ඔහු තවමත් හිරිමල් වියේය. කුඩා කල සිටම ඔහුගේ මනසේ වාහන පිළිබඳ සිහින හොල්මන් කළේය. ඒ කාලයේ සුදු කඩදාසියක ඔහු අතින් සිතුවම් වුණේ මලක්, සමනළයකු හෝ කුඩා දරුවකු හෝ ආසා කරන එවන් සිතුවමක් නොවේ. මහමග දකින වාහන අතර ඉතා කලාතුරකින් දැකිය හැකි අපූර්ව වාහන ඔහු අතින් සිතුවම් විය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ වයස අවුරුදු 25 ඉක්මවද්දී ඔහු අතින් ඉතා හුරුබුහුටි වාහනයක් නිෂ්පාදනය වීමයි. හේ නමින් නිලංග සෙනෙවිරත්න ඈපාය. දෙස් විදෙස් සරසවිවලින් ඉංජිනේරු උපාධිය ලබා ඔහු අතින් නිමවූ මේ අපූර්ව නිර්මාණය පිළිබඳව අපි ඔහුගෙන්ම අසමු. ”පුංචි කාලේ ඉඳන්ම මම වාහනවලට පුදුම ආසාවක් දැක්වූවා. තර්ස්ටන් විද්‍යාලයේ අකුරු කරද්දී වයස අවුරුදු 15x16 ඉඳන් කාර් අඳින්න පටන් ගත්තා. එහෙම ඇඳලා ටික දවසක් යනකොට ඒ වාහනය පාරේ යනවා දකිනවා. මගේ පියාත් ඉංජිනේරුවෙක්. ඒ නිසා ඔහුත් මේ ගැන විශේෂ උනන්දුවක් දැක්වූවා. ඒ දවස්වල මගේ පියා ඒ සිතුවම් ”ටෙක්නෝ” ප‍්‍රදර්ශනයට තිබ්බා. උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. 1992 වසරේ තර්ස්ටන් විද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ මැලේසියාවෙ ”ස්වින්බර්න්” විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය ගැන ඉංජිනේරු පාඨමාලාවක් හදාරන්න ගියා. නමුත් මගේ හිතේ විශේෂ ආසාවක් තිබුණේ වාහන සැලසුම් කිරීමට නිසා ඒ පිළිබඳ ඉංජිනේරු උපාධියක් හදාරන්න හිතුවා. පසුව මැලේසියා විශ්වවිද්‍යාලයේ කුලපතිතුමාත් මගේ ඒ දක්ෂතා දැකලා එංගලන්තෙ ”කවන්ටි‍්‍ර” විශ්වවිද්‍යාලයට යන්න මාව උනන්දු කළා. ”ස්වින්බර්න්” විශ්වවිද්‍යාලයේ 2007 වසරේ හොඳම රොබෝ නිර්මාණය කළෙත් මමයි.” එම විශ්වවිද්‍යාල දෙකේදී ඔහු විසින් එක් රැුස් කරගත් තාක්ෂණික දැනුම් සම්භාරයත් සමග  ඔහු තනිවම මෝටර් රථයක් නිර්මාණය කරන්නට සූදානම් විය. පියාගෙන් ඊට නිබඳ සහායක් ලැබිණි. වසර හතරක පර්යේෂණ කාලයකින් අනතුරුව ඔහු ඒ බාරදූර කාර්යයට අත තැබීය. ”වාහනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මුලින්ම හොයාගත්තා. නමුත් මගේ කියලා ”ඩි‍්‍රල්” එකක්වත් තිබුණේ නැහැ. ඒ උපකරණ වෙනත් අයගෙන් ඉල්ලා ගත්තා. මේ වාහනයේ විශේෂත්වය බැටරි 8ක වොට් 48ක ධාරිතාවකින් වාහනය පණ ගැන්වෙන්නෙ. අමතර වොට් 12ක බැටරියකින් වාහනයේ විදුලි පහන් දැල්වෙනවා. එම බැටරිය ඇමරිකාවෙන් ගෙන්වපු එකක්. මිල ලක්ෂ 2ක් විතර වෙනවා. නමුත් ඉදිරියේදී ඒක රුපියල් 50,000ක විතර මුදලකට මට හදන්න පුළුවන්. මේ බැටරි චාර්ජ් කරන්න වුවමනා විදුලිබලය ගන්නෙ සුළං බලයෙන් විදුලිය නිපදවලයි. ඒ නිසා මේ වාහනය බොහොම පිරිමැසුම්දායකයි. වැයවෙන විදුලියත් එක්ක කිලෝ මීටරයක් සඳහා වැයවෙන්නෙ රුපියල් දෙකයි. කිසිදු දුමක් පිටවෙන්නෙ නැති නිසා පරිසර දූෂණයක් සිදුවෙන්නෙත් නැහැ. පරිසරයටත් හිතකරයි. කිසිදු ශබ්දයකුත් පිටවෙන්නේ නැහැ. පැයට කිලෝමීටර් 60ක වේගයෙන් මේ වාහනය ධාවනය කරන්න පුළුවන්. රුපියල් ලක්ෂ 30ක් විතර මේකට වැයවුණත් ඉදිරියේදී රුපියල් ලක්ෂ හයකට විතර වෙළෙඳපොළට නිකුත් කරන්න අදහස් කරනවා. දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන මේ වාහනයේ දෙදෙනෙකුට විතර යන්න පුළුවන් වුණත් ඉදිරියේදී 4 දෙනෙකුට යන්න පුළුවන් විදියට හදනවා.” දැනට රටවල් 18කින් මේ වාහනය එයාලා හදන්න ඉල්ලනවා. මෙහෙම සුළං බලය උපයෝගී කරගෙන චාර්ජ් කරන වාහන ඩෙන්මාර්කයේ, ජර්මනියේ වගේ රටවල තිබෙනවා. සුළං බලය විදුලිය නිපදවීම සඳහා උපරිමයෙන් ඒ රටවල් භාවිත කරනවා. අපේ රටේත් සුළං බලයෙන් විදුලිය නිපදවා මේ වගේ වාහන සඳහා යොදාගන්නවා වගේම නිවෙස්වල විදුලි අවශ්‍යතාවලටත් යොදාගන්නත් පුළුවන්. දැනට මෙම වාහනය ගැන අපේ ජනාධිපතිතුමා දැනුවත් වී තිබෙනවා. එතුමා මට ඇගයීම් සහතිකයක් ද ලබා දුන්නා. අපේ රටේ මෙය නිපදවීමට අවස්ථාවක් නොලැබුණොත් ජර්මනිය වගේ රටක් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුත්ත කරන්න අදහස් කරගෙන ඉන්නවා. ආචාර්ය ලෝරන්ස්, ආචාර්ය රේ විජේවර්ධන යන මහත්වරුන්ගෙනුත් එස්.ඒ.ඞී.එස්. සුබසිංහ ඉංජිනේරුවරියගෙනුත් මට මේ කාර්යය කරන්න වටිනා උපදෙස් ලැබුණා. ලංකාවේ සුළං සම්පත සුලභව තිබෙන නිසා සුළං බලයෙන් ධාවනය කළ හැකි මෙවැනි වාහන, දියුණු කළොත් වාර්ෂිකව පැට‍්‍රල් ගෙන්වන්නට රජයට වැයවන විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඉදිරියේදී මෙම තාක්ෂණය භාවිත කර කෙටිදුර ධාවනයට සුදුසු බස්රථයක් නිපදවීමටත් මගේ සැලසුමක් තිබෙනවා.” මෙවැනි සැඟවුණු දක්ෂතා ඇත්තවුන් රටකට මහඟු සම්පතකි. පරිසරයට හිතකර, සහනදායී මුදලකට මිලදී ගත හැකි, මෙවන් අපූර්ව නිර්මාණයකට අත දී අපේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතු කර ගැනීමට උනන්දු වීම බලධාරීන්ගේ වගකීමකි. එසේම අපේ රටේ නිලංග වැනි තවත් සම්පත් සැඟව සිටින්නට පුළුවන. ඔවුන්ගේ එම සුවිශේෂී දක්ෂතා මුවහත් කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට ගෞරවාන්විත බවක් එක් කරන්නටත් එම බලධාරීන්ගේ දෑස් දැල්වේවා යන්න අපේ පැතුමයි.