින්ම දකිනවා. (ත)
මම අහල තියෙනවා රහත් වුන අයට නොපෙනී සිටීමේ හැකියාව, අහසින් ගමන් කිරීමේ හැකියාව වැනි විශාල හැකියාවන් තියෙනවා කියලා. ඔය කියන පිටිදුවේ හාමුදුරුවන්ටත් එවැනි හැකියා තියෙනවද?(නදී)
හාමුදුරුවනේ අනුන් ගැන සෙවීමද තමන් ගැන සෙවීමද වඩා උතුම්.(නදී)
හාගොඩ විපස්සි හිමි ගේ අදහස් පිළිගන්නෙමි. වාද කරමින් ජනතාව දැනුවත් කලත් නොදන්නා අයට ගැටලුවක් ඇති වන බව නොකියා බැරිය. ධර්මය නොව පිරිහෙන්නේ මිනිසුන්මය.(නදී)
මේවගේ අනවශ්‍ය විවාද නිසා අපිටත් පව් සිද්ධ වෙනවා.(නදී)
ධර්මය කතා කිරීම සාකච්ඡා කිරීම බුදුන් වහන්සේ අනුමත කළා. පවක් වෙන්නේ කොහොමද? ධර්මය අනතුරට පත්වුණා හැම කාලෙකම සංඝයා දිවිපුදලා රැකගත්තා. අපි හැමෝම අද ප්‍රයෝජන ගන්නේ එහෙම ධර්මය එදා රැකගත්ත නිසයි. අපේ වගකීම පුළුවන් තරම් කාලයක් ධර්මය රැකගන්න මහන්සි වීම , ඒක පිනක්. සංඝායනා ඕනේ නැහැ, පැහැදිලිව ධර්මය ලියලාම තියෙනවා තාම. ඕන කරන්නේ මිනිසුන්ට බුදු වදන් කියා දීමයි. එතකොට මිනිස්සු රැවටෙන්නේ නැහැ.(දිල්)
මා ද හෑගොඩ විපස්සි හිමි ගේ අදහස් පිළිගන්නෙමි. වෛරය, ක්‍රෝධය කියන දේවල් වලින් තොර ධර්ම සංවාදයට වඩින්න. අපේ හාමුදුරුවරු දේශපාලනය කරන එක ගැන ඔබ වහන්සේගේ මතයට ගරු කරමි. ශාසනයේ විනාශයට එයත් හේතුවක් බවයි පේන්නේ.(නදී)