IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


අස්වැසුමෙන් ඉස්මතු වූ කන්දොස්කිරියා

ආණ්ඩුවේ අලුත්ම දුගී මූල්‍යාධාර වැඩ පිළිවෙළ වන අස්වැසුම සුබ සාධන යෝජනා ක්‍රමය නිසා පසුගිය දින ගණනාවක් තිස්සේ රටේ බොහෝ ප්‍රදේශවල විරෝධතා උද්ඝෝෂණ පැවැත්විණි.

මෙතෙක් ක්‍රියාත්මක වූ සමෘද්ධි යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබූ ඇතැම්හු නව ක්‍රමයට තමන් ඇතුළත් කරගනු ලැබ නැතැයි කියමින් උද්ඝෝෂණය කළහ. තවත් ඇතැමෙක් කලින් ප්‍රතිලාභ නොලැබුව ද තමන්ගේ ඉල්ලුම්පත් භාර නොගැනීම ගැන විරෝධය දැක් වූහ.

මේ විරෝධතා කොතරම් දුරට අනෙක් ප්‍රශ්න යටකරගෙන ඉස්මතු වූයේ ද යත් සහනාධාර සඳහා දැනට තෝරාගෙන ප්‍රසිද්ධ කරනු ලැබ ඇති ලැයිස්තුව අවසාන ලැයිස්තුව නොවේ යැයි නිවේදන නිකුත් කරන්නට අදාළ ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට සිදුවී තිබේ. දුරකතන ඔස්සේ බෙදාහරිනු ලබන කෙටි ප්‍රවෘත්ති අතර ද මෙම ප්‍රශ්නයට තැනක් ලැබී තිබිණි.

මෙම විරෝධතා මතුවේ යැයි බලධාරීන් කල් තබාම බලාපොරොත්තු වූ නිසාදෝ ඔවුන් අස්වැසුම ආධාර ඉල්ලුම්කොට එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබූවන්ට අභියාචනය කරන්නට ද අවස්ථාව දී තිබේ. මෙම නව යෝජනා ක්‍රමය යටතේ මූල්‍යාධාර බෙදාදීම ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන්නට නියමිත වුව ද ජුලි මස 10 වැනිදා තෙක් එසේ අභියාචනා ඉදිරිපත් කළ හැකි යැයි බලධාරීන් නිවේදනය කොට තිබේ.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වූ සමෘද්ධි, වැඩිහිටි දීමනා, වකුගඩු රෝගී දීමනා හා ආබාධිත දීමනා යන සියලු මූල්‍යාධාර වැඩ සටහන් ඇතුළත් කර ගත් යෝජනා ක්‍රමයකි. කෙසේ වෙතත් මියයන තෙක්ම සමාජය විසින් රැක බලා ගනු ලැබිය යුතු වැඩිහිටියන් වකුගඩු රෝගීන් හා ආබාධිතයන් සඳහා වූ දීමනාවල හෝ ඔවුන්ගේ නම් ලැයිස්තුවල හෝ වෙනසක් සිදුවී ඇති බවක් නොපෙනේ. ගැටලු මතුවී ඇත්තේ මූල්‍යාධාර ලැබිය යුතු දුප්පතුන් තෝරා ගැනීමේදීය.

ඒ අනුව ඉකුත් බදාදා වනවිට මූල්‍යාධාර ඉල්ලා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වූවන්ගෙන් අභියාචනා 383,000කට වැඩි සංඛ්‍යාවක් ලැබුණු බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කොට තිබිණි. ඒ සමගම 5,000කට වැඩි ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයන්ගෙන් විරෝධතා ලිපි ලැබුණු බව ද කියවිණි.

හදිසි ආපදාවන්හිදී විපතට පත්වූවන්ට දෙනු ලබන මූල්‍යාධාර මෙන් නොව දුගී බව දුරැලීම සඳහා ස්ථිර පදනමින් ආරම්භ කරන ලද තුන්වැනි මූල්‍යාධාර ක්‍රමය මෙම අස්වැසුම යෝජනා ක්‍රමයයි. මීට පෙර 1988 දී ‘ජනසවිය’ නමින්ද 1995 දී ‘සමෘද්ධි’ යන නමින්ද එවැනි දුගී බව දුරැලීමේ මූල්‍යාධාර ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබීය.

ජනසවිය යෝජනා ක්‍රමය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් 1988 දී ආරම්භ කරනු ලැබ 1989 දී පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූ පනතකින් නීතිගත කරනු ලැබූ වැඩ සටහනකි. එමඟින් පවුල් 150,000කටත් 165,000කටත් අතර සංඛ්‍යාවකට මූල්‍යාධාර දෙනු ලැබූ අතර එමගින් පරිභෝජන හා ආයෝජන යනුවෙන් අංශ දෙකක් සඳහා මූල්‍යාධාර දෙනු ලැබීය.

එම යෝජනා ක්‍රමයේ අරමුණ වශයෙන් දුගී බව දුරැලීම සඳහන් වූයෙන් ලෝක බැංකුව ද ඒ සඳහා 1990 දී ඩොලර් මිලියන 100ක් දී තිබිණි. ඒ ජනසවිය අරමුදල පිහිටුවීම සඳහාය. එමගින් පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගැනිණි. ඉන් පසුවද ලෝක බැංකුවත් ඊට අනුබද්ධිත ජාත්‍යන්තර සංගමයත් මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය සැපයීය. දේශීය වශයෙන් සංවිධාන ගණනාවක් හා රාජ්‍ය නොවන සංවිධාන ද විදේශීය වශයෙන් සංවිධාන ගණනාවක් ද මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනිණි.

1997 දී මෙම වැඩ සටහන නතර කෙරෙන විට ජාතික සංවර්ධන භාරකාර අරමුදල ලෙස නම වෙනස් කරනු ලැබූ ජනසවිය අරමුදලේ ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් කෝටි 130ක් ඉතිරිවී තිබිණි. එහෙත් වසර 9ක පමණ කාලයක් ක්‍රියාත්මක වූ ජනසවිය යෝජනා ක්‍රමයෙන් රටේ දුගී බව තුරන් කිරීමට කෙතරම් දායකත්වයක් ලැබුණේද යන්න ප්‍රශ්නයකි. ඇත්ත වශයෙන්ම ඒ කාලය තුළද රටේ දුගී බව සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට එම වැඩ සටහනට නොහැකි විය.

ජනසවිය වැඩසටහන මෙසේ අවසන් වෙද්දී දුගී බව තුරන් කිරීමේ අරමුණෙන්ම 1995 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී සමෘද්ධි වැඩ සටහන ආරම්භ කෙරිණි. මෙහිදී මූලික අරමුණ වශයෙන් ප්‍රකාශ කෙරුණේ මහජන සහභාගිත්වය පදනම් කරගත් සංවර්ධනය මඟින් දුගී බව තුරන් කිරීමයි.

ඒ යටතේ අඩු ආදායම්ලාභීන් යැයි තෝරාගනු ලැබූ පවුල්වලට ආහාර මිලට ගැනීම සඳහා මූල්‍යාධාර වශයෙන් ‘ආහාර මුද්දර’ නිකුත් කෙරිණි. සමෘද්ධි වැඩ සටහන සඳහා වෙන් කරන ලද මුදලින් සියයට 80ක්ම මේ සඳහා වැය වූ බව ඇතැම් වාර්තාවලින් කියවේ. එසේම මෙම වැඩ සටහන යටතේ සමෘද්ධි බැංකු මඟින් සමෘද්ධි ප්‍රතිලාභීන් ඉතිරි කිරීමට පොළඹවන ලද අතර එමඟින් ඔවුනට සුළු රැකියාවක් සඳහා ණය දීමද සිදුවිය. එසේම ග්‍රාමීය වශයෙන් කුඩා මාර්ග, පාලම් ආදී යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට ද සමෘද්ධි අරමුදල් යොදවනු ලැබීය.

සුදුස්සන් මඟ හැර නුසුදුස්සන්ට මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන බවට දැන් අස්වැසුම යෝජනා ක්‍රමයට එල්ල වූ චෝදනාව ජනසවිය හා සමෘද්ධි යෝජනා ක්‍රමවලට ද එල්ලවිය. එක් වාර්තාවකින් කියැවුණේ රටේ දුප්පත්ම සියයට විසිපහෙන් සියයට හතළිහක්ම සමෘද්ධි ප්‍රතිලාභ නොලැබූ බවත් මූල්‍යාධාරවලින් සියයට 44ක්ම එම සියයට 25ට අයත් නොවන පිරිස් වෙත ගලා ගිය බවත්ය. ලෝක බැංකුවේ වාර්තාවකින් ද මෙය තහවුරු කෙරිණි.

මෙසේ වීමට ජනසවිය යෝජනා ක්‍රමය මෙන්ම සමෘද්ධි යෝජනා ක්‍රමය ද දැඩි ලෙස දේශපාලනීකරණය වීම ප්‍රධාන හේතුවක් විය. ජනසවිය ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට පක්ෂග්‍රාහී වූ යෝජනා ක්‍රමයකි. මෙම වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී එජාප ප්‍රාදේශීය නායකයන් විශාල බලපෑමක් කළ බව එකල සියල්ලෝ දැන සිටියහ. එසේම සමෘද්ධිය යනු එජාපයට එරෙහි පොදුජන එක්සත් පෙරමුණ ප්‍රාදේශීය වශයෙන් ඡන්ද දායකයන්ට බලපෑම් කරන්නට යොදාගත් මෙවලමක් විය. වෙනත් දේශපාලන පක්ෂවලට සහය දෙන්නන්ගේ සමෘද්ධි සහන කපා දමන බවට තර්ජනය කිරීම පිළිබඳ චෝදනා සෑම ප්‍රදේශයකින්ම වාර්තා වී තිබේ.

අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන්නේ මේ පසුබිම තුළය. ආණ්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කෙරුණු සාකච්ඡාවල දී දුප්පතුන් සඳහා වූ සමාජ ආරක්ෂණ ජාලයක් පිළිබඳව සඳහන් විය. එහෙත් අස්වැසුම වැඩසටහන ඍජුවම මූල්‍ය අරමුදලේ වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන්නේ ද යන්න පැහැදිලි නැත. මන්දයත් මෙම මූල්‍යාධාර ක්‍රමය ක්‍රියාත්මක කරන සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා සමඟ කරන ලදුව එම මණ්ඩලයේ වෙබ් අඩවියේ පළකොට ඇති සම්මුඛ සාකච්ඡාවක් අනුව අස්වැසුම වැඩ සටහන යටතේ ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන්ගෙන් ඉල්ලුම්පත් කැඳවන ලද්දේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේය. මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන පිළිබඳව අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකාව මූලික එකඟතාවක් ඇතිකර ගත්තේ ඉන් පසුවය. එනම් ඉකුත් වසරේ සැප්තැම්බර් 1 වැනිදාය.

අස්වැසුම ප්‍රතිලාභ සඳහා වූ ඉල්ලුම්කරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමෙන් පසු එම තොරතුරු විශේෂ පරිගණක යෙදවුමකට කවා එම යෙදවුම මඟින් සුදුස්සන් තෝරා ගැනෙන හෙයින් කිසිවකුටත් ඊට බලපෑම් කළ නොහැකි බවත් කිසිවකුටත් අසාධාරණයක් නොවන බවත් විජයරත්න මහතා පවසයි.

එහෙත් මෙම වැඩසටහන යටතේ මූල්‍යාධාර සඳහා අයදුම්පත් ලක්ෂ 37ක් ලැබී තිබේ. එසේ වුවද ආණ්ඩුව ඉලක්ක කරන්නේ පවුල් ලක්ෂ 20 කට ආධාර දීමටය. ඒ අනුව තෝරා නොගැනුණු පවුල් 17 ලක්ෂයක විරෝධතාවට ලක්වීමට ආණ්ඩුවට සිදුවීම ස්වාභාවිකය.

මේ රටේ ක්‍රියාත්මක වන දුප්පත්කම දුරැලීමේ වැඩ සටහන් කොතරම් දුරට සාර්ථක ද යන්න ගැටලුවකි. 1998 දී සමෘද්ධි වැඩ සටහනට පවුල් ලක්ෂ 12ක් සම්බන්ධ විය. දැන් එම වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 17ක් ආධාර ලබන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා පවසා තිබිණි. අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 20ක් ආධාර ලැබීමට නියමිතය. ආධාර මත ජීවත්වන පවුල් සංඛ්‍යාව මෙසේ වැඩිවේ නම් දරිද්‍රතාව පිළිබඳ සංඛ්‍යා ලේඛන කුමක් වුවත් එම වැඩ සටහන් සාර්ථක නොවන බව පෙනේ.

අස්වැසුම ව්‍යාපෘතිය යටතේ මෑතක දී දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටුණු පිරිස් කණ්ඩායම් දෙකක පවුලකට මසකට රුපියල් 2500 බැගින් හා රුපියල් 5000 බැගින් දෙන්නට නියමිතය. එනම් එක් කණ්ඩායමක පවුලකට මෙම වැඩ සටහනේ ප්‍රතිලාභ වශයෙන් දිනකට රුපියල් 83ක් ලැබෙන අතර අනෙක් කණ්ඩායමේ පවුලක් දිනකට රුපියල් 166ක් ලබාගනු ඇත. වත්මන් මිල ගණන් අනුව මෙවැනි දීමනාවක් මඟින් ඔවුන්ගේ දුගී බව නැති කළ හැකිද?

තවත් කණ්ඩායම් දෙකක පවුලකට මසකට රුපියල් 8000ක් හා 15,000ක් බැගින් ලැබෙනු ඇත. දුගී බව තුරන් කරගත නොහැකි වුවත් මේවායින් ද දීමනාවක් ලෙස සැලකිය හැක්කේ පවුලකට මසකට රුපියල් 15000ක් බැගින් ගෙවනු ලබන දීමනාව පමණි.

දිනකට පවුලකට රුපියල් 83ක්, 166ක් බැගින් දීම වැනි දීමනා ඇත්ත වශයෙන්ම දුප්පතුන්ගේ සැබෑ තත්ත්වය පිළිබඳ දේශපාලනඥයන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ අවබෝධය පෙන්වන්නකි. අනෙක් අතට මෙමඟින් දුගී බව තුරන් කළ හැකි යැයි ඔවුන් සිතන්නේ නම් ඔවුන් ගැන ඒ දුප්පතුන්ට අනුකම්පා කළ යුතුය. අනෙක් අතට අද අවශ්‍ය වන්නේ මෙවැනි හාස්‍යජනක ආධාර නොව මෙම දුප්පතුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා වූ ප්‍රායෝගික පිළිගත හැකි වැඩ පිළිවෙළකි.

දුප්පතුන්ට සහනාධාර නොදිය යුතු යැයි මෙයින් අදහස් නොවේ. එහෙත් එය සමස්ත ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළ හා බැඳුණු එකක් විය යුතුවේ. එවැනි වැඩ පිළිවෙළක් නැති තැන දුගී බව දුරැලීම සිහිනයක් පමණි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

අස්වැසුමෙන් ඉස්මතු වූ කන්දොස්කිරියා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 4 0

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 171 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 699 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 2376 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 151 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 544 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1135 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 287 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1325 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site