IMG-LOGO

ශිෂ්ටත්වයෙන් ඔබ්බට ගිය නවකවදය

සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු සියදිවි හානිකර ගැනීමත් සමගම සරසවිවල නවකවදය පිළිබඳ කලබගෑනිය පිළිබඳ යළිත් කරළියට පැමිණ ඇත. ශිෂ්‍යයකු මියයාම හේතුකරගෙන මෙම කාරණය ඉස්මතු වුණා විනා ඊට මෙහා සිසුන්ට සිදුවන දහසකුත් එකක් අඩන්තේට්ටම්, හිරිහැර, මානසික පීඩා, සරසවි හැරයාම, කායික ආබාධ සරසවි ප්‍රවේශය භාර නොගැනීම, අධ්‍යාපනය අබලන් වීම යනාදිය  කිසිදාක කරළියට පැමිණෙන්නේ නැත. එවැනි සිද්ධි වාර්ෂිකව සිය දහස් ගණනක් කාලයේ වැලිතලාවට නිහඬව යට වී යයි.

පේරාදෙණිය ආරම්භයේදී අරුණාචලම් ශ්‍රීමතාණන් දන්වා සිටියේ උසස් අධ්‍යාපනයේ පරමාර්ථය නම් සිතිවිලිවලට ප්‍රඥාව ලබාදීමත් හැඟීම් නිවැරැදි කිරීමත් බවය. ඒ අනුව ඊට සුදුසු පරිසරය, නේවාසික පහසුකම් මෙන්ම යහපත් සිතුම් පැතුම් දියුණු කර ගැනීමට අවශ්‍ය වටපිටාව මේ වන විට අඩු වැඩි වශයෙන් සෑම සරසවියකම ස්ථාපිත කර ඇත. මේ සෑම පහසුකමක්ම ලබා දී ඇත්තේ නිරන්තරයෙන්ම රෑ දහවල් නිදහසේ අධ්‍යාපන කටයුතු කිරීමට පමණක් නොව අනෙකුත් විශ්ව දැනුම, බුද්ධි වර්ධනය, පර් යේෂණ ප්‍රඥාව, කලා රසාස්වාදය, දේශපාලන විඥානය, නිර්මාණාත්මක හැකියාව යනාදී සියලු දේවල් හැකිතරම් වැඩි දියුණු කර ගැනීමටය. අවාසනාවකට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් නොකරන්නේද ඒ ටිකමය.

ඉහත හැකියාව නොමැතිව උපාධියට පමණක් සීමාවූ ශිෂ්‍යයාගෙන් ගත යුත්තක් නැති තරම්ය. උපාධියටද අතිබහුතරයක් කරන්නේ කථිකාචාර්යවරයා මොන මොනවා හෝ දෙන සටහන් විභාගයට ඔන්න මෙන්න කියා තිබියදී වනපොත් කර විභාගයේදී වැමෑරීම පමණි. මේ අනුව ඉතිරිවන සම්පූර්ණ කාලයම අතිබහුතරයක් වෙන් කරන්නේ එක්කෝ අනුගාමික දේශපාලනයටය. නැත්නම් නවක වදයටය. මේ දෙකෙන් මේ වන විට බෙදා වෙන් කිරීමට අපහසු වී විපරිතයක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය. තත්වය කුමක් වුවත් මේ වන විට සෑම විශ්වවිද්‍යාලයකම ඉතා සුළු කොටසක් පමණක් ඉහත විශ්වවිද්‍යාල යහපත් පරමාර්ථ අඩු වැඩි වශයෙන් සම්පූර්ණ කරගන්නා අතර බොහෝ විට සිදුවන්නේ එවැනි සිසුන් බහුතරය විසින් කොන් කරනු ලැබීමයි.

සරසවි නවකවදය සම්බන්ධයෙන් සලකා බැලීමේදී මේ සඳහා පනවා ඇති අණ පණත් බොහෝය. සරසවි අතුරු ව්‍යවස්ථා මගින්ද පනවනු ලැබ ඇති නීතිරීති සම්මත වුවද නවකවදය පාලනය කිරීමට ඒවා කිසිසේත් සමත් වී නැත. නවකයන් සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම ගැටලුව ආරම්භ වී ඇත්තේ දියුණු බටහිර රටවල එවකට පැවති ක්‍රමය වලිගයෙන් අල්ලා ගත් නිසාය. එදා සිදු වූයේ එම රටවල ජ්‍යෙෂ්ඨ සිසුන් නවකයන්ගෙන් විනෝදාංශයට මෙන් තමන්ගේ තොප්පිවලට මුදලක් සම්මාදම් කර (HAT COLLECTION) එයින් නවකයන් සමගින්ම විනෝද වීමය. මෙම පුරුද්ද අපගේ විශ්වවිද්‍යාල තුළට එවකට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මුලදී ඉතාම අහිංසක ස්වරූපයෙන් ආරම්භ කර ඇතත් දශක ගණනාවකට පසු එය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන ක්‍රියාවක් බව එදා ඔවුන් කල්පනා නොකරන්නට ඇත. මේ අහිංසක විනෝදය අතිශයින්ම කෲරත්වයට පත්වී ඇත්තේ මෙය සංස්කෘතියක් බවට රූපාන්තරණය වීම නිසාය. ඉන්දීය අරගලයකදී බටහිර අධිරාජ්‍යවාදීන් පන්නා දැමීමට භාවිත කළ උපක්‍රම අතර නායකයන් උපදෙස් දුන්නේ හැකිතරම් විදේශිකයන් ගැවසෙන ගම් නියම් ගම් නගරවල එළි මහනේ මළ මුත්‍ර කිරීමය. අපිරිසුදුව දරාගත නොහැකි වූ විදේශිකයන් රට හැර දා ගොස් දැනට දශක ගණනක් ගතවී ඇතත් අදටත් ඒ පුරුද්ද නවතා ගැනීමට ඉන්දියාව අපොහොසත් වී ඇත. සංස්කෘතික ගතවූ ඇබ්බැහියක් ඉවත් කිරීම සරල නැත. නවකවදයද ඒ තත්වයටම පැමිණ ඇත. ඒ නිසා මේ පිළිබඳ සරල විසඳුම්වලට එහා ගිය බරපතළ සමාජ කතිකාවකට එළඹිය යුතු කාලය වත්මනේ උදාවී ඇත. නවකවදයේදී ශිෂ්‍යයන්ගේ විනය පිළිබඳ විටින් විට තර්ක විතර්ක විචාර හැරෙන්නට බරපතළ පර් යේෂණ සිදු වී නැත. විශේෂයෙන්ම පර් යේෂණ සඳහා විශ්වවිද්‍යාල විශාල වැය බරක් දරන මේ මොහොතේ කොඩිවිනයක් වී ඇති මේ නවකවදය පිළිබඳ පර් යේෂණයක් සිදුවූ බවක් දැනගැනීමට නැත.

දැනට දශක පහකට ආසන්න කාලයකට පෙර පේරාදෙණියේ ගත කළ අපටද අඩුවැඩි වශයෙන් මේ ඉරණමට මුහුණ දීමට සිදු නොවුණා නොවේ. එහෙත් මෙතරම් සාහසික තත්වයකට පරිණාමය වී නොතිබුණි. කුමන අඩුපාඩුකම් තිබුණද එහි වෛරී සහගත තත්වයක් නොතිබීම අගය කළ යුත්තකි. සරසවි ජීවිතය තුළ අනාගත ශිෂ්‍යයා ගතකළ යුතු ජීවිතය කවරාකාර විය යුතුද යන්න උපදෙස් තර්ජනාත්මකව හෝ අපට ලැබිණි. එකිනෙකාට ගරු කළ යුතු ආකාරය, ආචාර්ය මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට ජ්‍යෙෂ්ඨ සිසුන්ට ගරු කරමින් සුහදව කටයුතු කරන ආකාරය, දේශන ශාලාවේදී, කෑම කාමරයේදී, ආපන ශාලාවේදී හැසිරිය යුතු ආකාරය පමණක් නොව පෙම්වතුන් ඉදිරියට මුණ ගැසෙන විට හැසිරිය යුතු ආකාරය යනාදී මෙකී නොකී සියලු දේම කෙරිණි. කලාතුරකින් හෝ යම් ශිෂ්‍යයකු දිගින් දිගටම මේවා කඩ කරන්නේ නම් වසරේ තරාතිරම නොබලා ඔවුන් හොඳින් හෝ නරකින් නිවැරැදි කිරීමටද අදෘශමාන ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් බලවත් වී සිටියහ. ඔවුන් හැඳින්වූයේ යකා කණ්ඩායම වශයෙනි. හේතුව ඔවුන් නිවැරැදි කරන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුවය. එය සුමට නැත. 

මේ නවකවදය මෙතරම් කෲරත්වයට පත්වීමට කාරණා බොහොමයක් ඇති බව මතුපිටින් පෙනෙන කරුණකි. විශේෂයෙන්ම ආකල්ප පිළිබඳ ගැටලුව ප්‍රධාන වේ. සමාජය දශක ගණනාවක සිටම කවුරුත් පිළිගන්නා පරිදි දූෂිත වී ඇත. ශෘස්ත්‍රීය උගතුන් වුවත් මානසික බංකොලාත්වූවන් බව පෙනේ සරසවියට එන ශිෂ්‍යයා වසර 20 ක පමණ රැඳී ඇත්තේ මේ දූෂිත සමාජයේ ය. විභාගයක් සමත් වූ පමණින් ආකල්ප පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකිය. එය නිවැරැදි කිරීම විශ්වවිද්‍යාල පරිපාලනය තුළ කළ හැක්කක් ද නොවේ. දූෂිත සමාජයක් ශිෂ්‍යයාට නිර්මාණය කර දී ඇත්තෝද වැඩිහිටියෝමය. එනිසා ආකල්ප විනය දූෂිතවූ ශිෂ්‍යයාට දඬුවම් පැමිණවීම අතීසාරයට අමුඩ ගැසීම හා සමානය.

එබැවින් ලහි ලහියේ කළ යුත්තේ අඩුම තරමින් පවතින පාසල් අධ්‍යාපනය උඩු යටිකුරු කිරීමය. නවකවදයට ගොදුරු වූ නිසා අනෙකාට එය මුදාහැරීමට අයිතියක් ඇතැයි ඇතැම් සිසුන්ගේ තර්කයයි. එය සම්පූර්ණයෙන්ම සාවද්‍යය. අලුතින්ම ආරම්භ වූ විශ්වවිද්‍යාල දෙකක පළමු සිසුන් කණ්ඩායම බඳවා ගැනීමේ රාජකාරිය මා වෙත පැවරුණු අතර එහිදී සිසුන්ට උපදෙස් දුන්නේ තමුන් කිසිදුවදයකට ගොදුරු නොවූ බැවින් මීළඟ ශිෂ්‍ය කණ්ඩායමට එවැනි හිරිහැරයක් නොකරන ලෙසය. අවාසනාව කොතරම් යත් නවක සිසුන්ට සියලු ආරක්‍ෂක විධිවිධාන යෙදුවද කිසිදු හිරිකිතයකින් තොරව නවකවදය මුදා හැරිණ. මෙයින් කියවෙන්නේ ආකල්ප පිළිබඳ ගැටලුවය.

අනෙක් ප්‍රධානතම හේතුව වන්නේ අනුගාමික දේශපාලනයක් ක්‍රියාත්මක වීමය. 60-70 දශකවල පැවතියේ දේශපාලනයකි. එය ශිෂ්‍ය ප්‍රජාවගේ දේශපාලනික විඥානය පුළුල් කරන්නක් විය. දේශපාලනය විශ්වවිද්‍යාලය තුළ අත්‍යවශ්‍යය. අප හැත්තෑවේ දශකයේ පවා බොහෝ දේශපාලන කාරණා දැන කියා ගත්තේ ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන සාකච්ඡා, විචාර, වැඩසටහන් හරහාය. ආචාර්ය මණ්ඩලයෙන් පවා හරබර දේශපාලන වාද විවාද එමට සංවිධානය විය. ඒවා අතිශය ගැඹුරු විවාද වූ අතර අපට එවකට තේරුම් ගැනීමටද අපහසු විය. එවකට සිදුවූයේ හරවත් දේශපාලන විඥානයක් කැමැති කෙනකුට ලබා ගැනීමට ඉඩ සැලැස්වීම සහ කැමති කෙනෙක් සහය දීමත්ය. කිසිදු බලකිරීමක් නොවීය.

එහෙත් පසුව අසූව දශකය වනවිට තත්වය ක්‍රමයෙන් වෙනස් වී අනුකාරක දේශපාලනය බලහත්කාරයෙන් සරසවි තුළ ක්‍රියාත්මක විය. පිටස්තර න්‍යාය පත්‍රවාදීහු සරසවි තුළ රහසිගතව තෝරාගත් අනුගාමිකයන් හරහා සිසුන් කැමති වුවත් නැතත් බලහත්කාරයෙන් යොදවාගත්හ. බහුතරයක් පසුපසින් ගියහ. ඒවාට විරුද්ධවූ සිසුන්ට විවිධ අඩන්තේට්ටම් වූ අතර ඔවුන් සරසවි ප්‍රජාවෙන් කොන් කිරීමට තරම් සාහසික වූහ. මේවායින් වාසි ලබා ගත්තෝ පිටස්තර න්‍යාය පත්‍රවාදීහු පමණි. මීට හේතුව ස්වාධීනව ජීවත් වන තරුණ කොටස් ඇත්තේ සරසවිවල පමණි. පාසල්වල මේ න්‍යායපත්‍ර වාදීන්ට ඉඩක් නැත. අන්තිමට අනුගාමිකයන් පසුපස ගිය බහුතරයට සිදුවූයේ අධ්‍යාපනය නිසි පරිදි කරගත නොහැකිවීමය. කොටසක් හිරගෙවල්වලය, කොටසකට උපාධිය අහිමිය. කොටසක් ජීවිතවලින්ද වන්දි ගෙවූහ. එබැවින් වගකිව යුතු දේශපාලන කණ්ඩායම් විශ්වවිද්‍යාල වලට නිසි පරිදි නවකවදය නෙදෙන ලෙසට උපදෙස් දෙන්නේ නම් එසේ නැතහොත් අතීතයේ මෙන් නියම විශ්වීය දේශපාලන විඥානය නිදහසේ ලබා ගැනීමට ඉඩ සලස්වන්නේ නම් මේ නවක වදයෙන් වැඩිම සියයට පංගුවක් නිමා කර ගත හැක.

අනෙක් වැදගත් හේතුවක් වන්නේ රැකියා විරහිත ගැටලුවය. ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වන තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබාගන්නා සීමිත පිරිස තම අනාගතය අස්ථාවර වන බව පෙනි පෙනී යන විට අතෘප්තකර හා ආවේගශීලී තත්වයට පත්වීම නොවැළැක්විය හැකිය. මේ නිසා ඕනෑම අයකුට මෙම පිරිස පහසුවෙන් ගොනු කර ගත හැකිය. අධ්‍යාපනය හා රටේ ආර්ථිකය සමපාත නොවීම නිසා උපාධිධාරියා ආර්ථිකයට උරා ගැනීමට ක්‍රමවේදයක් නැත. මේ නොපෑහීම නැති කරනතාක් මේ තත්වයේ වෙනසක් දැකිය නොහැකිය. ආවේගශීලී සිසුන්ගෙන් විනයක් බලාපොරොත්තු විය නොහැකි අතර එය සිසුන්ගේ දෝෂයක්ද නොවේ.

එමෙන්ම විශ්වවිද්‍යාල පරිපාලනය ආචාර්යවරුන් හා සිසුන් අතර පරතරය සාපේක්ෂව වැඩිය. සිසුන් පරිපාලනය දෙස බලන්නේ ද්වේෂ සහගත මනසකිනි. පරිපාලනය තමන්ට උපකාර කරන විශ්වාසවන්තයකු බවට සිසුන්ට හැඟී ගියහොත් පරිපාලනයේ උපදෙස් පිළිබඳව සිසුන් දෙවරක් සිතා බලනු ඇත. නැතහොත් සිතන්නේ පරිපාලනය හුදෙක්ම සිසුන්ට දඬුවම් දෙන්නකු පමණක්ම බවය. මේ තත්වය විශ්වවිද්‍යාල සෞඛ්‍යයට කොහෙත්ම හිතකර නැත.

ඇතැම් කෙනෙක් කිසිම නීතියකට ප්‍රතිකර්මයකට යටත් නොවී හුරු පුරුදු නවකවදයම අත නොහරිති. මේ අය අතර බහුතරයක් පර පීඩක මානසික රෝගීන් බව මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. මනෝ විද්‍යාඥ මතය නම් ඔවුන් තම ජීවිතයේ මුල සිටම පීඩාවලට ගොදුරුවීමේ ප්‍රතිඵලය තවත් අයට මුදා හැරීම බවය. වැදගත් පරිසරය, වැදගත් මාපිය ඥාති සම්බන්ධතා උසස් දිවි පැවැත්මක් ලැබුවන් අන් අයට පීඩා කිරීමට මනස සූදානම් නැති බව විද්‍යාඥ මතයයි. මේ නිසා තමුන් පිළිබඳ ලිට්මස් පරීක්ෂණය කිරීමටත් මෙය හොඳ අවස්ථාවක් වනු ඇත. එවැනි අයට අකමැත්තෙන් හෝ රටේ පවත්නා සාමාන්‍ය නීතියට මෙහා පිළියමක් නැත. බුදුන් වහන්සේත් නොකරම බැරි තැනකදී දණ්ඩනය අනුදැන වදාළා ඇත.

මේ නිසා සමස්තයක් ලෙස බලන්නේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නවකවදය වදයකි. මේ සඳහා විරුද්ධ වන අය මෙන්ම ආශිර්වාද කරන අයද උගතුන් අතරත් නැතුවාම නොවේ. කවර තත්වයකදී වුවද නවකවදය සම්පූර්ණයෙන්ම නතර කර සරසවි අධ්‍යාපනයට හිතකර ප්‍රියජනක වටපිටාවක් නිර්මාණය කිරීම සමාජයේ කාගෙත් වගකීමකි. ශිෂ්‍ය විනය පිළිබඳ කෙස් පැලෙන තර්කවලින් කිසිදු ඵලක් නැත. මේ සඳහා පර් යේෂණයක් කර මූල හේතු ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉදිරිපත් කිරීමෙන් දශක ගණනාවක සිට එන මේ ව්‍යාධිය දැන්වත් සහමුලින් උපුටා දමා ඉදිරියේදී නැතිවීමට ඉඩ ඇති ජීවිත බේරාගැනීම කාගේත් සමාජ වගකීමකි. සර්ව සාධාරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට වරම් ලබා ඇති වත්මන් රජය මේ අභියෝගයට මුහුණ දී බුද්ධිමත් රටට වැඩදායක නිර්මාණශීලී පරම්පරාවක් දැන්වත් නිර්මාණය කළ යුතුව ඇත. බලයට පත් වී කෙටි කලෙකින්ම රට පුරා දිනපතා කරදරයක්ව තිබූ උද්ඝෝෂණ රැල්ල ක්‍ෂණයකින් අඩුකිරීමේ හැකියාවක් තිබුණ අතර ඒ ක්‍රමවේදයම භාවිත කරමින් රට පුරා අධ්‍යාපන ආයතනවල නවකවදය තුරන් කිරීමටද බැරිකමක් නැත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ශිෂ්ටත්වයෙන් ඔබ්බට ගිය නවකවදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 11 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 456 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 236 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site