IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ආණ්ඩුව හිරවුණු දූෂණ විරෝධය

මාක්ස්වාදී විප්ලවවාදී දේශපාලනය මත පදනම් වූ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, මෑත දශක කිහිපය තුළ දේශපාලන සදාචාරයේ සහ දූෂණ විරෝධයේ හඬක් ලෙස ස්ථානගත විය. එය අහඹුවක් නොව, ජවිපෙ හිතාමතාම තමන් ස්ථානගත කිරීමකි.

මන්ද ඒ තුළ ඔවුන්ට අසීමිත දේශපාලන අවකාශයක් නිර්මාණය වන අතර, ඔවුන් මහජන ඇසෙහි “දූෂිතයන්” ලෙස ප්‍රදර්ශනය නොවීම අමතර වාසියක් විය. එම වාසිය ප්‍රයෝජනයට ගත් ජවිපෙ ප්‍රමුඛ මාලිමා දේශපාලනය ලංකාවේ සෙසු දේශපාලන පක්ෂවලට සහ පුද්ගලයන්ට යන එන මං නැති වන ලෙස පහර පිට පහර දුන්නේ ය.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ඒ ආශ්‍රිත විවිධ ජනතා දුක්ගැනවිලි සියල්ල දූෂණයට ලඝුකොට පෙන්වා විශාල මහජන අවධානයක් සහ ආකර්ෂණයක් දිනා ගැනීමට ද ජවිපෙට හැකියාව ලැබුණි. එහෙත් මේ වන විට, ජවිපෙ එසේ දශක ගණනාවක් තිස්සේ කුලු‍ගැන්වූ එම දූෂණ විරෝධී හඬ අද ඔවුන් වෙතම එල්ල වෙමින් තිබීම දරුණු ගණයේ දෛව සරදමක් ලෙස දැක්විය හැකි ය.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමත් සමග ජවිපෙ ප්‍රබල චරිතවල දැවැන්ත වත්කම් ප්‍රමාණය මහජනයා වික්ෂිප්ත කර ඇත. මෙම ලිපිය මගින්, මේ නවතම දේශපාලන තත්වයේ ප්‍රතිවිපාක, ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව කේන්ද්‍රයෙහි තබාගෙන සාකච්ඡාවට බඳුන් කරයි.

වත්කම් ප්‍රකාශ යනු මූලික වශයෙන් පරිපාලන යාන්ත්‍රණයක් වුව ද, ඒවාට ශ්‍රී ලංකාවේ දේශපාලන අර්ථයක් ලබා දුන්නේ ජවිපෙ ය. ඒ අනුව, එකී ප්‍රකාශ විනිවිදභාවය පිළිබඳ පියවරක් ලෙස පමණක් නොව දේශපාලන සුජාතභාවය සඳහා මිණුම් ලකුණක් ලෙස ද මේ වන විට පෙනී සිටියි. මහජන ඇසෙහි, ප්‍රකාශිත ධනය (හෝ එහි ඌනතාව) බොහෝ විට දේශපාලනඥයකු දූෂණයට සමීප වීම හෝ ප්‍රභූ වරප්‍රසාදයෙන් වෙන්වීම සංකේතවත් කරනු දැකිය හැකි ය.

මේ පසුබිම තුළ, සංස්ථාපිත විරෝධී සහ සදාචාරාත්මකව උසස් ලෙස තමන් ම ස්ථානගත කරගෙන ඇති ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ඒවා හුදු කතාවෙන් පමණක් නොව භාවිතයෙන් ද ඔප්පු කළ යුතුව ඇත. හුදු නීතිමය අවශ්‍යතාවලට අනුකූල වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීම පමණක් නොව, ආදර්ශයෙන් මඟ පෙන්වනු ඇතැයි ද ඔවුන්ගෙන් අපේක්ෂා කෙරේ. මෙය දේශපාලනික අනිවාර්යතාවක් නිර්මාණය කරයි. එනම් දූෂණ විරෝධී වාචාලකම භාවිතයෙන් ප්‍රදර්ශනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් පවතී.

ජේවීපීයේ දේශපාලන ආඛ්‍යානය මුල් බැස ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිබඳ ව්‍යුහාත්මක විවේචනය තුළ ය. 1990න් පසු ජවිපෙ තම දේශපාලනය නැවත ලංකා සමාජය තුළ පිහිටුවන විට දූෂණ විරෝධය ප්‍රමුඛ කරගත් ‘සිස්ටම් චේන්ජ්’ හෙවත් සමස්ත ක්‍රමයේ ම වෙනසක් වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටියේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ස්ථාපිත පක්ෂ සඳහා, ප්‍රකාශ නොකළ වත්කම් හෝ සුඛෝපභෝගී ජීවන රටාව පිළිබඳ හෙළිදරව් කිරීම් ජනතා කෝපයට හේතු විය හැකි නමුත් අනිවාර්යයෙන්ම ඒ හරහා ඔවුන්ගේ දේශපාලන පදනම අහිමි වීමක් නොවේ. මන්ද ජවිපෙ විසින්ම ඔවුන් “හොරුන්” ලෙස මහජනයා අතර ලේබල් කර ඇත. එහෙත් ජවිපෙ ප්‍රමුඛ මාලිමාව එසේ නොවේ. ඔවුහු හොරුන්ගේ අනෙත් පස සිටින සුදනෝ ය. මල් පැළ ය. ඒ අනුව, මාලිමාවේ විශ්වසනීයත්වය සම්පූර්ණයෙන්ම පාහේ සදාචාරාත්මක දේශපාලනය මත රඳා පවතී. ඉන් ගම්‍ය කරන්නේ, වත්කම් විනිවිදභාවයේ එක් වැරැදි පියවරක් ආණ්ඩුවට අසමානුපාතික දේශපාලන හානියක් ඇති කළ හැකිය යන්නයි.

එපමණක් නොව, ජාතික ජනබලවේගය වැනි ක්‍රම විරෝධී තේරීම් කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වන තරුණ සහ නාගරික ඡන්දදායකයෝ දේශපාලන ආචාර ධර්ම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වති. මෙම ඡන්දදායක කණ්ඩායම් බොහෝ විට නීතිමය අනුකූලතාව පමණක් නොව, පූර්ණ සහ ස්වේච්ඡා හෙළිදරව් කිරීමක් ඉල්ලා සිටී. මේ අනුව, වත්කම් ප්‍රකාශ කිරීම දේශපාලන අනුකූලතාව සඳහා ලිට්මස් පරීක්ෂණයක් බවට පත්වේ. නැවත නැවතත් ඉන් පෙනී යන්නේ, වත්කම් ප්‍රකාශ කිරීම ජවිපෙ දේශපාලනඥයන් සඳහා නීත්‍යනුකූල යුතුකමක් පමණක් නොව, එය ඔවුන්ගේ දේශපාලන විශ්වසනීයත්වයට කේන්ද්‍රීය ද වන බවයි.

2015 න් පසු කාලය තුළ මෙය විශේෂයෙන් වැදගත් වේ. එහිදී යහපාලනය යන්න ජාතික සංවාදයක් බවට ලක්වන ස්ථානයක් බවට පත් විය. යහපාලන සන්ධානය තම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිවිරෝධතාවකට මුහුණ දුන් අතර, ජවිපෙ එහි දී තම “පිරිසුදු කාර්යසාධන වාර්තාව සහ මූල්‍ය විනිවිදභාවය” අවධාරණය කිරීමෙන් දේශපාලන ආකර්ෂණය ලබා ගත්තේය. එබැවින්, ජවිපෙ දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශන පිළිබඳ පරීක්ෂාව ඔවුන්ට ඉරණම්කාරී දේශපාලන කඩඉමක් වීම නොවැළැක්විය හැකි ය. ජේවීපීයේ සමස්ත දේශපාලන ආඛ්‍යානය මුල් බැස ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිබඳ ව්‍යුහාත්මක විවේචනය තුළ ය.

ඉහත ස්ථානගත කිරීමෙන් ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ආරාධනා කෙරෙයි. දූෂණ විරෝධීභාවය කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කරන දේශපාලන සංස්කෘතියක් තුළ, ජවිපෙ ප්‍රධානීන්ගේ වත්කම් ප්‍රකාශ කිරීමේ භාවිතයේ ඇති ඕනෑම අපැහැදිලි බවක්, ප්‍රමාදයක් හෝ පාරාන්ධතාවක් එයට එරෙහිව යොදාගත හැකි ය. එසේම යොදාගත යුතු ය.

මෙවන් පසුබිමක වත්කම් ප්‍රකාශ පිළිබඳ ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ ප්‍රතිචාරය ඇදහිය නොහැකි තරම් ය. එක් ඇමැතිවරයකු පෞද්ගලික රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී ඔහුගේ වත්කම් ප්‍රකාශය ගැන ප්‍රශ්න කළ විට ප්‍රකාශ කළේ “ඔබට පාන් ද?” කියා ය. මාධ්‍යයට තම වත්කම් ප්‍රශ්න කළ නොහැකි බව ඔහු ශපථ කළ අතර, ප්‍රශ්න කළ ද තමා ඒවාට පිළිතුරු නොදෙන බව දැඩිව කියා සිටියේ ය. ඔහු කියා සිටියේ වරදක් තිබේ නම්, ඒවා අධිකරණයට කියන ලෙස ය.

ඇමැතිවරයා මෙහි දී වැරදි ගණනාවක් කරන්නේ ය. මාධ්‍ය යනු ජනතාවගේ ප්‍රකාශන සහ තොරතුරු දැනගැනීමේ අයිතිය බව ඇමැතිවරයා දන්නේ නැත. මාධ්‍ය යනු හුදු එකී මාධ්‍යවේදීයා හෝ මාධ්‍ය ආයතනය බව ඔහු සිතනු පෙනේ. එය සපුරා වැරැදි ය.

මාධ්‍ය විසින් ප්‍රශ්න කරනු ලබන්නේ, මාධ්‍ය සඳහා නොව, ජනතාව සඳහා ය. මාධ්‍යයට දේශපාලනයක් තිබිය හැකි ය. එය ගැටලු‍වක් නොවේ. ලොව සියලු‍ මාධ්‍ය එසේ ය. ඒ අනුව, මහජන නියෝජිතයකුගේ විවාදාපන්න වත්කමක් ගැන ප්‍රශ්න කරන විට අදාළ නියෝජිතයා ඊට පිළිතුරු දීමට බැඳී සිටියි. ඔහු පිළිතුරු නොදෙන්නේ නම්, ඉන් අදහස් වන්නේ, එම වත්කම උපයාගත් ආකාරය ගැන ඔහුට හෙළි කළ නොහැකි බවයි. එය දූෂිත ගනුදෙනුවක් විය හැකි ය. මෙම වත්කම් පිළිබඳ ප්‍රකාශ මහජන පරීක්ෂණයට බඳුන් වන ලෙස ප්‍රසිද්ධ කර තිබෙන්නේ මෙන්න මේ නිසා ය. ඇමැතිවරයා කී ලෙස ප්‍රශ්නයක් තිබේ නම් අධිකරණයට ගොස් එය දැනුම් දෙන ලෙස කීම හතරබීරි කතාවකි. මේවා තිබෙන්නේ අධිකරණයට පමණක් දැන ගැනීමට සහ අධිකරණය තුළ පමණක් ප්‍රශ්න කිරීමට නම්, ඒවා මහජන අවකාශයේ ප්‍රසිද්ධ කරන්නේ නැත. මේවා ප්‍රසිද්ධ කරන්නේ. මහජනයාට ප්‍රශ්න කිරීමට සහ තමන්ගේ දේශපාලන නියෝජිතයා පිළිබඳ දැනගැනීම සඳහාය

ජවිපෙ නිරන්තරව නඩත්තු කළ මතය වූයේ තමන් සතුව පෞද්ගලික දේපළ නැති බවත්, තමන් අනුග්‍රාහකයන්ගෙන් යැපෙන බවත්ය. එසේ තිබියදීත් තම වැටුප පවා පෞද්ගලික පරිහරණයට නොගන්නා බවත් ය.

කෙසේ වෙතත්, ඔවුන් තම අනුග්‍රාහකයන්ගේ-බොහෝ විට දිළිඳු සාමාන්‍ය පුරවැසියන්ගේ රුපියල් දාහෙන් දෙදාහෙන් තම වාහනයට ඉන්ධන පවා ලබා ගන්නා අතරතුර, සාම්ප්‍රදායික දේශපාලනඥයන් විසින් නොකරන තරමට පෞද්ගලික ධනය එක්රැස් කර තිබීම අදහාගත නොහැකි තරම් ය. ඒ මතු නොව, ලංකාවේ නීතිවිරෝධී ලෙස ගැනෙන ක්‍රිප්ටෝ වැනි අතිශය විවාදාපන්න මුදල් ඒකකවල කෝටි ගණන් ආයෝජනය ද කර ඇත. සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ වැනි මූල්‍ය උපකරණ සැලකෙන්නේ, මුදල් විශුද්ධිකරණ මෙවලම් ලෙස ය. අනීතිකව උපයාගත් මුදල් මේවායෙහි ආයෝජනය කර, ඒවා සුරැකිව සහ සාමාන්‍ය මුදල් නීතිවලින් පරිබාහිරව තබා ගැනීමට මේ වැනි ක්‍රම භාවිත වේ. ජවිපෙ ප්‍රධානීන් ඒ තැනට තම වත්කම් රැගෙන ගොස් තිබීම කොතරම් අනපේක්ෂිත ද?

ජවිපෙ සියලු‍ නායකයන්ගේ වත්කම් ප්‍රකාශ අතිශය සැක සහිත ඒවා බව දැන් ඕනෑම කෙනකුට පැහැදිලි ය. රූපවාහිනී සංවාදයේ දී හඳුන්නෙත්ති ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදියා අසන්නේ, ඔබගේ පර්චස් 44 ඉඩම ලබා ගත්තේ කුමන ආකාරයෙන් ද යන්න ය. එය ත්‍යාගයක් ද, මිල දී ගැනීමක් ද යන්න සඳහන් කළ යුතු වුවත් එසේ කර නැති නිසා එම ප්‍රශ්නය යොමුවිය. එහෙත් ඔහුට ඊට පිළිතුරු දීමට නොහැකි විය. ඇතැම් ඇමැතිවරුන් සතුව ඩොලර්වලින් කෝටි ගණන් ඇත. ඒවා ලැබුණේ කෙසේදැයි අසන විට තවත් නියෝජ්‍ය ඇමැතිවරයකු කීවේ තමාට පියාගෙන් ලැබුණු බවයි. මෙම පිළිතුරු බෙහෙවින් ප්‍රශ්නකාරී ය.

ජනාධිපතිවරයා ඊයේ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ප්‍රකාශ කළේ “දූෂණයට එරෙහි සටන භයානකයි. එහෙත් දූෂණයට එරෙහිව කතා නොකර සිටීම ඊට වඩා භයානකයි” යනුවෙනි. අපට කිවයුතුව ඇත්තේ, දැන් ජනාධිපතිවරයා දූෂණයට එරෙහිව වචන බිලියන ගාණක් පසුගිය කාලය පුරාම කතාකර තිබෙන බවයි. එහෙත් රටට තවදුරටත් අවශ්‍ය වන්නේ, කතා නොව වැඩයි. ජනාධිපතිවරයා සැබැවින්ම දූෂණයට එරෙහි නම් කළ යුත්තේ, ස්වේච්ඡාවෙන්ම තමන්ගේ මැති ඇමැතිවරුන්ගේ අතිශය විවාදාපන්න වත්කම් ගැන නිසි පරීක්ෂණයක් සිදුකර, ඉන් අනතුරුව රටේ අන් දේශපාලකයන්ගේ සහ නිලධාරීගේ එවැනි දූෂණවලට එරෙහි සටන් කිරීමයි. එසේ නොකරන තාක්කල් ආණ්ඩුවට අනුන්ගේ දූෂණ ගැන සෙවීමට අයිතියක් නැති වනවා පමණක් නොව, කරන පරීක්ෂණ ගැන මහජන විශ්වාසයක් ඇත්තේ ද නැත.

 

(***)



අදහස් (2)

ආණ්ඩුව හිරවුණු දූෂණ විරෝධය

ගුණරත්න Friday, 26 September 2025 02:40 PM

වත්කම් ප්‍රකාශ නොදුන්නු පිරිසට රජයේ මන්ත්‍රීවරු 31 දෙනෙක්, ඊට ඇමති නියෝජ්‍ය ඇමැතිවරු 11 දෙනෙක් සහ නියෝජ්‍ය කතානායක ඇතුළත්. ඔන්න පුනරුදයේ මහිමය... මේවා මාලිමා ඩෝබි හැත්තට පේන්නේ නැහැ...

:       5       9

sene Friday, 26 September 2025 03:40 PM

නියමයි කෙලින් කතාව ඔබට මල් මිටක්...

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site