සමනොළ සිරස වඳින්නට රෑන් පිටින් යන සමනළුන්ට කෙදිනකවත් ඒ ගමන වෙහෙසකර අත්දැකීමක් නොවූ සෙයකි. සියුමැලි සමනළ තටුවල වාරුවෙන් සමනළුන් සමනොළ අඩවිය තරණය කළත් එසේ සිරිපා කරුණා කරන්නට නොහැකි පිරිසක් වෙනුවෙන් සමනොළ කඳු මුදුන ආශි‍්‍රතව ඇහැළකණුව ප‍්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණයක් ඉදිකිරීමට මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් පවතින බවට රාවයක් පැතිර ගියේය. පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතාගෙන් මේ පිළිබඳව තොරතුරු විමසා සිටි පසුබිමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ සඳහාවන සාකච්ඡාවක් 2013 පෙබරවාරි 20 වැනි දින රත්නපුරදී පැවැත්වූ බවත් හෙළිකොප්ටර් අංගණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව එහිදී සැලසුම් වී ඇති බවත්ය.


එමෙන්ම සමනොළ අඩවිය හරහා කේබල් කාර් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වන බවටද කරුණු කියැවිණි.


ලංකාවේ නිවර්තන වැසි වනාන්තර අතුරින් සමනොළ අඩවියට සුවිශේෂ තැනක් හිමිවන බව පළමුවෙන්ම සටහන් කර තැබිය යුත්තකි. සමනොළ කඳු මුදුනේ සිට අවට සිසාරා දෙනෙත් යොමද්දී සමනොළ අඩවිය නම් මහා වැසි වනාන්තරය නෙත් මානයට හසුවෙන අතර ඉර සේවයෙන් ඇස් හරින නොයිඳුල් වන කුමරියට රන්වන් සේලයක් දවටන කලක මෙන් රන් පැහැයෙන් දිලෙන්නට පටන් ගනී. පළමුකොටම තුරු මුදුන් සිප ගන්නේ කහ පැහැති ඒ හිරු රැස්ය. පක්ෂීහු හා සමනළු ඒ තුරු අතර සැරිසරති.


 නිරිත දිග මෝසමෙන් හා දෙවැනි අන්තර් මෝසමෙන් වර්ෂාව ලබන මෙම ප‍්‍රදේශය මැයි සිට දෙසැම්බර් දක්වා කාලයේදී ඝන මීදුමෙන් හා අධික වැස්සෙන් යුතු වෙයි. අප රටේ වර්ෂා රටාවේ පැවැත්මට මෙම වනාන්තරයෙන් මහඟු මෙහෙයක් ඉටුවෙන අතර ශාක මතට පතිත වන වැසි දිය ක‍්‍රමානුකූලව මහ පොළොව කරා පැමිණ කුඩා දිය උල්පත් නිර්මාණය කරයි.


”මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා”


සැබැවින්ම මේ මහා ගංඟා දළුලන්නේ සමනොළ අඩවියේ ඒ කුඩා දිය උල්පත්වලිනි. දිය කඳුලක්ව ඉපදී වනාන්තරය අභ්‍යන්තරයේදී වැඩෙන මේම දිය කුමරියන් සුන්දරව ඇද හැලෙන දිය ඇලි 10 කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කරන අතර දෝතලූ, දියනැල්ල, මන්නාකැති ලෙස නම් ලබන්නේ ඒ කුමරියන් කීප දෙනෙකි.


2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ස්වභාවික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති සමනොළ අඩවියේ මෙවන් ඉදිකිරීමක් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් ඒ අනුව නීති විරෝධී ලෙස මේ ඉදිකිරීම් කටයුතු කිරීමට සූදානම් වන බව පෙනෙන්නට ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.


ලෝක උරුම සම්මුතියට අනුව යුනෙස්කෝ ආයතනය මගින් ලංකාවේ දෙවැනි ස්වභාවික ලෝක උරුම ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කළ මධ්‍ය කඳුකරයට අයත් සමනොළ අඩවියේ මෙවන් ඉදිකිරීමක් කිරීමෙන් එම සම්මුතිය උල්ලංඝණය කිරීම පමණක් නොව මුළු ලෝවැසියන්ගේ අවධානයට පාත‍්‍රවූ ප‍්‍රදේශයක් මෙරට වගකිවයුත්තන්ට ආරක්ෂා කරගැනීමට නොහැකි වීමෙන් ජාත්‍යන්තරව අප රටට එල්ල වන අපකීර්තියද සුළුපටු නොවේ යැයිද පරිසරවේදීහු පවසති.
සමනොළ අඩවිය යනු අප රටේ ප‍්‍රාථමික නිවර්තන වැසි වනාන්තර නැතහොත් නොයිඳුල් නිවර්තන වැසි වනාන්තර විශාල ප‍්‍රමාණයක් ඉතිරි වී ඇති එකම වනාන්තර ප‍්‍රදේශය වෙයි. දැනට විද්‍යාත්මකව නම් කර නොමැති සත්ව විශේෂ ගණනාවකගේ වාසස්ථානය වන්නේද සමනළ අඩවියයි. මුළු ලොවින්ම සමනොළ අඩවියේ පමණක් වාර්තා වන උභයජීවි උරග හා මිරිදිය කකුළුවෝ විශේෂ ගණනාවක් වෙති. මීට අමතරව සමනොළ අඩවියේ පමණක් වාර්තා වන සපුෂ්ක ශාක විශේෂ කිහිපයක්ම වෙයි.


ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 ම වාර්තා වන වනාන්තර පද්ධති දෙක අතරින් එකක් වන්නේද සමනොළ අඩවියයි.


වනාන්තර පද්ධතිය ආශි‍්‍රතව නිරන්තරයෙන් හෙළිකොප්ටර් ගමන් කළොත් ඒ හේතුවෙන් ජනනය වන අධික ශබ්දය කරණ කොටගෙන මෙහි ජීවත්වන අලි ඇතුන් හා දිවියන් ඇතුළු සමස්ත ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට ඉතා හානිකර බලපෑම් එල්ල විය හැකිය.


හෙළිකොප්ටර්වල අධික ශබ්දයේ බලපෑම සමනොළ අඩවිය පුරාම ජෛව ප‍්‍රජාවගේ නිදහස් ජීවන පැවැත්මට ඉතාම හානිකර ලෙස බලපෑ හැකි අතරම ප‍්‍රධාන වශයෙන් විශාල ක්ෂීරපායි සතුන්ගේ පැවැත්මට මේ තත්ත්වය දරුණු ලෙස බලපෑ හැකිය.


කොටස් දෙකකින් යුතු ව්‍යාපෘතියක් වන එමෙන්ම කේබල්කාර් ව්‍යාපෘතිය සැලසුම් කර ඇතැයි කියයි. රත්නපුර සිට සිරිපා මළුව දෙසටත් හැටන් සිට සිරිපා මළුව දෙසටත් වශයෙනි. කුළුණු ඉදිකරන්නට සිදුවේ. එමෙන්ම වනාන්තරය පුරාම මාර්ග පද්ධතියක් සකස් කර පිහිටි පොළොව දක්වාම විද ඊට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු වේ. ඉදිකිරීම් ද්‍රව්‍ය ප‍්‍රවාහනයට, කම්කරුවන් ප‍්‍රවාහනයට මාර්ග සකස් කළ යුතුය.මෙසේ වූ විට ජෛව  විවිධත්වය සමතුලිතාව සම්පූර්ණයෙන්ම බිඳී යන අතර එයින් වන විනාශය කිසිඳු ලෙසකින් මිණිය නොහැකිය.


කඳුකර ප‍්‍රදේශයේ ඇත්තේ තුනී පස් තට්ටුවකි. කුළුණු ඉදිකරද්දී බිමට අධික කම්පනයක් යොදන්නට සිදුවෙන අතර එහිදී පස්තට්ටු ලිහිල් වෙයි. ඒ හේතුව මත වැස්ස ඇතිවෙද්දී මේ ප‍්‍රදේශය නාය යාමේ තර්ජනයට ලක් වීමේ අවකාශය පවතී.


වාසස්ථාන විනාශ වීමත් මාර්ග පද්ධති සකස් කිරීම නිසා ආක‍්‍රමණික ශාක නොයිඳුල් වනාන්තරය පුරා පැතිර යාම මෙයින් සිදුවිය හැකි තවත් විනාශයකි.
දැනට රත්නපුර පලාබද්දර මාර්ගයේ හා කුරුවිට එරත්ත මාර්ගයේ පැතිර ඇති කටකළු බෝවිටියා නම් ආක‍්‍රමණික ශාකය කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මාර්ග පද්ධති සකස් කළොත් සමනොළ අඩවියද ගිලගන්නා තවත් මාරයෙක් බවට පත්විය හැකිය. එමෙන්ම තවත් දරුණු ආක‍්‍රමණික ශාකයක් වන ගල්ඉද්ද ශාඛය සමනොළ අඩවිය ගිලගන්නා මාරයෙක් බවට පත්විය හැකිය.


කටකළුබෝවිටියා ශාකයේ ඉතා රසවත් ගෙඩි වර්ගයක් සෑදෙන අතර කුරුල්ලන් ඒවා කෑමට වැඩි රුචිකත්වයක් දැක්වීමෙන් ඉහළ ස්ථරවල ශාක ව්‍යාපෘතිය වැඩිවේ. එසේ වන්නේ කටකළුබෝවිටියා ශාකයේ ගෙඩි කුරුල්ලන් ආහාරයට ගද්දී එහි ඇට වැටීමෙන් එම ශාක ව්‍යාප්තිය තවත් පුළුල්ව සිදුවීමත් අනිත් ඉහළ ශාකවල ඵල අනුභවය අඩුවීමෙන් ඒවා එසේ ව්‍යාප්ත වීම සිදු නොවීමත් යන හේතු මතය. මෙය ජෛව සමතුලිතතාව බිඳ වැටීම කෙරේ සෘජුවම බලපායි.


මුළු ලෝකයේම සමනොළ අඩවියේ පමණක් උභයජීවි හා උරග විශේෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට වාර්තා වෙයි.

 

සටහන - සංජීවිකා සමරතුංග

 

අකුලා නොගත්තොත් ජීවිතය පරදුවට තබා විරෝධය පළකරනවා

 

කොළොන්නේ සිරිශාන්ත විජය හිමි

ශ්‍රී පාද රක්‍ෂිතයේ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකිරීමට සැකසූ පිඹුරුපත් අකුලා නොගතහොත් ජීවිතය පරදුවට තබා විරෝධය පළකරන බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ හා සමනොළගිර සුරැකීමේ සංවිධානයේ සභාපති කොළොන්නේ සිරිශාන්ත විජය හිමියෝ පවසති.
උන්වහන්සේ මෙසේද පැවසූහ. පසුගිය 2012 වසරේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදී රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවලදී ශ්‍රීපාද ස්ථානය ආශ‍්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතිය ඉදි කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වසරේදී කේබල් කාර් ව්‍යාපෘතිය කරන බවයි එහිදී සඳහන් වුනේ.
සමනොළ කඳු රක්‍ෂිතයේ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකිරීම ගැන පසුගිය පෙබරවාරි 20 වැනිදා රත්නපුර රජයේ කාර්යාලයකදී සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. ලංකාවට පැමිණෙන තානාපතිවරුන් ඇතුළු ප‍්‍රභූවරුන්, රාජ්‍ය නායකයන් ඇතුළු ඉහළ පෙලේ අයට සිරිපාද වන්දනා කිරීමට මෙය ඉදිකළ යුතු බව එහිදී කරුණු සකසමින් තිබෙනවා.
ශ්‍රීපාද රක්‍ෂිතයේ ඇහැළකණුව අසල ආක‍්‍රමණික ශාඛයක් ඇති බවත් එම ශාඛය ඉවත්කර ඒ ස්ථානයේ හෙලිකොප්ටර අංගනය ඉදි කරන බවටත් මෙහිදී කථා වී තිබෙන බව අපට ආරංචියි. ඒ බවට ප‍්‍රසිද්ධ විවාදයකදී වුනත් කරුණු අනාවරණය කරන්න මා සූදානම්.
අපි මේ අංගණයට විරෝධය පළ කරන්නේ සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ නිලවරණය ගැන බලාගෙන නොවේ. වත්මන් බස්නායක නිලමේවරයා සමඟ අපගේ කිසිදු ද්වේශයක් අමනාපයක් නැහැ.
හෙලිකොප්ටර් අංගණය ඉදි කරන නිසා වෙළඳුන්ටත් ඉවත් වෙන්න කියා දැනුම් දී තිබෙනවා. වෙළඳ සල් දෙකක් ඉවත් කරන්න හදනබව දැනගැනීමට තිබෙනවා.
සිරිපා රක්‍ෂිතය පාලනය වන්නේ විවිධ අණ පනත් මගින්. එහි කිසිදු අනවසර ඉදිකිරීමක් හෝ පරිසරයට හානිකර ඉදිකිරීමක් කරන්න නීතිමය අවසර නැහැ. එවැන්නක් කිරීමට උත්සාහ ගතහොත් අධිකරණයට යනවා.

 


(ලසන්ත නිරෝෂණ)

 

 

සාකච්ඡාවක් තිබ්බෙත් නෑ ඉදිකරන්න අවශ්‍යතාවකුත් නෑ

 

රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් සුනිල් කන්නන්ගර

ශ්‍රී පාද අඩවියේ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකරන බව සමහරුන් විසින් ප‍්‍රචාරය කරනු ලබන කතාව යක්ෂයන් ගැන සමහරුන් තුළ ඇති සිතුවිල්ලට සමාන බව රත්නපර දිස්ති‍්‍රක් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවැසීය.
දිස්ති‍්‍රක් ලේකම්වරයා මෙසේද කීවේය. යක්ෂයින් මිනිසුන් මරණවා කියලා කතාවක් තිබුණා. නමුත් යකුන් මිනිසුන් මැරුවේ නැහැ. මිනිස්සු ඔය කියන යකා දුටුවේත් නැහැ. ඒක මිනිසුන්ගේ මනසේ ඇඳුණු මනඃකල්පිතයක් පමණයි.
ශ්‍රීපාදස්ථානයේ හෝ එම රක්ෂිතයේ හෝ රක්ෂිතයට අයත් නොවන වෙනත් ස්ථානයක හෝ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකරන බවට කියැවෙන කතාව සම්පූර්ණ අසත්‍යයක්. එවැනි කරුණක් ගැන කිසිම සාකච්ඡුාවක් තිබී නැහැ. අවම තරමින් යෝජනාවක්වත් නැහැ. නිල හෝ නොනිල වශයෙන්වත් සාකච්ඡා වී නැහැ.
මෙවැනි අසත්‍යයක් ප‍්‍රචාරය කිරීමට හේතුව කුමක්දැයි අප දන්නේ නැහැ. ශ්‍රීපාදස්ථානය යනු ලෝක උරුමයක්. සුවිශේෂි වනජීවි කලාපයක්. ඒ සියල්ලට වඩා උතුම් පූජනීය ස්ථානයක්.
මෙවැනි ඓතිහාසික පුණ්‍ය භූමියක් තුළ හොර රහසින් ගුවන් පථ ඉදිකරන්න බැහැ. එහෙම දෙයක් සිදුවෙනවා නම් මට අනිවාර්යෙන්ම දැනගැනීමට ලැබෙනවා.
සිරිපා අඩවියේ ගුවන් පථ හෝ එවැනි අංගණ ඉදිකිරීමේ අවශ්‍යතාවක්ද නැහැ. පාලනය කරන්න බැරි තරමින් වන්දනාකරුවන් මේ අසිරිමත් පුදබිම වන්දනාමාන කිරීමට පා ගමනින් යනවා. පසුගිය සති අන්තයකදී ලක්ෂ හතරකට වැඩි බැතිමතුන් සිරිපා වන්දනා කළා. මාර්ග තුනකින් පා ගමනින් බැතිමතුන් සිරිපා වන්දනාවේ යෙදෙනවා.
තනි කකුලෙන් සිරිපා වන්දනා කරන බැතිමතුන් සිටිනවා. සිතේ අධිෂ්ඨානය ඇතිකරගෙන ඔවුන් මේ උත්තරීතර වන්දනාවේ යෙදෙනවා. වාර්ෂිකව තිස් ලක්ෂයකට වඩා බැතිමතුන් සිරිපා වන්දනා කරන බව අනාවරණය වී තිබෙනවා. එහෙම නම් සිරිපා වන්දනාවට හෙලිකොප්ටර් අවශ්‍යතාවක්ද නැහැ. රටේ ජනගහණයෙන් සියයට 13 ක් පමණ සිරිපාද වන්දනාවේ යෙදෙන්නේ පා ගමනින්.
ශ්‍රීපාද අඩවියේ හෙලිකොප්ටර් අංගණ ඉදිකිරීම ගැන පැතිරී ඇත්තේ අසත්‍ය කතාවක්. ඊට පදනම් වූ හේතු දන්නේ එම කතාව නිර්මාණය කළ අයම පමණයි.


(කහවත්තේ ලසන්ත නිරෝෂණ පෙරේරා)