‘ මෙම මස 08 වැනිදාට යෙදුණු රැ. තෙන්නකෝන් කිවියාණන් ගේ සැට වැනි සැමරුම නිමිත්තෙනි.
මෙරට සාහිත්‍ය විචාරකයන් ගේ විග්‍රහය අනුව සිංහල පද්‍යයෙහි නූතන අවධිය කොළඹ කවිය, හෙළ හවුල් කවිය, නිසැඳැස් කවිය ආදී වශයෙන් බෙදේ. මේ ඉතා දළ, රළු බෙදුමක් සේ පෙනී ගිය ද විචාරයට එයින් යම් පහසුවක් සැලැසෙයි.
යට කියන ලද බෙදුම් අතුරින් විචාරකයගේ අවම අවධානයට ලක් වූයේ හෙළ හවුල් කවිය යි. එ වුව ද හෙළ හවුල් කවි මඟ විචාරයට ලක් වන හැම විටෙක දී ම එහි මහා කවියා ලෙස සම්භාවනාවට පත් වන්නේ රැ. තෙන්නකෝන් කවියාණෝ ය.
රැ. තෙන්නකෝනුන් ලියූ පද්‍ය කාව්‍ය අගයෙන් මෙන් ම ගණනින් ද ඉතා මහත් වේ. ඔවුන් අතින් ලියැවී පළ වූ පද්‍ය ග්‍රන්ථ ගණනින් එකුන් විස්සක් වේ. තව ද නොපළ කව් පොත් ද කිහිපයක් වෙති යි කියැවේ. පද්‍ය පංක්ති ද බොහෝ ගණනක් ඔවුන් අතින් ලියැවී ඇත්තේ ය. එ සියල්ල එක් වැ ගත් කල්හි සිංහලයෙන් වැඩි ම ගණනක් පද්‍ය රචනා කැරුණේ ඔවුන් විසින් යැ යි කීම වරදක් නො වේ.
රැ. තෙන්නකෝන් ලියූ මුල් ම පද්‍ය කාව්‍යය ‘වවුලුව’ යි. එ වුව ද එයට පෙරත් ඔවුන් කව් පබැඳීමේ යෙදුණු බව ‘එළු සඳෙස’ වැනි නො පළ කව්වලින් පෙනේ. කිවියකු ලෙසින් ඔවුන් මහත් සේ කීර්තිමත් වූයේ වවුලුවෙනි. වවුලුව කියවා මහත් ප්‍රබෝධයට පත් කුමාරතුංග මුනිදාසයෝ එයට විවිසිනුමක් (විවේචනයක්) ද ලියා පළ කොට එහි අගය රටට හඳුන්වා දුන් හ. ඉක්බිති වැ තෙන්නකෝන් කිවියාණෝ හැවිල්ල, දෑ විනය, සක් පුබුදුව, පින්දීම ආදී කාව්‍ය රචනා කළ හ. මෙ කව් සියල්ල තමන් පබඳ කෙළේ කුමාරතුංග මුනිදාසයන් ගේ රස විඳුම පිණිස යැ යි ඔහු පවසති. එතුමන් ගේ අභාවයෙන් පසු තමන් කව් පබැඳීම නතර කළ හ යි ද ඔහු පවසති.
විචාරකයන් බොහෝ විට තෙන්නකෝන් කිවියාණන් පිළිබඳ ව පවසන කරුණු දෙකක් නම් ඔහු උපහාස කවියෙකි, කාව්‍යයෙහි ලා ඔවුන් විසින් භාවිත භාෂාව දුරවබෝධ හෙයින් ඔවුන් ගේ කව් වටහාගැන්ම අපහසු ය යනු යි. මේ කරුණු දෙක මඳක් විමසා බැලීම තෙන්නකෝන් කාව්‍ය විචාරයෙහි ලා අවශ්‍ය වේ.
රැ. තෙන්නකෝනුන් ගේ බොහෝ කාව්‍යවල උපහාසය මුඛ්‍ය රසයක් සෙයින් දක්නා ලැබෙන බව සැබැවි. ඔවුන් ගේ ලෝකාවලෝකන දෘෂ්ටිය උපහාස-පූර්වක වූවක් බව ද සැබැවි. වවුලුවෙහි පටන් ඔවුන් ලියූ හැම කාව්‍යයෙක ම සමාජය දෙස හෙලෑ උපහාසාත්මක බැලීම ප්‍රකට ව පෙනේ. එ වුව ද මඳක් ගැඹුරින් විමසා බලන කල්හි පෙනෙනුයේ තෙන්නකෝන් කවීන් අතින් උපහාසයට ලක් වූයේ සමාජයෙහි බොරු හර බව යි. සමාජ භේද ඇති කරන, සමාජ අවගමනයට මඟ සලසන දුෂ්ක්‍රියා, ව්‍යාජ චාරිත්‍ර වාරිත්‍ර ආදිය ඔවුන් ගේ තියුණු උපහාසයට හසු විය. ඒ උපහාස- පූර්වක කාව්‍ය කරණයෙහි ද අවසන් අරමුණ වනුයේ මානව සමාජයෙහි ප්‍රගමනය ම ය. එ හෙයින් තෙන්නකෝනුත් හුදු උපහාසයට සීමා වූවකු ලෙස සලකා ඔවුන් ගේ කව් අවිචාරාත්මක ව බැහැර කිරීම කාව්‍ය රසිකයනට කැරෙන අපරාධයකැ යි කිය යුතු වේ.
අනෙක් කරුණ නම් තෙන්නකෝන් කවීන් කාව්‍යකරණයෙහි ලා උපයුක්ත භාෂා ව්‍යවහාරය දුරවබෝධ යැයි පවසා ඇතැම් විචාරකයන් ඔවුන් ගේ කව් විචාරයෙන් තොර ව ම පසකට කිරීම යි. ඔවුන් ගේ බස් වහර එ තරම් සරල නොවන බව සැබැවි. ඒ වුව ද, තෙන්නකෝනුන් ම ද ඇතැම් විට කියා ඇති පරිදි වටහාගැන්ම පහසු නොවනුයේ ඔවුන් ගේ බස් වහර නොව කවිවල ඇතුළුව (අන්තර්ගතය) යි. ව්‍යංග්‍යය ඔවුන් ගේ කාව්‍යවල ප්‍රමුඛ ලක්ෂණයෙකි. බොහෝ තන්හි අරුත් සැඟැවී ඇත්තේ ය. එ සේ නොවත හොත් මතුපිටින් කියැවෙන අරුත ඉක්ම යෙන අරුත් ගණනාවක් කවියෙහි සැඟැවී ඇත්තේ ය. එ අරුත් පසිඳ දැක්මට තියුණු නුවණක් ඇවැසි වෙයි. බොහෝ විචාරකයනට ඒ තියුණු නුවණ නැති හෙයින් ඔවුහු තෙන්නකෝනුන් ගේ බස් වහර රසිකයනට නො වැටැහෙති යිද එ හෙයින් ඔවුන් ගේ කව් රසාස්වාදනය දුෂ්කර යැ යි ද පවසති.
තෙන්නකෝන්හු කවියකු ලෙසින් තමන් ගේ ම ස්වාධීන මාර්ගයෙක ගමන් ගත් කෙනෙකි. සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ වැ ඉතා ගැඹුරු දැනුමක් ඔවුන් කෙරෙහි පැවැතිය ද ඔහු මුළුමනින් ම එහි නොපිහිටියහ. එය සපුරා බිඳ දමා නව මඟක් තනන්නට ද නො ගිය හ. පුරාතන සම්ප්‍රදායය ආශ්‍රයෙන් තමනට ම ආවේණික මාර්ගයක් තනාගන්නට ඔහු සමත් වූ හ. කුමාරතුංගයන් විරිත් වැකියෙන් හෙළි කළ අදහස් එහි ලා ඔවුනට මනා පිටුබලයක් වූ අයුරු හොඳින් ම පෙනේ.
තෙන්නකෝන් කිවියාණන් ස්වාධීන කාව්‍ය සඳහා වස්තු විෂය කොටගත්තේ තමන් හා සමකාලීන වූ කොළඹ අවදියේ කිවියනට වස්තු විෂය වූ ස්වභාවධර්මය, ජාත්‍යනුරාගය, ආගම භක්තිය ආදිය නොව තමන් විසින් ම නිර්මිත කල්පිත වස්තු යි. එ ද බොහෝ විට පුරාතන හෝ නූතන හෝ සමාජය ආශ්‍රයයෙන් නඟාගත් වස්තු යි. ඒ ඉදිරිපත් කැරුණේ කතා පුවත් ලෙසිනි.
රැ. තෙන්නකෝනුන් ගේ ගද්‍යයෙහි මෙන් ම පද්‍යයෙහි ද මනා වැ කැපී පෙනෙන ලකුණ නම් ඔවුන් ගේ අනන්‍ය සාධාරණ භාෂා විලාසය යි. තමනට ම ආවේණික භාෂා විලාසයෙකින් ලේඛනයෙහි යෙදුණු සිංහල රචකයන් කිහිප දෙනා අතර ඔහු මුල් තැනෙක සිටිති. එය ගැමි වහරෙහි ව්‍යඤ්ජන ශක්තියෙන් ඔද ගැන්වුණු වියත් වහර පාදක කොටගත්, පාඨකයන් මන බඳනසුලු භාෂා විලාසයෙකි. ප්‍රබන්ධකරණයෙහි ඉතා යෝග්‍ය වූ මේ භාෂා විලාසය ම ශාස්ත්‍රීය ලේඛයෙහි දී ද සාර්ථක වැ යොදන්නට තෙන්නකෝනුනට හැකි විය.
රැ. තෙන්නකෝන්හු කිවියකු පමණක් නො ව ඉහළ ගණයේ පඬිවරයෙක් ද වූහ. සිංහල සාහිත්‍ය විචාරයෙහි ලා ඔවුන්ගෙන් වූ මහනීය සේවාව කිසි විටෙක නිසි ලෙස නොඇගැයිණි. සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යය – විශේෂයෙන් සිංහල සන්දේශ කාව්‍ය – ඔවුන් අතින් මනා සේ විචාරයට ලක් විය. පරෙවි, සැලළිහිණි, ගිරා, හංස, කෝකිල යන සඳෙස් කව් එ අතර වෙයි. භාෂා සාහිත්‍යයෙහි සේ ම ඉතිහාසයෙහි ද භූගෝල ශාස්ත්‍රයෙහි ද විශාරදයකු වූ තෙන්නකෝන්හු එහි කාව්‍යමය අගය මෙන් ම ඓතිහාසික කාරණා හා ගමන් මඟට අයත් තොරතුරු වෙසෙසින් විචාරයට ලක් කළහ.
කාව්‍ය විචාරකයකු වශයෙන් රැ. තෙන්නකෝනුන් ගේ අනන්‍ය මතිමතාන්තර ප්‍රකට වනුයේ ‘අපේ කව්’ නමින් ලියූ විචාර ග්‍රන්ථයෙහිය. ගතානුගතික අලංකාරවාදී විචාරය අතික්‍රමණය කොට සිංහල කාව්‍යයට යෝග්‍ය වූ විචාර මතවාදයක් සඳහා මෙය ඉවහල් කැරගත හැකි නමුදු මෙරට විචාරකයන් ගේ අවධානය එයට යොමු නොවීම අභාග්‍යයෙකි.
සිංහල භාෂාධ්‍යයනයෙහි ලා අතිශය ප්‍රයෝජනවත් පොත් පෙළක් ‘හොඳ සිංහල’ නමින් තෙන්නකෝනුත් අතින් ලියැවිණි. පාසල් සිසුන් සඳහා ලියූ නමුදු සිංහලය උගන්නා කවරකුට වුව ද මෙ පොත් පෙළ – වෙසෙසින් එහි උසස් පොත – වැදැගත් වෙයි. ඉතා පැහැදිලි වැ, සවිස්තර වැ කරුණු දැක්වීම මෙ පොත්හි වෙසෙසිතාව යි. ඔවුන් ගේ ‘සිදත් සඟරා අරුත් වියකන’ ද සිදත් සඟරාව හදාරන්නන් හට මෙන් ම සිංහල හදාරන කවරකුට වුව ද නව මඟක් ඔස්සේ යන්නට කරන ලද විවර කිරීමක් සේ සැලැකිය යුතු යි.
පද්‍ය රචකයකු වශයෙන් දැක්වූ අද්විතීය කෞශල්‍යය නිසා ගද්‍ය රචකයකු වශයෙන් තෙන්නකෝනුත් ගේ විශිෂ්ටත්වය එ තරම් සැලැකිල්ලට ලක් නොවූ යේ ය. ගිය කල, කවුඩුව, බස් පාර වැනි ගද්‍ය රචනා උසස් ලක්ෂණවලින් සමන්විත ය. රසවත් ප්‍රබන්ධ සේ කියැවීමට ද ඉතා යෝග්‍යය වේ.
ලංකා ඉතිහාසය රචකයන් අතුරෙහි දු රැ. තෙන්නකෝනුන්ට උසස් තැනක් හිමි වේ. භාෂා සාහිත්‍ය රචනයට ද පෙර නව යොවුන් කල සිට ඔවුන් ඉතිහාස රචනයෙහි යෙදුණු සේ පෙනේ. අනුරාධපුරය බැසීම හා වැටීම, යටගිය දවස, අනුරපුර පිරිහීම ආදිය ඔවුන් ලියූ ඉතිහාස ග්‍රන්ථ වේ.
රැ. තෙන්නකෝනුන් ගේ ගද්‍ය පද්‍ය රචනා විමර්ශනාත්මක වැ කියැවීමේ දී එ හැම යම් දර්ශනයක් පදනම් කොටගෙන රචිත අයුරු දැකිය හැකි ය. අදීනභාවය ද නිර්වජ්‍යාජත්වය ද සමානාත්මතාව වැනි ධර්මතා ද එහි ප්‍රමුඛ සාධක සේ මතු වැ පෙනේ. තෙන්නකෝන් ප්‍රබන්ධ නිසි සේ විමැසිය හැක්කේ මේ දර්ශනය වටහාගතහොත් පමණෙකි. මෙ රට විචාරකයන් ඔවුන්ගේ ප්‍රබන්ධ විචාරයට යොමු නොවූයේ එය වටහා ගැන්මට අපොහොසත් වූ නිසා නො වේ ද යනු සැකයෙකි.
(*** ශ්‍රීනාත් ගණේවත්ත)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විචාරකයන්ට අමතකවුණු මහාකවියා - රැයිපියෙල් තෙන්නකෝන්
sugath Sunday, 23 March 2025 01:59 PM
සිංහල හය වසර පොතේ තිබුණු මෙතුමා විසින් රචිත "කුකුළු හැවිල්ල" මට තවමත් මතකයි. එදා එහි අර්ථය මට එතරම් නොදැනුනත්, ඒ කාව්‍යය කොතරම් අර්ථවත්ද යන්න දැනෙන්නේ දැනුයි.