IMG-LOGO

ආණ්ඩුවේ ගමන්මග සාර්ථකද?

රටේ දේශපාලනයේ අවිනිශ්චිත බවත් සෑම පැත්තකින්ම පෙන්නුම් කරමින් තිබේ. වර්ජන රැල්ලක් එක පැත්තකින් මතු වී ඇති අතර තවත් පැත්තකින් ආණ්ඩුවට විරුද්ධව යන සමාජ මාධ්‍ය විවේචන වැඩි වී ඇත. මේ විරෝධතා මතුවීම්වලට සාපේක්ෂව ආණ්ඩුවේ වැඩ සටහන්ද තවදුරටත් පෙන්වන්නේ යම් ආකාරයකින් දිගටම දුර්වල අන්තයකට ගමන් කරන ආකාරයක් ය.

ඒ නිසා මේ සතියේ කිවිදා දැක්මෙන් ලියන්නේ ආණ්ඩුවේ ගමන් මග පිළිබඳ යම් ආකාරයක පුරෝකථනයක් ය.

 

බලයේ පදනම අවිනිශ්චිත වීම

වත්මන් ආණ්ඩුව සම්බන්ධව සාකච්ඡා කරන විට පළමුවෙන්ම පෙනී යන කාරණයක් වන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් තමන්ට ලැබුණු බලයේ පදනම කුමක්ද යන්න තේරුම් ගෙන තිබෙන ආකාරය ගැටලුසහගත බවය. ආණ්ඩුවේ ප්‍රධාන ධාරා තුනක් වන 1. ජනාධිපති 2. ජාතික ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායම් සහ 3. ජ.වි.පෙ. පක්ෂයේ ප්‍රධානීන් යන අය එකම ප්‍රශ්නය දෙස බලන්නේ ආකාර තුනකින් බව මගේ නිරීක්ෂණ යි.

ජනාධිපතිවරයාට තමන්ට ඡන්දය දුන් ජනතාවට ‘‘දැනෙන සුලු’’ ආකාරයේ සංවර්ධන වෙනසක් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන්නේය. එසේම එතුමාගේ සමහර කතා ඇසෙන විට පෙනී යන්නේ රටේ විධායක ජනාධිපතිවරයා තමන් වුවත් රටේ පාලනයේ ඇති රෝද සියල්ලම තමන්ට පාලනයක් නැතුවා වැනි හැඟීමක් ය. බලය ලබා ගැනීමට පෙර රනිල්ගේ ආණ්ඩුවට මහින්දගේ ආණ්ඩුවට කියපු සමහර කතා තමන්ගේ ආණ්ඩුවට එරෙහිව කියනවා වැනි දේවල් ඇසෙන්නේ මේ හේතුව නිසා ය. ‘‘බලය තිබුණාට බලයක් නැහැ’’ වැනි හැඟීමකින් කතා කරන්නේ ඒ නිසාය. සමහර තැන්වල විශාල තරහකින් වගේ කතා කරන්නේ ඒ නිසා බව මගේ තේරුම් ගැනීමය. එවැනි ඉදිරිපත් කිරීම් නිසා රටේ ජනතාවට යම් ආකාරයක අවිනිශ්චිත බවක් ගොඩ නැගීම ස්වාභාවිකය. මේ තත්වය දිගටම වර්ධනය වුවහොත් රටේ ජනතාව තවත් සංකීර්ණ තත්වයකට සහ රාජ්‍යය සම්බන්ධ ඉච්ඡාභංගත්වයට පත්වීම නොවැළැක්විය හැකිය.

තවත් පැත්තකින් බැලුවහොත් මේ රටේ 1978 ව්‍යවස්ථාව යටතේ තිබෙන විධායක ජනාධිපති ධුරය යනු හුදු පුද්ගලයකු පමණක් නොව පද්ධතියක් ය. විධායක ජනාධිපති කින්නේ තනි පුද්ගලයකුට වුවත් එය සංකේතවත් වන්නේ යම් සිස්ටම් එකක්ය. ඒ නිසා විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් වැඩ කරන්නට ශක්තිමත් කණ්ඩායමක් ඔහු ළඟ සිටිය යුතුය. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරු පස් (05) දෙනා සමගම එවැනි ශක්තිමත් කණ්ඩායමක් සිටි බව සැමට මතකය. ඒ ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ධුරය දැරුවාට ඔවුන් පසුපස විශාල යාන්ත්‍රණයක් තිබුණේය.

එහෙත් දැන් පෙනී යන කාරණයක් වන්නේ ජනාධිපතිවරයාට එවැනි ශක්තිමත් කණ්ඩායමක සහාය නොලැබෙන බවය. තමන්ගේ කතාව තමන්ටම ලියාගෙන කරන්න සිදු වෙනවා වැනි තත්වයක් ය. සමහර වැරදි සිදුවන්නේ මේ හේතුව නිසා යැයි කිව හැකිය. තමන් ම මුලින් කියූ දෙයක් ඊළඟ අවස්ථාවේ කරන කතාවකින් ප්‍රතික්ෂේප කිරීම් වැනි දේවල් සිදුවන්නේ එම තනතුරට සාපේක්ෂව පළල් යාන්ත්‍රණයකින් විධායක ජනාධිපතිවරයාට සහයෝගයක්  නොමැති විටය.

දෙවනුව ජාතික ජන බලවේගයේ සිටින උගතුන් යැයි කියන කණ්ඩායමේ කියුම් - කෙරුම් නිසා ගොඩ නැගෙන අවිනිශ්චිතභාවය විශාලය. ඒ සමහර උගතුන් කතා කරන්නේ කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරවය. රාජ්‍යයේ වැඩ කටයුතු කෙරෙන්නේ දැනට තිබෙන අණ – පනත් හා රෙගුලාසිවලට අනුවය. ඒ නිසා කරන ඕනෑම වැඩක් කළ යුත්තේ ඒ නීති රාමුව තුළ බව අමාත්‍යංශ ලේකම්වරුන් කියන විට මාලිමාවේ උගතුන් කේන්ති ගන්නවා මිස නීති වෙනස් කිරීමට උත්සාහයක් දරන්නේ නැත.

එපමණක් ද නොවේ. මේ සමහර උගතුන්ගේ අමාත්‍යංශවල කෙරෙන්නේ එක්කෝ හුදු ලේකම්වරුන් කියන දේ කිරීමය. අනෙක් ඒවා තුළ සිදු වන්නේ ‘‘දිනපතා ෆයිල් ටික Process කිරීම’’ වැනි දේවල්ය. මේ තත්වය නිසා විශාල අවිනිශ්චිතභාවයක් ගොඩනැගී ඇති බව පැහැදිලිය.

තුන්වෙනුව වත්මන් ආණ්ඩුවේ ඊළඟ පාර්ශවය වන්නේ ජවිපෙ පක්ෂ නායකත්වය හා ඒ යාන්ත්‍රණය සිදු කරන රාජ්‍ය පාලනයය. පක්ෂයේ ඉහළ නායකයන් සිටින්නේ ජනාධිපතිතුමන්ට ලැබුණු ඡන්දය ඒ ඉහළ නායකයන්ට ලැබුණු ඡන්දයක් වැනි හැසිරීමකින්ය. ලාල් කාන්ත වැනි ඇමැතිවරයකු හැරුණු විට අනෙක් ප්‍රධානීන්ගේ මේ හැසිරීම එක් පැත්තකින් මාලිමාකාරයන් අතර තරහක් ජනිත කරන අතර මාලිමා විරෝධීන් විහිළුවක් බවට පත් කරගෙන තිබේ. මගේ අදහස වන්නේ මේ ආණ්ඩුව යනු ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයක් මිස පක්ෂයේ මධ්‍යම කාරක සභාවට රට භාරදීමක් නොවන බවය. ඒ නිසා ‘‘පැලවත්තේ මැදිහත්වීම්’’ යනු ආණ්ඩුවේ ඉදිරි පාලනයට ඇති විය හැකි බරපතළම හානියක් බව මගේ අදහසය.

මේ තත්ව කීපය නිසාම ආණ්ඩුව පිළිබඳව අවිනිශ්චිතභාවයක් ගොඩ නැගෙමින් පවතී. ඒ කියන්නේ මේ ආණ්ඩුව ළඟදී කඩා වැටෙන බවක් නොවේ. ආර්ථිකය නොවැටුණොත් ආණ්ඩුව වැටෙන්නේ නැත. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කෙටි කාලීන ආර්ථික ‘‘ඇටවීම්’’ ටික කරගෙන යන තාක් කල් මේ ආර්ථිකය ඉදිරියට තල්ලු වනු ඇත. එහෙත් එදිනෙදා මතුවන සමහර අලුත් ගැටලු (ඇමරිකානු ටැරිෂ් එක වැනි) ආණ්ඩුව විසඳන ආකාරය මත ආර්ථිකයේ සමහර අංශ පදනම් වන බවද පැවසිය යුතුය.

එහෙත් ප්‍රතිරූපයක් ලෙසින් හෝ අලුත් බලාපොරොත්තුවක් ලෙසින් මීට මාස 06 කට පෙර මාලිමාවට ඡන්දය දුන් බහුතර ජනතාව අතර තිබූ විශ්වාසය මේ වන විට අවිනිශ්චිතතාවක් බවට පත් වී හමාරය.

 

මිථ්‍යා මතවල පිහිටීම

වත්මන් ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධව සිදු කරන සාකච්ඡාවේදී අවධානය යොමු කළ යුතුම පැත්තක් වන්නේ මිථ්‍යා මතවලට මේ ආණ්ඩුව ලබා දෙන ප්‍රමුඛතාව පිළිබඳවය.

මේ ආණ්ඩුව බලයට පත්වීම සඳහා විවිධ ආකාරයේ මිථ්‍යා මත ඉදිරිපත් කළ බව සැබෑවක්ය. එහෙත් මිථ්‍යාවන් බලය ගත් පසුවත් ඔහේ කියාපෑම වැරදිය. එවැනි එක් මිථ්‍යාවක් වන්නේ වසර 76 තිස්සේ (නිදහසින් පසු කාලය පුරා) රට අගාධයට වැටුණු බවය. මෙය පට්ටපල් බොරුවකි. මේ රට 1948 – 1570 දක්වා පාලනය වූයේ යම් ආකාරයක සාම්ප්‍රධායික බ්‍රිතාන්‍ය දේශපාලන හා ආර්ථික යාන්ත්‍රණයක් තුළය. 1970 – 77 කාලයේ මධ්‍යගත සැලසුම් සහිත පාලනයක් ගොඩ නගන්නට උත්සාහ ගත්තේය. එහිදී රාජ්‍යය සහ වෙළෙඳපොළ (State & Markat) අතර තුලනය මග හැරී ගොස් සියල්ල රාජ්‍යය වෙතට ඌනනය වූ අතර ඒ නිසාම ඒ ආණ්ඩුව කඩා වැටුණි.

එහෙත් 70 – 77 කාලය තුළ රාජ්‍යයේ ආයෝජන විශාල ප්‍රමාණයක් සිදුවූ බව අප පිළිගත යුතුය. 1977 සිට නිදහස් විවෘත ආර්ථිකයක් අත්හදා බැලූ අතර එය විසින් රටේ  ජංගම ගිණුමේ ශේෂ පත්‍රයක් ඇති කළ නමුත් රට තුළ අතිවිශාල ධනාත්මක දියුණුවක් ඇතිකළේය. ජයවර්ධන – ප්‍රේමදාස – චන්ද්‍රිකා - මහින්ද – රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරු සමස්තයක් වශයෙන් රටට ධනාත්මක එකතු කිරීම් සිදුකළ බව මගේ අදහසයි. ඒ අනුව වසර 76 සාපය යනු තනිකරම ඡන්දය ලබා ගැනීමට ගැසූ කෙබරයකි. බොරුවකි. එම බොරුව ඇත්තක් වගේ ඒ කාලයේ ඡන්ද දායකයන්ට සිතන්නට සැලැස්වීම තේරුම් ගත හැකිය. එහෙත් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සමහර කතාවලින් පේන්නේ ආණ්ඩුවේ නායකයන් තමන් විසින් පැළ කරන ලද බොරුවටම අසු වී සිටින බවය.

මෑතකදී පාර්ලිමේන්තුවේ කතාවක් කළ හර්ෂණ සූරියප්පෙරුම ඇමැතිවරයා කියුවේ රටේ විදේශ ණය හරහා ලබාගත් සහ වැය කිරීම් කළ රුපියල් ට්‍රිලියන 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ආගිය අතක් නැති බවය. මෙය සම්පූර්ණ කෙබරයකි. බොරුවකි. විගණකාධිපතිවරයා විසින් රජයේ ඒකාබද්ධ අරමුදල සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් දෙන විගණන වාර්තාවට අනුව රුපියල් ට්‍රිලියන 27 ක් (ඒ කියන්නේ බිලියන විසිපන්දාහක්) පමණ මුදලක් විදේශ ණය සහ විදේශ ආයෝජන හරහා රජය විසින් ව්‍යාපෘතිය සඳහා වැයකර තිබේ. ඒ මුදල්වලට සාපේක්ෂව වත්කම් ගොඩ නැගී ඇති ආකාරය පැහැදිලි නැති බව විගණකාධිපතිතුමාගේ නිරීක්ෂණයයි. එයින් කියන්නේ රුපියල් ට්‍රිලියන 20 කවුරු හරි හොරකම් කළා කියා නොවේ. ඒ මුදල් වැය කර ඇති රාජ්‍ය ආයතන (මහවැලිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය වැනි) තමන් ගේ ගිණුම් වාර්තාවල ඒ ඒ වැයවීම් හරහා ගොඩ නැගී ඇති වත්කම් වාර්තා කර තිබේ. එම වත්කම් රජයේ මූලික ගිණුම් වාර්තා තුළ නොපෙනීම පිළිබඳ ගැටලුව විසඳිය යුතුය. එහෙත් එයින් කියන්නේ රුපියල් ට්‍රිලියන 20 ක් හොරකම් කර තිබෙන බව නොවේ.

මේ මිථ්‍යා මත නිසා ගොඩ නැගී ඇති තවත් මතයක් වන්නේ මෙතෙක් සිටි සියලුම දේශපාලඥයන් හොරුන්ය යන මිථ්‍යාවයි. බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ මේ මිථ්‍යාව ඔප්පු කරන්නට මේ වන විට රජයේ විශාල බරක් ලබාදී ඇති බව පැහැදිලිය. මේ කාරණා කතාවට කිව්වාට නෛතිකව සොයා බලන විට තත්වය වෙනස් බව මේ වන විටත් විවිධ පුද්ගලයන් හා චෝදනා මගින් පෙන්නුම් කර තිබේ.

 

සිල්ලර දේ ප්‍රමුඛතාව වීම

ඉහත ප්‍රධාන කරුණු දෙකට (එනම් බලය සම්බන්ධ අවිනිශ්චිතතාව සහ මිථ්‍යා මතවල පිහිටීම යන) අමතරව මේ ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් බලපෑම්සහගත තුන්වැනි කාරණය වන්නේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව ඉතාමත් සිල්ලර දේවල්වලට ලබාදීමය. මේ මොහොතේ රටේ ආර්ථිකය පැත්තෙන් ප්‍රධානතම කාරණය වන්නේ ආර්ථික වර්ධනය සහ බෙදීයාම සහතික වන පළල් ප්‍රතිසංස්කරණයක් ආර්ථික ක්ෂේත්‍රයේ සිදුකිරීමය. එහෙත් එවැනි බරපතළ වැඩකට අතගහන්නට ආණ්ඩුවේ සූදානමක් පෙන්වන්නේ නැත. ආර්ථිකය හොඳට තියෙන කාලෙක කළ යුතු සමහර සිල්ලර වැඩවලට ප්‍රමුඛතාව දෙනවා මිස ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් විප්ලවීය වෙනසක් තබා සුළු පරිමාණයේ වෙනසක් වත් සිදුවන්නේ නැත.

මේ තත්වය මත ආණ්ඩුවේ ගමන් මග යනු ඉහත කාරණා තුන තවදුරටත් ඉදිරියට වර්ධනය වීම බව මගේ නිරීක්ෂණයය.

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (1)

ආණ්ඩුවේ ගමන්මග සාර්ථකද?

thilak Sunday, 01 June 2025 05:43 PM

76 වසරක සාපය පිළිබඳව කතා කරන උදවිය, ඒ 76 වසර තුළ උතුරේ සිදුවුණු 30 වසරක යුද්ධය සහ දකුණේ තිබුණු කැරලි දෙකෙන් රටට සිදුවූ විනාශය සහ ආර්ථික පසු බැස්ම ගැනත් කතා කරා නම් තමා වැඩිය හොඳ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 621 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 351 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site