තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්දීය ධීවරයන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු භෞමික මුහුදු තීරයේ සිදු කරනු ලබන නීති විරෝධී මසුන් ඇල්ලීමේ සහ බොටම් ට්‍රෝලින් කිරීමේ අඛණ්ඩ ගැටලු ව පසුගිය සතියේ පළවූ මෙම ලිපියේ පළමු කොටසින් විස්තරාත්මකව විස්තර කරනු ලැබුණි.
එසේම එම ලිපියෙන් මෙම ගැටලුව මග හැරීම සඳහා ඉන්දීය පාර්ශවය විසින් කච්චතිව් සම්බන්ධයෙන් මතු කරන ලද ගැටලුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළෙමි. කලින් අවධාරණය කළ පරිදි මූලික ගැටලුව වන්නේ කච්චතිව් දූපත් හිමිකාරිත්වය පිළිබඳ ප්‍රශ්නය නොව.., ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී මසුන් ඇල්ලීමයි. තමිල්නාඩු ධීවරයන් විසින් සිදු කරනු ලබන නීති විරෝධී මසුන් ඇල්ලීම පිළිබඳ ඇතැම් කැපී පෙනෙන කරුණු මෙම ලිපියෙන් විමසා බැලෙනු ඇත.
මෙම ගැටලුවේ ඇති අතිශයින්ම කරදරකාරී සාධකයක් වන්නේ තමිල්නාඩු ධීවරයන් විසින් තම උතුරු ශ්‍රී ලාංකික සගයන් කෙරෙහි දක්වන ආකල්පය සහ හැසිරීමයි. තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන සගයන් කෙරෙහි ඇදහිය නොහැකි තරම් සතුරුකමක් සහ වෛරයක් පෙන්නුම් කර ඇත. ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන් ආක්‍රමණික කොල්ලකරුවන්ට හසු වුවහොත්, ඔවුන්ට දරුණු ලෙස පහර දෙන අතර, ඔවුන්ගේ බෝට්ටු සහ උපකරණවලට හානි හෝ විනාශ වේ. ශ්‍රී ලාංකික ධීවරයන් සතු ධීවර දැල් ඉන්දියානු ධීවරයන් විසින් හිතාමතාම හානි කර හෝ විනාශ කරනු ලැබේ.
ඇතැම් අවස්ථාවලදී සමහර ඉන්දියානු බෝට්ටු මාදගල්-චුෂිපුරම් වෙරළට ඉතා ආසන්නයට ගොස් ධීවර දැල් විනාශ කරන අතර, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය ඒවාට වන්දි ගෙවූ අවස්ථාද කලාතුරකින් වාර්තා වෙයි.
මේ අනුව, තමිල්නාඩු ධීවරයන් උතුරු ශ්‍රී ලංකාවේ සාගර සම්පත් අනුකම්පා විරහිතව හා කෑදර ලෙස සූරාකමින් සිටින බවත්, එම ක්‍රියාවලියේදී ආපසු ගෙවිය නොහැකි හානියක් සිදු කරන බවත් දැකගත හැකිය. තිරසාර මසුන් ඇල්ලීම සඳහා සමුද්‍ර සම්පත් සංරක්ෂණය කිරීම ගැන ඔවුන් කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. යුද්ධයෙන් විනාශ වූ ඔවුන්ගේ ශ්‍රී ලාංකික දෙමළ “සහෝදරයන්” ජීවනෝපායක් සොයා ගැනීමට සහ ඔවුන්ගේ බිඳ වැටුණු ජීවිත නැවත ගොඩනඟා ගැනීමට කරන අරගලය කෙරෙහි අනුකම්පාවක්ද නොමැත.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මසුන් ඇල්ලීම තවදුරටත් තමිල්නාඩුවේ සාම්ප්‍රදායික රැකියාවක් නොවීමයි. පරම්පරා ගණනාවක් තිස්සේ මසුන් ඇල්ලීමේ නියැළී සිටින විවිධ කුලවලට අයත් බොහෝ දෙනා ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමෙන් පසු අධ්‍යාපනයෙන් ඉහළ දියුණුවක් ලබා ඇත. එය තවදුරටත් පවුල පදනම් කරගත් රැකියාවක් හෝ ප්‍රාදේශීය මුදලාලිලාගේ බෝට්ටුවලට පමණක් සීමා නොවේ.
ධනවාදී කර්මාන්තයක් බවට පත්වූ ධීවර කර්මාන්තය
ඒ වෙනුවට එය දැන් ධනවාදී කර්මාන්තයක් බවට පත්ව ඇත. මාළු, ඉස්සන් සහ කකුළුවන් “වෙළෙඳ භාණ්ඩයක්” බවට පත්ව ඇත. ඒවා දැන් ජීවනෝපායේ දීර්ඝායුෂ ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිව හැකිතාක් නිෂ්පාදනය කර විකිණීමට ඇති භාණ්ඩ බවට පත්ව ඇත. විශාල ධීවර බෝට්ටු සහ ට්‍රෝලර් යාත්‍රාවල අයිතිකරුවෝ ධනවත් ධනපතියෝ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දේශපාලනඥයන් හෝ දේශපාලන සම්බන්ධතා ඇති අය වෙති. බහුතරයක් බෝට්ටුවල නාමික අයිතිකරුවන් ධීවරයන් වුවත්, ඔවුන් වෙනත් පුද්ගලයෙකුගේ “බෙනාමි” ලාය.
“බෙනාමි” යන්නෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම වෙනත් කෙනකුට අයත් වත්කම්වල නීත්‍යනුකූල හිමිකරුවන් යැයි කියනු ලබන පුද්ගලයන්ය. තමිල්නාඩුවේ සහ ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ඉඩම් සීමාවක් පවතින බැවින්, බොහෝ ඉඩම් හිමියන් ඔවුන්ගේ අතිරික්ත ඉඩම් ඔවුන්ගේ නූගත් සේවකයන්ගේ සහ වැඩකාරයන්ගේ නම්වලට “බෙනාමි” ලෙස ලියාපදිංචි කර ඇත.
ඒ ආකාරයෙන්ම බොහෝ ධීවර බෝට්ටු ඇත්ත වශයෙන්ම ලියාපදිංචි කර ඇත්තේ බෙනාමි ධීවරයන්ගේ නම්වලටය. මෙම කාරණය සොයාගනු ලැබුවේ ඉන්දු-ලංකා ධීවර ආරවුල් අධ්‍යයනය කරන ලන්දේසි පර්යේෂකයන් විසිනි.
තමිල්නාඩුවේ ධීවර බෝට්ටු කාර්ය මණ්ඩලයෙන් වැඩි දෙනෙක් සාම්ප්‍රදායිකව මසුන් ඇල්ලීමේ නිරත නොවූ කුලවලට අයත් බව ද මෙම පර්‌යේෂකයෝ සොයා ගත්හ. ඔවුන් දෛනික වැටුප් පදනම මත කුලියට ගෙන ඇති අතර, ඔවුන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ දඩයම් කිරීමට බල කෙරෙන්නේ ඔවුන්ගේ සේවායෝජකයන් විසින්ය.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ, ඉන්දීය බලධාරීන්ගේ පාලනය කිරීමකින් හෝ අත්අඩංගුවට ගැනීමකින් තොරව මෙතරම් විශාල ධීවර බෝට්ටු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට හැකි වන්නේ කෙසේද යන්නයි.
අනුර-මෝදි සාකච්ඡා
තමිල්නාඩු ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සහ බොටම් ට්‍රෝලින් වැනි හානිකර ක්‍රියාය හරහා සමුද්‍ර ජීවීන් විනාශ කිරීම යන ගැටලු සම්බන්ධයෙන් මෙම වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති දිසානායක සහ නරේන්ද්‍ර මෝදි විසින් සාකච්ඡා කරනු ලැබුණි. නායකයන් දෙදෙනා මෙම ගැටලුව සම්බන්ධයෙන් හරියටම සාකච්ඡා කළේ මොනවාදැයි කිසිවකු නොදන්නා නමුත් ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශ මගින් පෙන්නුම් කළේ මෙම ප්‍රශ්නය පිළිබඳ දෘෂ්ටිකෝණයේ “ප්‍රතිවිරුද්ධත්වය” යි.
ගැටලුවට “තිරසාර විසඳුමක් සඳහා සහයෝගී ප්‍රවේශයක්” අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති දිසානායක තවදුරටත් අවධාරණය කළේ “බොටම් ට්‍රෝලින් ධීවර කර්මාන්තයෙන් සිදුවන බරපතළ පාරිසරික හානිය හඳුනා ගනිමින්..... මෙම ක්‍රියාකාරකම් නැවැත්වීමට සහ නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීමට එරෙහිව තීරණාත්මක පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා” යනුවෙනි.
අනෙක් අතට, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද වඩාත් අවංක විය. එය ජීවනෝපාය පිළිබඳ කාරණයක් ලෙස විස්තර කරමින් නරේන්ද්‍ර මෝදි පැවසුවේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඔහු මෙම ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කරන “මානුෂීය ප්‍රවේශයක්” පිළිබඳව එකඟ වූ බවයි. ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ අත්අඩංගුවට ගත් ඔවුන්ගේ බෝට්ටු වහාම නිදහස් කිරීමේ අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉන්පසු, ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ නුදුරු අනාගතයේ දී ආයතනික සාකච්ඡා තීව්‍ර කිරීමට සහ දෙපාර්ශ්වයේම ධීවර සංගම් අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට දෙරට එකඟ වී ඇති බවයි.
එය දෙපාර්ශ්වය අතර ඉහළ මට්ටම් ඇතුළුව සියලු මට්ටම්වල සාකච්ඡාවල නිරන්තර ලක්ෂණයක් ලෙස පවතී“ යැයි විදේශ ලේකම්වරයා පැවසීය.
ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය සාමාජිකයන් අමතමින් ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසුවේ ධීවර ගැටලුව දෙපාර්ශ්වය විසින්ම සැලකිය යුතු ලෙස විස්තරාත්මකව සාකච්ඡා කළ බවයි. “අවසානයේදී එය ධීවරයින්ගේ දෛනික ජීවනෝපාය ගැටලුවක් වන අතර, මෑත කාලයේ ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග නැවත සලකා බැලිය හැකි බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා” යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය.
ධීවර අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉතා පැහැදිලිය. තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම නතර කළ යුතුය. ඔවුන් බොටම් ට්‍රෝලින් කිරීමේ පිළිකුල් සහගත ක්‍රියාව නතර කළ යුතුය. යුද්ධයේ දීර්ඝ කාලය තුළ පහර කෑමට හා තැළීමට ලක්වෙමින් දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳින ශ්‍රී ලංකාවේ දෙමළ ධීවරයින්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට සහ ඔවුන්ගේ ජීවනෝපායන් නැවත ඇති කර ගැනීමට ඉඩ දිය යුතුය. තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
ඉන්දියානු ආකල්පය
කනගාටුවට කාරණය වන්නේ, මෙම ගැටලු ව සම්බන්ධයෙන් ප්‍රමුඛ ඉන්දියානු ආකල්පය සහ ප්‍රවේශය වෙනස් වීමයි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ සිට තමිල්නාඩු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි ස්ටාලින් දක්වා ප්‍රතිචාරය වන්නේ මෙම ගැටලුව මානුෂීය ලෙස සලකා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි.
එම මානුෂීය ප්‍රවේශය, වින්දිත ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන් කෙරෙහි ඇති සැලකිල්ල මත පදනම් වූවක් නොවේ. එය ශ්‍රී ලංකා මුහුදේ දඩයම් කරන ආක්‍රමණික තමිල්නාඩු ධීවරයන් සඳහාය. ඔවුන් වින්දිතයින් ලෙස වැරදි ලෙස නිරූපණය කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව ආක්‍රමණිකයන් බවට ව්‍යාජ චෝදනා එල්ල වේ. “ශ්‍රී ලංකා නාවික හමුදාව අහිංසක දෙමළ ජාතික ධීවරයන් කුරිරු ලෙස අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ බෝට්ටු අත්පත් කර ගනිමින් සිටී” යන්න ඉන්දියානු කතාවයි. එය ඉන්දියානු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් තිරසාරව සහ ශක්තිමත් කරනු ලැබ ඇත.
ඔවුන්ට අවශ්‍ය කරන වඩාත් කාරුණික හා මෘදු මානුෂීය ප්‍රවේශය වන්නේ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන්ගේ බෝට්ටු අත්පත් කර නොගැනීමයි. කෙටියෙන් කිවහොත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉන්දීය ධීවරයන් අපගේ සමුද්‍ර සම්පත් කොල්ලකෑම දිගටම කරගෙන යාමට සහ මානුෂීය ප්‍රවේශයක නාමයෙන් අපගේ ධීවරයන්ට ඔවුන්ට හිමි මත්ස්‍ය සම්පත අහිමි කිරීමටයි. අනුකම්පාව ලැබී ඇත්තේ ගොදුරට නොව විලෝපිකයාට ය.
සාකච්ඡා විහිළුව!
සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීම විහිළුවකි... එය කෲර විහිළුවකි! එය හරියට කොල්ලකරුවන් කණ්ඩායමක් වෙනත් කෙනෙකුගේ නිවසට කඩා වැදී දේවල් සොරකම් කර “අපි සාකච්ඡා මාර්ගයෙන් මේ කාරණය විසඳා ගනිමු” යැයි පවසනවාක් වැනිය. ඉන්දු-ලංකා ධීවර ආරවුල සම්බන්ධයෙන් ගත් කල, විවිධ කාලවලදී සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත. එම සාකච්ඡා හුදෙක් කල් මැරිමේ අභ්‍යාස පමණක් වන බැවින්, කිසිවක් කිසිදා ක්‍රියාත්මක වී නොමැත.
කෙසේ වෙතත්, මසුන් ඇල්ලීම සහ බොටම් ට්‍රෝලින් කිරීම, අඩුවීමේ කිසිදු සලකුණක් නොමැතිව දිගටම කෙරෙමින් තිබේ. සාකච්ඡා මාර්ගයෙන් ඉන්දියානු නීති විරෝධී ධීවර ගැටලුව විසඳීම දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කර ඇති විහිළුවකි. මේ අතර උතුරු දෙමළ ධීවරයින් අතර කලකිරීමද ඉහළ යයි.
උතුරේ ජනයා ඡන්දය දුන්නේ ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයටය මෑත කාලයේ පැවැති ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණවලදී උතුරේ වෙරළබඩ ප්‍රදේශවලින් විශාල පිරිසක් ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට ඡන්දය දීමට හේතු වූයේ මෙම කලකිරීමේ හැඟීමයි. මැතිවරණ රැස්වීම් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම තත්වයට පිළියම් යෙදීමට සහ නීති විරෝධී ඉන්දියානු මසුන් ඇල්ලීම සහ බොටම් ට්‍රෝලින් කිරීම අවසන් කරන බවට ප්‍රතිඥා දුන්නේය. දෙමළ ජනයාගෙන් බොහෝ දෙනෙක් මාලිමාවට ඡන්දය දුන්නේ අනුර කී දේ විශ්වාස කළ නිසාය. ඔහුව විශ්වාස කළ නිසාය.
යාපනයේ ආසන හයෙන් තුනක් දිනා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. නව රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවේ යාපනයේ ජවිපෙ ප්‍රධානියා වූ රාමලිංගම් චන්ද්‍රසේකර් ය. චන්ද්‍රසේකර් ඉන්දියානු ධීවරයන් ගැන දැඩි ලෙස කතා කළ අතර “නාන්ගල් චණ්ඩියාර්හාල් වන්තු විටෝම්” (අපි තමයි මැරයෝ නැත්තන් චණ්ඩි.. අපි දැන් ඇවිත් ඉන්නේ) යනුවෙන් ගිගුරුම් දුන්නේය. ඒ අනුව චන්ද්‍රසේකර් ඇඟවූයේ ඉන්දියානු නීති විරෝධී මසුන් ඇල්ලීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
රාමලිංගම් චන්ද්‍රසේකර්
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජනතා විමුක්ති පෙරමුණ - ජාතික ජන බලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා වේ. ඔහු බණ්ඩාරවෙලින් පැමිණි අයෙකි. වසර ගණනාවක් යාපනයේ පදිංචිව සිටින චන්ද්‍රසේකර් තමිල්නාඩුවේ දෙමළ කතා කරන තම සහෝදරයන්ගෙන් උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව හොඳින් දනී. කලින් සඳහන් කළ පරිදි ඇත්ත වශයෙන්ම, යාපනයේ වෙරළබඩ ජනගහනයෙන් විශාල කොටසක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන්නේ තමිල්නාඩු ධීවරයන්ගේ දඩයම් කිරීම නතර කරන බවට දුන් පොරොන්දුව නිසාය.
චන්ද්‍රසේකර්ට ධීවර ගැටලුව ගැන දැඩි හැඟීමක් ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජනාධිපති දිසානායක නවදිල්ලිය බලා පිටත්ව යාමට පෙර, “ද හින්දු” පුවත්පත කොළඹදී ධීවර අමාත්‍යවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. මීරා ශ්‍රීනිවාසන් සමඟ කළ එම සම්මුඛ සාකච්ඡාවේදී චන්ද්‍රසේකර් පැවසුවේ ඉන්දියානු පාර්ශවය විනාශකාරී බොටම් ට්‍රෝලිං ක්‍රමය භාවිත කිරීම නැවැත්වුවහොත් පමණක් කල් පවත්නා ධීවර ගැටුම තීරණාත්මකව විසඳා ගත හැකි බවයි.
“උතුරු, නැගෙනහිර සහ කඳුකරය ඇතුළු සියලුම ජනවාර්ගික කණ්ඩායම් සහ භූගෝලීය කලාපවල ජනතාව අපට (ජාතික ජන බලවේගය සන්ධානයට) ඡන්දය දුන්නා. මෑතකදී පැවති මැතිවරණයේදී අපට විශාල ජනවරමක් ලැබුණා. ඔවුන්ගේ ගැටලු විසඳීමට අපට වගකීමක් තිබෙනවා. අපගේ උතුරේ ධීවර ප්‍රජාවන්ගේ ප්‍රධාන සැලකිල්ල වී තිබෙන්නේ තමිල්නාඩුවෙන් ආරම්භ වූ ඉන්දියානු ධීවරයන් විසින් භාවිත කරන බොටම් ට්‍රෝලර් යාත්‍රා පිළිබඳ දිගු කලක් තිස්සේ පවතින ගැටලුවයි” යනුවෙන් එහිදී අමාත්‍ය චන්ද්‍රසේකර් පැවසීය.
“නවීන තාක්ෂණය සහ තිරසාර ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ජාතික ජන බලවේගය රජයට පුළුල් සැලැස්මක් තියෙනවා. ඉන්දු-ලංකා ධීවර ගැටුම විසඳීම එම සැලැස්මේ කොටසක්. 2017 දී කිලෝග්‍රෑම් 17.2 ක් වූ රටේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දැන් කිලෝග්‍රෑම් 11.07 දක්වා පහත වැටී තිබෙනවා. ඉන් රටේ ජනතාවගේ ප්‍රෝටීන් පරිභෝජනය අඩුවීමක් පිළිබිඹු කරනවා. විශේෂයෙන් 2022 දී රටේ වේදනාකාරී ආර්ථික කඩාවැටීමෙන් පසුව, මන්දපෝෂණය තියුණු ලෙස අවධානයට ලක්ව තියෙනවා. ජනතාවට පෝෂණය ලබා ගැනීම සහතික කිරීම සඳහා අපි මුහුදු ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතුයි. ඒ සියල්ල කිරීමට නම්, අපගේ මුහුද සහ අපගේ සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍යයි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
මෙම ප්‍රකාශ තිබියදීත්, ගැටලුව විසඳීම සඳහා තවමත් සැලකිය යුතු කිසිවක් කර නොමැත. ඉන්දියානු ධීවරයන් විසින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම දිගටම කරගෙන යයි. නාවික හමුදාව අත්අඩංගුවට ගැනීම් සහ බෝට්ටු අත්පත් කර ගැනීම් සිදු කරයි. ටික වේලාවකට පසු ධීවරයන් නිදහස් කරනු ලැබේ. මේ අතර ඉන්දියානු ධීවර බෝට්ටු සහ බොටම් ට්‍රෝලින් යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම දිගටම පවතී. ශ්‍රී ලංකාවේ ධීවර සම්පත් අඛණ්ඩව ක්ෂය වෙමින් යයි. මසුන් ඇල්ලීම අඩු වේ. 2017 දී කිලෝග්‍රෑම් 17.2 ක් වූ රටේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දැන් කිලෝග්‍රෑම් 11.07 දක්වා අඩු වී ඇත.
අර්ථවත් ක්‍රියාමාර්ග
වැදගත් සහ අවශ්‍ය වන්නේ ඉන්දීය ධීවර බෝට්ටු සහ බොටම් ට්‍රෝලර් යාත්‍රාවලට එරෙහිව අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමයි. එසේ නොමැතිව කච්චතිව් ගැටලුව විසඳීම නොවේ. ගැටලුව වන්නේ ඉන්දියානු ධීවරයන් කච්චතිව් මුහුදෙන් ඔබ්බට ගොස් උතුරු භෞමික ජලය ආක්‍රමණය කිරීමයි.
ශ්‍රී ලංකා රජය කච්චතිව් දූපතේ හිමිකාරිත්වය පිළිබඳ මායාවෙන් මුළා වී ප්‍රධාන ගැටලුවෙන් ඉවතට ගමන් කළ යුතු නැත. නීති විරෝධී මසුන් ඇල්ලීම සහ බොටම් ට්‍රෝලර් යාත්‍රා කිරීම සතුටින් සිදුවෙමින් පවතින අතරතුර, කච්චතිව් හිමිකාරිත්වය ගැන සාකච්ඡා කරනු දැකීමට ඉන්දියානු ධීවර ප්‍රජාව බෙහෙවින් කැමති වනු ඇත.
ගැටලුව වන්නේ ඉන්දියානු ධීවරයන් අපේ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමයි. ජනාධිපති දිසානායක සහ ධීවර අමාත්‍ය චන්ද්‍රසේකර් නාවික යාත්‍රාවකින් කච්චතිව් වෙත යාත්‍රා කිරීමෙන් එම ගැටලුව විසඳිය නොහැක. එය අඩු කළ හැක්කේ අපේ මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට එරෙහිව නාවික හමුදාව විසින් නිරන්තරයෙන් පියවර ගැනීමෙන් පමණි.
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
(*** අනිල් කරුණාරත්න)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය ධීවර ප්‍රශ්නයට රජයට උත්තර නැද්ද?