IMG-LOGO

අල්ලස–දූෂණය පිටුදැකීමේ ක්‍රියාදාමය තවත් දැඩිකරමු

අල්ලස් ගැනීම්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධ පැමිණිලි 3255 ක් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට නොවැම්බර් මස 21 වැනිදා දක්වා කාලය තුළ අල්ලස් කොමිසමට ලැබී ඇතැයි එම කොමිෂම් සභා ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

එම ප්‍රවෘත්තියට අනුව අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මහජනයා සමග නිරන්තරයෙන් ගැටෙන රාජ්‍ය ආයතනවලට අදාළව වන අතර පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි සියයකට ආසන්න සංඛ්‍යාවක් ද විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි පනහකට ආසන්න සංඛ්‍යාවක් ද මේ වසරේ ලැබී තිබේ. පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කම්කරු කාර්යාල යන රජයේ ආයතනවලට එරෙහිව ද පැමිණිලි විශාල වශයෙන් ලැබී තිබේ.

අල්ලසට, දූෂණයට කිසිවෙක් කැමති නැත. එහෙත් එහි පහසු ගොදුරු බවට ඇතැමෙක් පත්වෙති. එයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අධිපරිභෝජනවාදී ජීවන රටාව ය. ආදායම හා වියදම තුලනය කරගත් අපිස් ජීවිතයක් සම්බන්ධ පෙළඹවීම ආගම දහම තුළ කොතෙක් තිබුණ ද ඒවා ජීවිතය තුළ යථාර්ථයක් බවට පත්කර ගැනීමට පවතින පරිභෝජනවාදී සමාජය තුළ ඉඩක් නැත. එහෙයින් බොහෝ දෙනෙක් ආදායමේ සීමාව ඉක්මවා ගිය වියදමකට පෙළඹෙති. එම අඩුව පිරිමසා ගැනීමට සාදා නිමකළ දැහැමි මාවතක් නැත. එක්කෝ සිඟමන් යැදිය යුතුය. නැතහොත් අල්ලසට, දූෂණයට, අයථා ලෙස වත්කම් ඉපැයිය යුතුය. පහසුම මග එය වන හෙයින් ඇතැමෙක් එයට යොමුවෙති.

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය සමාජයේ සන්සුන් සංහිඳියාවත් ජනයාගේ පැවැත්මත් බරපතළ ලෙස අභියෝගයට ලක්කර තිබේ. ජනයාගේ ඉපැයීමට වඩා හත් අට ගුණයකින් වියදම වැඩි වී තිබේ. එය ජනයාගේ වරදක් නොවේ. අමතර ආදායම් මාර්ග වැසී ගොසිනි.

2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් රජයේ සේවකයන්ට මසකට රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමක් යෝජනා කර තිබේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය මුදල් සොයා ගනු ලබන්නේ වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමෙනි. එම වැට් බද්ද වැඩි කිරීමෙන් පසුව රජයේ සේවකයකු එක් මසකට අමතර වශයෙන් රුපියල් දොළොස් දහසක් ගෙවිය යුතු බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. වැඩි වන්නේ රුපියල් දස දහසකින් වුවද එම රජයේ සේවකයා වැඩිවන ගණනට වඩා රුපියල් දෙදහසක් වියදම් කළ යුතුය.

 මෙම කරුණු කාරණා දෙස බැලීමේ දී ආර්ථික අර්බුදය ඉතා බරපතළ බව පැහැදිලි ය. එමෙන් ම ඒ වෙනුවෙන් නිර්දේශ වන ඇතැම් විසඳුම් ද ප්‍රායෝගික නැත. හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව ඒකාන්ත සත්‍යයකි. අල්ලසට, දූෂණයට, අයථා ඉපැයීම්වලට බලපාන හේතු නිරුපද්‍රිතව තිබියදී ඒවායෙහි නියැලෙන්නන් කූඩු කිරීමෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

මීට පෙර රටේ බොහෝ සොරකම් ‘කුඩ්ඩන්ගේ’ ගිණුමට බැර විය. එහෙත් වර්තමානය වන විට දරුවන්ගේ බඩගින්න නිවා දැමීම වෙනුවෙන් ඇතැමෙක් සොරකම්වලට පෙළඹී සිටිති. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ අපරාධ බහුල රටක් නිර්මාණය වීමය. ප්‍රශ්නය එයට හිමි නිසි බරින් හඳුනාගත යුතු වන්නේ එහෙයිනි.

(***)



අදහස් (0)

අල්ලස–දූෂණය පිටුදැකීමේ ක්‍රියාදාමය තවත් දැඩිකරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 240 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1185 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site