IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හෙට සුබවෙන්න අද වගකීම

පිසූ ආහාර ඇත. දොවන ලද කිරි තිබේ. දල්වන ලද ගිනි ඇවිළෙයි. නිවසට වහලයක් තිබේ. මැසි මදුරු පීඩාවක් නැති අතර මෙම මොහොත සුරක්ෂිතය. දැන් ඉතින් මහා වැස්සක් ඇදහැලුනාට කිසිම ප්‍රශ්නයක් නැත. යනුවෙන් කල්පනා කළ ධනිය ගෝපාල ගැන සඳහනක් බුද්ධ දේශනාවේ ඇත. ධනිය ගෝපාල සූත්‍රයෙහි දැක්වේ. වැසි ලකුණු දකින ධනිය ගෝපාල, සිය දෙනුන් පවා අවශ්‍ය තරම් ආහාර ගෙන ඇති අතර තමන්ට කිසිම කරදරයක් නැති බව සිතන බව එහි වැඩිදුරටත් කියැවේ.

ධනිය ගේ සිතිවිල්ල ගැන අවධානය යොමු කළ හැකි පැති දෙකක් තිබේ. එකක් ඔහු තමන්ගේ ජීවිතය හසුරුවාගෙන ඇත. අනෙක ඔහු ඉතා ආත්මාර්ථකාමීය. පැති දෙකම වැදගත්ය. මහ වැසි තර්ජනයක් ඇති නොකරන තරමට සුදුසු පරිසරය හදාගෙන තිබේ. එය ධනිය ගේ දක්ෂතාවකි. අන්ධකාර ලකුණු ඔහුගේ පැවැත්මට ගැටලු ඇති කරන්නේ නැත. එහෙත් අධික වැසි ප්‍රශ්න ඇති නොකරන්නේ ද නොවේ. ධනිය සුරක්ෂිත නමුත් අනාරක්ෂිත විශාල පිරිසක් ජන සමාජයක ජීවත් වෙති. ඔවුන් මහ වැස්සකින් පසු දුෂ්කරතාවකට පත්වනු ඇත. කුසගින්න සහ සීතල ජීවිතය අසරණ කරන සාධක බව පෙනේ. සෙසු පිරිස ගැන නොසිතන ධනිය, වැහි කෝඩයක් මෝදු වන ලකුණු තමන්ට ප්‍රශ්නයක් නොවන බව කල්පනා කරයි. ඔහුගේ ආකෘතිය වැදගත්ය. එහෙත් සිතිවිලි පොදු සමාජ සාරධර්ම ඉදිරියේ නොගැළපෙන එකකි.

බෞද්ධ සාහිත්‍යයේ එන මෙවැනි ආදර්ශ අද පැවැත්මට ගළපා ගත යුතුය. බුදු බණ අහන සමාජයකි. බුදුන් අදහන බව අඟවයි. දර්ශනය වටහා ගෙන නැත.

රටත්, සමාජයත් ඔසවා තබන සැලැස්ම තුළ ධනිය ගෝපාල සංකල්පය තිබිය යුතුය. අද පවතින ප්‍රශ්න දෙස බලන විට පැහැදිලිය. සමාජ, ආර්ථික හා සෞඛ්‍ය අංශවලින් ඉතාම දුප්පත් තැනකය. සැකය හා අවිශ්වාසය ඉහවහා යමින් තිබේ. සුළු සිද්ධියකින් පවා කම්පිතව වැළපෙන ක්‍රමයක් බිහි වී තිබේ. වේදනා සහ දෝමනස්ස වැපිරවීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? උද්ගත වී ඇති ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුතුය. එය අප සියලු දෙනාගේ වගකීමකි. ආණ්ඩුව නායකත්වය දිය යුතුය. නිසි ප්‍රතිපත්ති සකස් කරන අතර මූලික පහසුකම් සංවිධානය කළ යුතුය. ගොඩනැගීම සහ තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගැනීම අප සියලු දෙනාගේ වගකීමකි. බුද්ධිමත්, දැක්මක් සහිත සමාජ වටපිටාවක් පවතී. දැනුම ඉහළම තැනට පැමිණ ඇත. අවබෝධය රහිත පිරිසකට පවා දැනුම සහ අවබෝධය ලබාගැනීමේ පහසුකම් තිබේ.

තාක්ෂණික වටපිටාව විශාල ආවරණයක් සපයයි. ගමන් කළ යුතු ආකාරය ගැන ආදර්ශ ලබාගත හැකිය. පටු අදහස් තුරන් කර පුළුල් දැක්මක් සහිතව තීරණ ගත හැකි වාතාවරණයක් පවතී. එහෙත් එම මාර්ගය ඔස්සේ ගමන් කරන්නට අප සූදානම් ද?

කොවිඩ් වසංගතය සමග උද්ගත වූ තර්ජන සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්නට අපොහොසත්ව සිටී. ඉතාම සුළු පිරිසක් ධනිය ගෝපාලවරු බවට පත්ව සිටිති. බහුතරයක් දෙනා සැකයෙන් හා අවිශ්වාසයෙන් ජීවත්වෙති. හෙට දවසට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය තිබේ. කොවිඩ් අන්ධකාරය තුළ තව දුරටත් ජීවත්විය යුතු නැත. ආලෝකය සොයා යා යුතුය.

බරපතළ ආර්ථික ප්‍රශ්න රටට ඇත. කර්මාන්ත හා ව්‍යාපාර ගැටලු සහගත තැනකය. රැකී රක්ෂා අවස්ථා අඩුය. ආදායම සීමිතය. ජන ජීවිතය සහන ඉල්ලා සිටින වකවානුවකි. ජාතික ආර්ථිකය දරුණු පිරිහීමක පවතින අවස්ථාවක තව තවත් සහන බෙදන්නේ කෙසේද? අලුත් තීරණවලින් නවෝත්පාදනයක් කරා ගමන් කළ යුතුව තිබේ. ව්‍යසන ඉදිරියේ ශෝක නොවන සමාජයක් ගොඩනැගිය යුතුය. ශ්‍රී ලංකාව පාඩම් ඉගෙනගත් රටකි. දකුණේ සහ උතුරේ ඇති වූ බිහිසුණු ත්‍රස්තවාදය, දස දහස් ගණනින් ජීවිත අහිමි වූ ‘සුනාමි’ අමතක නොවන සිද්ධි අතර තිබේ. ඒවාගෙන් ගැලවී, යළිත් මතු වී ඉදිරියට පැමිණීමට සමත් වූ රටකි. කොවිඩ් වසංගත තත්ත්වයට ද අවසානයක් ඇත. සමාජය ශක්තිමත් කර  නැවත ඔසවා තබන පියවර අවශ්‍යය. සමාජය එකමුතු කරන දැවැන්ත සංවිධාන ශක්තියක් සූදානම් කරගත යුතුය.

කලබල වූ සමාජයක හැසිරීම ගැන අප නොදන්නවා නොවේ. විවිධ මත, නොයෙක් අදහස්, එකකට එකක් නොගැළපෙන තර්ක ඇවිළෙයි. ඒවායෙන් ඉතාම සංකීර්ණ ස්වභාවයක් හටගනී. මෙම කුණාටු සහගත අවස්ථාවේ දී තව තවත් අවුළවන උපායවලින් පලක් නැත. ජන ජීවිතය ගොඩනගන, පුනර්ජීවනය ඇති කරන පියවර සඳහා යා යුතුය. අද පවතින සමාජ හා ආර්ථික පසුබිම තවත් අමතක නොවන පාඩමකි. මෙවැනි ඉරණමක් පරාජයකර සැනසිල්ලෙන් ජීවත්විය හැකි රටක් දරුවන් වෙනුවෙන් ගොඩනගන්නට නම් අද තීරණ ගත යුතුය.

(***)


මෙම ලිපිය ගැන ඔබගේ අදහස
[email protected] ලිපිනයට යොමු කළ හැකිය.
මිලින්ද මොරගොඩ



අදහස් (0)

හෙට සුබවෙන්න අද වගකීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site