IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


උපන්බිමේ අයිතිය අහිමිවූ කෝරළේපත්තු වැසියෝ

උපන් බිමේ අනාථවීම තරම් ඛේදවාචකයක් මිහිතලය මත තවත් තිබිය නොහැකිය. ඕනෑම පුරවැසියකුගේ පරම පැතුම වන්නේ උපන් බිමේ කොටස්කාරයකුවීමය. ඒ වරම අහිමිව උපන් බිමේ අවතැන්ව සිටින දුක්ඛිත ජනතාවක් සම්බන්ධ මිනිස් වේදනා අවුළුවනසුළු කතාවක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මඩකළපුව කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කරමුනෙයි ප්‍රදේශයේ මෙම ජනතාව ජීවත් වෙති. එම ජනතාව පවසන්නේ 1982 වසරේ සිට බලපත්‍ර හිමි තම ඉඩම් කට්ටි 178ක් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් අල්ලාගෙන පදිංචිව සිටින බවය.

මෙම ජනයාගේ දුක්ඛිත ඉරණම ඇරැඹෙන්නේ උතුරේ හා නැගෙනහිර දිග්ගැස්සුණ යුද්ධයත් සමගය. යුද්ධය තීව්‍ර වත්ම එම ජනයා දිවි ගලවා ගනු පිණිස එම ප්‍රදේශයෙන් පලා ආහ. අවතැන් කඳවුරු ද තමන්ට සම්බන්ධතා ඇති පිරිස් වෙසෙන පළාත්වල ඔවුහු ජීවත්වීම ආරම්භ කළහ. ඒ කෙදිනක හෝ යුද්ධය නිමාවූ විට යළිත් එහි පැමිණ ජීවිතය අලුතෙන් ආරම්භ කිරීමේ අරමුණ සහිතවය.

2009 වසරේ මැයි 18 වැනිදා නන්දිකඩාල්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි වගුරු බිමකදී යුද්ධය අවසන් විය. ඒ ශූභාරංචියෙන් පණ පෙවුණු සාමයට ලැදි ජනයා මහ මග කිරිබත් උයා කමින්, බොමින් ඒ ප්‍රීතිය සැමරූහ. කරමුනෙයි ප්‍රදේශයේ සිට ජීවිතය සොයා අවතැන් කඳවුරුවලත් රටේ අනෙකුත් ප්‍රදේශවලත් ජීවත් වූ ජනයාද යුද ජයග්‍රහණයෙන් ප්‍රමුදිතව එසේ මහ මග ප්‍රීතිවන්නට ඇත. ඒ යළිත් තම ගම්බිම් කරා යාමට හැකිවෙතැයි යන උපේක්ෂා සහගත හැඟීමෙනි.

යුද්ධය අවසන්වී දහතුන් වසරක් ඉක්ම ගොස් තිබේ. එහෙත් ඒ ජනයාගේ පැතුම් තවමත් සඵල වී නැත. ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ තම ඉඩම්වල අයිතිය ඉල්ලා අනවරත සටනකට පිවිසීමටය.
මඩකළපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති දේවගල දේවාලංකාර නාහිමියන් අප පුවත්පතට කර තිබෙන්නේ මෙවැනි ප්‍රකාශයකි.

‘‘යුද්ධයත් සමග අපේ සිංහල ජනතාව නැගෙනහිර පළාතෙන් ඔවුන්ගේ බලපත්‍ර සහිත ඉඩම් අත්හැරලා අවතැන් කඳවුරුවලට ගියා. උන්හිටිතැන් අහිමිවීමත් සමග ඔවුන් එම අවතැන් කඳවුරුවලින් මාතර කළුතර ගාල්ල කොළඹ ඇතුළු අනික් පළාත්වල ඥාතීන්ගේ නිවෙස්වලට ගියා. යුද්ධය අවසන් වී නැගෙනහිර පළාතේ සාමය උදාවීමත් සමග ඒ පවුල් යළි පදිංචියට එන්නට සූදානම් වන මොහොතේ ඒ පවුල්වලට විශාල අසාධාරණකම් රැසක් සිදුවෙලා තියෙනවා. ඔවුන්ගේ බලපත්‍ර සහිත ඉඩම් නැගෙනහිර පළාතේ පිරිසක් විසින් අල්ලාගෙන පදිංචි වෙලා. අපි මේ ගැන අවුරුදු නවයක් තිස්සේ සෑම රජයකම බලධාරීන්ට කිව්වා. ලිඛිතවත් දැනුම් දුන්නා.’’

ඛේදවාචකය පැහැදිලිය. එම ඉරණමට මුහුණ දුන් ජනයා පවසන්නේ එසේ බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන සිටින්නේ අන්තවාදීන් පිරිසක් බවය. තමන් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉපදී හැදී වැඩී අධ්‍යාපනය ලබා නීත්‍යනුකූලව විවාහ වී සිටියත් තමන්ට මඩකළපුවෙන් ඉඩම් අයිතිය ලබා නොදෙන බවත්, ඉඩම් බලපත්‍ර හිමි ඉඩම් පවා මඩකළපුවේ දේශපාලන බලය යොදා අන්තවාදීන් හා ජාතිවාදී පිරිස් එම ඉඩම් අල්ලාගෙන සිටින බවය. එමෙන්ම තමනට රාජ්‍ය ආයතනවලින් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වීමට සිදුවී ඇති බවත් එම ජනයා කියති.

බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම රාජ්‍ය අනුග්‍රහයෙන් මෙන්ම දේශපාලන රැකවරණයෙන් සිදු වන්නකි. 1983 කළු ජූලියත් සමග ඇතැම් දෙමළ ජනයා තම ඉඩකඩම්, ගේ දොර ගොඩනැගිලි අත්හැර දමා ඉන්දියාවට ගියහ. දේශපාලන බලය සහිත පිරිස් එම දේපළ අල්ලා ගත්හ. කොළඹ නගරයේ පමණක් කෝටි ප්‍රකෝටි වටිනාකමකින් යුත් දේපළ කොපමණ ප්‍රමාණයක් භුක්ති විඳින්නේද යන්න සොයා බැලිය යුතුම කාරණාවකි.

යුද්ධයත් සමග නැගෙනහිර විසූ මුස්ලිම් ජනයාද එල්ටීටීඊ තර්ජනවලට බියෙන් පුත්තලම ආදී විවිධ ප්‍රදේශවලට පලා ආහ. යුද්ධය අහවරවී යළිත් යනවිට එසේ පැමිණි බොහෝ දෙනකුගේ දේපළ විවිධ බලවතුන් පරිහරණය කරමින් සිටින බව එම ජනයා කීහ. ඒ මිනිස් වේදනාව තවමත් සංසිඳී නැත.
මඩකළපුව කෝරළේපත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කරමුනෙයි ජනතාව කරන එක් චෝදනාවක් ඉතා බරපතළය. එනම් ඔවුන්ට රාජ්‍ය ආයතනවලින් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වීමට සිදුවන බවය. එක්කෝ එම රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන්ට මේ මිනිස් වේදනාව නොදැනේ. මේ අසාධාරණය නොපෙනේ. එසේත් නැත්නම් එම ජනතාව කියන අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ ග්‍රහණයට එම නිලධාරින් හසුවී තිබෙන බවය. එය කැමැත්තෙන් වීමටද පුළුවන. අකමැත්තෙන් වීමටද පුළුවන. මේ පිළිබඳව සොයා බැලීම බලධාරීන්ගේ වගකීමය.

මවුබිමේ කොතැන ජීවත් වුවද ඒ සෑම කෙනකුටම තිබෙන්නේ සමාන අයිතිවාසිකම්ය. මිනිස් ගෞරවය රැකගෙන ජීවත්වීමේ අයිතිය ඉන් ප්‍රධානය. කරමුනෙයි ජනතාවට අහිමිව තිබෙන්නේ එයමය. එය කොතරම් දුක්ඛිත අත්දැකීමක්දැයි දැනෙන්නේ වින්දිතයන්ටම පමණි. එබඳු දුක් සහගත පාගා දැමීමකට එම ජනයා ලක් කළ යුතු නැත. එහෙයින් එම ජනයාට නොපමාව යුක්තිය ඉටු කර දීමට බලධාරීන් පියවර ගත යුතුය.

(***)



අදහස් (0)

උපන්බිමේ අයිතිය අහිමිවූ කෝරළේපත්තු වැසියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 424 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 338 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 165 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 347 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 522 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1143 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1212 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1506 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site