IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එන්නත් පොකුරුවලට ඉඩක් තියන්න එපා


කොරෝනා වයිරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අපේ රට තුළ ද සක්‍රීය මට්ටමින් ක්‍රියාවට නැංවෙමින් තිබේ. ඉදිරි මාස කිහිපය තුළ දී රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නතේ ආරක්ෂාව ලබාදීමට රජයේ ඉලක්කය බව ද ප්‍රකාශ වේ. මුළු රටේම ජනතාවට එන්නත් කිරීම අවසන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව විය යුතු බව ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ අරමුණ බව ද සඳහන් වේ. ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ජය ගත යුතු බව අපගේ ද ප්‍රාර්ථනයයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් ලබාදීම ආරම්භයට මේ තරම් ඉක්මනට මග පෑදුණේ තම රටේ ‘සීරම්’ නිෂ්පාදනාගාරයෙන් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 05ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාව ගත් තීන්දුව හේතුවෙනි. එම එන්නත් තොගය කටුනායක දී භාරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි දී එම පරිත්‍යාගය සිදු කළ ඉන්දීය ජනතාවට තම කෘතවේදීත්වය පළ කළේය. එසේම ශ්‍රී ලංකාව මේ වනවිට තවත් එන්නත් මිලියන 10ක ඇණවුමක් ඉන්දීය සීරම් සමාගමට භාර දී තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 52.5ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එය ලැබෙන දිනයක් තවම සඳහන් නොවුණ ද ශ්‍රී ලංකාව එන්නත් ලබා ගැනීමේ පෝලිමේ ඉදිරි ස්ථානයක සිටින බව පැහැදිලිය. මෙයට අමතරව තවත් එන්නත් ලක්‍ෂ 5 ක් හෙට (25) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒවා ඇණවුම්කර ඇත්තේ ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවෙනි.

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරෙන කොවැක්ස් ජාත්‍යන්තර වැඩ පිළිවෙළ  යටතේ රටේ ජනගහනයෙන් සියයට 20 කට අවශ්‍ය එන්නත් ද නොමිලේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. චීනය ද එන්නත් ලක්ෂ 03ක් පරිත්‍යාග කරන බව ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට ලැබෙන එන්නත් යොදා ගනිමිනි. එම වැඩ පිළිවෙළ සාර්ථකව මෙහෙයවීම බලධාරීන්ගේ වගකීමය.

එහෙත් ලංකාවේ මොනම වැඩපිළිවෙළක වුවද ආවේණික ලක්ෂණයක් වන වැඩ අනා ගැනීම මෙම වැඩ පිළිවෙළ තුළට ද කාන්දුවෙමින් තිබේ. ආරම්භයේදීම අදාළ දුර්වලකම් මග හරවා නොගතහොත් එන්නත් වැඩපිළිවෙළ ද එකම අච්චාරුවක් වීමට ද බැරි නැත. එම තත්ත්වයට මග පෑදී ඇත්තේ එන්නත ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුව පටලවා ගැනීම බවද හැම අතින්ම ලැබෙන වාර්තා පෙන්වා දෙයි.

එන්නත ලබා දීමේ ප්‍රමුඛතා ලැයිස්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කෙරුණු වැඩ පිළිවෙළකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය ඇතිව ලොවේ සියලු‍ ප්‍රධාන රටවල්වල එය ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව ද එම ක්‍රමයම අනුගමනය කරන බව මුල සිටම ප්‍රකාශ විය. එහෙත් දැන් පෙනෙන්නට තිබෙන්නේ එම ප්‍රමුඛතා ලැයිස්තුව පීලි පැන ඇති බවය. වඩාත්ම අවදානම් ක්ෂේත්‍ර වශයෙන් පිළිගන්නා සෞඛ්‍ය, ආරක්ෂක, අත්‍යවශ්‍ය සේවා හා වයස 60ට වැඩි පිරිස් වෙනුවට හදිසියේම පෝලිම පැන ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විවිධ තලවල සිටින දේශපාලකයන් පමණක් නොව ඔවුන්ගේ අනුග්‍රාහකත්වය හිමිවන අත්‍යවශ්‍ය නොවන පිරිස් පෝලිම කඩාගෙන ඉදිරියට පැමිණ තිබෙන බව පෙනී යයි. මේ හේතුවෙන් වැඩිහිටියන්, ගුරුවරුන් ඇතුළු රජයේ සේවයේ වඩාත් අවදානම් පිරිස් පෝලිම පසුපසට තල්ලු‍ වෙමින් සිටිති. මෙය එන්නත්කරණය සාර්ථකව සිදු කිරීමේ ආණ්ඩුවේ ඉලක්ක සපුරා ගැනීමට නිසැක බාධාවකි.

එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට මහජනතාවට දැනුම් දෙමින් හඳුන්වා දුන් වෙබ් අඩවියද මේ වන විට අක්‍රීය වී ඇතැයි එහි ලියාපදිංචි වූ ජනතාව කියන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. මෙවැනි සිදුවීම් ද රජයේ වැඩපිළිවෙළේ කාර්යක්ෂම බව ප්‍රශ්න කරන බවද පෙන්වා දිය යුතුය.

එන්නත්කරණය භාරව සිටින සෞඛ්‍ය හා තාක්ෂණික බලධාරීන් ප්‍රකාශ කරන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවට තදින්ම අනුගතව එම ක්‍රියාවලිය සිදුවිය යුතු බවය. එන්නත මගින් සියයට සියයක්ම රෝග ව්‍යාප්තිය නොනවතින නමුත් කොරෝනා හේතුවෙන් සිදුවන මරණ වළක්වන බව විශේෂඥයන්ගේ මතයයි. වඩාත්ම අවශ්‍ය කාරණය ද කොරෝනා මරණ සිදුවීම වළක්වා ගැනීමය. එසේ නම් ප්‍රමුඛත්වය ලබා දිය යුතු වන්නේ වැඩිහිටියන් ඇතුළු වඩාත් අවදානම් පිරිස් වෙත බව පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා ද ප්‍රකාශ කර තිබුණේ ලෝකයේ එන්නත්කරණ වැඩපිළිවෙළ විශාල වශයෙන් “අසමාන සහ අසාධාරණ” ලෙස සිදුවෙන බවය. එය ශ්‍රී ලංකාව තුළ සිදු නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසියේම පෝලිම කඩාගෙන ඉදිරියට පැමිණ සිටින නමුත් ආණ්ඩුවේ සහ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ එන්නත ලබාදිය යුතු අත්‍යවශ්‍යම පිරිස වෙත එය ලැබෙන තුරු තමන් එන්නත ලබා නොගන්නා බවය. මේ මැති ඇමතිවරුන් රටේ පොදු මහජනතාව පිළිබඳ මේ තරම් කැක්කුමකින් කටයුතු කරන බව දැන ගැනීමත් සතුටකි. එහෙත් මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විඳීමේදීත්, ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් ලබා ගැනීම පමණක් නොව තමන්ගේ දූ දරුවන් පාසල්වලට ඇතුළු කිරීමේ දී පවා පොදු ජනතාවගේ අවශ්‍යතා තුට්ටුවකට නොසලකන මැති ඇමතිවරුන්ට එන්නත ලබා ගැනීමේ දී පමණක් මේ ලෙස අමුතු සත්ව කරුණාවක් පහළ වීම අපට නම් පෙනෙන්නේ දේශපාලන ගැලැවිජ්ජාවක් පමණක් බවය. රටේ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ මේ තරම් සැලකිලිමත් වෙන මන්ත්‍රීවරුන් ඉන්නවා නම් අපේ රට මොන තරම් වාසනාවන්ත ද?

(***)



අදහස් (0)

එන්නත් පොකුරුවලට ඉඩක් තියන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site