IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමාජය මේ තරමටම පිරිහෙන්නේ ඇයි?

ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් තිබෙන්නේ ද යන සැකය තීව්‍රවන සිදුවීම් බහුලවෙමින් තිබේ. නීතියේ ආධිපත්‍ය පොදු සමාජ අපේක්ෂාව වුවද එය යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීම අතිශයින්ම දුෂ්කර අභියෝගයක් බවට පත්ව ඇති සෙයකි. ඒ බව පසක් කරන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනි අවි සහ හෙරොයින් සොරාගෙන පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු, ඊට අනුබල දුන් අයකු ඇතුළු තිදෙනකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉකුත් 2 වැනිදා අත්අඩංගුවට ගත් බවය.

නීතියේ දෙවඟන වැඩවසන අධිකරණ සංකීර්ණයක් සැලකෙන්නේ ශුද්ධ භූමියක් ලෙසය. එම අධිකරණ පරිශ්‍රය තුළ ඉතා සංවර මෙන්ම ගෞරවණීය ලෙස හැසිරීමට සියල්ලන්ටම සිදුව තිබෙන්නේ එහෙයිනි. එම සංවර මෙන්ම ගෞරවණීය හැඟීමෙන් පිළිබිඹු වන්නේ නීතියට ඇති භය පක්ෂපාතීත්වය විනා අන් යමක් නොවේ. සමාජයක පැවැත්ම, සන්සුන් සංහිඳියාව ආරක්ෂා වන්නේ නීතියට ඇති එම භය පක්ෂපාතීත්වයේ ප්‍රමාණය අනුවය. එවන් ශුද්ධ භූමියක් චෞර කප්පිත්තන්ගේ ග්‍රහණයට හසුවී තිබේ නම් එමගින් රටේ අනාගතය සම්බන්ධයෙන් ඇතිවිය යුත්තේ තිගැස්මකි.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. ඒ මුදලට කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවටය. බොහෝ අධිකරණ සංකීර්ණ මහ රාත්‍රියේ සොරුන්ගේ ප්‍රහාරයට ලක්වන පුවත් ද බහුලය. එහිදී සොරුන්ගේ අවධානයට ලක්වන්නේ විවිධ නඩුවලට සම්බන්ධ වැදගත් ලිපි ගොනුය. මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වන්නේ එම අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි සහ හෙරොයින් සොරාගෙන දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණා ඇති බවය.

අප ප්‍රවෘත්තියට අනුව සොරාගන්නා ලද ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව පැවසෙන පුද්ගලයකු සහ නඩු බඩු කාමරයෙන් සොරාගත් විදේශයේ නිෂ්පාදිත රිවෝල්වරයක් රුපියල් දෙලක්ෂ අසූදහසක මුදලකට මිලදී ගත් බව කියන බෝට්ටු හිමිකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවය. දකුණේ උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ දික්වැල්ල ප්‍රදේශයේ දී පාතාලයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් අයකු ළඟ තිබී සොයාගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් සොරාගන්නා ලද එකක් බවය.

දිවා රෑ වෙනසකින් තොරව පාතාලයන් මරාගනිද්දී ‘පොලිසිය මර නින්දේ’ යැයි ඇතැමෙක් චෝදනා කරති. බැලූ බැල්මට එහි සත්‍යතාවක් තිබේ. එහෙත් මෙහිදී පොලිසියට ද සාධාරණය ඉටුවිය යුතුය. පොලිසිය විමර්ශන සිදුකර අතිදුෂ්කර මෙහෙයුමකින් පසුව ගිනි අවි සමග පාතාලයන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කරයි. සැකකරුවන් බන්ධනාගාරයට යැවෙන අතර නඩු භාණ්ඩ අධිකරණයේ නඩු බඩු කාමරයට යැවෙයි. එසේ නඩු බඩු කාමරයට ගිය ගිනි අවි සහ මත්ද්‍රව්‍ය හොර පාරෙන් යළිත් පාතාලයන් අතට පත්වේ නම් ප්‍රශ්නය ඉතාම බරපතළය. දකුණේ ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ඉකුත් සමයේ වෙඩි පත්තු වූයේ කෙසේදැයි දැන් පැහැදිලිය. එහෙයින් මෙම චෞර කප්පිත්තන් සිදුකර තිබෙන්නේ කෙතරම් බරපතළ වරදක්ද යන්න පැහැදිලිය. මොවුන්ට හැකි ඉහළම දඬුවම් පැමිණවීම හැර වෙනත් විකල්පයක් නැත.

(***)

 



අදහස් (0)

සමාජය මේ තරමටම පිරිහෙන්නේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31282 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13474 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10991 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site