IMG-LOGO

ශ්‍රීපෙරුම්බුදුර් ඝාතනය

දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානය විසින් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කරනු ලැබුවේ මීට වසර 34කට පෙර, එනම් 1991 මැයි 21 වැනිදාය. රජිව් ගාන්ධි මියගිය දිනය මට පෞද්ගලිකව ඉතා වැදගත් වේ. ඒ, මැයි 21 මගේ උපන් දිනය නිසාය. රජිව්ගේ මරණය සිදු වූයේ මා ඉපදී වසර 37කට පසුවය. මගේ උපත සහ ඔහුගේ මරණය මගේ විඥානය තුළ එකිනෙකට බැඳී ඇති අතර, සෑම උපන්දිනයක්ම ළඟා වන විටම රජිව්ගේ මතකය විශාල ලෙස මතු වේ. මගේ පෙර ලේඛනවල ආධාරයෙන් මම රජිව් ගාන්ධිගේ ඝාතනය නැවත විමසා බැලීමට යන්නේ මෙම පසුබිමට එරෙහිවය.

1984 ඔක්තෝබර් 31 සිට 1989 දෙසැම්බර් 2 දක්වා ඉන්දියාවේ අගමැති ධුරය දැරූ රජිව් රත්න ගාන්ධි, මිය යන විට අගමැති ධුරයේ කටයුතු කරමින් සිටියේ නැත. නව ලෝක් සභාවක් හෝ පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගැනීම සඳහා මැතිවරණ ව්‍යාපාරයක් ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. එවකට එම තරගයේ පෙරමුණ ගෙන සිටියේ රජිව්ගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂයයි.

රජිව් ලෙස සාමාන්‍යයෙන් හැඳින්වූ ඔහු, කොංග්‍රස් පක්ෂ අපේක්ෂක මරගතම් චන්ද්‍රසේකර්ට සහාය දැක්වීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රීපෙරුම්බුදුර් නම් ස්ථානයක ප්‍රචාරක රැස්වීමක් ඇමතීමට ගොස් සිටියේය. 47 හැවිරිදි හිටපු අගමැතිවරයා ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කාර්යබහුල දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටියේය.

“‍ධනු” යන නමින් හැඳින්වෙන ශ්‍රී ලාංකික දෙමළ තරුණියක රජිව් ගාන්ධි වෙත සමීප වී සඳුන් ලී මාලයක් පැළැඳවූයේ එම අවස්ථාවේදීය. තැඹිලි සහ කොළ පැහැති චුරිදාර් ඇඳුමකින් සැරැසී කණ්ණාඩි පැළඳ සිටි තරුණිය පසුව ගෞරවාන්විතව නැමී රජිව්ගේ පාද ස්පර්ශ කළාය. පසුව ඇය තම සිරුරට බැඳ සඟවා තිබූ පුපුර ද්‍රව්‍ය පුපුරුවා ගත්තාය. රජිව් ගාන්ධි, ප්‍රහාරකයා ධනු සහ අවම වශයෙන් තවත් 18 දෙනෙක් පිපිරීමෙන් ක්ෂණිකව මිය ගියහ. 42 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකු පසුව රෝහල්ගත කිරීමේදී මිය ගියහ. කොටි සංවිධානයේ ලක්ෂණයක් බවට පත්ව තිබූ “මිනිස් බෝම්බ” ඝාතනය ඉන්දියාව කැළඹූ අතර, සමස්ත ලෝකයම ඉන් කම්පනයට පත් වූහ.

රජිව් ගාන්ධි ඝාතනයත් සමගම, කලාපීය සුපිරි බලවතකු වූ හිටපු සහ විභව අනාගත අගමැතිවරයකු ඔහුගේ මව්බිමේදී ඝාතනය කිරීම සඳහා මුහුද හරහා ඝාතක කණ්ඩායමක් යෙදවීමේ එල්ටීටීඊයේ දේශපාලන-මිලිටරි කුමන්ත්‍රණය බොහෝ දෙනකුගේ ඇහිබැම ඉහළට ඔසවා තැබීය. ඉන්දියානු භූමියේදී සිදු කරන ලද රජිව් ගාන්ධි ඝාතනය, ජාත්‍යන්තර ත්‍රස්තවාදි ක්‍රියාවක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එල්ටීටීඊ සංවිධානය ගෝලීය ත්‍රස්තවාදි දර්ශකයට ඇතුළත් විය.

මෙම ඝාතනය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව ආරක්ෂක කටයුතු විශ්ලේෂකයන් බොහෝ දෙනෙක් අතීතයේදී විශාල උනන්දුවක් දක්වා ඇත. රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ තීරණය ගෙන ඇත්තේ එල්ටීටීඊ නායක වේලු‍ප්පිල්ලෙයි ප්‍රභාකරන් සහ කොටි බුද්ධි අංශ ප්‍රධානි ෂන්මුගලිංගම් සිවශංකර් හෙවත් “පොට්ටු අම්මාන්” විසිනි.

 

එක් ඇසක් පමණක් ඇති සිවරාසන්

ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කළ සහ ක්ෂේත්‍ර මට්ටමින් එය ක්‍රියාත්මක කිරීම ඍජුවම අධීක්ෂණය කළ ප්‍රධාන එල්ටීටීඊ ක්‍රියාකාරිකයා එල්ටීටීඊ බුද්ධි අංශ සාමාජිකයකු වූ අතර, ඔහු ව්‍යාජ නම් දෙකක් භාවිත කළේය. එක් නමක් රඝුවරන් ය. අනෙක සිවරාසන් ය. සිවරාසන්ට ඇසක් අහිමි වූ බැවින්, ඔහුගේ සගයන් සහ යහළුවන් ඔහුව නිතරම හැඳින්වූයේ “ඔට්‍රයික්කන්නන්” (එකැස් මිනිසා) ලෙසය.

ඉන්දියානු ඉංග්‍රීසි මාධ්‍යවල ඇතැම් කොටස් ඔහුව "One-eyed Jack" (එක ඇසක් ඇති ජැක්) ලෙස හැඳින්වූයේ, මාලන් බ්‍රැන්ඩෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද සම්භාව්‍ය බටහිර චිත්‍රපටයේ මතක අවදි කරමිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ බ්‍රැන්ඩෝ ය. රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ කාර්යය සඳහා සිවරාසන් විශේෂයෙන් තෝරාගෙන එය ඔහුට පවරා තිබුණේ ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් විසිනි.

ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් විසින් සිවරාසන් සහ තවත් එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනකු නවාතැන් ගෙන සිටි නිවෙස වට කරනු ලැබුවේ දින 90ක වෙහෙසකර දඩයමකින් පසුවය. එය කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ උපනගරයක් වන කොනනකුන්තේ හි පිහිටි නිවෙසකි. එහිදී ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පෙර සිවරාසන් සහ අනෙක් අය සයනයිඩ් පානය කර සිය දිවි නසා ගත්හ. උත්ප්‍රාසාත්මක ලෙස රජිව් ඝාතනයට වගකිව යුතු සිවරාසන් සිය දිවි නසා ගත්තේ අගෝස්තු 20 වැනිදාය. එය රජිව් ගාන්ධිගේ උපන් දිනය විය.

 

චන්ද්‍රසේකරම් පිල්ලෙයි පාකියචන්ද්‍රන්

රජිව් ගාන්ධි ඝාතනයේ මහ මොළකරු වූ සිවරාසන් ලෙස හඳුන්වන එක් ඇසක් ඇති මිනිසා යාපනය නගරයේ සිට කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි උඩුපිඩ්ඩි හි පදිංචිකරුවෙකි. කෙසේ වෙතත් ඔහුගේ සැබෑ නම චන්ද්‍රසේකරම්පිල්ලෙයි පාකියචන්ද්‍රන් ය. ඔහු 1958 දී උපත ලැබීය.

එල්ටීටීඊ බුද්ධි අංශයේ “කපිතාන්”වරයකු වූ සිවරාසන්ට ඉන්දියාවේ රහසිගතව සිදු කළ යුතු නිශ්චිත පැවරුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙනු ලැබුවේ එල්ටීටීඊ ධූරාවලිය විසිනි. මෙයින් එකක් ඝාතන පැවරුමකි. ඉලක්කය වූයේ ඊළාම් ජනතා විප්ලවවාදි විමුක්ති පෙරමුණේ (ඊ.පී.ආර්.එල්.එෆ්.) මහලේකම්වරයා වූ කන්දසාමි පත්මනාභ හෙවත් නාභා හෙවත් රන්ජන් ය. ඉන්දියානු භූමියේදී පද්මනාභ ඝාතනය කිරීම සඳහා සැලැස්මක් පොට්ටු අම්මාන් සමග සාකච්ඡා කර සකස් කරනු ලැබුවේ සිවරාසන් විසිනි.

1990 ජුනි 19 වැනි දින කිරුබන් සහ එක් ඇසක් ඇති සිවරාසන් ඇතුළු එල්ටීටීඊ ප්‍රහාරක කණ්ඩායමක් චූලයිමේඩු හි සැකරියා ජනපදයේ මහල් නිවාසයකට කඩා වැදී පද්මනාභ සහ තවත් 12 දෙනකු ඝාතනය කළහ. එම සාර්ථක ඝාතනයෙන් එල්ටීටීඊ නායකත්වය ප්‍රීති විය. ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් සිවරාසන්ට පෞද්ගලිකව සුබ පතා ප්‍රශංසා කළහ.

පද්මනාභ ඝාතනය හරහා ඉන්දීය භූමියේ තවත් මහා ඝාතනයක් සඳහා එල්ටීටීඊයේ රුචිය ඇවිස්සුවේය. සිදු විය හැකි ප්‍රතිවිපාක ගැන කිසිදු සිතිවිල්ලකින් තොරව, ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ කාර්යය සිවරාසන්ට පැවරීමට තීරණය කළහ.

1991 දී ඉන්දීය පාර්ලිමේන්තුවට නව මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග රජිව් වෙත ප්‍රවේශ වීමට අවස්ථා ලැබුණි.

 

කුමන්ත්‍රණයක් දියත් විය

රජිව් ගාන්ධි ඝාතනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේදී පුළුල් කුමන්ත්‍රණයක් දියත් කරන ලද්දේ කොටි නායක ප්‍රභාකරන්, බුද්ධි අංශ ප්‍රධානි පොට්ටු අම්මාන්, එල්ටීටීඊ කාන්තා බුද්ධි අංශ ප්‍රධානි අඛිලා සහ ඉන්දීය භූමියේ ඝාතනය ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගත් සිවරාසන් යන අය විසිනි. ඝාතන සැලැස්ම සකස් කිරීමට සහ අවශ්‍ය පුද්ගලයන් යෙදවීමට එල්ටීටීඊ ධූරාවලිය විසින් ඔහුට සම්පූර්ණ බලය ලබා දෙනු ලැබුණි. සිවරාසන් විසින් නිකුත් කරන ලද සියලු‍ම නියෝගවලට කීකරු වන ලෙස ඉන්දියාවේ එල්ටීටීඊ ක්‍රියාකාරින්ට සහ ප්‍රධාන ආධාරකරුවන්ට උපදෙස් දෙනු ලැබුණි. වියදම් පියවා ගැනීම සඳහා ඉන්දියාවේදී මුදල් බවට පත් කිරීම සඳහා ඔහුට ප්‍රමාණවත් තරම් “රන් බිස්කට්” ගණනක් ද ලබා දෙන ලදී.

සිවරාසන් ඔහුගේ කණ්ඩායම සමග ඉන්දියාවට පැමිණ, ඝාතනය පිළිබඳ විස්තර සැලසුම් කළ අතර, එම දෛවෝපගත මැයි 21 වැනි දින රජිව් ගාන්ධි ඝාතනය කරනු ලැබීය. එල්ටීටීඊය තමිල්නාඩු භූමියේදී ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ දේශපාලන පවුලකින් පැවත එන හිටපු ඉන්දීය අගමැතිවරයකු ඝාතනය කළේ ඒකාකාර තීරණාත්මක ක්‍රියාවකිනි.

 

රජිව්-එල්ටීටීඊ සංහිඳියාව

රජිව් ඝාතනය සිදු වූයේ රජිව් සහ එල්ටීටීඊය අතර සංහිඳියාවක් ඇති කිරීමට චෙන්නයිහි බලගතු මාධ්‍යවේදින් දැඩි උත්සාහයක් දරමින් සිටියදීය. සුප්‍රසිද්ධ දෙමළ කවියකු වන කාසි ආනන්දන් (කදමුතු සිවානන්දන්) එම වසරේ මාර්තු මාසයේදී රජිව් ගාන්ධි හමු වී තිබුණි. ලන්ඩනය කේන්ද්‍ර කරගත් මූල්‍ය උපදේශකයෙක් වන අර්ජුන සිත්තම්බලම් සති කිහිපයකට පසු රජිව් හමු වී තිබුණි. දෙදෙනාම සැලකුණේ කොටි හිතවාදි දූතයන් ලෙසය.

යම් ආකාරයක දේශපාලන සංහිඳියාවක් සඳහා වේදිකාවක් සකසමින් පවතින බවක් පෙනෙන්නට තිබුණි. මීට පෙර රජිව්, ඩීඑම්කේ ප්‍රබලයකු වන “‍මුරසෝලි” මාරන්ට පවසා තිබුණේ, අවශ්‍ය නම් එල්ටීටීඊය සමග “සැබෑ” ඊළමක් ගැන පවා සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි. මාරන් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) නායක “කලයින්ජර්” එම්. කරුණානිධිගේ විශ්වාසවන්ත සඟයා මෙන්ම, බෑණා ද විය. රජිව් මේ බව මාරන්ට දැනුම් දෙන විට කලයින්ජර් (කලාකරුවා) තමිල්නාඩුවේ මහ ඇමැති විය.

සතාසිවම්පිල්ලෙයි ක්‍රිෂ්ණකුමාර් හෙවත් “කර්නල්” කිට්ටු ඒ වන විට සිටියේ ලන්ඩනයේ ය. කොටි සංවිධානයේ හිටපු යාපනය අණ දෙන නිලධාරියා වූ කිට්ටු එවකට එල්ටීටීඊ ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ ප්‍රධානියා විය. මුලදී කිට්ටු මා සමග දැඩි ලෙස තර්ක කළේ කොටි මෙම ඝාතනයට වගකිව යුතු නැති බවයි. ඔහුගේ ව්‍යාපාරය වගකිව යුතු නැති බව ඔහු අවංකවම විශ්වාස කළ බවක් පෙනෙන්නට තිබුණි. තම නායකයාගේ නියෝගය පරිදි රජිව් ගාන්ධි හමු වීමට දූතයන් යැවීමට මූලික වූයේ කිට්ටු ය.

ඔහු එසේ කළේ වේලු‍පිල්ලෙයි ප්‍රභාකරන් ඔහුට එසේ කරන ලෙස නියෝග කළ නිසාය. ඒ දිනවල මම කිට්ටු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර, රජිව් ගාන්ධි සමග සහ දීර්ඝ වශයෙන් ඉන්දියාව සමග සංහිඳියාව ඇති කිරීමට ගත් මෙම උත්සාහයන්හිදී මම ද ඉතා සුළු කාර්යභාරයක් ඉටු කළෙමි. මම කලින් රජිව් ගාන්ධි සහ ඉන්දීය සාම සාධක හමුදාව ගැන විවේචනාත්මකව කතා කළ ද, පසු විපරමේ ප්‍රඥාව නිසා ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට දිගු කාලීනව ඉන්දියාවෙන් ඈත් වීමට නොහැකි බව මට වැටහුණි.

 

විරසක වීම

අහෝ! රජිව් ඝාතනයට කොටි සංවිධානය වගකිව යුතු බව පැහැදිලිව තහවුරු වූ විට ඒ සියලු‍ බලාපොරොත්තු සහ උත්සාහයන් සුන් විය. ඉන් පසු ඇති වූයේ‍ ඉන්දියා “‍මව” සහ ඇගේ “ඊළාම්” දෙමළ දරුවන් අතර ප්‍රගතිශීලි විරසකයකි.

ඉන්දියානු මහජන මනෝභාවය එක රැයකින් වෙනස් විය. විශේෂයෙන් තමිල්නාඩු ජනතාව එවකට එල්ටීටීඊය කෙරෙහි රිදවීමකට සහ කෝපයට පත් වූහ. ඉන්දියාව 1983 දී දෙමළ සරණාගතයන් පිළිගෙන ඔවුන් රැකබලා ගත්තේය. දැන් ඔවුන්ට අප්‍රසාදයක් දැනෙන්නට සැලැස්වීය. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ඉන්දියානු ආගන්තුක සත්කාරය අනිසි ලෙස භාවිත කළ අය ලෙස සලකනු ලැබීය.

එල්ටීටීඊ සංවිධානය නිල වශයෙන් තහනම් කරනු ලැබීය. ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියානු ප්‍රතිපත්තිය වෙනස් විය. ඉන්දියානු ගණනය කිරීම්වලදී ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ සුභසාධනය තවදුරටත් ප්‍රමුඛ නොවීය.

 

ලක්ෂ්මණ රේඛා

තමිල්නාඩුවේ එල්ටීටීඊ හිතවාදි ලොබියේ විරෝධතා සහ බලපෑම් කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කෙරෙහි තමිල්නාඩුවේ දෙමළ ජනතාව කෙරෙහි ඇති චිත්තවේගීය අනුකම්පාවේ ප්‍රමාණය කුමක් වුවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව කිසි විටෙකත් තරණය නොකරන “ලක්ෂ්මණ රේඛා” සෑම විටම පවතී. එල්ටීටීඊය රජිව් ගාන්ධි ඝාතනය කිරීම මෙම රේඛාව වෙන් කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරයි.

රජිව් යනු මොතිලාල් නේරුගේ මී මුනුපුරා, ජවහර්ලාල් නේරුගේ මුනුපුරා සහ ඉන්දිරා සහ ෆෙරෝස් ගාන්ධිගේ පුත්‍රයාය. ඔහු අයත් වූයේ නූතන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම දේශපාලන රාජවංශයටය. එහෙත් ඔහු දේශපාලනයට පිවිසීමට මැළි විය. රජිව් දේශපාලනයට පිවිසියේ ඔහුගේ සහෝදරයා වන සංජේ, ගුවන් අනතුරකින් මියගිය නිසාය. එසේ නොවුණා නම් ඔහු ගුවන් යානා පැදවීමෙන් පමණක් සෑහීමකට පත් වීමට ඉඩ තිබුණි.

ඔහුගේ මවගේ ඝාතනය ඔහුව අගමැති පුටුවට ගෙන ගියේය. දේශපාලනය කෙරෙහි උනන්දුවක් දැක්වූ සංජේ නම් මිනිසා ගුවන් යානයක් පැදවීමේදී මිය යාම ඓතිහාසික උත්ප්‍රාසයකි. එම අනතුර, වෘත්තීය ගුවන් නියමුවකු වූ ඔහුගේ සහෝදරයා වන රජිව්ව අකැමැත්තෙන් වුව ද දේශපාලනයට තල්ලු‍ කිරීමට බල කෙරුණු අතර, අවසානයේ ඔහු ද මිය ගියේය.

 

ඉන්දියාවේ ප්‍රේමවන්තයා

1984 දෙසැම්බර් මාසයේ රජිව් ගාන්ධි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ වැදගත් මැතිවරණය වාර්තා කිරීම සඳහා මම ඉන්දියාවට ගොස් සිටියෙමි. එය එතෙක් කොංග්‍රස් පක්ෂය භුක්ති විඳි විශාලතම ජයග්‍රහණයයි. ඔහුගේ කඩවසම් ලක්ෂණ සහ ආකර්ෂණීය සිනහව නිසා රජිව් එවකට ඉන්දියාවේ ප්‍රේමවන්තයා විය. ඔහු ඉන්දියානු දේශපාලනයට නවීන ක්‍රම හඳුන්වා දුන්නේය.

රජිව් ගාන්ධි අගමැති වීමෙන් පසු ඔහු දේශීය ක්ෂේත්‍රය තුළට ප්‍රශංසනීය දේශපාලන විසඳුම් දෙකක් ගෙන ආවේය. එකක් පන්ජාබ් සික්වරුන් සමග ඇති කරගත් ගිවිසුම සහ අනෙක ඇසෑම් ශිෂ්‍ය ක්‍රියාකාරින් සමග ඇති කරගත් ගිවිසුමයි. මෙම ගිවිසුම්වලින් පසුව ඔහු ශ්‍රී ලංකා අර්බුදය විසඳීමේ උත්සාහයන් වේගවත් කළේය. ඔහු හදිසි මිනිසෙක් වූ අතර හදිසියේ සිටින අය බොහෝ විට වැරැදි කරති.

ඔහු ප්‍රවීණයකු වූ ගෝපාල්ස්වාමි පාර්තසාරතී (ජීපී) ඉවත් කර, ඔහුගේ විශේෂ නියෝජිතයා ලෙස රොමේෂ් භණ්ඩාරි කොළඹට යැවීය. සටන්කාමින් සාකච්ඡා මේසයට රැගෙන ගෙන එන විට රජිව් තම මවගේ උපායමාර්ගයෙන් සැලකිය යුතු ලෙස බැහැර විය. ඉන්දිරා සහ ජීපී සටන්කාමින් පිටත තබමින්, සාකච්ඡා සඳහා ටීයූඑල්එෆ් මත පමණක් විශ්වාසය තැබීය.

1985 තිම්පු සාකච්ඡාවලදී සටන්කාමි කණ්ඩායම් පහක් ටීයූඑල්එෆ් සමග සමපාතව තබා ගන්නා ලදී. කඩිමුඩියේ සිටීම නිසා, එක තැන පල්වෙන සටන් විරාමයේ මුලින් අපේක්ෂා කළ දීර්ඝ කාල රාමුව කෙටි කාලයකට යොමු කරනු ලැබුණි. සාකච්ඡා අසාර්ථක වූ නමුත්, එසේ වූයේ මේ හේතුව නිසා පමණක් නොවේ.

පසුව විදේශ ලේකම් ඒ.පී. වෙන්කටේශ්වරන් සමග රජිව් “අවුල් සහගත” තත්වයකට පත් වූ අතර, එය ඔහුගේ ඉල්ලා අස් වීමට හේතු විය. වෙන්කටේශ්වරන්, ශ්‍රී ලංකාවේ ගැටලු පිළිබඳව සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටි බැවින් මෙය විශාල පාඩුවක් විය. ඉන් පසු නට්වාර් සිං, පී. චිදම්පරම් සහ දිනේෂ් සිං පවා තානාපතිවරුන් ලෙස පත්ව පැමිණියහ. කොළඹදී, පළමු ලේකම්වරුන් වන හර්දීප් සහ ලක්ෂ්මි පූරිගේ සහාය ඇතිව, මහකොමසාරිස් ජෝතින්ද්‍ර නාත් ඩික්සිත් දක්ෂ ලෙස කටයුතු කළේය.

 

 දෙමළ ඇස් සිනාසෙන්නේ ඇයි

ශ්‍රී ලංකාව යහපත් අතට හැරැවූ විධිවිධාන ඉන්දු-ලංකා ගිවිසුමේ තිබේ. ගිවිසුම අත්සන් කිරීමට කොළඹට ගිය විට රජිව් ලෝකයේ ප්‍රශංසාව සහ ගෞරවය දිනා ගත්තේය. සමස්තයක් වශයෙන් දෙමළ ජනයා එදා සතුටු වූහ. එදා ඉංග්‍රීසි පුවත්පතක් වෙනුවෙන් “දෙමළ ඇස් සිනාසෙන්නේ ඇයි” යනුවෙන් ලිපියක් ලිව්වා මට මතකය.

රජිව්ට අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූයේ, ශ්‍රී ලංකා නාවික හමුදා භටයකු ආචාරය පෙළපාළිය අතරතුර ඔහුගේ රයිෆලයෙන් රජිව්ට පහරක් එල්ල කළ අවස්ථාවේදීය. රජිව් එය ඔහුගේ ඇසේ කොනෙන් දුටු අතර, ඔහුගේ හිසට එල්ල වූ පහර ඔහුගේ උරහිසට වැදෙන ආකාරයෙන් දක්ෂ ලෙස පැත්තකට විය.

 

සාමය ඇති කිරීමේ අනතුරු

රජිව් ආපසු පැමිණි විට, එවකට ඉන්දීය ජනාධිපති ආර්. වෙන්කට්‍රරාමන් සම්ප්‍රදාය පැත්තකට දමා ඔහුව පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණියේය. තත්වය විස්තර කරමින් වෙන්කට්‍රරාමන් සුදුසු ලෙස පැවැසුවේ “සාමය ඇති කිරීමේ අනතුරු” යනුවෙනි. එම පහර මාරාන්තික එකක් වූවා නම්, ඉන්දු-ලංකා ඉතිහාසය වෙනස් වීමට ඉඩ තිබුණි. ඉන් පසු එල්ටීටීඊය සමග යුද්ධය පැමිණියේය. රජිව් විශ්වාසවන්තව පැවැසුවේ “‍එය කෙටි, වේගවත් ප්‍රහාරයක් වනු ඇත. අපේ කොල්ලන් ඉක්මනින් ආපසු ගෙදර එනු ඇත” යනුවෙනි.

ඔහු කොතරම් වැරැදි ද? ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්ටීටීඊ ය අතර, යුද්ධය දීර්ඝ කාලයක් ඇදී ගියේය. දෙමළ සිවිල් වැසියන් දුක් වින්ද අතර, බොහෝ දෙනෙක් ඉන්දියාව කෙරෙහි දැඩි විරෝධයක් දැක්වූහ. අවසානයේ එල්ටීටීඊය ජනාධිපති ප්‍රේමදාස සමග සන්ධානගත වී තුන්වැනි පාර්ශ්වය පිටතට යැවීමට උත්සාහ කළ විට ඉන්දියාව අති දක්ෂ විය.

රජිව් 1989 මැතිවරණයෙන් පරාජයට පත් විය. බොෆෝර්ස් වංචාව කලින් හිස එසවී තිබුණි. රජිව් දිගු කලක් ජීවත් වූයේ නම් මෙම ප්‍රශ්නයම ඔහුගේ ප්‍රතිරූපයට අහිතකර වන්නට ඉඩ තිබුණි. එහෙත් එය එසේ නොවිය යුතුව තිබුණි. ශ්‍රීපෙරුම්බුදුර්හි පිපිරීම ඒ සියල්ල සහ ඉතිහාසයේ ගමන් මග වෙනස් කළේය.

 

ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්ටීටීඊ ය අතර යුද්ධය

ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්ටීටීඊ ය අතර යුද්ධයෙන් පසුව, රජිව් ගාන්ධි සහ ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු භූමිකාව පිළිබඳව මම යම් කාලයක් තිස්සේ ඉතා කටුක සහ විවේචනාත්මකව සිටියෙමි. 1987 ඔක්තෝබර් 10 වැනි දින ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්ටීටීඊ ය අතර සටන් ආරම්භ වන විට මම සිටියේ යාපනයේය.

මම එම කෲරකම් සහ සිවිල් ඝාතන සියැසින්ම දුටුවෙමි. මම කොළඹට ආපසු පැමිණ ඉංග්‍රීසි පුවත්පතකින් මේවා හෙළි කළ විට, මාව අත්අඩංගුවට ගෙන හතර වැනි මහලේ රඳවා තැබුණි. මට ද අධිකරණයේ චෝදනා එල්ල වූ නමුත්, අවසානයේ එම සියලුම  චෝදනාවලින් මා නිදහස් කරනු ලැබීය. මට 1988 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් පිටව යාමට හේතු වූයේ මෙම නඩුව සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ හිරිහැර කිරීම්ය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් සමඟ මගේ සම්බන්ධතාව විශිෂ්ට වූ කාලයක් තිබුණි. මම ඒ කාලයේ “ද හින්දු”‍ පුවත්පතේ කොළඹ වාර්තාකරු විය. අනෙකුත් ඉන්දියානු මාධ්‍යවේදින් මා හැඳින්වූයේ “ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොල්ලා” ලෙසය. එහෙත්, මම ඉන්දීය සාම සාධක හමුදාව, ඉන්දු-ලංකා ගිවිසුමේ සමහර කරුණු සහ රජිව් ගාන්ධි විවේචනය කළ නිසා මගේ සම්බන්ධතාව පළුදු විය. ඉන්දීය සාම සාධක හමුදාවේ සොල්දාදුවන් විසින් යාපනයේදී සිදු කරන ලද ස්ත්‍රී දූෂණ සිදුවීම් හෙළිදරව් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් “ද හින්දු” පුවත්පත මාව සේවයෙන් පහ කළේය.

 

කාලය දේවල් වෙනස් කරයි

එහෙත් කාලය දේවල් වෙනස් කළේය. කාලය ගෙවී යාමත් සමග ඉන්දියානු භූමිකාව සහ රජිව් ගාන්ධි පිළිබඳ මගේ අදහස් ද වෙනස් වීමට පටන්ගත්තේය.

දෙමළ ජනතාවගේ තත්වය දෙස බලන විට දැන් මට හැඟෙන්නේ ඉන්දු-ලංකා ගිවිසුම එහි සියලු‍ අඩුපාඩු සහිතව, එය අත්සන් කරන අවස්ථාවේදී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ දුන්නේ නම්, විශේෂයෙන් දෙමළ ජනතාවට සහ සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ වනු ඇති බවය. 13 වැනි සංශෝධනය සහ එය නිර්මාණය කිරීම, පළාත් සභා යෝජනා ක්‍රමයේ බොහෝ අඩුපාඩු තිබුණත් ශ්‍රී ලංකාවේ නිදහසින් පසු වසර 77ක දේශපාලනයේ දෙමළ ගැටලු සාධාරණ ලෙස විසඳන එකම දේශපාලන විධිවිධානය එයයි.

ප්‍රායෝගික දේශපාලනයේදී සැලකෙන්නේ පඳුරෙහි ඇති ප්‍රියතම දේවල් දෙකකට වඩා අතේ ඇති දේ වටිනා බවයි. දෙමළ දේශපාලන බලය සැලකිය යුතු ලෙස අඩු කර ඇති පශ්චාත් යුද වාතාවරණය තුළ, 13ඒ ඉක්මවා යන දැවැන්ත දේශපාලන අපේක්ෂා ඉටු කළ හැකි ද?

හිටපු ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්, දේශපාලන ලේකම් හර්දීප් සිං පූරි සහ ප්‍රවෘත්ති ලේකම් ලක්ෂ්මි පූරි යන මහත්වරුන් විසින් ඉන්දු-ලංකා ගිවිසුම ඒ කාලයේ දෙමළ ජනතාවට ලබාගත හැකිව තිබූ හොඳම ගනුදෙනුව බව සාකච්ඡාවලදී මට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ අතීතය මට හොඳින් මතකයි. ඓතිහාසිකව එය සිංහල ආධිපත්‍යය දරන රාජ්‍යය පිළිගත් දෙමළ අයිතිවාසිකම්වල ඉහළම ප්‍රමාණයයි. “‍අපි එය සකස් කර තවදුරටත් වැඩිදියුණු කරමු” යැයි ඔවුන් පැවැසීය. එහෙත් මම එදා ඊට එකඟ නොවුණෙමි.

 

ප්‍රමාද වී පැමිණි ප්‍රඥාව

ප්‍රමාද වී හෝ ඒ මතවල ඇති ප්‍රඥාව මට වැටහුණි. වසර ගණනාවක අරගල සහ කැපකිරීම්වලින් පසුව, දෙමළ ජනතාව ඉන්දියාවෙන් පහසුකම් ලත් පළාත් සභා හැර වෙනත් කිසිවක් අත්කරගෙන නොමැත.

හිටපු විපක්ෂ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ගේ බාල පුත් ආචාර්ය බහීරතන් වරක් මට සෝනියා ගාන්ධි විසින් ඔහුගේ මව වන මංගයයර්ක්කරසි අමිර්තලිංගම් වෙත ලියන ලද ලිපියක් ගැන පැවැසුවේය. එම ලිපියේ සෝනියා පවසා තිබුණේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් සහ යුක්තිය සමග ජීවත් වීමට අවශ්‍ය යැයි සිතුව නිසා තම සැමියා (රජිව්) සහ මංගයයර්ක්කරසිගේ සැමියා (අමිර්තලිංගම්) යන දෙදෙනාටම ජීවිත අහිමි වූ බවයි.

“‍ද හින්දු” පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ එන්. රාම් වරක් මට පැවැසුවේ, රජිව් ගාන්ධි වැරැදි කළත්, ලංකාවේ ජනවාර්ගික ගැටලු‍ව විසඳීමට අවංකවම උත්සාහ කළ බවය. අනෙකුත් ඉන්දියානු මාධ්‍යවේදින් ද මට පවසා ඇත්තේ රජිව් දෙමළ ජනතාව කෙරෙහි අනුකම්පා කළ බවත්, ඔවුන්ට සාධාරණ ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය බවත්ය. මම දැන් මෙම හැඟීම්වලට එකඟ වෙමි.

ඒ නිසා මම අද රජිව් ගාන්ධි ගැන සිතන්නේ මේ මානසිකත්වයෙනි. එදා රජිව් විවේචනය කළත්, දැන් මට වැටහෙන්නේ ඔහු දෙමළ ජනතාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවැරැදි දේ කිරීමට උත්සාහ කළ බවයි.

අවාසනාවකට මෙන්, බොහෝ ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයන්ට මෙය තේරුම් ගැනීමට නොහැකි වී තිබේ. ඔවුන් පළාත් සභා යෝජනා ක්‍රමය විවේචනය කිරීම දිගටම කරගෙන යන අතර, නොපෙනෙන වඩා හොඳ දේශපාලන විසඳුමක් සඳහා ඔවුහු ආශා කරති. කෙසේ වෙතත්, සිදුවීම් අභිබවා යමින් පවතී. ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගය රජය පළාත් සභා අහෝසි කිරීමට සෑම උත්සාහයක්ම දරයි.

 

රජිව්ගේ දේශපාලන උරුමය

එසේ නම්, රජිව් ගාන්ධිගේ 34 වැනි සංවත්සරයේදී, පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට සහ විශේෂයෙන් දෙමළ ජනතාවට සාධාරණ ගනුදෙනුවක් ඇති කිරීමට අවශ්‍ය වූ මිනිසා ලෙස අපි ඔහු සිහිපත් කරමු. 1987 ජුලි 29 වැනි දින ඔහු අත්සන් කළ ගිවිසුම මෙතෙක් දෙමළ ජාතික ප්‍රශ්නයට ලබා දී ඇති හොඳම විසඳුම බව පිළිගැනීමෙන් අපි ඔහු සිහිපත් කරමු. 13 වැනි සංශෝධනය පදනම් කරගත් පළාත් සභා යෝජනා ක්‍රමය වන ශ්‍රී ලංකාවේ රජිව්ගේ දේශපාලන උරුමය කාලයේ පරීක්ෂාවන්ට ඔරොත්තු දෙන බව සහතික කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

 

(***)
“ඩේලි එෆ්ටී”පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න



අදහස් (1)

ශ්‍රීපෙරුම්බුදුර් ඝාතනය

saman Monday, 19 May 2025 10:39 PM

පළාත් සභාව දේශපාලකයන් නොමැති සිවිල් පරිපාලන අධිකාරියක් වශයෙන් පවත්වාගෙන යාමට හැකියාව පවතී.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 16 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 459 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 236 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site