IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මේ ඝාතන රැල්ලේ අවසානයක් නැද්ද?

නාඳුනන තුවක්කුකරුවන් පැමිණ වෙඩි වරුසා එල්ල කර මිනීමරණ යුග ගණනාවක් මේ රටේ තිබිණි. එක කාලයක එම නාඳුනන තුවක්කුකරුවෝ මේ රටේ ආණ්ඩු පෙරළීමට කැස කැවූ ත්‍රස්තවාදී කල්ලිවල ගිණුමට බැරවූහ. ඒ ගිණුම් කවදාවත් විවෘත නොවූ බැවින් එම ගණයේ නාඳුනන තුවක්කුකරුවෝද වාෂ්ප වූහ. තවත් කාලයකදී ඒ ඝාතන සිදු කළ අපරාධකරුවෝ රට බෙදන යුද්ධයට සම්බන්ධ කල්ලිවල සාමාජිකයෝ වූහ. ඒ ඇතැම් අය වෙනත් කල්ලිවල තුවක්කුකරුවන්ට බිලි වූ අතර තවත් පිරිසක් ආරක්ෂක අංශ අතින් මැරුම් කෑහ. බේරුණු පිරිසක් පුනරුත්ථාපනය වූහ. මේ නාඳුනන කල්ලිවලින් සිදුවන මිනීමැරුම් ඉතිහාසයෙන් කොටසක් පමණි. පාතාල කල්ලි අතර සිදුවන මිනීමරා ගැනීම්ද මේ ඉතිහාසයට එකතු විය යුතුය.

දැන් යළිත් වරක් නාඳුනන කල්ලියක් හෝ කල්ලි ගණනාවක් හිස ඔසවා තිබේ. මේ මිනීමරුවෝ ඇතැම්විට යතුරුපැදිවලින් එති. තවත් සමහරු කාර්වලින් හෝ වෑන්වලින් හෝ එති. එසේ ඇවිත් වෙඩි වරුසා එල්ල කර පුද්ගලයකු හෝ කිහිප දෙනකු මරා පළා යති. මේ මිනීමැරුම් සිදුවන්නේ මුළු රටම නිදිගත් මහා රාත්‍රියේ නොව දෙනෝදාහක් වීදි බැස සිටින මහා දවාලේය. ඔවුන් මිනීමැරුම් සිදුකර පළා යන්නේද පැමිණි යතුරුපැදියෙන් හෝ කාර් එකෙන්මය. එසේ පළා යාමට උදව් වන කැලෑ පාරවල් කොළඹ හා අවට ප්‍රදේශවල නැත. මේ නිසා ඔවුන් යා යුතු වන්නේ මහජනතාව ගැවසෙන මහාමාර්ග ඔස්සේමය. මේ හැමතැනම අවි දරාගත් පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයෝ සිටිති. එහෙත් පසුගිය දිනවල වෙඩි වරුසාවලින් මිනීමැරුම් සිදුකර පළා ගිය අපරාධකාරයන් අල්ලා ගැනීමට අවිගත් ආරක්ෂක අංශවලටද හැකි වී නැත.

සති කිහිපයකට පෙර සිට ඇරඹුණු මේ චිකාගෝ ක්‍රමයේ ඝාතන රැල්ලේ අලු‍ත්ම වින්දිතයෝ වූවෝ පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ පලතුරු වෙළෙන්දෙකු සහ කැලණිය පට්ටිය හන්දියේදී යතුරුපැදියකින් යමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු මහ මඟදී ඝාතනය කිරීමයි. මැනිං වෙළෙඳපොළේ තම වාහනය නවතා පලතුරු වෙළෙඳාමේ කටයුත්තක යෙදී සිටියදී සුදු පැහැති කාරයකින් පැමිණි දෙදෙනකු එයින් බැස ටී-56 ගිනිඅවියකින් දිගට හරහට වෙඩි තබා ඔහු ඝාතනය කර පැමිණි කාර් එකෙන්ම ආපසු ගොස් තිබිණි. මේ ස්ථානය අවට සී.සී.ටී.වී. කැමරා පද්ධති තිබුණාදැයි අපි නොදනිමු. එහෙත් තිබුණා නම් සහ ඒවා ක්‍රියා විරහිත වී නොතිබුණා නම් ඝාතනය සිදු කළ නාඳුනන තුවක්කුකරුවන් හඳුනාගත් තුවක්කුකරුවන් බවට පත්කර ගැනීම අපහසු නැත. පොලීසිය ඒ ගැන රාජකාරි නිසි ලෙස ඉටුකරනවා ඇතැයි අපි සිතමු. එහෙත් චිකාගෝ ක්‍රමයට සිදුවන අලු‍ත් ඝාතන රැල්ලේ අපරාධකරුවන් තවම පොලීසිය මගින් හඳුනාගත් බවක් දැනගන්නට නැත.

චිකාගෝ ක්‍රමයට සිදුවන අපරාධ වශයෙන් හැඳින්වෙන්නේ කාලයකට පෙර අමෙරිකාවේ පාතාලයන්ගේ රජදහනක් බවට පත්ව තිබූ නගරයක් වශයෙන් හංවඩු ගැසුණු චිකාගෝ හි සිදුවූ පාතාල මිනීමැරුම්ය. අවිගත් පිරිස් රැගෙන වාහනවලින් හෝ යතුරුපැදිවලින් හෝ පැමිණ තම සතුරු කල්ලිවල පිරිස් මහ දවල් වෙඩි තබා ඝාතනය කළ එම සිදුවීම් එවකට ලොවේම ප්‍රසිද්ධියට පත්ව තිබිණි. මේ සිදුවීම් පසු කාලයකදී හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයන්ට මුදල් උල්පතක් හදා දුන් චිත්‍රපට බවට පරිවර්තනය විය. එම චිත්‍රපට ඒ කාලයේ මෙරට සිනමාහල්වලද ප්‍රදර්ශනය කෙරිණි. ජනතාව ඒවා නැරඹුවේ විසිල් පහරවල්ද සමඟිනි.

එහෙත් චිකාගෝ චිත්‍රපටවල නම් කොතරම් වෙඩි තැබුවත් මිනිසුන් මැරෙන්නේ නැත. එහෙත් ලංකාවේ එහෙම නොවේ. වෙඩි තබන්නේ රඟපෑමට නොව හැබෑවටමය. ඒ නිසා එම වෙඩි පහර කන තැනැත්තාට හෝ තැනැත්තන්ට අයත් වන්නේ මරණයයි. මහ දවල් මිනීමරණ විට බිඳවැටෙන්නේ රටේ නීතියේ ආධිපත්‍යයයි. අප සියලු‍ දෙනා තේරුම් ගත යුතු සත්‍යය එයයි.

වෙඩි තබන මිනිසුන් අපරාධකාරයන් බව දන්නා නමුත් වෙඩි පහරට ලක්වන තැනැත්තා අපරාධකරුවකුදැයි අප දන්නේ නැත. වෙඩි තබන්නේත් වෙඩි කන්නේත් පාතාලයේ කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ පිරිස් බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. එහෙත් පිටකොටුවේ බැස්ටියන් මාවතේදී දැනට සති කිහිපයකට පෙර සිදුවූ මේ ආකාරයේ වෙඩි තැබීමකදී ඝාතනයට ලක්වූයේත් තුවාල ලැබුවේත් කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ තමන්ගේ නඩු කටයුත්තකට ඈත පළාතක සිටි කොළඹට පැමිණි තරුණයන් දෙදෙනකු බව සඳහන් විය. ඉලක්කය වැරදීමකින් එම ඝාතන සිදුවී ඇති බවටද තොරතුරු හෙළි විය. එය අහස පොළොව නූසුලන අපරාධයකි.

පිටකොටුවට අමතරව පානදුර ප්‍රදේශයේදී, මෝදරදී සහ වත්තල ඇලකන්දේදීද නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. ඒ හැම අවස්ථාවකදීම මිනිස් ජීවිත අහිමි විය. එසේ මැරුම් කෑ පුද්ගලයන්ගේ තරාතිරම හෙළිවන විට ඔවුන් මේ ඉරණමට ගොදුරු වූයේ ඇයිද යන්න තේරුම් ගත හැකිවනු ඇත. එසේම ඝාතනයට ලක්වූ කිහිප දෙනකු කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු සැපයූ අය බවටද තොරතුරු හෙළි විය. පොලීසියේ ඔත්තුකරුවන් මරා දමන්නේ කවුද යන්න පොලීසියටම සොයාගැනීම අපහසු නම් එය භයානක තත්ත්වයකි. රටේ සෙසු ජනතාවගේ ජීවිතද සැබෑ අනතුරක පවතින බවට එය සලකුණකි. අනේකවිධ දුක් පීඩාවලින් දැඩි ලෙස පීඩනයට පත්ව සිටින ජනතාව එවැනි අනතුරකට ඇද දැමිය යුතු නැත. ඒ අනතුරින් ජනතාව මුදාගත හැක්කේ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙස්මුහුණු ගැලවීමෙන් පමණි.

(***)



අදහස් (0)

මේ ඝාතන රැල්ලේ අවසානයක් නැද්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site