IMG-LOGO

අරුගම්බේ මොකද වෙන්නේ?

නැගෙනහිර අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක පාරාදීසයක් වූ අරුගම්බේ පිළිබඳව මේ දිනවල කිසියම් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයක් පිළිබඳව කතාබහක් නිර්මාණය වී තිබේ. අපි මේ පිළිබඳව කරුණු සොයා බැලීම පිණිස අරුගම්බේ බලා ගියෙමු.

අම්පාර දිස්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට ඇති සංචාරක ආකර්ෂණයෙන් යුත් වර්ග කිලෝ මීටර් දහයක පමණ වපසරියකින් යුත් සෘජු සහ බොකු ගැසුණු මෙම වෙරළ තීරය සංචරකයන් ඉමහත් ප්‍රිය කරන ස්ථානයකි. රත්නපුර හරහා එන්නේ නම් කොළඹ සිට කිලෝ මිටර් 328 ක පමණ දුරකින් ද දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා එන්නේ නම් කිලෝ මිටර් 396 කින් ද මහනුවර හරහා එන්නේ නම් කිලෝ මිටර් 390 ක දුරකින් ද මෙම සංචාරක ප්‍රදේශය පිහිටා ඇත.

අරුගම්බේ බෙහෙවින්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ රළ මත ලිස්සා යාමේ (සෆරින්) ක්‍රීඩාවට උචිත ලෝ පතළ ප්‍රදේශයක් බැවිනි. එවන් ස්ථාන ඇති ලෝකයේ රටවල් දහය අතරට මෙයද එක් වේ. අරුගම්බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙන බවට පසුගිය මාස කීපයකට පෙර ප්‍රචාරය වීමත් සමග එහි සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් විය.

දැන් මෙම ප්‍රදේශය යථා පරිදි සංචාරක කටයුතු සිදු වෙන අතර සංචරකයන් අතිවිශාල පිරිසක් මෙහි පැමිණ ඇති ආකාරය අපට දැක ගත හැකි විය. ආරක්‍ෂක අංශ නිලධාරියකු පැවසු ආකාරයට දහසකට ආසන්න  වූ සංචාරක පිරිසක් එහි ගැවසෙති. මේ අතරින් ඊශ්‍රායල් ජාතිකයන් පන්සියයකට ආසන්නව සිටින  බවද සඳහන් කළේය.

කෙසේ නමුත් මෙවැනි තොරතුරු පැහැදිලිව ලබා ගන්නට අඩුම ගණනේ තොරතුරු මධ්‍යස්ථානයක් හෝ අරුගම්බේ නොමැත. සංචාරක සංවර්ධන අධිකාරි කාර්යාලයක් හෝ මෙහි ස්ථාපිත කරන්නේ නම් ඉතා සුදුසු බව බොහෝ දෙනා පැවසූහ.

මේ නිසාම ඊශ්‍රායල් ජාතිකයන්ගේ පාරාදීසයක් බවට අරුගම්බේ පත්ව ඇතැයිද එහි නාම පුවරුද ඔවුන්ගේ භාෂාවෙන් සටහන් ව ඇති බවද සමාජය තුළ සංවාදයකට ලක්ව ඇතැයි ද ඇතැම් සමාජ මාධ්‍ය සහ තවත් මාධ්‍ය සඳහන් කර තිබුණි.

එසේම ඊශ්‍රායල් ජාතිකයන් නිතර එක් රැස් වෙන ෂබාත්  හවුස් නම් ස්ථානයක් පිළිබඳව ද ප්‍රදේශයේ අවධානයකට ලක්ව තිබේ. ඊශ්‍රායල් ජාතිකයන්ගේ මැදිහත් වීමෙන් සංචාරක හෝටල් පවත්වාගෙන යන  බවට ද පැතිර ඇති කතා පිළිබඳව අපි කරුණු සෙවීමු.

අප අරුගම්බේ නගරයේ සංචාරය කරන අතර තුර ස්ථාන කීපයක පමණ වෙනත් (හිබෲ විය හැක)භාෂාවෙන් වූ  නාම පුවරු කීපයක් ද දක්නට විය. එහෙත් එම සංචාරක ප්‍රදේශයේ බහුතරයක් වූයේ ඉංග්‍රීසී භාෂාවෙන් වූ නාම පුවරුය.

සංවේදී කාරණා

අරුගම්බේ ප්‍රදේශයේ මේ තත්ත්වය පිළිබඳව අප හිටපු දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ,වත්මන් පොතුවිල් ප්‍රාදේශීය සභා සභාපති එස්.එම්.එම්. මුෂාරෆ් මහතා මෙසේ සඳහන් කළේය.

ඇත්තෙන්ම අරුගම්බේ සංචාරක ප්‍රදේශයේ හෝ ඊශ්‍රායල්  ජාතිකයන් පිළිබඳව බරපතළ අර්බූදකාරි තත්ත්වයක් නැහැ.මේක අපේ රටේ ආර්ථිකය සමග ගැටගැහුණු සංවේදී  කාරණයක්. ඒ නිසා මම මාධ්‍යයෙන් වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අනවශ්‍ය විදිහට වැරැදි තොරතුරු සමාජ ගත කරන්න එපා කියලා. එහෙම වුණොත් සංචාරක කර්මාන්තයටත් බලපෑමක් වේවි. ඒත් මම විශේෂයෙන් එක දෙයක් කියන්න කැමතියි ඊශ්‍රායල්  ජාතිකයන් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් නැතත් සැකයක් ජනතාව අතර තියෙනවා. ඒ අය එයාලගේ ආගමික කටයුතු සඳහා එකතු වෙන තැනක් තමයි ෂබාත්  හවුස් කියන්නේ . එයාලා  සතියකට වරක් දෙකක් එකතු වෙලා ආගමික කටයුතු කරලා කාලා බීලා විසිර යනවා. ඒත් මේ ගැන තවදුරටත් සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුයි කියලා පොතුවිල් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදීත් මම අදාළ අංශ වලට දැනුම් දීලා තියෙන්නේ. 

ඔවුන් නීති විරෝධීව ව්‍යාපාර කටයුතු කරනවා කියන කාරණය අපි සොයා බලනවා . ඒත් මම දන්න තරමින් නම් ඔවුන් සෘජුව ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. ඒත් ලංකාවේ පිරිස් සම්බන්ධ කරගෙන වක්‍රව ව්‍යාපාර කරන බවයි අපට වාර්තා වෙලා. ඒ වගේම ඔවුන් සම්බන්ධ යැයි කියන සමහර හෝටල්වල ඊශ්‍රායල් භාෂාවෙන් යම් යම් නාම පුවරු තියෙන බවත් මට වාර්තා වෙලා තියෙනවා. මේවයේ ඇති නීතිමය පසු බිම පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා.

 

අරුගම්බේ පිළිබඳව ඇතැඹුලක් සේ දන්නා එම ප්‍රදේශයේම පුද්ගලයකු වන ශ්‍රී ලංකා සංචාරක සහ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඒ. එම්. ජවුෆර් මහතා:- මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය අද ඉතාම හොඳ තත්වයකට ඇවිත් තියෙනවා. ප්‍රදේශයේ ආර්ථිකය ඉතාම ඉහළට ඇවිත් තියෙනවා. මේ දිනවල අරුගම්බේ හෝටල් පිරී ඉතිරි යන තරමට සංචාරකයන් ඉන්නවා. යම් යම් විදෙස් ජාතිකයන් මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට අදාළව ව්‍යාපාර කරන බව රහසක් නෙවෙයි. ඒ අය බොහෝ විට ලංකාවේ අය සමග එකතු වෙලා තමයි කරන්නේ. මේ අය අතරින් වැඩි පිරිසක් ඊශ්‍රායල් ජාතිකයන් ඒ නිසා තමයි ඒ අය සම්බන්ධ යැයි කියලා හිතෙන තැන්වල ඒ භාෂාවෙන් නාම පුවරු තියෙන්නේ. වෙනත් ජාතිකයනුත් ව්‍යාපාර වලට  සම්බන්ධයි. ඒත් මේ ගැන බොහෝම පරිස්සමින් සොයා බලා කටයුතු කරන්න ඕන .

ඇත්තෙන්ම කවුරු වුනත් නීත්‍යනුකූලව නොවන ආකාරයට අරුගම්බේ ව්‍යාපාර කරනවානම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම අදාළ අංශවල වගකීමක් . අපි මේ ගැන බොහෝ අවස්ථාවලදි රජයේ අදාළ අංශ සමග කතා කරලා තියෙනවා.  අරුගම්බේ සංචාරක කලාපයක් විදිහට ගැසට් කරලා නැහැ. මේක අයාලේ යන සංචාරක ප්‍රදේශයක් . අරුගම්බෙට වතුර ලැබෙන්නේ දවසට පැයයි. විදුලිය සැපයුම ප්‍රමාණවත් නැහැ. නිතරම සැපයුමේ දෝෂ තියෙනවා. සංචාරකයන්ට ඒක ප්‍රශ්නයක්. ප්‍රදේශයේ යටි තල පහසුකම් ගැටළුව නිසා ඒක සංචාරක කර්මාන්තයට බලපානවා. සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය මීට වඩා යොමු විය යුතුයි. පසු ගිය දවසක සංචාරක නියෝජ්‍ය අමාත්‍යතුමා කළ නිරික්‍ෂණ චාරිකාවෙන් පසුව යටි තල පහසුකම් දියුණු කරන බව දැනුම් දීලා තියෙනවා . කොහොම නමුත්  අරුගම්බේ සංචාරක තීරයේ මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න අපට ජනාධිපති තුමාගෙන් අවස්ථාවක් ලබා දෙනවනම් මේ ප්‍රශ්නවලට බොහෝ විසඳුම් ලැබෙන බව විශ්වාසයි.

අරුගම්බේ සංචාරක හෝටල් 232 ක් තියෙනවා. ඒත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි අවසර ලත් හෝටල් තියෙන්නේ 50 යි. මෙතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. මේවා විධිමත් කරානම් මේක ඊශ්‍රායල් කොලනියක් වගේ කියන චෝදනාවටත් පිළිතුරක් ලැබෙනවා. මේ සංචාරක සීමාව තුළ විදෙස් ජාතිකයන් සම්බන්ධ යැයි කියන හෝටල් ව්‍යාපාර සංඛ්‍යාව 45-50 අතර වෙනවා. ඉන් 11 ඊශ්‍රායල් ජාතිකයන් සම්බන්ධයි. හැබැයි මේ සියල්ලෙම නීත්‍යනු කූලභාවය සෙවීම අදාළ අංශවල වගකීමක් . ඒක අපට කරන්න බෑ.

පසු ගිය දවසක මේ ප්‍රදේශයේ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය විරෝධි පාගමනක් ගියා. ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතනවල සහය ලැබුණා. ඒත් සමහරු මේවා සමාජ මාධ්‍යයේ දාලා තිබුණේ ඊශ්‍රායල්  ජාතිකයින්ට විරුද්ධව පා ගමනක් ගියා කියලා. ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයින්ට ජනතාව හිරිහැර කරනවා කියලා ප්‍රචාර යවලා තිබුණා. මෙතන එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒත් කවුරු හරි නීති විරෝධි ව්‍යාපාර කරනවානම් මොන රටේද කියලා අදාල නෑ වහාම පියවර ගන්න කියලයි අපි ඉල්ලන්නේ.

 

අරුගම්බේ - බේ ඩ්‍රීම්ස්  හෝටලයේ අධිපති  මොහොමඩ් ඉක්බාල් මහතා:- ඇත්තෙන්ම ලෝකයේ මොන ජාතිකයෙක් හරි මෙහේ ඇවිත් ආයෝජන කළාට කමක් නෑ. හැබැයි ඒවා නීත්‍යනුකූල විය යුතුයි .සංචාරක වීසා ඇවිත් ව්‍යාපාර කරන අය ගැන රජය සොයා බැලිය යුතුයි. කොහොම නමුත් අරුගම්බේ පිළිබඳව සමාජයේ පැතිර යන කතා එච්චර හොඳ නෑ. ඊශ්‍රායල් ජාතිකයන් විශාල පිරිසක් සිටීම සහ ඔවුන් සම්බන්ධ වෙලා කරන ව්‍යාපාරවලින් අපට නම් තවම ප්‍රශ්නයක් නෑ. ඒ අය විතරක් නෙවෙයි තවත් ජාතින් මේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් සංචාරක සංවර්ධන අධිකාරිය දැන්වත් මැදිහත් වෙලා කටයුතු කළ යුතුයි. අරුගම්බේ ව්‍යාපාරිකයන් විදිහට අපි හැමෝගෙම මතය වෙලා තියෙන්නේ නීති විරෝධිව ව්‍යාපාර කටයුතු කරන අයගේ ව්‍යාපාර පිළිබඳව සොයා බලා වහාම පියවර ගත යුතුයි කියන එකයි.

 

 

අරුගම්බේ ත්‍රීවිල් සංගමයේ  සභාපති  අබුසාලි මුසම්මිල්  මහතා:- මේ ඊශ්‍රායල් ජාතිකයන්ගේ ප්‍රශ්නය පිළිබඳව සොයා බැලිය යුතුයි. නැත්නම් වැරැදි තොරතුරු සමාජ ගත වෙන්න පුළුවන්. අපි දන්නා තරමින්  ෂබාස් හවුස් කියන්නේ ඔවුන්ගේ යාච්ඥා මධ්‍යස්ථානයක්. ඔය තැන තැන ඊශ්‍රායල් කට්ටියගේ  නාම පුවරු තියෙනවා. ගොඩක් දුරට හෝටල්වල ආහාර පානවල මිල ගණන් වගේ දේවල් තමා එහි සඳහන් වෙන්නේ.

 

 

ට්‍රැවල් ඒජන්සි හිමිකරුවකු වන මොහොමඩ් ඉමාම් මහතා:- “විදෙස් ජාතිකයන් කවුරු වුණත් ඒ අය අපට සම්පතක්. ඊශ්‍රායල්  ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල වෙයි කියපු වෙලාවේ ඔවුන්ගේ  පැමිණීම අඩු වුණා. ඒත් දැන් ගොඩක් දෙනෙක් එනවා. මේ දවස්වල ඊශ්‍රායල්  ජාතිකයන් තමා ගොඩක් ම ඉන්නේ. මේ ප්‍රදේශයට සහ හෝටල් ව්‍යාපාරවලට ඔවුන්ගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒත් ඔවුන් ගේ යම් කිසි බලපෑමක් හෝ නීති විරෝධි කටයුත්තක් වෙනවානම් අදාළ අංශ ඊට අවශ්‍ය පියවර ගත යුතුයි.”

 

මෙහිදි අදහස් පළ කළ රුසියානු ජාතික යුවළක් වූ ලු‍ලියා සහ ඇලෙක්ස්:-

ඇත්තෙන්ම අරුගම්බේ ඉතාම ලස්සන සංචාරක පුරවරයක් . ලෝකයේ බොහෝ රටවල මිනිස්සු මෙතන ඉන්නවා. ඊශ්‍රායල් ජාතිකයන් මෙහි හිටියා කියලා අපට විශේෂ වෙනසක් පේන්න නෑ. ලංකාවේ මිනිස්සු හරිම සුන්දරයි හරිම ළෙන්ගතුයි. ඔවුන් හරිම ආදරණීයයි. අපි මේ දෙවැනි වතාවට තමා ලංකාවට ආවේ. අපි දැන් මාසයකට කිට්ටු වෙන කාලයක් තිස්සේ ලංකාවේ ඉන්නවා. ලංකාවේ දියුණුවට සුබ පතනවා’‘

ඊශ්‍රායල් ජාතිකයන් ගේ ක්‍රියාකාරකම් හෝ ඔවුන් විසින් කරනවා යැයි කියන ව්‍යාපාර පිළිබඳව හෝ ඔවුන්ගේ ව්‍යාප්ත වාදයක් පිළිබඳව  පොතුවිල් පොලිස් ස්ථානාධිපති  ඒ.ඩී. කාරියවසම් මහතාගෙන් අප කළ විමසීමකදී  ඔහු කියා සිටියේ එවැනි කිසිදු නීති විරෝධි ක්‍රියාවක් පිළිබඳව තමන්ට වාර්තා වී හෝ පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ප්‍රදේශයේ සාමකාමී වට පිටාවක් තිබෙන බවත්ය.

මේ අතර  අරුගම්බේ සංචාරක පුරවරයේ  ආරක්‍ෂක විධි විධාන තර  කර ඇති ආකාරය අපට දක්නට හැකි විය. පොලීසිය විශේෂ කාර්ය බළකාය යුද හමුදාව නාවික හමුදාව මෙන්ම වෙරළාරක්‍ෂක පොලීසිය මෙහි යොදවා තිබුණි. ඊශ්‍රායල් ජාතිකයන් කීප දෙනෙකු සමග කතා කරන්නට උත්සහ කළත් ඔවුන් ඒ පිළිබඳව එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

 

 

 

(***)
විස්තර සහ ඡායාරූප
දිගාමඩුල්ලේ සමන් දිසානායක
අරුගම්බේ සිට



අදහස් (3)

අරුගම්බේ මොකද වෙන්නේ?

Sanjaya hevavissa Thursday, 14 August 2025 04:23 PM

යුදෙව්වෝ කියන උද්දච්ච, හොර මානසිකත්වයක් ඇති, අමු පෙරේත, නිතරම අනුන්ගේ දේට අයිතිවාසිකම් කියන, හැමවිටම "දෙපිටකාට්ටු" මුලු ලෝකයම පිළිකුල් කරන (පිළිකුල් කරන්න හේතු තිබෙන) අහිකුන්ටක වර්ගයාට තම පශ්චාත් භාගය දෙන" නූගත් " අඳබාල නෂ්ටකාමයෙන් පෙලෙන ඉතාම සුළු කණ්ඩායමක් මේ රටෙත් සිටීම මුළු රටේම, මුළු සමාජයේම ආරක්ෂාවට තර්ජනයකි. රනිල්ගේ කාලයේ තමයි මේ අහිකුන්ටකයින් වැඩිපුර මේ රටට පැමිණෙන්න පටන් ගත්තේ. මේ ප්‍රශ්නයට රටේ බලධාරීන්ගේ අවධානය යොමුවේවා...!

:       14       14

Jisthi Saturday, 16 August 2025 02:11 PM

එතකොට ඔබ අයිති වන්නේ කුමන පිරිසටද? ඉතිහාසයේ ලියවී ඇති ආකාරයට ඉන්දියාවෙන් පන්නපු සොරමුලක් මේ රටේ මුල්බැසගෙන ඉන්න බව නම් ඇත්තක්...

:       4       3

NILANTHA GAMAGESunday, 17 August 2025 10:27 AM

විකාර තමයි...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 113 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1054 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site