IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


සාමය වචනයට පොර බැදීම

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 19 වැනිදා පැවැති යුද ජයග්‍රහණය සැමරීමේ උත්සවයට සහභාගිවීම මෙරට දේශපාලනඥයන්ට අලුත් මාතෘකා ගණනාවක් ලබාදී තිබේ.

ඊට හේතු වූයේ මෙවර මෙම උත්සවය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන බවට ආණ්ඩුව කලින් කර තිබූ නිවේදනයයි. ඉන් ජනාධිපතිවරයා මෙවර උත්සවයට සහභාගි නොවන බවක්ද කියැවිණි. එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

කෙසේ වෙතත් අවසානයේදී ජනාධිපතිවරයා එම උත්සවයට සහභාගි විය. එහෙත් ඔහු එහිදී පැවැත්වූ කතාවෙන්ද විරුද්ධ පක්ෂවල දේශපාලනඥයින්ට අල්ලා ගන්නට තැන් ගණනාවක්ම තිබිණි.

ආණ්ඩුව දැන් පවසන්නේ ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගි නොවීමේ ස්ථාවරයක නොසිටි බවය. ඉකුත් සඳුදා රූපවාහිනී සංවාදයකට සහභාගිවූ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක කටයුතු  ඇමැති විජිත හේරත් මහතා පැවැසුවේ ජනාධිපතිවරයා උත්සවයට සහභාගි වීමට සූදානමින් සිටියද ඊට පෙර වැරැදි වැටහීමක් ඇතිවූයේ සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් බවය.

එහෙත් එය කිසිවකු පිළිගන්නට ඇතැයි සිතිය නොහැකිය. උත්සවය  පිළිබඳ නිවේදනයක් සහ උත්සවය සඳහා වූ ආරාධනා පත්‍රයේද සටහන්ව තිබුණේ එය ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවය. එය සන්නිවේදනය පිළිබඳ ප්‍රශ්නයක් නම් ආණ්ඩුව වහාම  එය නිවැරදි කළ යුතුව තිබිණි. එසේ වූයේ නැත.

අනෙක් අතට ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගි වුවද නොවූවද එය පැවැත්වුණේ ජාතික ජන බලවේගය නායකත්වය දරන ආණ්ඩුවක් යටතේය. එහෙයින් ඉන් අවැඩක් සිදු වේයැයි උපකල්පනය කළද එය ආණ්ඩුවට පමණක් නොව ජනාධිපතිවරයාටද බලපෑම නොවැළැක්විය හැකිය. එහෙයින් ජනාධිපතිවරයාගේ සහභාගිත්වය කලින්ම නිවේදනය කළ යුතුව තිබිණි.

කොටි සංවිධානයට එරෙහි යුද්ධයට අවශ්‍ය වූ ජනමතය ගොඩනැගීමේදී, විශේෂයෙන්ම 2002 දී කොටි සංවිධානය සමග ආරම්භ වූ සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු එම ජනමතය ගොඩ නැඟීමේදී  ඉතා විශාල වැඩ කොටසක් කළේ ජනතා විමුක්ති පෙරමුණ හා එකල සිහල උරුමය යනුවෙන් හැඳින්වුණු ජාතික හෙළ උරුමයි. ඉන්පසු යුද්ධය පැවැති කාලයේද ජවිපෙ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ හා කොටි සංවිධානයේ සුනාමි සහන මණ්ඩල යෝජනාව වැනි දේට විරුද්ධ වෙමින් එම මතය පවත්වා ගෙන ගියේය. ඒ අනුව ආරක්ෂක හමුව 2009 දී කොටි සංවිධානය පරාජය කිරීම එම මතය දැරුවන්ට විශාල ආශ්වාදයක් විය.

ඒ අනුව වාර්ෂිකව ආරක්ෂක හමුදාවල එම යුද ජයග්‍රහණය සැමරීමද ඔවුනට විශාල ආශ්වාදයක් විය. එහෙයින් ආරක්ෂක හමුදා 2007 දී තොප්පිගල ප්‍රදේශය අල්ලාගෙන නැගෙනහිර පළාත මුළුමනින්ම කොටි සංවිධානයේ ග්‍රහණයෙන් මුදාගත් විට තොප්පිගල යනු  කැලයකැයිද එම හමුදා 2009 ජනවාරි මස එවක කොටි සංවිධානයේ මූලස්ථානය වූ කිලිනොච්චිය අල්ලා ගත් විට හමුදාව කිලිනොච්චිය යැයි කියමින් මැදවච්චියට ගොස් ඇතැයිද කියමින්  හමුදාවන්ට එම ජයග්‍රහණ සරදමට ලක් කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝද 2015 සිට 2019 දක්වා පැවැති සිය ‘‘යහපාලන’’ ආණ්ඩු කාලයේදී මෙම උත්සවය පැවැත්වූහ.

එහෙයින් තමන්ද එක්ව ගොඩනැගූ මෙම ජනමතය හමුවේ මෙම උත්සවය දැන් අත්හැරිය නොහැකි බවත් රාජ්‍ය නායකයා හා ත්‍රිවිධ හමුදාවල ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට ඊට සහභාගි නොවී සිටිය නොහැකි බවත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය තේරුම් ගත යුතුව තිබිණි. ආණ්ඩුවේ මෙම අවුල්සහගත හැසිරීම නිසා සිදුවූයේ සිය ප්‍රතිවාදීන් හට ආයුධ සැපයීම පමණි. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ආගිය අතක් සොයා ගත නොහැකිව සිටි ඇතැම් කණ්ඩායම්වලට කරළියට ඒමට එමඟින් ඉනිමං සැපයීමක්ද එයින් සිදුවිය.

සෑම වසරකම මෙම උත්සව දිනට පෙර දින උතුරු නැගෙනහිර ප්‍රදේශවලද යුද්ධයේදී මියගිය දෙමළ ජනයා වෙනුවෙන් දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන හා සිවිල් සමාජ සංවිධාන සැමරුම් පවත්වයි. එය ඔවුන් නම් කොට ඇත්තේ මුල්ලිවායික්කාල් දිනය යනුවෙනි.

එම සැමරුම සෑම වසරකම සනිටුහන් කෙරෙන්නේ සිය ගණන් මවුවරුන්ගේ වැළපීම්වලිනි. පසුගිය 19 වැනිදා මෙරට දෙමළ බසින් පළ කෙරෙන ජාතික පුවත්පත් දෙකක් මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය වූයේ කඳුළින් නැහැවුණු මුල්ලිවායික්කාල් දිනය යන්නය. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල ජාතික රණවිරු සැමරුම පැවැත්වුණේද එදිනය.

එම දින දෙකෙන් එකක එක් පිරිසක් තමනට ඇතිවූ ජීවිත හා දේපළ හානි සිහිපත් කර විලාප නඟති. අනෙක් දිනයේ තවත් පිරිසක් යුද ජයග්‍රහණයක් සමරති. මෙහි හරි වැරැදි පිළිබඳව උතුරේත් දකුණේත් විවිධ  පුද්ගලයන් තුළ විවිධ අර්ථකථන තිබිය හැකි වුවත් ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම් අවි ගැටුම් නතර වුවද උතුරේත් දකුණේත් ජනතාවගේ හදවත් සංසුන් කරන්නට යුද්ධය අවසන් වූ පසු බලයේ සිටි කිසිදු ආණ්ඩුවකට නොහැකි වී ඇති බවය. උතුරේ හෝ දකුණේ හෝ කිසිදු දේශපාලන පක්ෂයක් විසින් මීට විසඳුම් වශයෙන් කිසිදු යෝජනාවක්ද නැත.

මැති ඇමැතිවරුන් හා රාජ්‍ය සේවයේ සියල්ලන් බෙදුම්වාදයට එරෙහිව දිවුරුම් දීම අනිවාර්ය කරමින්  1983 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනය සම්මත කළ විට එකල විරුද්ධ පක්ෂයේ සිටි සියලු පකෂ ඊට විරුද්ධ විය. එහෙත් එම පක්ෂද බලයට පත්වූ පසු එම සංශෝධනය අහෝසි කිරීම ගැන සිතුවේවත් නැත. බහුතර ජනමතය අනුව දැන් නම් එය කොහෙත්ම අහෝසි කළ  නොහැකිය.

 පළාත් සභා මඟින් බලය බෙදීමේ වැඩ පිළිවෙලක් සහිත ඉන්දු- ලංකා ගිවිසුම 1987 ජුනි 29 වැනිදා අත්සන් කරන්නට නියමිතව තිබියදී එය රට බෙදීමකැයි කියමින් ඊට එරෙහිව පිටකොටුවේ බෝධිය අසල දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි. එහි නායකත්වය දැරුවේ එවක ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායක මහත්මියයි. එහෙත් පොදුජන එක්සත් පෙරමුණ නමින් ශ්‍රීලනිප වෙනත් පක්ෂ කිහිපයක් සමඟ බලයට  පත්වූ පසු එම පෙරමුණේ නායිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1995 දී ‘‘පැකේජය’’ යනුවෙන් එකල පොදුවේ හැඳින්වුණු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළාය. 

එම වැඩපිළිවෙළ පළාත් සභා ක්‍රමයටත් වඩා ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් නොව කලා සංගමයක් වශයෙන් හැඳින්විය. එවර එය රට බෙදීමේ වැඩ පිළිවෙළකැයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දැරූ එජාප ඊට එරෙහි විය. එම වැඩපිළිවෙළ පදනම් කරගෙන කුමාරතුංග මහත්මිය 2000දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළාය. එජාප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදීම එහි පිටපත් ගිනි තැබූහ. 

එහෙත් එම එජාපයම 2003 දෙසැම්බර් 3 වැනිදා නෝර්වේ අගනුවර වන ඔස්ලෝහිදී ෆෙඩරල් ආකෘතියේ පාලන ක්‍රමයක් සම්බන්ධයෙන් කොටි සංවිධානය සමඟ එකඟතාවක් ඇති කර ගත්තේය. බලයට පත්වන පක්ෂ බලය බෙදීමට පක්ෂ වීම හා විරුද්ධ පක්ෂ ඊට  විරුද්ධ වීමේ තත්වය එවර දක්නට ලැබුණේ නැත.  යුද්ධයෙන් රට කොතෙක් හෙම්බත් වී තිබුණේද යත් එදා එම ඔස්ලෝ ප්‍රකාශනයට එරෙහිව මෙරට කිසිඳු පක්ෂයක් නිවේදනයක් හෝ නිකුත් කළේ නැත.

එහෙත් ජනවාර්ගික ප්‍රශ්නය හා යුද්ධය දේශපාලනය සඳහා යොදා ගැනීම එතැනින් නතර වූයේ නැත.  ශ්‍රීලනිප ප්‍රමුඛ එවක සිටි විරුද්ධ පක්ෂ එවක ක්‍රියාත්මක වූ සටන් විරාම ගිවිසුම නීති විරෝධී එකකැයි කීය. ඒ ව්‍යවස්ථාව අනුව ආරක්ෂාව පිළිබඳ වගකීම දරන ජනාධිපතිනිය ඊට සම්බන්ධ නොවූවාය යන පදනමිනි. එහෙත් 2005 දී බලයට පත්වූ ශ්‍රී ලනිප යටතේම සාම සාකච්ඡා වට දෙකට තම නියෝජිතයන් යැවීය. 

ඔහු දෙවැනි වර සාකච්ඡාවට තම නියෝජිතයන් යැව්වේ ​ෙකාටි සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කරමින් බිම් බෝම්බ ප්‍රහාර පවා හමුදාවනට එරෙහිව එල්ල කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් මගින් හමුදාපති සරත් ෆොන්සේකා මහතා බරපතළ ලෙස තුවාල කොට තිබියදීය.

යුද්ධයෙන් පසු 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දැරූ එක්සත් ජනතා නිදහස් සන්ධානය යුද ජයග්‍රහණය උපරිම ලෙස දේශපාලනීකරණය කළේය. එසේම එජාප හා ජවිපෙ එම මැතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළේද යුද ජයග්‍රහණයේ අයිතිය කියා පාමිනි. ඉන් පසුද පැවැත්වූ සෑම මැතිවරණයකදීම මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දැරූ පක්ෂය යුද ජයග්‍රහණය ප්‍රධාන තුරුම්පුව බවට පත්කර ගත්තේය. එසේ වුවද 2015 දී අනභිභවනීය බොහෝ දෙනා සිතූ රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය  පරාජය විය. රාජපක්ෂ මහතා දේශපාලන ඇසින් බලා යුද ජයග්‍රහණයේ නියමුවා වශයෙන් සැලකෙන සරත් ෆොන්සේකා මහතා  සිරගත කිරීම පමණක් නොව විශ්‍රාම වැටුප පවා නතර කරන්නට කටයුතු කළේය.

අවි ගැටුම් අවසන් වී වසර 16ක් ගතවී ඇති තත්වය යටතේ සාමය ගැන උතුරේත් දකුණේත් සියලු දේශපාලනඥයෝ තවමත් කතා කරති. එහෙත් ඒ සියලු දෙනා තම තමන්ගේ කොන්දේසි මත පමණක් සාමය උදාවිය යුතුයැයි අදහස් කරති. පිරිසක් සාමය සඳහා උතුර දකුණේ ආධිපත්‍යය පිළිගත යුතුයැයි සිතති. එය එසේ යැයි කියන්නට ඔවුන් වෙත ප්‍රබල තර්ක තිබේ. එසේම තවත් පිරිසක් උපරිම බලය බෙදන ෆෙඩරල් ක්‍රමයක් ෆෙඩරල් නමින්ම ක්‍රියාත්මක වීම මගින් පමණක් සාමය උදාවේයැයි කල්පනා කරති. ඊට අඩු කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්නට හෝ ඔවුන් සූදානම් නැත.

තවත් පිරිසක් මේ අන්ත දෙක අතර විසඳුමක් යෝජනා කරති. ඔවුන් යෝජනා කරන්නේ අතීත සිත් පෑරීම් සුව කරන අයුරින් වැඩ පිළිවෙළක් අවශ්‍ය බවය. යුද ජයග්‍රහණය සැමරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා රණවිරුවා යන වචන භාවිත නොකිරීම ගැන ඉහතකී රූපවාහිනී සංවාදයේදී ප්‍රශ්නයක් මතු කළවිට විජිත හේරත් මහතා සඳහන් කළේ තමන් එම වචනය පාවිච්චි කිරීමට විරුද්ධ නොවන බවත් තමන්ද එය පාවිච්චි නොකරන ස්ථාවරයක නොසිටින බවත් එහෙත් සාමය සඳහා යන ගමනේදී කිසිදු පාර්ශ්වයකගේ සිත් පෑරෙන වචන භාවිත නොකර සිටීම වැදගත්  බවත්ය.

තමන් යුද්ධයේදී රට වෙනුවෙන් අසාමාන්‍ය කැප කිරීම් කළ වීරෝදාර හමුදා භටයන්ට හා නිලධාරීන්ට නිසි ගරුත්වය දෙන්නට කිසි විටෙක නොපැකිලෙන බවත් ඔහු පැවැසීය. ඒ අනුව සාමය පිළිබඳ විවිධ මත දරන ඉහත සඳහන් කණ්ඩායම් අතුරින් ජාතික ජනබලවේගය තුන්වැනි කණ්ඩායමට අයත් බව පෙනේ. එම ස්ථාවරය ප්‍රායෝගිකද සාර්ථකද යන්න කාලය විසින් පමණක්ම තීරණය කෙරෙනු ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

සාමය වචනයට පොර බැදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 225 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 561 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site