(ටයිම්ස් සඟරාව ඇසුරෙනි - පරිවර්තනය - හර්ෂණ තුෂාර සිල්වා)

යම් යම් කාලවකවානුවලදී, යුගවලදී ලොව විවිධ රටවල විවිධ අර්බුද, යුද ගැටුම් වාර්ගික අර්බුද, සිවිල් යුද්ධ නිර්මාණය වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. වසර 1965 දී ඇමෙරිකාවේ ඇති වූ වාර්ගික ගැටුම් ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය. එම වසරේ අගෝස්තු 11 වැනිදා ඇමෙරිකා - අප‍්‍රිකා රියදුරකු අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව මාර්ගවල ඇති වූ ගැටුම් අවසානයේදී වාර්ගික ගැටුමක් දක්වා දුර දිග ගියේය. මෙම ගැටුම්වලින් 34 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර ඩොලර් මිලියන 40ක දේපළ හානියක් වූ බව ට ඇස්තමේන්තු කර තිබිණි. මෙම වාර්ගික නිර්මාණය කළේ පොලිසිය යැයි ද පසුව චෝදනා එල්ල විය.

රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන වාර්ගික අර්බුද නැවැත්වීමට පියවර ගත යුතු බව ප‍්‍රකාශ කරමින් එවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වූ ලින්ඩන් බී ජොන්සන් වාර්ගිකත්වය පිටු දැකිය යුතු බව ප‍්‍රකාශ කළේය. ඒ බව ප‍්‍රකාශ කරමින් රට තුළ ඡන්දය දීමේ අයිතිවාසිකම ස්ථාපිත කිරීමට ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිවරයා විශාල මෙහෙයක් කළේය.

ඔහු ඡන්දය දීමේ අයිතිය ස්ථාපිත කරමින් පනතක් ද ගෙන ආවේය. ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිවරයා මාර්තු 15 වැනිදා කළ කතාව 20 වැනි සියවසේ හොඳම කතා අතරට එක්ව තිබේ.

ටයිම්ස් සඟරාව ප‍්‍රකාශයට පත් කළ ලොව විශිෂ්ටතම කතා දහය අතරටද ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් වී තිබේ. ඇමෙරිකාවේ 36 වැනි ජනාධිපතිවරයා වන ලින්ඩන් බී. ජොන්සන් එදින කළ කතාවේ කොටසක් පහත දැක්වේ.

”මම මනුෂ්‍යත්වයේ අභිමානයෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෛවය ද ඇතිව මම අද ඔබ හමුවේ කතා කරනවා. මගේ මේ වෑයමට සහය දෙන්නැයි පක්ෂ දෙකේ සෑම සාමාජිකයෙක්ම, සෑම ආගමකම, සෑම වර්ණයකම ඇමෙරිකා එක්සත් ජනපද වැසියන්ගෙන්, රටේ සියලූ කොටස්වල වැසියන්ගෙන් මම ඉල්ලා සිටිනවා. ඊට සහයෝගය දෙන්නැයි මම අවධාරණය කරනවා. එක වේලාවකදී, ඉතිහාසයත් ඉරණතමත් එකම අවස්ථාවකදී එකම වේලාවකදී එකම තැනකදී මුණ ගැසී නිදහස සඳහා වූ මිනිසාගේ නොනිමි අරගලවල හැඩය වෙනස් කරනවා. සියවසකට කලින් එහෙම වුණා. වසර දහස් ගණනකට කලින් එහෙම වුණා. පසුගිය සතියේ සෙල්මාවලදී එහෙම වුණා. ඇමෙරිකා වැසියන් ලෙස තමන්ට අහිමි වූ අයිතිවාසිකම් ඉල්ලා කාන්තා පිරිමි සියලූ දෙනා නිදහස් විරෝධතාවක නිරත වුණා.

ඔවුන්ගෙන් බොහෝ දෙනකුට මිලේච්ඡ විදියට පහර දී තිබුණා. එක හොඳ මනුස්සයෙක්, දෙවියන්ගේ මනුස්සයෙක් මරණයට පත්වුණා. මේක නීග්‍රෝ ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක උතුරේ හෝ දකුණේ හෝ ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක සමස්ත ඇමෙරිකාවේ ප‍්‍රශ්නයක්. අපි අද මෙතැන රැස්වෙලා ඉන්නේ ඩිමොක‍්‍රටික්වරුන් විදියටවත් රිපබ්ලිකන්වරුන් විදියටවත් නෙමෙයි. අපි අද මෙතැන රැස්වෙලා ඉන්නේ ඇමෙරිකාවේ පුරවැසියන් විදියටයි. අපේ හදවත්වල රැව් දෙන වචන කිහිපයක් තිබෙනවා.

උතුරේ හෝ දකුණේ හෝ වේවා, සියලූ මිනිසුන්ට එක හා සමානව සැලකිය යුතුයි. පොදු එකඟතාවයෙන් රාජ්‍ය පාලනය විය යුතුයි. උපත ලැබීමටත් මියයෑමටත් නිදහස තිබිය යුතුයි. එම වදන් නිකන් වචන හෝ න්‍යාය නෙමෙයි. අපි සියවස් දෙකක් නිදහසේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළා. ජීවිත පුජා කළා.එම වචන සෑම මනුෂ්‍යයෙක්ගේම නිදහස, අභිමානවත් ලෙස ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරනවා. එම නිසා මිනිසුන්ගේ අයිතිය අපි, අභිමානවත් ලෙස ජීවත්වීම සඳහා මිනිසුන්ට ඇති අයිතිය අපි වචනවලට සීමා නොකළ යුතුයි. පුද්ගලයකු සතු වත්කම්වලින් අභිමානවත් ලෙස ජීවත්වීමේ අයිතිය තීරණය වන්නේ නැහැ. එය පුද්ගලයකු සතු බලයෙන් හෝ ඔහුගේ තත්ත්වය මත තීරණය වන්නේ නැහැ. සෑම පුද්ගලයකුටම එක ලෙස සැලකීම සමාන අවස්ථාව මත එය තීරණය වෙනවා. සෑම මනුස්සයෙක්ම නිදහස භුක්ති විඳිය යුතුයි. සෑම පුද්ගලයකුටම තමන්ගේ නායකයන් තෝරාගැනීම අයිතිය, තමන්ගේ දරුවන්ට ඉගැන්වීමේ අයිතිය, තමන්ගේ හැකියාව මත තම පවුලට අවශ්‍ය පහසුකම් සැලසීමට ඇති අයිතිය වගේම මනුෂ්‍ය අගනාකම් සුරක්ෂිත කරමින් ඔහුට තම කැමැත්ත පරිදි නිදහසේ ජීවිත්වීමේ අයිතිය තිබෙනවා. රාජ්‍ය අයිතිවාසිකම් හෝ ජාතික අයිතිවාසිකම් කියා වෙනසක් නොතිබිය යුතුයි. අපි සුරක්ෂිත කළ යුත්තේ මිනිසුන්ගේ අයිතිවාසිකම්. ඒ වගේම මානව හිමිකම්, මනුස්ස අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන අරගල හැරෙන්නට වෙන අරගලයක් නොතිබිය යුතුයි. එවැනි අරගල තිබෙන්නට විදියක් ඇත්තේ ද නැහැ. එයට ඔබ දෙන පිළිතුර ගැන මට පුංචිම වත් සැකයක් නැහැ”.