IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


විදෙස් වෙළෙඳාමේ ප්‍රවර්ධනයට උපාය උපක්‍රම

ශ්‍රී ලංකාවේ ආනයන ප්‍රමාණය අපනයන ප්‍රමාණය අබිබවා පැවතීම වර්තමානයේ අප රටක් ලෙස මුහුණදෙන ප්‍රබල ගැටලුවකි. ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව අනුව අප රටේ අපනයන ව්‍යුහය තුළ ඇගලුම් නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන, මැණික් සහ රන් ආභරණ ආශ්‍රිත නිෂ්පාදන, ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, තේ, රබර්, පෝල්, කුළුබඩු, කෘෂි ආශ්‍රිත නිෂ්පාදන ආදිය ඉහළ වැදගත්කමක් දරයි.

එසේම අප ආනයනය කරන භාණ්ඩ අතර ආහාර පාන (පරිප්පු, රටලූණු, සීනි, සහල්, පිටි, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, මාළු, තෙල්, කුළුබඩු ආදී), ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ, (පෞද්ගලික වාහන, නිවාස සඳහා අවශ්‍ය දෑ, රේඩියෝ, රූපවාහිනී ආදී) ඛනිජ තෙල් (බොර තෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල්, ගල්අගුරු ආදී), රෙදිපිළි සහ ඇඟලු‍ම් ආශ්‍රිත නිෂ්පාදන, තිරිගු පිටි සහ ඉරිගු, පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ, ගොඩනැගිලි උපකරණ ආදීය ප්‍රධාන තැනක් ගනු ලබයි.

අප රටේ ආනයන සහ අපනයන රටවල් කිහිපයකට සහ කලාප කිහිපයකට පමණක් සීමාවන අතර ඉතා කඩිනමින් මෙම තත්ත්වය වෙනස් කළ යුතු වේ. ශ්‍රී ලංකාවේ සමස්ත ආනයනවලින් ආසන්න වශයෙන් හතරෙන් එකක් පමණ ආනයනය කරන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර අප රටේ සමස්ත අපනයනවලින් ආසන්න වශයෙන් හතරෙන් එකකි. අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි. මෙම තත්ත්වය විදේශ

වෙ​ෙළදාම සම්බන්ධයෙන් අප මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් සහ තර්ජනනයක් ලෙසින් හැඳින්විය හැකිය. වර්තමානයේදි ශ්‍රී ලංකාව භාණ්ඩ ආනයනය කරන රටවල් අතර ඉන්දියාව, චීනය, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමිරේට්ස්, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ඉන්දුනිසියාව සහ පාකිස්ථානය යන රටවල් ප්‍රධාන තැනක් ගනී. එසේම අප රටින් භාණ්ඩ අපනයනය කරනු ලබන රටවල් එහි අපනයන ප්‍රමාණය අනුව පෙළගස්වයි නම්, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, කැනඩාව, එක්සත් අරාබි එමිරේට්ස්, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව ආදි රටවල් ප්‍රධාන තැනක් ගනී.

 

ඇමරිකාව හඳුන්වා දුන් නව බදු ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුකරන බලපෑම

මෑත කාලයේ මුළු ලෝකයේම ආන්දෝලනයට පත් කළ ජාත්‍යන්තර වෙළෙදාම හා සම්බන්ධ බදු ප්‍රතිසංස්කරණයක් ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන ජනාධිපතිතුමන් ඉදිරිපත් කළා. එහි ඍජු සහ වක්‍ර බලපෑම් සමස්ත ලෝක ආර්ථිකය මත ඇතිවීම වැළැක්විය නොහැකි දෙයක්. අනිවාර්යෙන්ම මෙම බද්දේ බලපෑම සමස්ත ලෝක ආර්ථිකය මත විවිධ වූ බලපෑම් ඇතිකරනු ලබන අතර එහි යම් බලපෑමක් ඇමරිකා ආර්ථිකයටද ඇතිවිය හැකියි. මෙම බදුවල බලපෑම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවටද දැඩි ලෙස බලපානවා. මොකද අපේ සමස්ත අපනයනවලින් වැඩිම ප්‍රමාණයක් යවන්නේ ඇමරිකා එක්සත් ජනපදයට නිසා අදාළ අපනයන සිදුකරන ආයතන මෙයින් දැඩි බලපෑමකට අනිවාර්යයෙන්ම පත්වෙනවා. ඒ සඳහා කඩිනම් මැදිහත්වීමක් වර්තමාන රජය මේ වනවිටත් සිදුකර තිබෙනවා. වර්තමාන රජය මේ සඳහා සුදුසුකම් සහිත කණ්ඩායමක් පත්කොට අදාළ බදු සමාලෝචනය කිරීමත්, ඇමරිකාව සමග සාකච්ඡා කර මුලින් හදුන්වාදුන් සියයට44 ක බදු ප්‍රතිශතය සියයට30 ක් දක්වා අඩුකරගැනීමටත් කටයුතු කර තිබීම ඉතාමත් හොද තත්වයක් ලෙස මම දකිනවා. අදාළ බදු ප්‍රමාණය තවදුරටත් අඩුකරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සාකච්ඡා කරමින් සිටිනවා. මෙය තවත් යම් ප්‍රමාණයකින් හෝ පහත දමාගැනීමට හැකි වුවහොත් ඒක විශාල ජයග්‍රහණයක්. අදාළ බද්ධ නිසා රටේ ආර්ථිකයට ඇතිවන කෙටිකාලීන සහ දිගුකාලීන බලපෑමත්, ඍජු සහ වක්‍ර බලපෑමත් විශ්ලේෂණය කිරීමට කටයුතු කළ යුතු අතර එම තත්වයෙන් මිදීම සඳහා රජය සහ අනෙකුත් වගකිව යුතු පාර්ශව කඩිනමින් මැදිහත්වීම මේ මොහෙතේ අත්‍යවශ්‍ය කරුණක් වෙනවා.

ඇමරිකා රජය හඳුන්වාදුන් මෙම නව බදු ප්‍රතිසංස්කරණ නිසා ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවල මිල අනිවාර්යයෙන්ම වැඩිවනවා. ඒ නිසා අදාළ භාණ්ඩ සඳහා පවතින ඉල්ලු‍ම අඩුවනවා. එහිදී භාණ්ඩ විකුණාගැනීමේ ගැටලුවක් අනිවාර්යයෙන්ම ඇතිවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ භාණ්ඩ අපනයනය කරන ආයතනවල ආදායම් පහත වැටීමක් සිදුවෙනවා. ඒ නිසා සමහර විට එම ආයතනවලට තම වියදම් සීමා කරමින් ආදායම් සහ වියදම් නැවත ගලපා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුවනවා. එම තත්ත්වය තුළ අදාළ ආයතන විසින් තම වියදම් කපාහැරීමේ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇති. එහිදී සේවක වැටුප්, අතිකාල සහ වෙනත් දීමනා මෙන්ම සේවක සුභසාධන කටයුතු අඩුකිරීමට සිදුවනු ඇත. එහෙත් එය සිදුකළ යුතු වන්නේ ඉතාමත් සූක්ෂමව සහ ඉතාමත් සුපරික්ෂාකාරී අන්දමින්. එසේ නොමැති වුවහොත් එය විශාල ප්‍රශ්නයක ආරම්භයක් වීමට බොහෝ දුරට ඉඩ තියනවා. එපමණක් නොව අදාළ ආයතනවල ආදායම් පහත වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් රජයට හිමිවන බදු ආදායම් පහත වැටීමට ද ඉඩකඩක් තිබෙනවා වගේම සේවාවියුක්තිය වැඩිවීම, උද්ධමනය ඇතිවීම, රුපියලේ අගය අඩුවීම, කොටස් වෙළෙදපළ පහත වැඩීම ආදි නරක ප්‍රතිඵලවලට මුහුණදීම වැළැක්විය නොහැකියි. ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන මෙම ආයතන රැකබලා ගැනීමට රජයේ මැදිහත්වීම මේ මොහෙතේ අවශ්‍යයයි.

 

මෙම තත්වයෙන් මිදීමට කඩිනමින් ගත හැකි පිළියම්

වර්තමානයේ අප රටට විදේශ විනිමය ගලා එන්නේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකින් පමණයි. ඒ අතර ඇගලුම්, තේ, කුළුබඩු ආදී භාණ්ඩ අපනයනයත්, සංචාරක කර්මාන්තයත්, විදේශසේවා නියුක්තියෙන් ලැබෙන ප්‍රේෂණ ආදිය ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. එහෙත් අප රට අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම රටට එතරම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වෙනුවෙන් විශාල විදේශ විනිමයක් වියදම් කරනු ලබනවා. ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 2024 වර්ෂයේ සමස්ත අපනයනවලින් ලැබු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12,772 ක් පමණ වූ අතර සමස්ත ආනයන වෙනුවෙන් වියදම් කර ඇති ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 18,841 ක් වේ. මේ නිසා විදේශ වෙළදාමේ පරතරය ඇමරිකානු ඩොලර් මිලියන -6,069 ක හිඟයක් බවට පත් වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශිය මුදලේ අගය පහත වැටීම සිදු වනවා. වර්තමානය වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 300 ක් පමණ දක්වා පහත බැස ඇත. මේ නිසා ශ්‍රී ලංකාව තව තවත් විදේශ වෙළෙදාම අතින් අසිරුතාවකට පත්වීම වැළැක්විය නොහැකියි. එය සිදුවන්නේ විදේශ භාණ්ඩ හා සේවා සඳහා ආනයනයේදි ගෙවීමට සිදුවන රුපියල් ප්‍රමාණය වැඩි වීම නිසයි. මේ තත්ත්වය තුළ ආනයනික භාණ්ඩවල දේශීය වෙළෙඳපොළ මිල ඉහළ යනවා. මෙම තත්වයට විසඳුමක් ලබාගැනීමට නම් අප කඩිනමින් අපනයන ආදායම් වැඩිකර ගැනීමත් ආනයන වියදම් අඩුකිරීමත් සිදුකළ යුතු වනවා.

විශේෂයෙන්ම මෙහිදි ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. භාණ්ඩ හා සේවා කිහිපයක් පමණක් මත යැපීම භයානක තත්වයක් එපමණක් නොව විදේශ වෙළෙදාමේදි එක් රටක්, රටවල් කිහිපයක් හෝ සීමිත කලාපයකට පමණක් සීමාවීම වෙනුවට රටවල් වැඩි ගනණක් සමග සම්බන්ධ වීමත්, කලාප කිහිපයක් සමග ජාත්‍යන්තර වෙ​ෙළදාම් කටයුතු පුළුල් කිරීමත් කඩිනමින් සිදුකළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව තුළ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හා සේවා ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් අපි රටක් වශයෙන් වියදම් කරනවා. උදාහරණ ලෙස ශ්‍රී ලංකාව වර්තමානයේදි පවා අවස්ථා කිහිපයක දි ලු‍ණු, සහල්, කරවල, පලතුරු ආදි භාණ්ඩ ආනයනය කළා. ශ්‍රී ලංකාව කෘෂි නිෂ්පාදන කටයුතු ඉතා හොදින් සිදුකළ හැකි රටක්. ඒ සදහා සුදුසුකම් සහිත ශ්‍රමය, සුදුසු භූමිය, හිතකර කාලගුණ සහ දේශගුණ තත්වයක් මෙන්ම, වර්ෂාව සහ වාරිමාර්ග පද්ධතියක් පවතිනවා. එහෙත් කෘෂි ආශ්‍රිත නිෂ්පදනය වැඩිකර අතිරික්ත නිෂ්පාදනය විදේශ වෙළෙඳපොළට අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු සිදුවන්නේ මන්දගාමී ස්වරූපයකින්. එසේම ග්‍රාමිය අංශය තුළ පවතින අතිරික්ත ශ්‍රමය සහ භූමිය ඇතුළු අනෙකුත් නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආකර්ෂණය කරගනිමින් මෙතෙක් දළ දේශීය නිෂ්පාදනයට කෘෂි අංශයෙන් ලබාදෙන සියයට 7 - සියයට 8 පමණ වන දායකත්වය වැඩිකර ගැනීමට අවශ්‍ය කටයුතු රජයේ මූලිකත්වයෙන් සිදුකළ යුතුවනවා. ශ්‍රී ලංකාව තුළ ක්‍රමානුකූල සහ විධිමත් වැඩපිළිවළක් අනුව ක්‍රියාත්මක වෙමින් එළවලු, පලතුරු, මල්වර්ග, දේශීය බෙහෙත් වර්ග, මත්ස්‍ය නිෂ්පාදන, කුළුබඩු වර්ග, පුහුණු ශ්‍රමය ආදී නිෂ්පාදන අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකළ යුතුයි.

 

ශ්‍රී ලංකාවේ විදේශ ‍වෙළෙදාම ප්‍රවර්ධනය සඳහා උපක්‍රම

අපනයන විවිධාංගීකරණය- මේහිදි සාම්ප්‍රදායික භාණ්ඩ අපනයනය වෙනුවට නව්‍යකරණයක් සහිත, නවීන ලෝකය ඉල්ලු‍ම් කරන භාණ්ඩ, අගය එකතුකරන ලද භාණ්ඩ, ලෝක වෙළෙඳ​ෙපාළට හඳුන්වාදිය හැකිය. මෙහිදි විසිතුරු මසුන්, සෙල්ලම් බඩු, දේශීය මල් වර්ග, එළවළු සහ පලතුරු වර්ග, මල් වර්ග, බෙහෙත් පැලෑටි, ආහාර ද්‍රව්‍ය, කෘෂි නිෂ්පාදන ආදිය දැක්විය හැකිය. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ අපනයනය කරනු ලබන්නේ එකම භාණ්ඩ ගණනක් පමණි. මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු වේ.

අගය එකතුකළ භාණ්ඩ සහ ගුණාත්මක භාණ්ඩ අපනයනය - නව තාක්ෂණය භාවිතය සහ නව්‍යකරණ වෙත යොමුවීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණකි. එහිදි උසස් තත්ත්වයෙන් යුක්ත භාණ්ඩ එනම් ගුණාත්මක, උසස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන ලෙස භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් අපගේ භාණ්ඩ හා සේවා සඳහා හොද මිලක් මෙන්ම වෙළදපොළක් නිර්මාණය කර ගැනීම පහසු වේ. උදාහරණ ලෙස - කාබනික ක්‍රමයට වගාකරන එළවළු, පලතුරු සහ ආහාර ද්‍රව්‍ය, සාම්ප්‍රදායිකව අපනයනය කරන කළු ගම්මිරිස් වෙනුවට සුදු ගම්මිරිස් අපනයනයෙන් ඉහළ මිලක් ලබාගත හැකිවේ.

අන්තර්ජාල වෙළෙදාම සඳහා යොමුවීම- වෙළදාම සඳහා නව තාක්ෂණය යොදාගැනීම, ඩිජිටල් ගෙවීම් සහ ඇනවුම් කිරීමේ ක්‍රම හඳුන්වා දීම, නවීන තොරතුරු තාක්ෂණය හරහා ගෝලීය වෙළෙඳපල සමග සම්බන්ධ වීම, වෙ‍ළෙද ප්‍රචාරණය තානාපති කාර්යාල හරහා සිදුකරමින් දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය ඉල්ලු‍ම ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කළයුතු වේ.

පරිසර හිතකාමී සහ තිරසාර වෙළෙඳපොළ ක්‍රමයක් ක්‍රියාත්මක් කිරීම- වෙළෙදාම තුළ පරිසරයට සිදුවන බලපෑම අවම කරමින් පරිසරය සහ පවතින සම්පත් අනාගත පරම්පරාවටද ඉතිරිකරමින් පරිහරණය කිරීමට කටයුතු කළ යුතුය. නිෂ්පාදන ක්‍රියාවලිය සහ ප්‍රවාහන ක්‍රියාවලිය යන මේ සියලුම ක්‍රියාවලින් හැකි තරම් පරිසර හිතකාමි ලෙසින් පවත්වා ගැනීමෙන් අන්තර් ජාතික වෙ​ෙළඳාම මගින් පරිසරයට සිදුවන හානිය අවම කිරීමට කටයුතු කිරීම.

රටට හිතකර නව වෙළෙද ගිවිසුම් සඳහා යොමුවිම - දැනට ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවී ඇති විවිධ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට අමතරව රටට හිතකර වූ නව වෙළෙඳ ගිවිසුම් වෙනත් රටවල් සහ කලාප සමග එළැඹීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් විදේශීය වෙළෙදාම තවදුරටත් පුළුල් කල යුතුය.

දේශීය නිෂ්පාදන සහ දේශීය කර්මාන්ත විදේශීය තරගයෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම- විදේශ රටවල මහාපරිමාණ කර්මාන්ත නවීන තාක්ෂණය භාවිතයෙන් සහ අඩු පිරිවැයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සමග දේශීය වෙළෙදපොළේ තරග කිරීම අප රටේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අපහසුය. සාමාන්‍යයෙන් විදේශීය වෙළෙදාමට යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස දේශීය කර්මාන්ත සහ දේශීය නිෂ්පාදනවලට දැඩි තරගයක් ඍණාත්මක බලපෑම් එල්ල වීම සාමාන්‍ය තත්ත්වකි. එවන් ඍණාත්මක බලපෑම් අවම කිරීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා හිතකර වන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සිදුකළ යුතුවේ.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා ආනයනය අවම කිරීම- වර්තමානයේ අප රටේ පවතින ආනයන ව්‍යුහය දෙස බලන විට පැහැදිලිවන කරුණක් වන්නේ දේශියව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ විශාල ගණනක් ආනයනය කරන බවයි. එසේම රටට අත්‍යවශ්‍ය නොවන සමහර භාණ්ඩ හා සේවා ද රට තුළට නිදහස් වෙළෙදාමේ ප්‍රතිඵලයක් ලෙස ආනයනය කරණු දැකිය හැකි අතර එවන් අනවශ්‍ය ආනයන නවතා දැමීමට අවශ්‍ය කඩිනම් පියවර ගතයුතු වේ.

අන්තර්ජාතික වෙළදාම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම- රජයේ සහ අදාළ පාර්ශවවල මැදිහත්වීමෙන් ජාත්‍යන්තර

වෙ​ෙළදාම පුළුල් කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් සිදුකළ යුතුය. එහිදි බදු සහ වෙනත් සහන ලබාදීම, දැනට පවතින සමහර දැඩි නීතිරීති අවශ්‍ය පරිදි ලිහිල් කිරීම සහ පසුවිපරම, දේශිය භාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම සදහා විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. විදේශීය ආයෝජන පුළුල් කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීම- මෙහිදී අයෝජකයන්ට අවශ්‍ය යම් යම් සහන, නීතිරීති ලිහිල් කිරීම් සහ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය සුදුසු ඉඩම් සහ වෙනත් පහසුකම් ලබාදීම ආදිය වැදගත් වේ.

විදේශ වෙ​ෙළදාමේදී රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකම එකමුතුව වැඩකිරීම- සමහර ආයෝජන තනිව පෞද්ගලික අංශයට පමණක් සිදුකිරීම අපහසු වන විට ඒ සඳහා රජය පෞද්ගලික යන අංශ දෙකම එකට එක්ව කටයුතු කිරීම වඩාත් උචිත වේ.

නුපුහුණු ශ්‍රමය වෙනුවට පුහුණු ශ්‍රමය අපනයනය- තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මැදිහත්වීම මත සෑම විදේශ ශ්‍රමික සඳහා මනා පුහුණුවක්, නිපුණතාවක් සහ ලොව පිළිගන්නා සහතිකයක් සමග විදේශ සේවානියුක්තියට යොමු කිරීමෙන් රටට ඉහළ විදේශ විනිමයක් ලබාගැනීමට හැකියාව උදාවනු ඇත.

(***)



අදහස් (0)

විදෙස් වෙළෙඳාමේ ප්‍රවර්ධනයට උපාය උපක්‍රම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 118 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1058 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site