හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි වන්නේ උසාවි තීන්දුවකින් නොවේ. එය සිදුවන්නේ දේශපාලන තීන්දුවකිනි. ඒ පිළිබඳ තීන්දුව පනතක් ලෙස පාර්ලිමේන්තුවේ අනුමැතියට ප‍්‍රථම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ විට ඊට එරෙහි වූයේ හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක පමණි. එහෙත් ඔහුගේ විරෝධය නොතැකූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කර ඇය 1982 ජනාධිපතිවරණයෙන් ඉවත් කරනු ලැබුවාය. පසු කලෙක ශී‍්‍ර ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග නැක්සලයිට් චෝදනා යටතේ සිරබත් කන්නේ ද අධිකරණ තීන්දුවකින් නොවේ ය. ඊට පාදක වන්නේ ද හදිසි නීතිය යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයයි. පසුව ඔහු නිදහස් වන්නේ ද අධිකරණ කි‍්‍රයාදාමයකින් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අතර සිදු වූ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් වශයෙනි. 1983 දී කොමියුනිස්ට්, සමසමාජ හා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ තහනම් වන්නේ ද ඉන් අනතුරුව වාසුදේව නානායක්කාර, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න වැනි දේශපාලනඥයන් දුටුතැන ඇල්ලීමට නියෝග නිකුත් වන්නේද, පසුව එම තහනම් ඉවත් වන්නේද, අමු අමුවේ සිදුවන දේශපාලන මැදිහත්වීම් හා සංසිද්ධීන් හරහාය. එහෙත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත වන්නේ හමුදා අධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගවලින් අනතුරුව අධිකරණ කි‍්‍රයාදාම මගිනි. සාමාන්‍යයෙන් හමුදා අධිකරණ ලෝකයේ වෙනත් රටවල මූලික අධිකරණ පද්ධතියට අයත් වන්නේ නැත. එහෙත් අපේ රටේ එය අධිකරණයක් සේ ගණන් ගැනේ. එම තීන්දුව ගනු ලැබුවේ ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නොවේ. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මගිනි. මේ තීන්දුවට අනුව අනාගතේ දිනක වත්මන් හමුදා නිලධාරීන්ට වුව ද රණවිරුවන් වුවත් නැතත් අක‍්‍රමිකතා ඇත්නම් හමුදා නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත අධිකරණයක් මගින් දඬුවම් කළ හැකිය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව දුන් නඩු තීන්දුවලින් පසු මේ රටේ හමුදා අධිකරණයට ලැබුණු මෙම පිළිගැනීම අනාගතයට පර්මාදර්ශයක් විය හැක. මේ ආකාරයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ වැටෙන්නේ අධිකරණමය කි‍්‍රයාදාම හරහාය. එය මේ ආණ්ඩුවේ දේශපාලන වුවමනාවක් මත සිදු වූවක් සේ සඳහන් කිරීම තර්කානුකූල නැත. එහෙත් තර්කය හැම විටම හා හැම තැනම සාධාරණ නොවීම වෙනම ප‍්‍රශ්නයකි. සරත් ෆොන්සේකා දැන් දේශපාලනඥයකු වීම නිසා ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග තරග කර පරාජිත වූ අපේක්‍ෂකයා වීම නිසා ද මේ අධිකරණ තීන්දු සමග වුවද දේශපාලනය මුසුකිරීමට විපක්ෂය කැමැත්තක් දැක්වීම ස්වාභාවිකය. මේ ආණ්ඩුවේ අය විපක්ෂයේ සිටියත් සිදුවන්නේ ඒ ටිකමය. එසේ නම් ෆොන්සේකා නිදහස් කිරීමේ කි‍්‍රයාදාමයේ ඉදිරියෙන් සිටින්නෝ ද ඔවුහු වෙති. අප වැනි රටවල සාම්ප‍්‍රදායික දේශපාලනයේ හැටි එහෙමය. එසේම රටක අධිකරණයක ස්වාධීනත්‍වයේ බර රැඳී පවතින්නේ ද එම රටේ පවතින දේශපාලන හා සමාජ සදාචාරයේ මට්ටමට සාපේක්‍ෂවය. තරගකරුවා ඉවත්කර නොන්ඩි අශ්වයකු වැන්නකු ඉදිරිපත් කර තරග කිරීමේ දේශපාලනය ග‍්‍රාම්‍යය. ශී‍්‍ර ලංකාව වැනි රටවලට ද මෙම දේශපාලනය හොඳට හුරු පුරුදුය. එහෙත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට පසුගිය ජනාධිපතිවරණය තරග කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමට අවශ්‍ය නම් ජනාධිපති මහින්ද රාජපක්ෂට අවකාශ තිබුණි. ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් විශ‍්‍රාම ගන්නා ලිපිය බාර නොගෙන සිටියා නම් ඔහුට නාමයෝජනා දීමට හැකිවන්නේ නැත. එසේම ඒ මොහොතේ ජනාධිපතිවරයාට තරගයක් දීමට සිටි හොඳම තරගකරුවා හිටපු හමුදාපති සරත් ෆොන්සේකාය. එහෙත් හොඳම තරගකරුවාගේ පැමිණීම වැළැක්වීමට ජනාධිපති මහින්ද එදා කටයුතු කළේ නැත. මේ සමගම මේ රටේ දෙවැනි නිදහස් සටනේ පුරෝගාමී සෙන්පතියකු වන ජෙනරාල් සරත් ෆොන්සේකා හිටි හැටියේම දේශපාලනඥයකු වෙයි. මෙසේ දේශපාලනයට පැමිණීම නිසා ඔහු යුද්ධයේ දී දැක් වූ දක්ෂතාවට හිමිවිය යුතු ජාතියේ ප‍්‍රණාමය අඩුවන්නේ ද නැත. සරත් ෆොන්සේකා යුද විරුවෙකි. තිස් අවුරුදු යුද්ධය නිමා කර එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය අවසන් කළ ප‍්‍රධාන සෙන්පතියා ඔහුය. එහෙත් ඊට අතදුන් සේනාධිනායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. සටනක ජයග‍්‍රහණයක් බෞතීස්ම වන්නේ සේනාධිනායකයාගේ නමින්ය. ලෝකයේ හැටි එහෙමය. වේළුසුමනලා, ඵුස්සදේවලා, දුටුගැමුණු, එළාර සටනේ පෙරමුණේ සටන් කළ සරත් ෆොන්සේකා වැනි යුද විරුවන් වුවද එය හැඳිනවූයේ ”එළාර දුටුගැමුණු” සටන වශයෙනි. එය එළාර ඵුස්සදේව යුද්ධය වූයේ නැත. මේ නිසා එදා රට නිදහස් කර ගැනීමේ හිමිකාරීත්‍වය බැරවූයේ දුටුගැමුණුටය. ඒ නිසාම ගෝඨයිම්බරලා, ඵුුස්සදේවලාගේ  වීරත්වය ද අඩු වුණේ නැත. ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජානක පෙරේරා වැනි විරුවන්ට එල්.ටී.ටී.ඊ. විරෝධී සටන්වල අවසන් ඉලක්කය ජය ගැනීමට නොහැකි වීමත් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු ති‍්‍රවිධ හමුදාවේ නායකයනට එය ජයගැනීමට හැකිවීමත් අතර වෙනස ඇත්තේ ඊට අණදුන් සේනාධිනායකයන්ගේ කි‍්‍රයාකලාපයයි. එදා වඩමාරච්චි සටන නතර කරන මෙන් ඉන්දියාව ඉල්ලා සිටියේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙන් හෝ විජය විමලරත්නගෙන් නොවේ. ජාතික ආරක්‍ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිගෙන් ද නොවේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් ය. ඊට හේතුව සියලූ සේනාවන්ට අණදෙන සේනාධිනායකයා හෙවත් රටේ නායකයා ඔහු වීමයි. මෙදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඒ තාලේ කිසිදු ඉල්ලීමකට කන්දුන්නේ නැත. එසේ අවනත නොවීම නිසා උඩින් පරිප්පු දැමීමට කිසිවකු සූදානම් වූයේ ද නැත. මේ නිසා හමුදාපති සරත් ෆොන්සේකාට දිගටම යුද්ධය ඉදිරියට ගෙන යෑමට හැකි වුණි. අවසන් සටන පූර්ණ ජයග‍්‍රහණයකින් කෙළවර වූයේ එම නොසැලෙන නායකත්‍වය නිසාය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව කෘතවේදී වූයේ එම සේනාධිනායක නායකත්‍වයටයි. සරත් ෆොන්සේකාට වැරදුණේ ද මේ ජන විඥනය හඳුනා නොගැනීමයි. එහෙත් එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් බඩවැල් අල්ලාගෙන රෝහලට පැමිණ සුව වී නැවත සටන මෙහෙය වූ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කැපවීම හා යුද නායකත්‍වය සිව්වැනි ඊළාම් යුද්ධයේ ජයග‍්‍රහණයට හේතු වූ බව ද අමතක කළ නොහැක. ප‍්‍රශ්න මතුවන්නේ ඔහු දේශපාලනඥයකු වූ තැන් සිටයි. එල්.ටී.ටී.ඊ. විරෝධී සටනේ දේශපාලනය වරද්දාගත් විපක්‍ෂය අවසානයේ මේ ජෙනරාල්වරයා ඔවුන්ගේ දේශපාලනයට ”හයර්” කරගනී. ඒ ඔවුන්ගේ පරාජය වසාගැනීමටය. හිටපු හමුදාපතිවරයා ඊට ගොදුරු වන්නේ ඔහු සතු අඩු දේශපාලන අත්දැකීම් නිසා විය හැකිය. ඔහු කල්පනා කරන්නට ඇත්තේ ජ.වි.පෙ. හා මංගල සමරවීර වැනි මැතිවරණ ”කැම්පේන් කප්පිත්තන්” සමග ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්‍ෂය තමා සමග සිටින නිසා ජය නියතයි කියලාය. එය වැරදි කල්පනාවක් වූයේ ඔහුගේ ඌන දේශපාලන අත්දැකීම නිසා බව පෙනේ. එතැන් සිට උරුම වන පරාජයත් සමග පැටලෙන නඩුගොන්නට මුහුණදීමේ දී ඔහු දක්වන ලද ආත්ම ශක්තිය වුව ද පුදුම එලවන සුළුය. නඩු කීපයකින් ඔහු වරදකරු වුව ද සාමාන්‍යයෙන් එවැනි අයෙකුට උරුම වන සිරගෙදර කි‍්‍රයාපිළිවෙතට වඩා වෙනසක් සරත් ෆොන්සේකා නමැති සිරකරුවා සම්බන්ධයෙන් අනුගමනය කර තිබීම ද සුවිශේෂය. ඇඳක්, රූපවාහිනී යන්ත‍්‍රයක්, පෞද්ගලිකව විදුලි පංකාවක්, ව්‍යයාම් කරන යන්ත‍්‍රයක් ළඟතබා ගැනීමට ද මේ සුවිශේෂ සිරකරුවාට අවසර ලැබී තිබේ. ඒ සියල්ලම ලබාදෙන්නේද ඔහු වරදකරු කරන අධිකරණය මගින්ම වීම විශේෂත්‍වයකි. එසේ ම ඔහු සිර ගෙදර සාමාන්‍ය වැඩ මුරවල වැඩකරුවකු වන්නේ ද නැත. නීතියේ මොනවා ලියවී තිබුණද යථාර්ථවාදී රීතියද සැලකිල්ලට ගැනීම බොහෝ රටවල අධිකරණ කි‍්‍රයාවලියේ දී දක්නට ලැබෙන සම්ප‍්‍රදායකි. එම සම්ප‍්‍රදාය ජාත්‍යන්තර නීති පද්ධතියට එක් වන්නේ ද. අපි‍්‍රකාවේ සුදු පාලනය යටතේ සිදු වූ නඩුනිමිත්තක් නිසා යැයි දැනගැනීමට තිබේ. සුදු පාලනය පැවැති සමයේ ද. අපි‍්‍රකාවේ වෙස්මාරු කර ගමන් බිමන් කිරීම නීති විරෝධීය. දිනක් එම නීති විරෝධී කටයුත්තකට උන්මත්තකයෙක් හසුවේ. උන්මත්තකයකු නිසා ඔහුට අදාළ නීතියට අනුව දඬුවම් කිරීමේ ප‍්‍රශ්නය පැනනගී. නීතියේ කුමක් පැවතිය ද යථාර්ථවාදී රීතිය අධිකරණ සම්ප‍්‍රදායට එක් වන්නේ මෙතැන් සිටයැයි කියැවේ. එසේම රට නිදහස් කර ගැනීමට සම්මාදම් වීම නඩු නිමිත්තක දී හිලව් කිරීමට ද සාමාන්‍යයෙන් අධිකරණයකට කළ නොහැක. සරත් ෆොන්සේකා යුද වීරයකු නිසා අධිකරණ තීන්දු කෙසේ වෙතත් රටේ මධ්‍යස්ථ ජනමතයේ යම් අනුකම්පාවක් දිනාගැනීමට පසුගිය සමයේ මේ හිටපු හමුදාපතිවරයා සමත් වූ බවක් පෙනේ. ඔහුගේ නිදහස පතා මහා නාහිමිවරුන් ඇතුළු පූජක පක්ෂයේ හා විවිධ ජනමත ප‍්‍රධානීන්ගේ ඉල්ලීම්ද මේ අතර විය. ඊට විපක්ෂයේ දේශපාලනය ද මුසුවීම නිසා සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි කරන ඉල්ලීම්වල යම් ගොඩනැඟීමක් දක්නට ලැබුණි. ජාත්‍යන්තර ප‍්‍රජාවද ඔහු දේශපාලන සිරකරුවෙකුගේ මට්ටමට පත්කරනු ලැබුවේ මෙවන් පසුබිමකය. ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපා සංගමය එහිදී පෙරමුණ ගෙන තිබුණි. එහෙත් අධිකරණය මගින් හිටපු හමුදාපතිවරයා වරදකරුවකු බවට පත්කර තිබූ නිසා එය රටේ යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වර්ධනය කිරීමේ කොන්දේසියක් සේ කිසිදු අවස්ථාවක ඉදිරිපත් නොවුණි. ජාත්‍යන්තර ප‍්‍රජාව කතා කළේ ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් ගැනය. මේ නිසා මියන්මාරයේ අවුන්සාන් සුකීගේ පසුබිමට වඩා මෙහි වෙනසක් දක්නට ලැබේ. ජනාධිපති සමාවක් යන්න නිතැතින්ම අධිකරණ තීන්දු අභිබවා යෑමකි. මෙම මේ ඉල්ලීම් මගින් කරනු ලබන්නේද එයම බව පෙනේ. වෙන විධියකින් මේ පිරිස් ඉල්ලා සිටින්නේ අධිකරණ තීන්දු අභිබවා ජනාධිපතිවරයා සතු බලය පාවිච්චි කරන මෙන්ය. අධිකරණ තීන්දු කෙසේ වෙතත් මේ ජනමතයට ප‍්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබීම ප‍්‍රශංසනීයය. ”වැරදීම මනුෂ්‍ය ගතියකි. සමාව දීම දේවගතියකි.” බටහිර මෙන් නොව අපේ රටේ සංස්කෘතිය හැඩගැසී තිබෙන්නේ මෙවන් උතුම් ධර්මිෂ්ට සම්ප‍්‍රදායන් හරහායි. ගමෙන් පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මේවා ද අමුතුවෙන් කියාදිය යුතු නැත. එසේ ම ඔහු කිසිවක් හිතේ තියාගෙන පැසව පැසව සිටින අයෙක් ද නොවේ. මේ නිසා ඔහු සරත් ෆොන්සේකාගෙන් නිදහස් වීමට කල්පනා කළේදැයි කියන්න දන්නේ නැත. මේ අතර සමහර දේශපාලන නායකයෝ මේ තීරණයත් සමගම හිටි හැටියේ ම නිහඬ වූහ. ඔවුහු සරත් ෆොන්සේකා අමාරුවේ දමා  පසුගිය ජනාධිපතිවරණය මගහැර තම පදවි රැකගත්තෝ වෙති. දැන් හිටපු හමුදාපතිවරයාගේ නිදහස ඔවුනට ප‍්‍රශ්නයකි. හිරේ විලංගුවේ වැටී නිදහස ලබා එන විට  ඕනෑම කෙනෙක් අත්දැකීම් සහිත වේ. ජනරාල් සරත් ෆොන්සේකා දැන් දේශපාලනඥයකු ද වන නිසා එය තවත් වැඩි වී තිබිය හැකිය. මේ නිසා ”කැලෑ සතුන්” අමතන කතාවලින් බැහැරව යම් දේශපාලන සංයමයක් ඔහු විසින් පෙන්වනු ලබන්නේ නම් දැන් සිටින පතෝල, වැටකොළු, ඈලි මෑලි විපක්ෂ නායකයන් කපෝති වීමටත් ඉඩ තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ නිදහස් වීම කරනු ලබන්නේ ද ඔහුගේ ජනපි‍්‍රයතාවයේ අඩුවීමක් දක්නට නොලැබෙන පරිසරයකය. ඔහු ඊට වග බලාගෙන තිබීම ආණ්ඩුවේ දේශපාලන පැත්තෙන් වාසිසහගතය. නීතියේ මොනවා ලිය වී තිබුණද ජන විඥානය හා යථාර්ථය පොළොවේ පය ගසා දේශපාලනය කරන පාලකයකු හඳුනාගත් ආකාරය මේ ලබාදුන් නිදහස හරහා පසක් වේ. එසේ ම අධිකරණයේ ස්වාධීනත්වය ද එලෙසින් ම පවත්වා ගෙන යාම ද රටකට වැඩදායක බව අමුතුවෙන් කිව යුතු නැත.
වසන්තපි‍්‍රය රාමනායක