IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


73 වැනි ජන්ම දිනය සමරන නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද (26 වැනිදා) ස්වකීය පුණ්‍යවන්ත ජීවන ගමනේ තෙසැත්තෑ වන විය සපුරමින් සිව් සැත්තෑවන වියට පා තබති. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1948 නොවැම්බර් 26 වැනිදා සාරසියපත්තුබද ගලසියපත්තුවෙහි නියංගොඩ ග්‍රාමවරයේ මොළගොඩ කෝරළේ නිවසෙහි ගෘහස්වාමී වූ ගුරු - විදුහල්පති යුවළක් වන හේරත් රාජකරුණා වාසල මුදියන්සේලාගේ කුඩාබණ්ඩා නියංගොඩ මහතාගේ සහ මොළගොඩ රාජකරුණා අතපත්තු වාසල මුදියන්සේලාගේ බිසෝමැණිකේ මහත්මියගේ පුත් රුවනක ලෙසින් ජන්මලාභය ලද අනුනාහිමිපාණන් වහන්සේ මොලගොඩ පියදස්සි විද්‍යාලයෙන් සහ මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ.

ගිණිගත්පිටියේ ශ්‍රී සංඝරක්ෂිත නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ඇතුල්ගම ශ්‍රී දේවරක්ෂිත නාහිමිපාණන් වහන්සේ, නියංගොඩ පුරාණ විහාරාධිපති, විනයාචාර්ය බඹරදෙණියේ මේධානන්ද මාහිමිපාණන් වහන්සේ, ගල්ලෑල්ලේ නන්දසාර මාහිමිපාණන් වහන්සේ සහ වර්තමාන නියංගොඩ පුරාණ විහාරාධිපති, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික, හේනේපොල නන්දසිරි නාහිමිපාණන් වහන්සේ යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යයත්වයෙන් වර්ෂ 1964 මැයි මස 26 වැනිදා නියංගොඩ පුරාණ විහාරයේදී ප්‍රවෘජ්‍යා සම්පත් ලැබූහ. 

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩසිටි යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරුවනින් සහ වෑගම රත්මලේ රත්නසේල පිරුවනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට පිරුණු විසි වයස් ඇතිව වර්ෂ 1970 වෙසක් පුර පසළොස්වක පොහෝ දින මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේදී සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වාහලනාග නාමයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාවට පත් වූහ.

වර්ෂ 1968 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන කටයුතු සිදු කොට 1974 වසරේ ශාස්ත්‍රවේදී උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා පරිවේණාචාර්යයන් වහන්සේ නමක වශයෙන් හොරණ කුඩා උඩුව නාලන්දා පිරුවනෙහි සහ කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ඥානේශ්වර පිරුවනෙහි ද, පාඨශාලාචාර්ය ධර්මාචාර්යයන් වහන්සේ නමක වශයෙන් ගිරිහාගම නියාමක විද්‍යාලය, පරණගම මහා විද්‍යාලය, මහවැලි මහා විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සේවය කොට විශ්‍රාම ලැබූහ.

සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයෙන් වර්ෂ 1976 දී මල්වතු මහාවිහාරයේ කර්මවාගාචාර්ය පදවියකට ද, 1986 දී කාරක සංඝසභික පදවියකට ද පත් වූ නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ උභය ලෝක ශාසනික මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත් රඹුක්වැල්ලේ විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1990 වර්ෂයේදී මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය ද 1993 වර්ෂයේදී මහා ලේඛකාධිකාරී පදවිය ද ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පදවිය ද පිරිනමනු ලැබූහ. 

මෙලෙස ගෘහස්ථ ප්‍රවෘජිත චිත්තාරාධනය ලබමින් ලෝක ශාසනික අර්ථචර්යාවෙහි පිළිපන් නාහිමිපාණන් වහන්සේගේ මහරු මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහාසංඝසභාව මගින් 2004 වර්ෂයේදී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අනුනාහිමිපාණන් වහන්සේ මහානායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවියෙන් නියංගොඩ විජිතසිරි හිමියන් පුදනු ලැබූහ. 

නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වියත්, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන සංඝශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි. 
1990 දශකයේ බුද්ධශාසනය හා බැඳි විවිධ අණපණත් සම්පාදනය කිරීමේ කටයුතු සඳහා දායකත්වය සැපයූහ. රටේ පැන නගින විවිධ ගැටලු හමුවේ නොපැකිළිව තමන්වහන්සේගේ සහ මල්වතු මහාවිහාරයේ මතය ඉදිරිපත් කරමින් රටවාසීන්ගේ නොමඳ සම්භාවනාවට පත් වෙති. 

මල්වතු මහාවිහාරයේ විශ්‍රාමශාලාව, සංඝරාජ පිරුවන් ශිෂ්‍යනේවාසිකාගාරය යන ගොඩනැගිලි තනවා භෞතික සම්පත් සංවර්ධනය කිරීමට අනුනාහිමියන් වහන්සේ මූලිකත්වය ගනු ලැබූහ. වර්ෂ 1991 දී අතිදුර්ලභ බුද්ධෝපස්ථානයක් වූ ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු සඳහා දායකත්වය ලබා දුන් නාහිමිපාණන් වහන්සේ ජාත්‍යාන්තර ධර්මදූත සේවා සඳහා ද දායකත්වය ලබා දුන්හ. 

උන්වහන්සේ කොරියාවේ ඩේ ගන් සා බෞද්ධ අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියක් ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන මගින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ගෞරව නාමය ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යචක්‍රවර්තී ගෞරවෝපාධිය ද, බුරුම රජය මගින් අග්ගමහාසද්ධම්මජෝතිකධජ ගෞරවාභිධානය ද ලැබූහ. එසේම 2020 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනය විශ්වවිද්‍යාලයක් ලෙසට උසස් කළ අවස්ථාවෙහි අභිනව විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති පදවිය ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් අනුනාහිමිපාණන් වහන්සේ වෙත පුද දෙන ලදී. 

පරමාදර්ශී දිවි පැවැත්මක පිහිටා සම්බුද්ධ ශාසන භාරධාරී මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකගේ කාර්යභාරය හඳුනාගෙන මැනවින් ඉටු කරමින් කිසිදු විවේක ගැනීමකින් තොරව ලෝක ශාසන සංග්‍රහයෙහි නිරතවන නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එකී මෙහෙවර නොකඩ කොට සිදු කරනු පිණිස විංශත් ශතවර්ෂාධික කාලයක් ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා! යි ප්‍රාර්ථනා කොට සිටිමු.

(***)
මොරටුව විශ්වවිද්‍යාලයේ කථීකාචාර්ය 
දිමුතු පුන්සර කොළඹගේ



අදහස් (0)

73 වැනි ජන්ම දිනය සමරන නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 468 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2217 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site