IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


එදා ජවිපෙට මෙදා ජාජබට අභියෝග

ජාතික ජන බලවේගය පසුගිය සඳුදා කොළඹ නගර සභාවේ බලය අල්ලා ගත් ආකාරය තවමත් රහසකි. මන්දයත් ඒ සඳහා එම පක්ෂයට සහාය දුන් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් කවුදැයි තවමත් හෙළිදරව් වී නැති හෙයිනි.

කොළඹ මහ නගර සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව 117කි. ඉකුත් මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල දී ජාතික ජන බලවේගය දිනා ගත්තේ එම සභාවේ ආසන 48ක් පමණි. සභාවේ බලය පිහිටුවන්නට නම් එම පක්ෂයට වෙනත් පක්ෂ හා කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් 11 දෙනකුගේ සහාය ද අවශ්‍ය විය.

බස්නාහිර පළාත්  පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය විසින් ඉකුත් සඳුදා කොළඹ මහ නගර සභා ශාලාවේ දී පවත්වන ලද නගරාධිපති  තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අවශ්‍ය ඡන්ද 59 නොව ඡන්ද 61ක්ම ලබා ගත්තාය. ඇයට එරෙහිව තරග කළ සමගි ජන බලවේගයේ අපේක්ෂක රීසා සරූක් මහතාට ලැබුණේ ඡන්ද 54ක් පමණි. ඡන්ද දෙකක් අවලංගු වී තිබිණි.

ඒ අනුව බල්තසාර් මහත්මිය රටේ ප්‍රධානතම හා විශාලතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තෝරා ගනු ලැබුවාය. උප නගරාධිපති වශයෙන් ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර මහතා තේරී පත්විය. ව්‍රායි 1954 -55 කාලයේ කොළඹ නගරාධිපති වූ ආචාර්ය එන්.එම්. පෙරේරා ගෙන් පසු බලයට පත් වූ පළමු වාමාංශික නගරාධිපතිවරියයි.

ජාතික ජනබලවේගය රටේ අනෙක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කෙරෙහි දැක්වූ ආකල්පය අනුව පසුගිය සඳුදා වන තෙක්ම මතුපිටින් පැවැතියේ සමගි ජන බලවේගය ප්‍රමුඛ ජාජබ විරෝධී පිලට වාසිදායක තත්වයකි. මන්දයත් ජා.ජ.බ නායකයන් අනෙක් පක්ෂ හා කණ්ඩායම් සැලකුවේ දූෂිතයන් පිරිසක් වශයෙනි. ඒ අනුව නම් ඔවුන් තමන්ට බහුතර බලය නොලැබුණු කිසිදු පළාත් පාලන ආයතනයක බලයට පත්විය නොහැකිය.

මැයි 6 වැනිදා මැතිවරණ ප්‍රතිඵළ නිකුත් වූ විට පෙනේනට තිබුණේ මැතිවරණ පැවැති පළාත් පාලන ආයතන 339න් 119ක පමණක් ජාජබ බහුතර බලය ලබා තනිව පාලය පිහිටුවීමේ හැකියාව ලබා ඇති බවයි. සමගි ජනබලවේගය බහුතර බලය ලබා තිබුණේ සභා 14ක පමණි. සභා 266ක ජාජබ වැඩිම ආසන ගණනක් ලබාගත් පක්ෂය බවට පත්වී තිබිණි.

මැතිවරණයෙන් පත් වූ නව සභාවල නිල කාලය ආරම්භ වූ ජුනි 2 වැනිදා සභා 161ක සභාපතිවරුන් පත් කරනු ලැබ පාලනය පිහිටුවන ලැබූ අතර, ඒ අතර ජාජබ පාලනය පිහිට වූ සභා 151ක් විය. ඒ 151තුළ ජාජබ බහුතර බලය  ලැබූ සභා 119ද විය. එදින දකුණේ වෙනත් කිසිදු පක්ෂයකට කිසිදු සභාවක පාලනය පිහිටුවිය නොහැකි විය. ඒ අනුව කිසිදු පක්ෂයක් බහුතර බලය නොලැබූ තවත් සභා 178ක පාලනය පිහිටුවීම ජුනි 16 දායින් පසු කරන්නට නියමිත විය. ජාජබ ඒ වන විටත් සභා 32ක පාලනය පිහිටුවීමට වෙනත් පක්ෂ හා කණ්ඩායම්වල සහාය ලබාගෙන තිබී ඇත. 

පසුගිය සඳුදා කොළඹ මහනගර සභාවේ පමණක් නොව වෙනත් සභා කිහිපයක ද වෙනත් පක්ෂ හා කණ්ඩායම්වල සහාය ලබාගෙන ජාජබ පාලනය පිහිටුවා ගෙන ඇත. දඹුල්ල ප්‍රාදේශීය සභාවේදී තම මන්ත්‍රීවරුන් හය දෙනකු පක්ෂ තීරණයට පටහැනිව කටයුතු කොට ඇතැයි කියමින් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම හය දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ඒ අනුව ජා ජ බ වෙනත් පක්ෂ හා කණ්ඩායම්වල සහයෝගයද ඇතිව රටේ ඇති පළාත් පාලන ආයතන 341න් 200ක් පමණ බලය පිහිටුවනු ඇතැයි සිතිය හැකිය.

මෙහිදී බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නයක් නම් තමන් හැර අනෙක් සියලු පක්ෂ හා කණ්ඩායම් දුෂිත යැයි කී ජාජබ දැන් බොහෝ සභාවල බලය පිහිටුවීමට එම පක්ෂ හා කණ්ඩායම්වල සහාය ලබා ගැනීම සදාචාරාත්මකද යන්නයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ සැණින් ජාජබ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ වැඩිම ආසන ගණනක් ගත් සභාවල ස්වාධීන කණ්ඩායම්වල සහායෙන් පාලනය පිහිටුවන බවයි. ඔහු එහිදී වෙනත් දේශපාලන පක්ෂවල සහාය ලබාගන්නා බව නොකියන්නට ඇත්තේ එම පක්ෂ සියල්ල දූෂිතයැයි ජවිපෙ හා ජාජබ නිතරම පවසා තිබූ නිසා විය යුතුය. එහෙත් දැන් ජාජබ පළාත් පාලන සභාවල පාලන පිහිටුවනවාට වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ද ලබාගෙන තිබේ.

ජාජබ වෙනත්  පක්ෂ දූෂිත යැයි පැවසුවා පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ දේශපාලන පිල් මාරුව ද හෙළා දුටුවේය. පිල් මාරුව තහනම් කිරීමට තම පාලන කාලය තුළ දී නීති සම්පාදනය කරන බවද එම පක්ෂය කියා සිටියේය. එහෙත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් පිල් මාරු නොකළේ නම් ජාජබ ඇතැම් සභාවල බලය පිහිටුවන්නට හැකියාවක් නොලැබෙන්නට ඉඩ තිබිණි.

 කෙසේ වෙතත් වෙනත් දේශපාලන පක්ෂ දූෂිතයැයි ජවිපෙ හා ජාජබ කරන චෝදනාව අසත්‍යයක් නොවේ. ඒ සෑම පක්ෂයකම සෑම කෙනකුම පාහේ දේශපාලනයේ යෙදෙන්නේ ගම හෝ රට දියණු කරන්නට නොව තමන්ගේ පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකාය. එහෙත් ඔවුනට එම ලාබ ප්‍රයෝජන ලබන්නට ඇතැම් විට ගමට, රටට මහජන මුදලින් යමක් කරන්නට සිදුවේ. එය හරියට කොන්ත්‍රාත්කරුවකු කොන්ත්‍රාත් වැඩක් කරන්නාක් මෙනි. ඇතැම් විට ගමට හෝ රටට කිසිදු ප්‍රයෝජනවත් දෙයක් නොකොට ද දේශපාලනඥයෝ කෝටි ගණනින් මුදල් උපයති. මහ බැංකු බැඳුම්කර වංචාව එවැන්නකි. ව්‍යාජ ඖෂධ ජාවාරම තවත් උදාහරණයකි.

මෙම චෝදනාව ප්‍රාදේශීය දේශපාලනඥයා දක්වා සෑම කෙනකුටම එරෙහිව කළ හැකිය. බොහෝ ප්‍රාදේශීය සභා මගින් කෙරෙන බොහෝ සංවර්ධන කටයුතුවල අරමුණම හිතවතුනට කොන්ත්‍රාත් ලබාදී තමන්ද මුදල් ඉපැයීමයි. ඒවායින් ජනතාවට ද යම් යම් ප්‍රයෝජන ද ලැබේ. ඒ අතර ඉහළ සිට පහළටම ඇතැම් තැන්වල නීත්‍යානුකූල වරප්‍රසාද පමණක්  ලබාගෙන සොරකම් නොකර සිටින්නන්ද නැතුවා නොවේ. එහෙත් ඒ ඉතා සුළු පිරිසකි. ඔවුන් ගෙන්ද පිරිසක් තීරු බදු රහිත වාහන බලපත්‍ර වැනි නීත්‍යානුකූල වරප්‍රසාදවල ඇති අසාධාරණය හා සදාචාර විරෝධී බව දකින්නේ නැත.

 ප්‍රශ්නය නම් මෙම වරප්‍රසාද හා සොරකම්, වංචා ආදිය වෙනුවෙන් සෘජු හා වක්‍ර බදු ගෙවන සමාන්‍ය ජනතාව ද බොහෝ විට පෙනී සිටීමයි. එනම් තම නායකයන් කරන මෙම වංචා, දූෂණ හා අසාධාරණකම් දැන දැනම ඔවුහු එම චෝදනා ප්‍රතික්ෂේප කරති. නැත්නම් එම වංචා සාධාරණීකරණය කරති. ඒ අනුව හිටපු ජනාධිපතිවරයකු රුපියල් කෝටි 350ක් වටිනා මසකට රුපියල් ලක්ෂ 46කට කුලියට දිය හැකි රජයේ නිවසක් අත්පත් කරගෙන සිටීමට සාධාරණ යැයි ඇතැම්හු සිතති.

කෙසේ වෙතත්,මෙම ජනතාව ද සොරුන් යැයි ජවිපෙ හෝ ජාජබ කිසිදා කියා නැත. එසේ කීවේ නම් පසුගිය මහ මැතිවරණයේ දී ලක්ෂ 69කට ආසන්න පිරිසක් තමන්ට දුන් ඡන්දය ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතු වනු ඇත. 2019 දී ලක්ෂ හතක පමණ ඡන්ද සංඛ්‍යාවක් ලැබූ එම පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ දී එතරම් විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ කලින් වෙනත් පක්ෂවලට, විශේෂයෙන්ම දූෂණය පිළිබඳ වැඩියෙන්ම චෝදනාවට ලක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන් පිරිසක් මෙවර ඔවුන්ට ඡන්දය දුන් නිසාය.

දැන් ජාජබ එම වෙනත් පක්ෂවල ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ද පිළිගැනීමට සුදානම්ව සිටී. ඒ අනුව ජා.ජ.බ මතය අනුව වෙනත් පක්ෂවලට ඡන්දය දුන් ජනතාව හා එම පක්ෂවල ඉහළ නායකත්වය වෙන්කොට දක්වන බෙදුම් රේඛාව ඇත්තේ කුමන මට්ටමේ ද යන ප්‍රශ්නය මතුවේ.

මෙය සමගි ජනබලවේගය වැනි පක්ෂවලට ද අදාළ ප්‍රශ්නයක් සේ කිසිවකු දකින බවක් නොපෙනේ. සජබ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දූෂිත ‘‘පොහොට්ටුව’’ සමඟ කිසිදු හවුලකට සූදානම්  නැතැයි ඉකුත් ජනාධිපතිවරණ හා මහමැතිවරණය පැවැති කාලයේ පුන පුනා කීවේය. එහෙත් එම පක්ෂ සමග සජබ දැන් පළාත් පාලන මට්ටමින් එක්ව කටයුතු කරමින් සිටී.

එසේ කටයුතු කරමින් සජබ ඇතුළු අනෙක් පක්ෂවල නායකයෝ ජාජබ ‘‘ඩීල් දේශපාලනයේ’’ නිරත වන බව පවසති. ජාජබ පළාත් පාලන සභාවල දී සජබ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ලබා ගනිමින් අනෙක් පක්ෂවලට ගංවතුරට හසු වූ ‘‘නයි මුගටි එක කොටේ උඩ’’ යැයි ඔච්චම් කරයි.

කෙසේ වෙතත් මෙතෙක් රට පාලනය කළ පක්ෂ හා ඒවායින් කැඩී සෑදුණු පක්ෂ දූෂිත යැයි ජාජබ කරන චෝදනාව අසත්‍යයක් නොවේ. එම පක්ෂ සමග එක්ව කටයුතු නොකරන බව ඔවුන් කළ ප්‍රකාශය ද නරක දෙයක් නොවේ. එහෙත් න්‍යාය හා භාවිතාව යම් තරමකට හෝ වෙනස් බව හා න්‍යාය එහි වචනාර්ථයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව වැටහෙන්නේ  රටේ පවතින වටපිටා තුළ එම න්‍යාය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන විටය.

දේශපාලනය ක්‍රීඩා තරගයක් මෙන් පොතේ ඇති නීතිරීතිවලට අනුකූලව කළ හැකි දෙයක් නොවේ. එය විටෙක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. විටෙක ජීවිතය පිළිබඳව ප්‍රශ්නයකි. ඒ සියල්ලටම වඩා එය බලය පිළිබඳ ප්‍රශ්නයකි. බලයෙන් තොරව අවංක දේශපාලනඥයට මෙන්ම දූෂිත දේශපාලඥයාට ද දේශපාලනයෙන් ප්‍රයෝජනයක් නැත. බලය ලබා ගැනීම සඳහාත් බලය රැක ගැනීම සඳහාත් ප්‍රතිවාදි කණ්ඩයාම් සමග යම් යම් දේශපාලන ගනුදෙනු හා එක්සත් ක්‍රියාමාර්ග ගන්නට ද සිදුවේ.  එවිට සදාචාරමය ප්‍රශ්නවලට මුහුණ දීමට ද සිදුවේ.

ජාජබ, විශේෂයෙන්ම ජවිපෙ දැන් මෙම පළාත් පාලන ආයතනවල මුහුණ දී සිටින්නේ එම ප්‍රශ්නයටය. තමන් කී දේ කරන බව පෙන්වීමට දූෂිත යැයි තමන් සිතන කණ්ඩායමකට මෙම ආයතනවල බලය අල්ලාගෙන යළි ශක්තිමත් වීමට ඉඩ දෙනවා ද නැත්නම් කී දේම නොකර වසර 60ක් පුරා තමන් අපේක්ෂා කළ බලය අත ළඟටම පැමිණ තිබිය දී එය අත්පත් කර ගන්නවාද යන ප්‍රශ්නයට ඔවුහු මුහුණ දී සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ද ජවිපෙට හා ජාජබට සිදු වූයේ මෙයයි. බලය ඈතින් තිබියදී ඔවුන් එම අරමුදල සම්බන්ධයෙන් කළ ප්‍රකාශ න්‍යායිකව නිවැරැදිය. එහෙත් ප්‍රායෝගික තත්වය වෙනස්ය. රටේ විදේශ සංචිත ඩොලර් මිලියන 50 දක්වා කඩා වැටී ණයක් දෙන්නට කිසිදු රටක් ඉදිරිපත් නොවන තත්වය යටතේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  මුල්‍ය අරමුදල සමග වැඩ සටහනක් ආරම්භ කොට තිබිණි. මේ අතර නොසිතූ පරිදි බලය ද තමන් වෙතට වේගයේ ඇදී එද්දී ජාජබට මූල්‍ය අරමුදලේ එම වැඩ සටහන දෙස ප්‍රායෝගික ඇසින් බලන්නට සිදුවිය. එය අත්හැර දැමිය නොහැකිය.

පසුගිය වසරේ බලයට පත් වූ සැණින්  ජාජබ මූල්‍ය අරමුදලේ වැඩසටහන අත් හැරියේ නම් ණය ප්‍රතිවූහගතකරණ වැඩපිළිවෙළ කඩා වැටී ආර්ථිකයට විශේෂයෙන්ම විදේශ විනිමය ක්ෂේත්‍රයේ ඇති විය හැකිව තිබූ කම්පනය සිතා ගත නොහැකිය. මෙහිදී ද ජවිපෙ හා ජාතික ජනබලවේගය මුහුණ දුන්නේ න්‍යාය හා භාවිතාව අතර යම් යම් නිශ්චිත තත්වයක් යටතේ ඇතිවන ගැටුමකටය.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

එදා ජවිපෙට මෙදා ජාජබට අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 286 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 247 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site