කලකට පෙර උසස් අධ්‍යාපනය භාර උපඇමැතිවරයෙක් කාල්මාක්ස්ට පහත් ලෙස බැන වැදුණේය. ඊට එරෙහිව ‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ බී.ඒ. සිරිවර්ධන කතු වැකියක් ලීවේ ය. ”ගොනා වුණත් උම්බෑ කියන්න එපා” යයි එහි සඳහන් විය. උපඇමැතිවරයා තමාට අපහාස කළේ යැයි ලක්ෂ ගණනක් වන්දියක් ඉල්ලා ‘ඇත්ත’ ට එරෙහිව නඩු පැවරීය. එම නඩුව විභාග කළේ එවකට සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ය. සමාජ සේවා ආයතනයට රු. 50/=ක් ගෙවන මෙන් ඇත්ත කතුවරයාට නියම කළ අගවිනිසුරුවරයා නඩුව එතැනින් අවසන් කළේය. ඒ අනුව අදාළ ඇමැතිවරයාගේ වටිනාකම රු. 50/=කට තක්සේරු විය. තවසැරයක් බැන්නත් ගෙවන්න වෙන්නේ රු. 50/=ක් බව කල්පනා කළ ”ඇත්ත” කතුවරයා කාල්මාක්ස් නමැති දාර්ශනිකයාට අපහාස කළ උපඇමැතිවරයා නැවත වරක් ගොනකු ලෙස හැඳින්වීය. මේ කතාව නැවත සිහියට ආවේ පසුගියදා ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් විකාශය කළ වැඩ සටහනකදී සවන් දීමේදීය. මේ දිනවල සිදු වන සිසු උද්ඝෝෂණ සම්බන්ධයෙන් මේ රටේ විශ්ව විද්‍යාලයක බලධාරියකුගෙන් ගුවන් විදුලිය අදහස් විමසීය. එහි දී එක් වගකිවයුතු බලධාරියෙක් උමතුවෙන් මෙන් කාල්මාක්ස්ට බැන වැදුණේ ය. ‘එක් දහස් අටසිය ගණන්වල ජීවත් වූ කාල්මාක්ස් කියන නාකියා, පිස්සාගේ අදහස්වලින් මේ කොල්ලන්ගේ මොළේ අවුල් වෙලා’ ඔහුගෙන් කියැවිණ. ඔහුගේ මැනීමට අනුව මේ දිනවල සිසු උද්ඝෝෂණවලට එක් වගඋත්තරකරුවකු වන්නේ ”කාල් මාක්ස් ය.  එදා කාල්මාක්ස් වැනි දාර්ශනිකයකු හෙළා දැකීමට ලක්වූයේ එතරම් වගකීමක් නැති ගණයේ උපඇමැතිවරයෙකුගෙනි. මේ බලධාරියා උගතෙකි. විශ්වවිද්‍යාල බලධාරියෙකි. වගකිවයුතු පත්වීම්ධාරියෙකි. අර උපඇමැතිවරයාගේ වටිනාකම රු. 50/=ක් වන විට මේ විශ්වවිද්‍යාල බලවතා කොපමණ වටින්නේ  දැයි කියන්න දන්නේ නැත. එහෙත් අද විශ්වවිද්‍යාල ප‍්‍රශ්නය මෙතරම් දුර දිග යමින් පවතින්නේ මෙවන් අය නිසාය යන මතයක් රටේ මධ්‍යස්ථ පිරිස අතරේ පවතී. සිසුහු ආවේගශීලීය, විප්ලවකාරීය. වහා ගිනි ඇවිලෙන සුළුය. ඒකට කරන්න දෙයක් නැත. එය වයසේ වැරැද්දය. ඒ නිසාම ඔවුන් මට්ටු කිරීම සීරුමාරුවට කළ යුතුය. කැරලිකාරී අතීතයක් ඇත්තා වූද මේ වන විට මැදිවියත් පසුකර සිටින්නා වූද සමහර උසස් අධ්‍යාපන බලධාරීන් හැසිරෙන්නේ තමන්ට එවැනි ශිෂ්‍ය භාවයක් නොතිබුණ ගානට ය. කොහොම නමුත් කැත්තට පොල්ල පිළිවෙතේ පිහිටා විශ්ව විද්‍යාල පාලනය කිරීමට යෑම නිසා අද එම රාජකාරි ගැන සොයා බැලීමට ද සිදු වී තිබෙන්නේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ය. අදාළ සමහරුන් නාගත්තේ සබන් කනේ රැඳෙන ගානටය. සමහරුන්ගේ සරල විග‍්‍රහය උතුරේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. තරුණයන් සමඟ එකතු වී මේ විශ්ව විද්‍යාල සිසුන් යළි රටේ සන්නද්ධ නැගිටීමකට අරඅඳින බවයි. එවන් මතයක සිටින අයද සිටිය හැකිය. එහෙත් සමස්තය තවම එසේය කියා කිව නොහැකිය. ”ගිනි පෙණෙල්ලෙන් බැට කෑ එකා කලාමැදිරියාටත් බිය යැයි” ගැමි වහරේ එයි. ඒ නිසා එල්.ටී.ටී.ඊ.ය සමඟ 30 වසරක යුද්ධයකට පැටලී සිටි ජනතාවට මෙවන් පුවත් බියජනකය. ඒ නිසා සන්නද්ධ කැරලිකාරී බිල්ලාට හා එවන් බිල්ලාවාදයකට යුද්ධය අවසන් වී වසර 2ක් පසුවුවද වටිනාකමක් ලැබී තිබේ. එදා සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි, සිසු සටන්වල සාධාරණත්වය ගැන රටට කී සමහරුන් අද මවන උතුරු දකුණු ඒකාබද්ධ කැරලිකාරී බිල්ලාවාදය කොතරම් නිවැරදි දැයි සොයා බැලීම වැදගත්ය. එසේම විශ්ව විද්‍යාලවල පවතිනවාය කියන ප‍්‍රශ්නය. මේ බිල්ලාවාදයෙන් යටපත් කිරීම සාධාරණදැයි සොයාබැලීමද වැදගත්ය. සිසුන් පාරට බැස සිටින්නේ සත්‍ය වශයෙන්ම ආණ්ඩුව වෙනස් කිරීමේ අටියෙන්ද? නැතිනම් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට ඇහුන්කම්දීමට කෙනෙක් නොමැති නිසාද? දුක පැවසීමට තැනක් නැති නිසාද? තම දුක් ගැනවිලි බීරි අලින්ට නොව බීරි බලධාරීන්ට වීණා ගායනා කරනවා වාගේ වී තිබෙන නිසාද? නැතිනම් සමහර පාලකයන් දරදඬු නිසාද? කුණු වී  ඕජස් ගලන විශ්ව විද්‍යාල පරිපාලනය නිසාද? නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල පනත නිසාදැයි සොයා බැලීම වැදගත්ය. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත නිසා නම් දැන් එය නතර කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තීරණය කර තිබේ. එසේ නම් සියල්ල සන්සුන් විය යුතුය. නැතිනම් වෙනත් ප‍්‍රශ්න සමුදායක් වෙනුවෙන් අරගල කිරීමේ වාහකයන් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ඔවුන් උපයෝගී කරගෙන තිබෙනවා වැනිය. ”විශ්ව විද්‍යාල අර්බුදය පොදු හේතු මත ද පේරාදෙණියට විශේෂ වූ හේතු මත ද නිර්මාණය වී තිබේ. පන්ති කාමර හා දේශන ශාලා හිඟය, එ්වායේ ගුණාත්මක භාවයක් නොතිබීම, නේවාසික පහසුකම් දුර්වල වීම, රසායනික ද්‍රව්‍ය හිඟය, රසායනාගාර පහසුකම් දුර්වල වීම, ආචාර්ය මණ්ඩල හිඟය ආදී බොහෝ හේතු ඒ අතර වේ. මෙම පිරිහීමෙන් විඳීමට සිදුවන පීඩාව වර්ධනය වන විට තරුණ ශිෂ්‍යයන්ට උද්ඝෝෂණය කිරීමට මඟක් පෑදෙන්නේය.”
(මහාචාර්ය මිල්ටන් රාජරත්න 8. 01. 2012 රාවය)
එසේම මහාචාර්යවරයාගේ මතයට අනුව සරසවියට වෙන් කර ඇති මුදල්වලින් විශාල ප‍්‍රමාණයක් නව ආරක්ෂක සේවය වෙනුවෙන් ගෙවීමද සිසුන් ප‍්‍රශ්නයක් කරගෙනය. ඔවුන් මේ කියන්නේ තමන්ට පහසුකම් මදිව තිබියදී වෙනත් කාර්යයන් සඳහා විශාල මුදලක් වෙන් කරනවා වැනි කතාවක්ය. මේවා පිළිබඳ කතිකාවතක් නැති ගානය. තිබුණත් අධිපතිවාදී මනසකින් වාගේය. මෙහිදී සමහර බලධාරීන්ගේ උද්ධච්ඡුකමක් දක්නට ලැබේ. මෙහිදී 88, 89 භීෂණ සමයේ සිටි උපකුලපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ සිසු ජීවිත ආරක්‍ෂා කර ගනිමින් ගෙනගිය ආදර්ශවත්දූරදර්ශී පාලනය වත්මන් අය ආදර්ශයට ගන්නවා නම් අවැඩක් වන්නේ නැත. ඒ වෙනුවට කාල් මාක්ස්ට බැනවදිමින් සිසු උද්ඝෝෂණ හරහා සන්නද්ධ නැඟිටීමකට බිල්ලාවාදය ගෙනහැර පාමින් ප‍්‍රශ්නය වෙන දිසාවකට හිතාමතා යොමු කරමින් සිටිනවාදැයි කියන්න දන්නේ නැත. ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබෙන්නේ නම් එවන් තැනකට වුවද මේ උද්ඝෝෂණ පරිවර්තනය විය හැකිය. නියපොත්තෙන් කැඩිය හැකි විනාශකාරී දල්ල නොකඩා පසුකලෙක එය පොරොවක් උපයෝගී කරගෙන කපා දැමීමට සිදුවන මහරුකක් බවට පත්වන තැනකට ප‍්‍රශ්නය තල්ලූ වන්නේ නම් අද අප නොසිතන දේ හෙට සිදු විය හැකිය. අතිධාවනකාරී තරුණ යෞවන සටන් හැම විටම සාධාරණ වන්නේ නැත. එහි අසාධාරණ පැති කඩවල් එමටය. නවක වදය පහත්ය. එය දැන් යල් පැනලාය. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ආකල්පය ගතානුගතිකය. මේවා සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ඇත්තේ ම නැත. අද විශ්වවිද්‍යාලවල විවිධ දේශපාලන මතවාදවලට ඉඩක් නැති ගාන ය. ඊට වගකිව යුතු අය ද මේ සිසු අරගල මෙහෙයවන්නෝ ය. ඊට දේශපාලනයක් තිබේ. එම දේශපාලනයට ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය විශ්වවිද්‍යාල අතරට ගෙනයාමට වත් අද බලය අල්ලාගෙන සිටින ශිෂ්‍ය කණ්ඩායම් අන් අයට ඉඩක් දෙන්නේද නැත. එම ඉඩ ලබාගැනීමට නිවැරදිව උපක‍්‍රම භාවිතා කිරීමට අනිත් අය කටයුතු කරන්නේ ද නැත. ආණ්ඩුවට අයත් ශිෂ්‍ය සංවිධානයක් නැති ගාන ය. එදා  ශී‍්‍ර.ල.නි.පයටත් ශිෂ්‍ය සංවිධාන තිබුණි. අද ආණ්ඩුවට පක්ෂපාතී ශිෂ්‍ය සංගම්ද උකටලී ය. ඊට හේතුව ආණ්ඩුවේ අයවත් ඔවුන් ගණන් නොගැනීමය. මේ සම්බන්ධයෙන් ලිපියක් මඟින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දැනුම්වත් කරන අමාත්‍ය විමල් වීරවංශ : ”මේ වන විට විශ්වවිද්‍යාලවල පැතිරී යන උණුසුම් අරගලකාරී තත්ත්වයන්ට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ රජයේ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයකට වඩා එම ආයතනවල පාලකයන්ගේ පෞද්ගලික දුර්වලතා බව පැහැදිලිව පෙනේ. ”විරෝධාකල්ප හා වෛරය වර්ධනය කෙරෙන්නේ ඒවායේ සමහර පාලකයන්ගේ අත්තනෝමතික දැඩි පරිපාලන තීන්දු නිසා බව ඉතා පැහැදිලිව පෙනී යයි. රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා හමුවීමට සිසුන්ට අවස්ථාවක් ලබා නොදීම නිසා වෛද්‍යපීඨයේ අවසන් වසරේ සිසුන් සියලූ දෙනා එතුමා සාකච්ඡා කරමින් සිටි කාර්යාලයක් වට කොට උද්ඝෝෂණයක් සිදු කර ඇත. එහිදී කිසිදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් සිදු වී නැත. එම වරදට තෝරාගත් සිසුන් 6 දෙනෙකුගේ පමණ ශිෂ්‍යභාවය සති 5කට අත්හිටුවා ඇත. එහෙත් එම සිසුන් 6 දෙනා එතුමාගේ දෙපා වැඳ සමාව ගැනීමෙන් පසුවත් දඬුවමේ වෙනසක් වී නැත. අවසානයේ සමාව වෙනුවට සති 5ක දඬුවම ගෙවා අවසන් වූ පසුවත් ඔවුනට ලැබෙන්නේ තවත් වසර 2ක පන්ති තහනමකි”
(අමාත්‍ය විමල් වීරවංශ)
වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. ආණ්ඩුව මේ පරිප්පුව කන්නේ සිසු අරගලය මර්දනය කරනු ලබන සමහරුන්ගේ උද්ධච්ඡ වෛරී කි‍්‍රයා කලාපය නිසා බවද මින් පැහැදිලිය. ඒ වෙනුවට සන්නද්ධ බිල්ලා මවා පෑම විසඳුමක් වන්නේ දැයි කියන්න දන්නේ නැත. ප‍්‍රශ්නය දුරදිග ගියොත් අවසානයේ සිසුන් තමන්ට ආවේණික දේශපාලන මතවාදය ඉදිරියට ගැනීම අනිවාර්ය වේ.  එය සන්නද්ධ නැගිටීමකින් තොර ආණ්ඩු පෙරළියක් විය හැකි බවට ද මත පළ වේ. ”අපට සන්නද්ධ වීමේ කිසිම වුවමනාවක් නැහැ. ඔළුගෙඩි නරක් වූ සමහරුන්ගේ බොරු චෝදනා විශ්වාස කරන්න එපා. සිසු අරගලවල අහසින් පාත්වෙන දේවල් නොවෙයි. ඒවාට හේතු තිබෙනවා.
(ජන අරගල කැඳවුම්කරු සමීර කොස්වත්ත 14. 1. 2011 ලංකාදීප)
  ”සන්නද්ධ අරගලයක් ගැන සිතිය හැක්කේ මොළේ උළුක්කුවක් තිබෙන පිරිසකට විතරයි. මොකද ලෝකයේ එක් යුගයක් තිබුණා සන්නද්ධ අරගල හරහා සමාජ පරිවර්තන ඇතිකර ගන්නා. එම කාලපරිච්ඡේදය අවසන් වෙලා දැන් ඒ සමාජ පරිවර්තනයක් ඇතිකර ගත හැකි වන්නේ විශාල පොදු ජනතාවක් ඒකාබද්ධව කරනු ලබන උද්ඝෝෂණයකින්, අරගලයකින් පමණයි.”
(පා. ම. අනුරකුමාර දිසානායක ජ.වි.පෙ. 13.01.2012 සිරස)
වැඩේ දුරදිග ගියොත් අනාගතයේ සිදු විය හැකි දේ පැහැදිලියි. මෙය රටට එරෙහිව සිටින බටහිරට අවශ්‍යව තිබේ. සමහර උද්දච්ඡ බලධාරීන් සූදානම් වන්නේ සිසු උද්ඝෝෂණවල මෙම දේශපාලනය මතුකර ගැනීමට ඉඩ සලසා දීමටදැයි කියන්න දන්නේ නැත. අමාත්‍ය විමල් වීරවංශ පෙන්වා දෙන්නේ ද එම අනතුර ගැන වාගේය. ”ඇති සතුරා වසා තබා නැති සතුරකු මවාපාන්න එපා” යැයි වරක් පිදෙල් කස්ත්‍රෝ නොබැඳි ජාතීන්ගේ නයිජීරියානු සමුළුවේදී පැවසීය. සමහරු උද්ධච්ඡ සිසු අරගල දෙස බැලීම සැකසහිත යැයි කෙනෙකුට සිතිය හැකිය. ආණ්ඩුව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළේ කොනක ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිටිනවා දැයි කියන්න දන්නේ නැත. අඩුම ගානේ රජය තමන්ට පක්ෂපාතී විශ්වවිද්‍යාල පාලනයට හා සිසු අරගලවලට සම්බන්ධ නැති විශ්වවිද්‍යාල බුද්ධිමතුන් සමඟ පලදායී සාකච්ඡාවකට යා යුතුය. සිසුන් සමඟ ප‍්‍රශ්න සාකච්ඡා කිරීමේ හැකියාවක් ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර වැනි මධ්‍යස්ථ බුද්ධිමතුන් සම්බන්ධ කරගෙන යම් සොයා බැලීමකට යන්නේ නම් අවැඩක් වන්නේ නැත. මැදපෙරදිග ජන අරගලය ඇරඹෙන්නේ රැකියාවක් නොමැතිකමින් පලතුරු අලෙවි කරන ටියුනීසියාවේ උපාධිධාරියකු සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව බව මතක තබා ගැනීම ද මේ අතර වැදගත් වෙනවා ය.
වසන්තප‍්‍රිය රාමනායක