ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින ආතතිය හමුවේ “ඩේලි මිරර්” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අනතුරු ඇඟවන්නේ, ඉන්දියාව තවත් ත්‍රස්ත ප්‍රහාරයක් නීතිය හා සාමය පිළිබඳ ගැටලුවක් ලෙස නොසලකන බවත්, එය යුද ක්‍රියාවක් ලෙස සලකන බවත්ය. ඔහුගේ අදහස්, දේශසීමා ත්‍රස්තවාදය සඳහා නවදිල්ලියේ ඉවසීම අවසන් වී ඇති බවට පැහැදිලි සංඥාවක් විය. “සින්දූර් මෙහෙයුම” යනු ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තිය බවද ඔහු පැවසීය.
ප්‍රශ්නය: මහ කොමසාරිස්තුමනි, ඉන්දියාව මෑතකදී පාකිස්තානයට එරෙහිව “සින්දූර් මෙහෙයුම” ලෙසින් හැඳින්වෙන හමුදා මෙහෙයුම දියත් කිරීම පිටුපස ඇති හේතු ඔබට පැවැසිය හැකිද? එය ආරම්භ කළේ පහල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පමණක්ද? මීට පෙර ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාර රාශියක් සිදුවී තිබෙනවා. ඉන්දියාව මෙසේ ප්‍රතිචාර දැක්වූයේ මන්දැයි ඔබට පැහැදිලි කළ හැකිද?
පිළිතුර: අප්‍රේල් 22 වැනි දින, ලෂ්කර්-ඊ-තායිබා සංවිධානයට අයත් පාකිස්තාන සහ පාකිස්තාන පුහුණුව ලත් ත්‍රස්තවාදීන් විසින් ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම්හිදී සංචාරකයන් 26 දෙනකු ඝාතනය කළා. ඔවුන් අතර ඉන්දියානුවන් 25 දෙනකු සහ එක් නේපාල ජාතිකයකු සිටිනවා. මෙම ප්‍රහාරයට ගොදුරු වූවන් අහිංසක සංචාරකයන්. වාර්ගික පදනම මත තෝරාගත් පිරිමින් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් ඉදිරිපිටම වෙඩි තබා ඔවුන්ව ඝාතනය කළ මෙම සිදුවීම ඉතිහාසයේ වඩාත්ම ම්ලේච්ඡ හා කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක්.
2008 නොවැම්බර් 26 වැනි දින මුම්බායි නුවරදී සිදු වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය මෙයයි. එය කාශ්මීරයේදී සිදුවූ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නොසැලකිය යුතුය. එය අහිංසක සිවිල් වැසියන්ට පමණක් නොව, අපේ රටේ සාරය, එහි ලෞකික ව්‍යුහය සහ එහි සංවර්ධන ගමන් පථයට එල්ල වූ ප්‍රහාරයක්. මෙම ප්‍රහාරයේ අරමුණ වාර්ගික අසමගිය පැතිරවීම විතරක් නෙමෙයි. 2024 වසරේදී පමණක් ඉන්දියාවේ මෙම සුන්දරම ප්‍රදේශයට මිලියන 23 කට අධික සංචාරකයන් පිරිසක් පැමිණ ඇති බවක් පෙන්නුම් කරනවා. ඉතිං ජම්මු සහ කාශ්මීර එක්සත් ප්‍රදේශයට නැවත පැමිණ ඇති සාමාන්‍ය තත්වය පිළිබඳ හැඟීම කඩාකප්පල් කිරීම සහ වාර්ගික අසමගිය පැතිරවීම මෙම ප්‍රහාරයේ තවත් අරමුණක්. තවත් මෙවැනි ප්‍රහාර රැසක් ආසන්නයේ සිදුවීමට ඉඩ තියෙන බව බුද්ධි අංශ අපට වාර්තා කර තිබෙනවා.
අපි මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ අප්‍රේල් 23 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික පියවර මාලාවක් හරහා ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම සහ දේශසීමා සංචලනය සහ වෙළඳාම අත්හිටුවීම ඇතුළු අනෙකුත් දේවල් ඇතුළුවයි.
පාකිස්තානය ඔවුන් ආඩම්බරයෙන් රැකබලා ගන්නා ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහිව කිසිදු පැහැදිලි පියවරක් නොගත් නිසා තමයි, ඉන්දියාව මැයි 7 වැනි දින පාකිස්තානයේ සහ පාකිස්තානය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදී කඳවුරු නවයක් ඉලක්ක කර ප්‍රහාර දියත් කරමින් “සින්දූර් මෙහෙයුම” ආරම්භ කළේ. මේවාට පිළිවෙළින් බහවල්පූර් සහ මුරිඩ්කේ හි ජයිෂ් ඊ මොහොමඩ් සහ ලෂ්කර් ඊ තායිබා ඇතුළු එක්සත් ජාතීන් තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානවල මූලස්ථාන ඇතුළත් වෙනවා. සමස්තයක් වශයෙන් මෙම ගෝලීය ත්‍රස්ත විශ්වවිද්‍යාලවලදී ත්‍රස්තවාදීන් 100 කට වැඩි පිරිසක් මරා දමනු ලැබුවා.
ඉන්දියාව ත්‍රස්තවාදී බලකොටු පමණක් ඉලක්ක කර ගත් අතර, හමුදා සහ සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා බවට පරෙස්සමින් සහතික වුණා. අපගේ ප්‍රතිචාරය උත්සන්න නොවූ, පාලනය කරන ලද සහ සමානුපාතික එකක් වුණා. සතුරුකම් උත්සන්න නොකිරීමේ පැහැදිලි අභිප්‍රායක් ඇති බව අපි පාකිස්තාන පාර්ශවයට දැනුම් දුන්නා.
අවාසනාවකට මෙන්, ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන විනාශ කිරීමට සහයෝගයෙන් කටයුතු කිරීම වෙනුවට, පාකිස්තානය ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගෙන පසුදා සවස ඉන්දීය හමුදා පහසුකම්, පාසල්, විද්‍යාල, පූජනීය ස්ථාන සහ නිවාස ඉලක්ක කර ගනිමින් ඉන්දියාවට පහර දුන්නා. ඉන්දියාවට ඊට සමානව ප්‍රතිචාර දැක්වීමට බල කෙරුණේ ඉන් අනතුරුවයි. එය තවමත් සමානුපාතික පහාරයක් වන අතර, එය සීමා වෙන්නේ පාකිස්තාන හමුදා පහසුකම්වලට පමණයි. පාකිස්තානයේ ප්‍රහාර අඛණ්ඩව උත්සන්න වීම හේතුවෙන් ඉන්දියාව මැයි 10 වැනි දින පාකිස්තාන හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රතිචාර දැක්වූයේ ඔවුන්ගේ ගුවන් කඳවුරු 13 කට සැලකිය යුතු හානියක් සිදු කරමින්. පාකිස්තානයේ හමුදා යටිතල පහසුකම්වලට සිදු වූ මෙම සැලකිය යුතු හා නිශ්චිත හානිය නිසා පාකිස්ථානයට ඉන්දියාව වෙත පැමිණීමට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයම සතුරුකම් නැවැත්වීමට අවබෝධයකට පැමිණියා.
අපගේ පණිවිඩය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තියෙනවා. පාකිස්තාන හමුදා සහ ඉන්දියාවට පහර දෙන පාකිස්තාන අනුග්‍රහය ලත් ත්‍රස්තවාදීන් අතර කිසිදු වෙනසක් අපට පෙනෙන්නේ නැහැ. ඉන්දියාව න්‍යෂ්ටික බිය ගැන්වීම්වලට ලක් නොවන බවත්, පාකිස්තානයට මෙම ආවරණය යටතේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට ඉඩ නොදෙන බවත් අපි අපගේ ප්‍රතිචාරය තුළින් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. අනාගතයේදී පාකිස්තානයෙන් ඉන්දියාවට එල්ල වන ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයක් පාකිස්තානය විසින් ඉන්දියාවට එරෙහිව කරන ලද යුද ක්‍රියාවක් ලෙස සලකනු ලබන බවත්, ඒ අනුව ප්‍රතිචාර දක්වන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රශ්නය: පහල්ගම් ප්‍රහාරයෙන් පසු, පාකිස්තානය ත්‍රස්තවාදීන්ට සහාය දක්වන බවට ඉන්දියාව චෝදනා කළා. ඔබ ඒ නිගමනයට පැමිණියේ කෙසේද?
පිළිතුර: පහල්ගම් ප්‍රහාරයෙන් පසු, ලෂ්කර්-ඊ-තායිබා සංවිධානයේ එක් පෙරමුණක් ලෙසට ප්‍රසිද්ධ ප්‍රතිරෝධක පෙරමුණ (The Resistance-Front-TRF) නම් ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාර ගත්තා. ප්‍රහාරයෙන් පසු කළ පරීක්ෂණවලින් පෙනී ගියේ ඔවුන්ට පාකිස්තාන ආයතන සමඟ පැහැදිලි සම්බන්ධතා ඇති බවයි. ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන මධ්‍යස්ථාන පාකිස්තානය තුළ සහ පාකිස්තානයට අයත් බව එයින් පැහැදිලිව අනාවරණය වුණේ. ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ විද්‍යුත් අන්තර් නිරීක්ෂණ මත පදනම්ව ප්‍රහාරකයන් හඳුනා ගැනීමේදී, ඒවා පාකිස්තානයේ හමුදාවට යොමු වන සම්බන්ධතා පැහැදිලිව පෙන්නුම් කරනවා.
මෑතකදී, ස්කයි නිවුස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තානු ආරක්ෂක අමාත්‍ය ක්වාජා අසිෆ්, පාකිස්තානය දශක ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයා ඇති බවත්, ඔවුන්ට සහාය ලබා දී ඇති බවත් පිළිගත්තා. පාකිස්තානු හිටපු විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ මේ බව සනාථ කර තිබෙනවා. පාකිස්තානු හමුදා ප්‍රධානී අසීම් මුනීර් සහ පාකිස්තානයේ ත්‍රස්තවාදී සංවිධාන ද පහල්ගම් ප්‍රහාරයට දින කිහිපයකට පෙර කාශ්මීරයේ ප්‍රචණ්ඩකාරී මැදිහත්වීමක් ඉල්ලා සිටිමින් ප්‍රචණ්ඩකාරී වාර්ගික කතාවල නියැළී සිටියා. පහල්ගම් හි සිදු කරන ලද ප්‍රහාරයට හේතු වුණේ එවැනි නින්දිත සහ කුපිත කරවන කතා තමයි.
ප්‍රහාරයේ ස්වභාවය, ආගමික පැතිකඩ සහ ප්‍රහාරය සිදු වූ ස්ථානය යන සියල්ල කාශ්මීරයේ ප්‍රචණ්ඩත්වය සඳහා වන අසීම් මුනීර්ගේ ඉල්ලීම සමඟ සමපාත වෙනවා. පාකිස්තානය විසින් පෝෂණය කරන ලද සහ සහාය දක්වන ලද ත්‍රස්තවාදීන් පාකිස්තානය වෙනුවෙන් ක්‍රියා කරන බවත්, පාකිස්තානය එම ත්‍රස්තවාදී සංවිධාන වෙනුවෙන් ක්‍රියා කරන බවත් කවුරුත් දන්නා කරුණක්. ජාත්‍යන්තරව පිළිගත් ත්‍රස්තවාදීන්ගේ අවමංගල්‍ය උත්සව රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන විට, ඒවාට පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් කිසිදු භියක් නොමැතිව සහභාගී වීමේ දර්ශනවලින් පැහැදිලිව පෙනී යන්නේ මෙම තහනම් සංවිධානවලට පාකිස්තානය විවෘතව ආචාර කර සහාය දක්වන බවයි.
ප්‍රශ්නය: පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහයෝගීතාව ප්‍රකාශ කළා. මේ පිළිබඳව ඔබේ අදහස් මොනවාද?
පිළිතුර: පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සමඟ සහයෝගීතාව ප්‍රකාශ කිරීම සහ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දැකීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහ ජනාධිපති අනුර කුමාර දිසානායකට ස්තූතිවන්ත වෙනවා.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වහාම ජනාධිපතිවරයා මෙම හැඟීම් ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතමින්. මෑතකදී ත්‍රස්තවාදයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දුන් රටක් ලෙස, ප්‍රජාවන්ට, සමාජවලට සහ ඔවුන්ගේ ආර්ථිකයන්ට ඇති කරන වේදනාව සහ විනාශය තේරුම් ගන්න ශ්‍රී ලංකාවට පුළුවන්.
ත්‍රස්තවාදය ගෝලීය වසංගතයක් වන අතර, එයට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත් වූ විට, ප්‍රහාරයේ වින්දිතයන් සමඟ ඉන්දියාවේ සහයෝගීතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි එකම ගෝලීය නායකයා අගමැති මෝදි වීම ද සැලකිය යුතු කරුණක්.
ප්‍රශ්නය: පාකිස්තානය සමග ජලය බෙදා ගැනීම සඳහා ඉඩ සපයන ඉන්දු ජල ගිවිසුම ඉන්දියාව අත්හිටුවා තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේදී ඉන්දියාව සමඟ සම්බන්ධතාවක් ඇති කරගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බැවින් මෙය මෙහි සමහර අංශවල කනස්සල්ලට හේතු වී තිබෙනවා. ඉන්දියාව මූලික මානුෂීය අවශ්‍යතාවක් වන ජලය අවහිර කරන්නේ නම්, අනෙක් ඒවා ගැන කුමක් කිව හැකිද? ඔබ එවැනි ගැටලු සමනය කරන්නේ කෙසේද?
පිළිතුරු: මෙම කරුණු දෙක පැහැදිලිවම එකිනෙක සැසඳිය නොහැකියි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සමඟ අපගේ සබඳතා ගොඩනගා ඇත්තේ විවිධ පරිශ්‍රයන් මතයි. ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයක්. අද අපගේ සබඳතා සලකුණු වී තිබෙන්නේ සෑම මට්ටමකින්ම පෙර නොවූ විරූ විශ්වාසයකින් සහ හොඳ හිතකින්. ශ්‍රී ලංකාව සමග පමණක් නොව, භූතානය, නේපාලය සහ බංග්ලාදේශය වැනි අපගේ අනෙකුත් අසල්වැසියන් සමගද බලශක්ති සම්බන්ධතා ව්‍යාපෘති අප සතුව තිබෙනවා.
අනෙක් අතට, පාකිස්තානය කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම හරහා ඉන්දියාව කෙරෙහි නිරන්තරයෙන් සතුරු ආකල්පයක් පවත්වා ගෙන ගිය රටක්. පකිස්තානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙනවා. පාකිස්තානයේ ඇඟිලි සලකුණක් හෝ සෘජු මැදිහත්වීමක් නොමැතිව පසුගිය දශක තුන තුළ ලෝකයේ කිසිදු ත්‍රස්තවාදී සිදුවීමක් සිදුවී නොමැති තරම්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කර ඇති ත්‍රස්තවාදීන්ගෙන් විශාලතම සංඛ්‍යාව පාකිස්තානයේ හෝ පාකිස්තානයේ පුහුණුව ලබා ඇති අයයි. ඔසාමා බින් ලාඩන්, මසූඩ් අසාර් හෝ හෆීස් සයීඩ් යනු ඔවුන් අතරින් කිහිප දෙනෙක් පමණයි. යම් රටක් ඔබේ රටේ පුරවැසියන් මරා දැමීමට ත්‍රස්තවාදීන් එවනවා නම්, ඔවුන් සමග සාමාන්‍ය වෙළඳ සම්බන්ධතාවක් හෝ හොඳ හිතින් ව්‍යාපෘති පවත්වා ගෙන යාමට ඔබට බැහැ.
ඉන්දු ජල ගිවිසුම සම්බන්ධයෙන් ගත්තොත්, එය අත්සන් කරනු ලැබුවේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. ඉන්දියාව කෙරෙහි පාකිස්තානය විසින් දශක ගණනාවක් තිස්සේ සිදු කරන ලද ත්‍රස්තවාදයෙන් පෙන්නුම් කරන්නේ මෙම යහපත් විශ්වාසය පාකිස්තානය අතිශයින්ම උල්ලංඝනය කර ඇති බවයි. තවද, ගිවිසුම අත්සන් කළ දා සිට, ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදය සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම ඇතුළුව, ගිවිසුම යටතේ ඉන්දියාව සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට ගන්නා සෑම උත්සාහයකටම පාකිස්තානය හිතාමතාම බාධා කරමින් සිටිනවා. ඊට අමතරව, ඉන්දු ජල ගිවිසුම අස්සනු කරනු ලැබුවේ 1960 ගණන්වලදීයි.
එතැන් සිට, කලාපයේ භූ විසමතාව, ජල විද්‍යාව, ජන විකාශනය ආදියෙහි මූලික වෙනස්කම් නිසා මෙම ගිවිසුමට වෙනස්කම් අවශ්‍ය කරනවා. තවදුරටත් දේශගුණික විපර්යාස සහ නව තාක්ෂණය ලබා ගැනීම මෙන්ම පුනර්ජනනීය බලශක්තියේ අත්‍යවශ්‍යතාව හරහා ගිවිසුම සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙනවා. මෙම හේතුන් මත, ඉන්දියාව මීට පෙර එවැනි සමාලෝචනයක් යෝජනා කර තිබුණා. කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුළ, පකිස්තානය මෙම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නෑසූකන්ව සිටිමින්. පැහැදිලිවම, පකිස්තානය මෙම ගිවිසුමේ ආත්මය සහ අරමුණු දෙකම උල්ලංඝනය කර තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ, අගමැති මෝදි සඳහන් කළ පරිදි, රුධිරයට සහ ජලයට එකට ගලා යා නොහැකි බවයි.
ප්‍රශ්නය: ඔබේ යුද ගුවන් යානා හයක් බිම හෙළුවා කියලා පකිස්තානය කියනවා. ඒ අතර රාෆාල ප්‍රහාරක ගුවන් යානා තුනකුත් තියෙනවා. රාෆාල කියන්නේ ඔබ සතුව තිබූ වඩාත්ම දියුණු ප්‍රහාරක ගුවන් යානාවලින් එකක්. ඔබේ ගුවන් යානය බිම හෙළීමට පාකිස්තානය භාවිත කළේ චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක ජෙට් යානයක්. මෙය විශාල පසුබෑමක්. ඔබට මේ ගැන හැඟෙන්නේ කුමක්ද?
පිළිතුර: මෙම ගැටුම අතරතුර පාකිස්තානය බොහෝ විකාර ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. බොරු සහ වැරදි තොරතුරු පතුරුවා හැරීම පාකිස්තානයේ ජානවලට කාවැදී ඇති බව පෙනේනන්ට තියෙනවා. ඉන්දියාවේ අඩම්පූර් ගුවන් කඳවුරට පහර දුන් බවට පාකිස්තානය මේ හා සමානව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත්, මැයි 13 වැනි දින අගමැති මෝදි අඩම්පූර් ගුවන් කඳවුරට පියාසර කරන විට මෙම කඳවුරට කිසිදු හානියක් සිදු නොවූ බවත්, කඳවුර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ බවත් මුළු ලෝකයම දුටුවා. ඉන්දියානු හමුදා පහසුකම්වලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ ප්‍රකාශ, දශක ගණනාවක් තිස්සේ පාකිස්තානය පතුරුවා හරින ප්‍රසිද්ධ බොරුවේම කොටසක් බව බොහෝ මාධ්‍ය වාර්තා ද පෙන්වා දී තිබෙනවා. තම භූමිය තුළ ත්‍රස්තවාදී යටිතල පහසුකම් පැවතීම පිළිබඳ එහි ව්‍යාධිජනක ප්‍රතික්ෂේප කිරීම තුළම මෙය වඩාත් දෘශ්‍යමාන වෙනවා.
අනෙක් අතට, පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් සහ එහි හමුදා ස්ථාපනයන්ට සිදු වූ සැලකිය යුතු හානිය පිළිබඳ චන්ද්‍රිකා ඡායාරූප ඇතුළු දෘශ්‍ය සාක්ෂි ප්‍රසිද්ධියේ ලබා ගත හැකියි. මැයි 10 වැනි දින ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන ගුවන් ආරක්ෂක පද්ධති මඟ හැර එහි හමුදා කඳවුරු 13 ක් ඉලක්ක කරගත් බව අපි දන්නවා. එවැනි ගුවන් ආරක්ෂක පද්ධති හැදුවේ මොන රටද කියලා අපි සැලකීමක් කළේ නැහැ. ගුවන් ආරක්ෂක පද්ධතිවල සිට ඩ්‍රෝන යානා දක්වා, ප්‍රති-මිනිසුන් රහිත ගුවන් පද්ධති හැකියාවන්ගේ සිට ජාල-කේන්ද්‍රීය යුද වේදිකා දක්වා, ඉන්දියාවේ දේශීය තාක්‍ෂණය සින්දූර් මෙහෙයුමේදී ඉදිරියෙන්ම සිටි අතර, වඩාත්ම වැදගත් අවස්ථාවේදී ඒවා ලබාදීලා තියෙනවා.
ප්‍රශ්නය: ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළ අතර, මෙම සටන් විරාමයට එක්සත් ජනපදය මැදිහත් වූ බව ඔහු පෙන්වා දුන්නා. මෙම සටන් විරාමය ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද? පාකිස්තානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය අවසන්ද? සහ වඩාත් වැදගත් ලෙස, සටන් විරාමය තවදුරටත් පවතිනු ඇත්ද?
පිළිතුර: ගොඩබිම, ගුවන සහ මුහුදේ සතුරුකම් නැවැත්වීම සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සෘජු ද්විපාර්ශ්වික සම්බන්ධතා හරහා අවබෝධයකට පැමිණ ඇති බව මම පැහැදිලි කරන්න කැමැතියි. මැයි 10 වැනි දින මෙය සිදුවුණේ දෙපාර්ශ්වයේම හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල්වරු අතර සෘජු මැදිහත්වීමක් හරහායි. සින්දූර් මෙහෙයුම අවසන් වී නැහැ; එය දැන් ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තියයි. පාකිස්තානය සන්සුන් භාවය පවත්වා ගෙන යන තාක් සහ ඉන්දියාවට එරෙහිව ත්‍රස්තවාදය අත්හැරීමට ආපසු හැරවිය නොහැකි පියවර ගන්නා තාක් කල්, කිසිදු සතුරුකමක් ඇති වෙන්නේ නැහැ. කලාපයේ ඕනෑම සතුරුකමක වගකීම පැවරෙන්නේ පාකිස්තානයටයි. ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් යුද ක්‍රියාවක් ලෙස සලකනු ලබන අතර, ඊට සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇත.
ප්‍රශ්නය: ඉන්දීය අගමැති මෝදි මෑතකදී කළ කතාවකදී ප්‍රකාශ කළේ, සින්දූර් මෙහෙයුම වැනි මිලිටරි ක්‍රියාමාර්ගයක් දැන් ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තිය බවයි. මෙම උපාය මාර්ගයේ ඇඟවුම් මොනවාද? ආතතීන් නැවතත් ඇවිළෙනු ඇතැයි ශ්‍රී ලංකාව කනස්සල්ලට පත්විය යුතුද?
පිළිතුර: ඔව්, අගමැති මෝදි මැයි 12 වැනි දින ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සින්දූර් මෙහෙයුම දැන් ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තිය බවයි; එය ත්‍රස්තවාදයට එරෙහි අපගේ සටනේදී නව මිණුම් ලකුණක් සහ නව සාමාන්‍යයක් ද ස්ථාපිත කර තියෙනවා. පුළුල් ලෙස, මෙම ප්‍රවේශයේ ප්‍රධාන අංග තුනක් තියෙනවා.
පළමුව, ඉන්දියාවට එල්ල වන ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයකට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනවා; ඉන්දියාවේ කොන්දේසි අනුව තීරණාත්මක පලිගැනීමක් සිදුවෙනවා. දෙවනුව, ත්‍රස්තවාදය සඳහා පලිහක් ලෙස න්‍යෂ්ටික අවි ගැන කියමින් භිය වැද්දීමට ගන්නා ඕනෑම උත්සාහයක් ඉන්දියාව විසින් පිළිගනු ලබන්නේ නැහැ. න්‍යෂ්ටික අවි ගැන කියමින් භිය වැද්දීමේ මුවාවෙන් වර්ධනය වන ත්‍රස්තවාදී සැඟවුණු ස්ථාන වෙත ඉන්දියාව නිශ්චිතව සහ තීරණාත්මකව පහර දෙනවා. තෙවනුව, ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රජයක් අතර කිසිදු වෙනසක් නැහැ. මෙම නව මූලධර්මය ජාතික ආරක්ෂාව සඳහා ඉන්දියාවේ ප්‍රවේශයේ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරන අතර, ත්‍රස්තවාදයට ශුන්‍ය ඉවසීමක් අරමුණු කරගත් ස්ථිර සහ අධිෂ්ඨානශීලී ස්ථාවරයක් සඳහා අඩිතාලම දමනවා. තවද, පාකිස්ථානය යටතේ පවතින් ජම්මු සහ කාශ්මීරයේ නීති විරෝධීව රැඳී සිටීමෙන් ඉවත් වීම හෝ පාකිස්තානය විසින් දේශසීමා ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හැර, පාකිස්ථානය සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ.
ප්‍රශ්නය: ඉන්දියාව දැන් මහත් අපේක්ෂාව සහිත ජාතියක්. වෙනත් රටක් සමග යුද්ධ කිරීම ආර්ථික, දේශපාලනික සහ ජාත්‍යන්තර අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී ඔබේ මාවතට බාධාවක් වීමට ඉඩ තියෙනවා. මේ ගැන ඔබේ අදහස් මොනවාද?
පිළිතුර: කරුණාකර මේ දේ තේරුම් ගන්න, අපි වෙනත් රටක් සමග යුද්ධයක නිරත වෙන්නේ නැහැ; අපි දියත් කරමින් ඉන්නේ වෙනත් රටකින් මතුවන සහ සහාය ලබන ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයක්. ඉන්දියාව සොයන්නේ සාමයයි. ඉන්දියාව සාමයේ ප්‍රතිමූර්තිය වන බුදුන්ගේ දේශයයි. අපි සැබවින්ම අවධානය යොමු කරන්නේ ඉන්දියාවේ සහ අපගේ කලාපයේ සෙසු ප්‍රදේශවල සාමය සහ සමෘද්ධිය ගැනයි. එ්ත්, දඬුවම් නොලබා ත්‍රස්තවාදය සමෘද්ධිමත් වීමට අපට ඉඩ දිය නොහැකියි. අපගේ වර්ධනය සහ සමෘද්ධිය අස්ථාවර කිරීමේ අරමුණින් රාජ්‍ය අනුග්‍රහයලත් ත්‍රස්තවාදීන් අපගේ පුරවැසියන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරන විට අපට එය නොසලකා හැරිය නොහැකියි. පාකිස්තානයේ අඛණ්ඩ හා නොනවතින ප්‍රකෝප කිරීම්වලට එරෙහිව ඉන්දියාව දශක ගණනාවක් තිස්සේ සංයමයෙන් ක්‍රියා කරලා තියෙනවා. අවාසනාවකට මෙන්, ඒ සියලු උත්සාහයන් නොතකා, පාකිස්තානයේ හැසිරීමේ වෙනසක් බලාත්මක කිරීමට ලෝකයට ද නොහැකි වී තිබෙනවා. කනගාටුවට කරුණක් නම්, පාකිස්තානය වැළැක්වීමට සහ දේශසීමාව හරහා එන ත්‍රස්තවාදයෙන් තම පුරවැසියන් ආරක්ෂා කිරීමේදී ඉන්දියාවට ඉතිරිව ඇත්තේ මිලිටරි විකල්පයක් පමණයි. ඉන්දියාවට එල්ල කරන ලද ත්‍රස්තවාදය පාකිස්තානය ප්‍රතික්ෂේප කළහොත්, එවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියාවට අවශ්‍ය වෙන එකක් නැහැ.
ප්‍රශ්නය: මහ කොමසාරිස්තුමනි, මෙම ගැටුම නිසා ශ්‍රී ලංකාවට සහ එහි ආර්ථිකයට ඇති කරන බලපෑම කුමක්ද? ගැටුමෙන් අපගේ කලාපයට ඇති ආරක්ෂක ඇඟවුම් පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් සාකච්ඡා කරමින් සිටිනවා. වත්මන් කලාපීය වර්ධනයන් යටතේ අනාගතයේදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔබ අදහස් කරන්නේ කෙසේද?
පිළිතුර: පාකිස්තානයේ ස්ථාවරය, එහි අභ්‍යන්තර ගතිකත්වය සහ ත්‍රස්තවාදය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස භාවිත කිරීමට ඇති නැඹුරුව සම්බන්ධයෙන් ගත් කල, ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රධාන සැලකිල්ල විය යුත්තේ ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ප්‍රතිචාරයට නොවේ. “සින්දූර් මෙහෙයුමේ” මූලික මූලධර්මය ත්‍රස්තවාදයට ශුන්‍ය ඉවසීමයි. ශ්‍රී ලංකාවම ත්‍රස්තවාදයේ ගොදුරක් වී ඇති නිසා, ශුන්‍ය ඉවසීමේ මූලධර්මය බෙදා ගන්නට හැකියි.
ඉන්දියාව හමුදාමය වශයෙන් මැදිහත් වුණේ පහල්ගම් හි වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් පමණක් නොවේ. ඊට තවත් එවැනි දේශසීමා ප්‍රහාර වැළැක්වීම සහ ත්‍රස්ත කඳවුරු විනාශ කිරීමත් ඇතුළත් වෙනවා. කලාපයේ ආර්ථික ස්ථාවරත්වය, විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් පදනම් කරගත් ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථික ස්ථාවරත්වය රඳා පවතින්නේ කලාපයේ ආරක්ෂාව මතයි.
ඉන්දියාවේ ස්ථිර සහ ශක්තිමත් ත්‍රස්ත විරෝධී ස්ථාවරය කලාපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය ගොඩනැගීම අරමුණු කරගත් එකක් වන අතර, එය දිගු කාලීනව සේවය කරන්නේ සමස්ත දකුණු ආසියානු කලාපයේම සාමය සහ සමෘද්ධිය ගොඩනැගීමේ පුළුල් උනන්දුව සඳහායි. මගේ අගමැතිතුමා ප්‍රකාශ කළ පරිදි, මෙය යුද්ධය සඳහා වන යුගයක් නොවේ, ඒත් මෙය ත්‍රස්තවාදය සඳහා වන යුගයකුත් නොවේ.
(***)
ජමිලා හුසේන් විසිනි
“ඩේලි මිරර්” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සින්දූර් මෙහෙයුම තවමත් අවසන් නැහැ