IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සංහිඳියා කොමිසම විජ්ජාවක්ද?

ශ්‍රී ලංකාවේ සිටින විවිධ ජන කොට්ඨාස අතර, විශේෂයෙන්ම සිංහල, බෞද්ධ හා දෙමළ ජාතීන් අතර සංහිඳියාවට අදාළ ප්‍රධාන සිද්ධි දෙකක් පසුගිය සතියේ වාර්තා විය.

ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරා සංවිධාන අතරින් ප්‍රධාන සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදය හා මෙරට ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් සංහිඳියාව හා ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් සකස් කරන ලද ලියවිල්ලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට හා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්ට භාරදීම ඉන් එක් සිද්ධියකි.

හිමාලය කඳුවැටිය පාමුල නේපාලයේ දී සාකච්ඡා කොට සකස් කරන ලද හෙයින් ‘හිමාල ප්‍රකාශනය’ යනුවෙන් නම් කරනු ලැබු මෙම ලියවිල්ල එදිනම (දෙසැම්බර් 8 වැනිදා) මහනුවර දී ජනමාධ්‍ය හමුවක දී ප්‍රසිද්ධියට පත් කිරීම ද සිදු විය. 

ජනවාර්ගික ගැටුමට අදාළ අතීත සිදුවීම්වල සත්‍ය සෙවීම සඳහා වූ කොමිසමක් පත් කරන්නට රජය කටයුතු කරමින් සිටින බව එදිනම ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කිරීම අප සඳහන් කළ දෙවැනි සිද්ධියයි. ‘‘සංක්‍රාන්ති සාධාරණත්වය හා පශ්චාත් ගැටුම් කාලයේ සංහිඳියාව වෙතට යොමු වූ පියවරක් වශයෙන් සත්‍යය, එක්සත් බව හා සංහිඳියාව සඳහා ස්වාධීන කොමිසමක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කොට ඇතැ’’යි එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සිදුවීම් දෙක, එනම් එකම දින දෙමළ ඩයස් පෝරාවේ ප්‍රමුඛව සංවිධානයක්, ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග ‘‘හිමාල  ප්‍රකාශනය’’ ජනාධිපතිවරයාට හා මහානායක හිමිවරුන්ට පිළිගැන්වීම සහ සත්‍ය කොමිසමක් පිළිබඳව ජනාධිපති මාධ්‍ය  ඒකකය නිවේදනය කිරීම අතර පූර්ව සම්බන්ධයක් තිබුණේද? නැද්ද? යන්න පැහැදිලි නැත.

ජනාධිපතිවරයා හා ගෝලීය දෙමළ සංසදය අතර හමුව මතුපිටින් විශාල වැදගත් කමක් ඇති සිද්ධියක් සේ පෙනුණද, එම සංසදය හා භික්ෂූන් වහන්සේලා පිරිස ජනාධිපතිවරයාට භාරදුන් හිමාල ප්‍රකාශනයේ සඳහන් සය වැදෑරුම් යෝජනා අතිශයින්ම සාමාන්‍යකරණය කරන ලද වගන්ති වන හෙයින් ද එම හමුවෙන් පසු ගන්නා ඉදිරි පියවර කිසිවක් ගැන කිසිදු සඳහනක් නැති නිසාද එම හමුවීමේ වැදගත්කම හුදු සංකේතාත්මක හා  නොසලකා හැරිය හැකි එකක් බව පෙනේ.

එසේම එම ලියවිල්ල හෝ මෙම හමුව මෙරට හා විදේශගත ශ්‍රී ලාංකික දෙමළ පක්ෂ හා කණ්ඩායම්වල පිළිගැනීමට ලක් වූයේ ද නැත. ගෝලීය දෙමළ සංසදය යන විදේශගත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව තුළ සිටින ඉතාමත් කුඩා කණ්ඩායමක් බවත් ඔවුනට සමස්ත විදේශගත දෙමළ ප්‍රජාවම නියෝජනය කරන්නට අයිතියක් නැති බවත් විදේශගත දෙමළ කණ්ඩායම් ගණනාවක් පවසා තිබිණි.

මෙරට දෙමළ පක්ෂ හා කණ්ඩායම් හෝ දෙමළ ජනමාධ්‍ය එම හමුව එතරම් වැදගත් කොට සැලකුවේ නැත. ඔවුන් ද මෙරට ප්‍රධාන දෙමළ දේශපාලන කණ්ඩායම් නොසලකා හැරීම ගැන චෝනා කොට තිබිණි. එහෙයින් මෙම හමුව ද තවත් එක් සිද්ධියක් ලෙස සුළු කලෙකින්ම යටපත් වී යාමේ සම්භාවිතාව වැඩිය.

කෙසේ වෙතත්. ආණ්ඩුව ජාතික සමගියට අහිතකර අයුරින් බලපෑ අතීත සිද්ධි පිළිබඳ සත්‍යය ගැඹුරු වගකීමේ හැඟීමකින් යුතුව සොයා බැලීමට කැප වන්නේ නම් එය අගය කළ යුතුය. එහෙත් සංහිඳියාව සම්බන්ධයෙන් වූ විවිධ ආණ්ඩුවල අතීත ක්‍රියාමාර්ග හා විශේෂයෙන්ම සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සඳහා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් අනුව පසුගිය සතියේ සිදුවීම් දෙස ද අසුබවාදී ඇසකින් බලන්නට සිදුවී තිබේ.

‘‘ සංහිඳියාව, ප්‍රතිකර්මය හා කල්පවත්නා සාමයට දායක වෙමින්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පශ්චාත් ගැටුම් කාල දුක් ගැනවිලි පිළිබඳ සත්‍යය සොයා ගැනීම මෙම ක්‍රියාවලියේ අරමුණයි. අතීත ගැටුම්වල බලපෑමෙන්  සුවපත් වීම සඳහා සෑම පුද්ගලයකුටම හා සෑම ප්‍රජාවකටම වැදගත් වන සත්‍යය සොයා තහවුරු කර ගැනීමට සෑම ශ්‍රී ලාංකිකයකුට ඇති අහිමි කළ නොහැකි අයිතිය යෝජිත කොමිසම පිළි ගනී’’ යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් වේ.

මෙහිදී මතුවන ප්‍රශ්නය නම් මෙම කොමිසම සොයන්නට යන්නේ නිවේදනයේ සඳහන් පරිදි ‘‘පශ්චාත් ගැටුම් කාල දුක්ගැනිවිලි’’ පිළිබඳව ද යන්නයි. එසේම පශ්චාත් ගැටුම් කාල දුක්ගැනවිලි පිළිබඳව සත්‍ය සොයා ‘‘අතීත ගැටුම්වල බලපෑමෙන් සුවපත්’’ වන්නේ කෙසේද යන්නයි. එසේ නොවේ නම් පශ්චාත් ගැටුම් කාල දුක්ගැනවිලි යන්නේ අදහස් කෙරෙන්නේ  ගැටුම් පැවැති කාලයේ සිදුවූ සිදුවීම් නිසා  එම කාලයෙන් පසු නැඟෙන දුක් ගැනවිලිද යන්න මෙහිදී මතුවන තවත් ප්‍රශ්නයකි.

‘‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ඇතුළු  අතීත කොමිෂන් සභාවල නිර්දේශ යළි විමසා  බලන්නටත්, සලකා බලන්නටත් ක්‍රියාත්මක කිරීම පහසු  කිරීමටත් කොමිසම අපේක්ෂා කරයි.’’යනුවෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 ජනවාරි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  එ්.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළේද මේ අරමුණෙනි. එම කොමිසමේ  අවසාන වාර්තාවේ නිර්දේශවල සාරාංශයක් මේ වසරේ පෙබරවාරි 6 වැනිදා නවාස්  මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනු ලැබීය. 

මෙය අපූරු තත්ත්වයකි. සංහිඳියාවට අදාළව අතීතයේ දී එකකට පසු එකක් වශයෙන් කොමිෂන්  සභා ගණනාවක්  පත් කෙරිණි. ඒවායේ වාර්තා හමස් පෙට්ටියට වැටිණි. එම කොමිෂන් සභා වාර්තා සලකා බලා සංහිඳියාවට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන්නට නවාස් කොමිසම පත් කෙරිණි. දැන් ඒ කොමිසමේ රාජකාරියම කරන්නට ආණ්ඩුව තවත් කොමිසමක් පත් කරන්නට යයි. ඉන් අදහස් කෙරෙන්නේ නවාස් කොමිසමේ වාර්තාවක් හමස් පෙට්ටියට වැටුණු බවද?

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් පත්  කරන්නට ගන්නා පළමු උත්සාහය වත්මන් උත්සාහය නොවේ. මීට කලින් කිහිප වතාවක්ම මේ සඳහා පියවර ගෙන අනෙකුත් බොහෝ කොමිෂන් සභාමෙන් අත්හැර දමනු ලැබ  අමතක කරනු ලැබිණි.

‘‘යහපාලන’’ ආණ්ඩුව පැවැති  කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ 2015දී මුලින්ම මෙවැනි උත්සාහයක් ගනු ලැබීය. එම වසරේ සැප්තැම්බර් 14 වැනිදා එ.ජා. මානව හිමිකිම් කවුන්සිලයේ රැස්වීමක දී එවක විදේශ ඇමැති වූ මංගල සමරවීර මහතා ප්‍රකාශයක් කරමින් සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කරන්නට රජය පියවර ගෙන ඇති බව පැවසීය.

2017පෙබරවාරි 28 වැනිදාද මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් ඒ මහතා පැවසුවේ ඉදිරි මාස දෙක තුළ සත්‍යය සෙවීමේ කොමිසමක් සඳහා වූ නීතිමය කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවය. එහෙත් මාස දෙකකින්  නොව මාස විස්සකට පමණ පසු 2018 ඔක්තෝබර් 16 වැනිදා සත්‍යය සෙවීමේ කොමිසමක් පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් (නීතිමය කෙටුම්පතක් නොවේ) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. මෙරට  පුරවැසියන්ට අතීත සිවිල් දේශපාලන  හා සන්නද්ධ ගැටුම්වල දී ඇති වූ පීඩා පිළිබඳව යෝජිත කොමිසමට කරුණු  ඉදිරිපත් කරන්නට අධීක්ෂණ කමිටුවක් පත් කරන බව එම සංකල්ප පත්‍රිකාවේ සඳහන් විය.

එහෙත් ඉන්පසු ද වසර හතරකට වැඩි කාලයක් ඒ පිළිබඳව කිසිවක් සිදු නොවීය. ආණ්ඩුව ප්‍රශ්නය යළි අතට ගත්තේ මේ වසරේ ජනවාරි මාසයේය. ඒ මාසයේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාව විසින් යෝජනා කරන ලද සත්‍යය සහ සංහිඳියාව සඳහා වූ යාන්ත්‍රණයක් පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කෙරිණි. 2018 දී මෙවැනි සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ ද වික්‍රමසිංහ මහතා යටතේය.

ඉන්පසු ඉකුත් පෙබරවාරි මාසයේ දී ජනාධිපතිවරයාට භාර දෙන ලද නවාස් කොමිසමේ වාර්තාවේ නිර්දේශවල සාරාංශයේ ද සත්‍යය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමක් ගැන සඳහන් විය.

මෙසේ මේ කාරණය සඳහා කැබිනට් මණ්ඩලය සංකල්ප පත්‍රිකා දෙකක් 2018 දී හා 2023 දී අනුමත කිරිමෙන් පසු ඉකුත් මාර්තු 21-25 දිනවල විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සත්‍ය හා සංහිඳියාව සඳහා වූ යාන්ත්‍රයක් පිළිබඳ සංකල්පය අධ්‍යයනය කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූහ.

දැන් යළිත් සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කරන බවට නිවේදනය කොට ඇති ආණ්ඩුව ඒ සඳහා දැනටමත් ‘‘සත්‍යය හා සංහිදියාව, යාන්ත්‍රණය සඳහා වූ අන්තර් කාල ලේකම් කාර්යාලය’’ යන නමින් ආයතනයක්  පිහිටුවා ඇති බව ද නිවේදනය කොට ඇත.  

මේ කටයුතු දෙස බලන විට ඒවා අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස පෙනෙන්නේ නැත. යලට මහට මුල, මැද, ඇග ගැටෙන ආකාරයට කෙරෙන මෙම කටයුතු දෙස බලන විට ආණ්ඩුව මේ කාරණය දෙස බැරෑරුම් ලෙස බලන්නේ ද යන සැකය ද ඇතිවේ. ඒ නිසාදෝ මෙහිදී විශේෂ උනන්දුවක් දැක්විය යුතු දෙමළ දේශපාලන පක්ෂ හෝ කිසිදු උනන්දුවක් දක්වන බව නොපෙනේ. එසේම සිරිත් පිරිදි  එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ සෑම නිත්‍ය සැසිවාරයකට පෙර  මානව හිමිකම් සම්බන්ධයෙන් තමන් බැරෑරුම් ලෙස සිතන බව පෙන්වන්නට ආණ්ඩුව කරන කටයුතුවලින් එකක් ලෙස තවත් පිරිසක් මෙය දකිති.

සංහිඳියාව සඳහා අතීතයේ දී සංහිඳියාව කඩ වූයේ කෙසේ දැයි සොයා බැලීම වැදගත් බව බැලු බැල්මට පෙනේ. එහෙත් එම සොයා බැලීම් අතීත තුවාල යළි පැරීමක් බවට හෝ අතීත සිදුවීම් සම්බන්ධයෙන් යළි මතභේද ඇවිළවීමක් බවට හෝ පත් නොවී කරන්නේ කෙසේද යන්න ගැටලුවකි.

සත්‍යය සෙවීම පිළිබඳ කාරණය සම්බන්ධයෙන් සිංහල හා දෙමළ ජනතාව අතර එකඟතාවක් නැත. තීරණ ගැනීමේ දී පාලකයන්ට සිංහල ජනමතය දැඩි සේ බලපායි. සත්‍ය සොයා කරන්නට යන්නේ වැරැදිකරුවන්ට දඬුවම් දීමක් ද නැත්නම් අදාළ පාර්ශ්ව එකිනෙකාට කනගාටුව පළ කරමින් ඉදිරියේ දී එවැනි දේ ඇති නොවන ආකාරයට නීති හා තත්ත්වය සකස් කර ගැනීමට උත්සාහ කිරීමක් ද යන්න පැහැදිලි නැත. ඒ පිළිබඳවද රට තුළ එකඟතාවක් නැත.

ඒ සියල්ලට වඩා මෙවැනි ක්‍රියාවලියකට නායකත්වය දෙන්නට මේ රටේ නෙල්සන් මැන්ඩෙලා හා රදගුරු ඩෙස්මන්ඩ් ටුටු වැන්නන් නැති වීම ද විශාල ප්‍රශ්නයකි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (4)

සංහිඳියා කොමිසම විජ්ජාවක්ද?

MANAMPERI Saturday, 16 December 2023 06:43 AM

සංහිඳියාව සඳහා අවශ්‍ය මූලික කරුණ නීතිමය ආවරණයයි. එය ක්‍රියාත්මක කිරීම විය යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හරහායි. මෙයට අවම වශයෙන් අවුරුදු 10ක කාලපරිච්ඡේද රාමුවක් අවශ්‍යයි. මෙහිදී පොලිසියේ කාර්යභාරය ඉතා වැදගත්. සාම ගිවිසුම සමග 2003 දී පොලිසියට හඳුන්වාදුන් Road Map එකත් සමග 2014 වෙනතෙක් ක්‍රියාත්මක වූ ප්‍රජා පොලිස් ක්‍රමය ඉතා වැදගත්... සංහිඳියාවට තිබූ හොඳම කාලය යහපාලන සමයයි. නමුත් ලොක්කෝ දෙන්නාගේ ගැටුම ඒකත් ඉවර කළා. දැනට පවතින රටේ දේශපාලන තත්වය අනුව ඉදිරිය සංහිධියාව ගැන විසඳුම් සිතන්න අමාරුයි. ටිකක් හරි විශ්වාස කරන්න පුළුවන් ජාතික ජන බලවේගය බලයට ආවොත් පමණයි...!

:       0       0

චන්දිම Saturday, 16 December 2023 12:14 PM

මේ රටේ සිදුවන මුදල් නාස්තිවෙන එක ප්‍රධාන විදියක් තමයි ඔය කොමිසන් පත් කිරීම. සංහිඳියාව නමින් දේශපාලුවන් රට සවාරි ගහලා විනෝද වෙන ඒක තමයි සිද්ද වෙන්නේ. ඒ නිසා ඉදිරි කාලයේදී රට පාලනය කරන කවුරු හෝ වේවා මේ කොමිසන් පත් කිරීම සිමාකළ යුතුයි. මතකද ඒ දවස් වල කසල කළමනාකරණය වගේ දේවල් වලටත් රට සවාරි කොමිසන් පත් කිරීම වගේ පලක් නැති වියදම් ගොඩක් කළා.

:       0       0

AB Saturday, 16 December 2023 08:12 PM

ඩී. එස් සේනානායක මැතිතුමා සියලු ශ්‍රී ලාංකිකයින් සමග එක්ව යටත්විජිත්යක්ව පැවති රටට නිදහස ලබා ගත්තේය. නිදහසින් පසු විවිධ අර්බුද මතු කරමින් ශ්‍රී ලාංකිකයින් වශයෙන් නොව ජාතින් වශයෙන් බෙදී බලය ලබාගැනීමට බෙදාගැනීම සඳහා මුල්තැන ලබාදී කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් හර්තාල, ජාතින් අතර ගැටළු මතුවිය. විවිධ ආකාරයේ දේශපාලන කතිකාවන් මගින් විසඳුම් ඇතිකර ගැනීමට ජාතින් නියෝජනය කරමින් උගතුන්, බුද්ධිමතුන් බලය බෙදීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් දශක ගණනාවක් කාලය විනාශ කර දැමීය. අවසානයේ සිදුවුයේ යුද්ධයක් ඇතිවී උතුරේත් දකුණේත් තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වීම සහ ජාතින් අතර වෛරයක් ඇතිවීම පමණි. විසඳුමක් ලබාගැනීමට නම් අතීතයේ සිදුවූ අමිහිරි දේශපාලනය ක්‍රියාදාමයන් අමතක කර ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක්ව කටයුතු කිරීම සහ දියුණු ලෝකයේ බුද්ධිමත්ව සිතා "දැනුවත් මිනිසුන් ලෙස" කටයුතු කරන්නේද, එසේ නොමැති නම් දියුණු ලෝකය තුළ "නොදියුණු මිනිසුන් ලෙස" කටයුතු කරන්නේද සහ රටේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත්ව සිතා කටයුතු කිරීමට කාලය පැමිණ ඇත.

:       0       0

වන්නකු Sunday, 17 December 2023 01:11 PM

අර අටවාගත්ත එක රටක්, එක නීතියක් කොමිසම කෝ දැන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 201 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 458 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 904 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 588 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 462 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1802 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 751 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 192 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site