උතුවන්කන්දේ සූර සරදියෙල් හැර ඉතිරි දරුවෝ සිව් දෙනා සරදියෙල්ගේ පියා වන දීකිරිකෑවගේ ආදාසි අප්පු විසින් හලාවත ප‍්‍රදේශයට රැගෙන යන ලදී.
ඉන් එක් දරුවකු වූ පේදුරුව ආදාසි අප්පු විසින් බාර දෙන ලද්දේ හලාවත ප‍්‍රදේශයේ පල්ලියක පියතුමකුටය.
පේදුරු නමැති සරදියෙල්ගේ බාල සහෝදරයාගේ සහජ හැකියා තේරුම් ගත් පියතුමා කළේ පේදුරුට චිත‍්‍ර ඇඳීමට හා ප‍්‍රතිමා නෙළීමට පුහුණු පුරුදු කිරීමයි. පසුව මීගමුව පමුණුගමින් විවාහ වූ පේදුරුගේ පරම්පරාව අදටත් පමුණුගම සහ ඒ අවට ගම්මානවල ජීවත් වෙති. මේ අය අතුරින් සරදියෙල්ගේ නම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන එම පරම්පරාවේ අයකු අපට හමු විය. ඒ දීකිරිකෑවගේ එඞ්වඞ් මහතාය.
උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ බාල සොහොයුරන් තවත් කිහිප දෙනකු සිටිය ද ඔවුන් ගැන හෝ ඔවුන්ගේ පරම්පරා පිළිබඳව හෝ තොරතුරු අනාවරණ නොවූව ද පේදුරුගෙන් පැවැත එන පරම්පරාවේ බොහෝ දෙනකු පමුණුගම හා ඒ අවට සිටිති. එහි කේන්ද්‍රස්ථානය වන්නේ පමුණුගම ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දෙව් මැදුරයි.
හලාවත ප‍්‍රදේශයේ ජීවත්වූ පේදුරු ඒ වන විට ප‍්‍රතිමා නෙළීමේ සහජ දක්ෂතා පෙන්නුම් කළ අයෙකි. පමුණුගම පල්ලියේ පියතුමා තම පල්ලියේ තැබීම සඳහා ප‍්‍රතිමාවක් නෙළා ගැනීමට පේදුරුව එහි කැඳවා ගත්තේය. අදටත් පමුණුගම දෙව මැදුරේ ඇති ජුසේ මුනිඳුන්ගේ ප‍්‍රතිමාව පේදුරු විසින් සකස් කරන ලද ප‍්‍රතිමාවයි. මීට අමතරව වැලිගම්පිටිය ශුද්ධ වූ ආනා දෙව් මැදුරේ ඇති ශුද්ධ වූ ආනා මුනිවරියගේ ප‍්‍රතිමාවත්, උස්වැටකෙයියාව දෙව් මැදුරේ ඇති දේවමාතා ප‍්‍රතිමාවත් පේදුරු විසින් කරන ලද නිර්මාණ වේ.
පමුණුගම හා අවට දේවස්ථානවල පිළිම නෙළමින් සිටිය දී පමුණුගම ප‍්‍රදේශයේම තරුණියක හා විවාහ වූ පේදුරු පසුව එම ප‍්‍රදේශයේම පදිංචි වූ බව කියැවේ. පේදුරුට නිකුලස්, මත්තෙස්, ඇන්තනි, නමින් දරු තිදෙනෙක් වූහ. අද පමුණුගම ප‍්‍රදේශය පුරා විසිරී සිටින්නේ දීකිරිකෑවගේ මත්තෙස් සහ දීකිරිකෑවගේ ඇන්තනි යන අයගේ දරු මුණුබුරන්ය. නිකුලස්ගේ දරු මුණුබුරන් පදිංචිව සිටින්නේ මීගමුව දුන්ගාල්පිටිය ප‍්‍රදේශයේය. ඒ අතුරින් දීකිරිකෑවගේ මත්තෙස්ට දාව වර්ලියානු, රෝසමරියා, පේදුරු, ලෝරි සහ නිකුලස් නමින් දරුවන් පස් දෙනෙක් ද ඇන්තනිට දාව ආනා, සරදියෙල්, රෙබෙකා, ජුසේ, ගබ්රියෙල් සහ රයිෆෙල් නමින් දරුවන් හය දෙනෙක් ද සිටියහ. මේ වන විට ඔවුන් කිසිවකු ජීවතුන් අතර නැති අතර, එම පරම්පරාවෙන් පැවැත එන දරු මුණුබුරෝ පමුණුගම, සේදවත්ත, ඇළෙන්එගොඩ යන පමුණුගමට අයත් බල ප‍්‍රදේශයේ ජීවත් වෙති.
සරදියෙල්ගේ එක් බාල සොහොයුරකු වන පේදුරුගෙන් පසු හතර වැනි පරම්පරාව දැන් ජීවත්ව සිටිති. මේ අතුරින් දීකිරිකෑවගේ යන වාසගම සමහරු අකැමැත්තෙන් පාවිච්චි කරති. සමහරු එය වෙනස් කරගන්නට උත්සාහ කරති. නමුත් දීකිරිකෑවගේ එඞ්වඞ් මහතා සිටින්නේ දැඩි ආකල්පයකය. සරදියෙල් යන ජාතික වීරවරයකු වන නිසා ඔහුගේ වාසගම තම නමට භාවිත වීම ගැනත්, සරදියෙල් වැනි අයකුගේ ලේ නෑයකු වීම පිළිබඳවත් ඔහු ඉතා ආඩම්බරයෙන් පසු වෙයි.
”සරදියෙල්ගේ පරම්පරාවෙන් පැවැත එන පරම්පරා මේ රටේ තවත් තැනක සිටිනවා ඇති. ඒ අය හඳුනා ගන්න මා කැමැතියි. දුප්පතුන්ගේ වීරයා ලෙස සැලකෙන උතුවන්කන්දේ සරදියෙල්ගේ නාමය තව දුරටත් ඉදිරියට රැගෙන යන්න මා කැමැතියි. ඒ සඳහා මා උපරිමයෙන් කටයුතු කරනවා” යැයි ද එඞ්වඞ් මහතා පවසයි.
පිචෝහාමිට හා අදාසි අප්පුට දාව උපන් වැඩිමහල් දරුවා වූයේ සරදියෙල්ය. ඊට පසුව පේදුරු, ගබ්රියෙල්, මාර්තා හා අන්තෝනි යන දරුවන් හතර දෙනා බිහි වූහ. ඔවුන් අතුරින් මාර්තා නමැති සරදියෙල්ගේ එකම සහෝදරිය අකාලයේ මිය ගිය බව කියැවේ. ඉතිරි සහෝදරයන් තිදෙනාගේ පරම්පරාව එකතු කරමින් සරදියෙල් එල්ලා මරා වසර 150ක් සපිරෙන මෙම වසරේ දී සරදියෙල් වෙනුවෙන් යම් වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීම ද තම අරමුණක් බව දීකිරිකෑවගේ එඞ්වඞ් මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අචිරා, ඔබ කියන කතාවේ ඇත්තක් ඇති. එත් ඔහු වීරයෙක් වෙන්නේ සුද්දන්ට යටවෙලා ඉන්න වෙලාවක උන්ට විරුද්ධව වීරත්වය පෙන්වපු නිසයි.මට නම් ඔහු වීරයෙක්. ඔහුගේ ගමේම මිනිසුන් හා ඔහුගේම මිතුරන් සරදියෙල්ව පොලිසියට අල්ලලා දුන්නේ මුදලට ඇති කෑදරකමට. අනික ඕක තමා අපේ මිනිසුන්ගේ විදිය. ඔහු දුප්පතුන්ට උදවු කළා (නි)
වෙන්න පුළුවන්.(හේ)
සරදියෙල් යනු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන්කළ වීරයෙක්.ඔහුට අපහාස කරන්න එපා.මම කැමතියි ඔහුගේ පරම්පරාවෙන් පැවතෙන්නන් හමුවන්න. මම පිටරට සිට පැමිණි විට එය කරනවා. (නි)
අචිරා කියන විදියට සරදියෙල් දුප්පතුනට කරදර කර ඇත්නම් වාර්තාගත ඉතිහාසය අනුව කරුණාකර මෙම තීරුවට එවැනි එක අවස්ථාවක් හෝ ලියන්න. සරදියෙල් ඇල්ලීමට ගියේ මැලේ රෙජිමේන්තුවකින්. එම වෙඩි හුවමාරුවේදී මැලේ සොල්දාදුවෙකු හා ඔහුගේ පියා මරණයට පත් වුනා. ඒ හැර සරදීයෙල් හා මම්මලේ මරික්කාර් අහිංසක මිනිසුන් මැරුවේ නැහැ. ඔහු අල්ලා ගැනීමට අපහසු වුවෙත් සරදියෙල්ට ගම්වාසීන්ගේ තිබු හිතවත් කම නිසයි. (නදී)
හරිම ලස්සන කතාවක් (නි)
සරදියෙල් වීරයෙක් නෙවේ කියන අය සුද්දන්ට කත අදින අයයි.(හේ)
ඉතා රසවත් ලිපියක් (නි)
හොරුන්ව වීරයන් කිරීමෙන් අපි නරක ආදර්ශයක් සමාජයට දෙනවා සුද්දන්ගෙන් හොරකම් කෙරුවත් කල්ලන්ගෙන් හොරකම් කෙරුවත් හොරකම හොරකමමයි. සුද්දන්ගෙන් හොරකම් කෙරුවොත් කමක්නෑ කියන අයත් හොරු. ඔවුන් තමයි අද අපේ රටට විනයක් වෙලා තියෙන්නේ(අ)
ඇත්තෙන්ම සාර්ථක ලිපිපෙළක් (නි)
එ්ක නම් හොඳ වැඩක් (බ)
චන්ද්‍රා කියනවා වගේ සරදියෙල් විවේචනය කිරිම එතරම් සුදුසු නොවේ (නි)
ඉතා හොඳ ලිපිපෙළක් (නි)
සරදියෙල්ගේ සොහොන්කොත මීගමුව මහා සුසාන බුමියේ තියෙනවා.(හේ)
සරදියල් කියන්නේ හොරෙක් ඔහු වීරයකු නොවෙ ඔහු කියන තරම් දුප්පතුන්ට උදවු කර නැහැ දුප්පතුන්ගේ මිලමුදල් සරදියල් විසින් කොල්ලකා අවස්ථා ගොඩක් තියනවා එම නිසා ඔහුගේ ගමේම මිනිසුන් හා ඔහුගේම මිතුරන් සරදියෙල්ව පොලිසියට අල්ලලා දුන්නේ (දී)