IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


වතු කම්කරු ප්‍රශ්නය විසඳීමට දෙපැත්තම නම්‍යශීලී විය යුතු


වතු කම්කරු වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට කෙරුණු යෝජනාව තේ සහ රබර් සඳහා වන පඩි පාලක සභාවේ වැඩි ඡන්දයෙන් අනුමත වී තිබේ. මේ තොරතුරු හෙළිකරන මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ තේ සහ රබර් කර්මාන්ත පිළිබඳ පඩි පාලක සභා දෙක කම්කරු මහලේකම් කාර්යාලයේදී වෙන වෙනම රැස්වූ අවස්ථාවේ වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට ඡන්ද විමසීමක් සිදු වූ බවත් එහිදී පඩි පාලක සභා දෙකම විසින් වැඩි ඡන්දයකින් යෝජනාව සම්මත කළ බවත්ය. ඒ අනුව වතු කම්කරුවකුගේ දිනක මූලික වැටුප රුපියල් 900 දක්වා ඉහළ යනු ඇති අතර ඊට එකතු කෙරෙන රුපියල් 100ක අමතර දීමනාව සමඟ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවෙයි.

වතු කම්කරුවන්ගේ වැටුප 1000 දක්වා වැඩි කළ යුතු බවට වන යෝජනාවට සෑහෙන ඉතිහාසයක් තිබේ. මේ ඉතිහාසය තුළ මෙතෙක් වැටුප් වැඩි කිරීම් සිදුව තිබුණේ හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර ඇතිකර ගන්නා සාමූහික ගිවිසුමකිනි.  එහෙත් මෙවර එම ගිවිසුමට අනුව වැටුප් වැඩි නොකිරීම පැහැදිලි වෙනසකි.

වෙනත් වෘත්තීන්වලට වඩා වතු කම්කරු වැටුප පිළිබඳ කැපීපෙනෙන වෙනසක් ද ඇත. සෙසු වෘත්තීන් වැටුප වශයෙන් සඳහන් කරන විට එයින් අදහස් කෙරෙන්නේ මාසික වැටුපයි. එහෙත් වතු කම්කරුවන්ගේ වැටුප වශයෙන් සඳහන් කෙරෙන්නේ දිනක වැටුප මිස මාසික වැටුප නොවේ. වතු කම්කරුවන්ගේ ජීවන අරගලය කොතරම් කටුක, අමිහිරි, අභාග්‍ය සම්පන්න වූවක්ද යන්න විස්තර කිරීමට වෙනත් වචන අවශ්‍ය නැත. මේ නිසා බැලූ බැල්මටම රුපියල් 1000ක් දක්වා ඔවුන්ගේ වැටුප වැඩිකර දීමට හැකිවීම ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකිය. එය වතු කම්කරුවන් අද ගෙවන දුෂ්කර ජීවිතයට යම් තරමක හෝ සහනයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

එය එසේ වුවද මේ වැඩි කළ වැටුප ගෙවන්නේ රජයෙන් නොවේ. වතු කම්කරු වැටුප් ගෙවීම වැවිලි සමාගම්වලට අයිති කටයුත්තකි. වතු ක්ෂේත්‍රයේ හාම්පුතුන් නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 900ක් දක්වා වැඩි කිරීමේදී වසරකට රුපියල් බිලියන 10ක අමතර වැයක් දැරීමට තමන්ට සිදුවන බවය. එය වැවිලිකරුවන් දැඩි දුෂ්කර තත්ත්වයකට ඇද දමන තත්ත්වයක් බවත් මේ ක්‍රමවේදයට අනුව වතු පවත්වාගෙන යාමට නොහැකි වන තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති. තමන් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද සංගමය කියා තිබිණි.

මෙයින් පැහැදිලි වන්නේ වතු කම්කරු වැටුප රුපියල් 1000ක් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වීම තවමත් තහවුරු වී නැති බවකි. කම්කරුවන් විඳින දුක් ගැහැට මෙන්ම වතු සංගම් මත පැටවෙන අතිරේක වැය බර පිළිබඳව ද එක සේ සලකා බැලීමකින් තොරව මේ ගැටලුවට ස්ථිර විසඳුමක් නැත. සැබෑ ජීවන අරගලයක අසරණ වින්දිතයන් බවට පත්ව සිටින වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් විය යුතු බවට විවාදයක් නැති වුවද එය කළ යුත්තේ වතු සමාගම් මරාගෙන නොවන බවද අවබෝධ කර ගත යුතුව තිබේ. වතු කම්කරුවන්ට වැටුප් ගෙවීමට නම් වතු සමාගම් ලාභදායී ලෙස පවත්වාගෙන යාමේ හැකියාව තිබිය යුතුය. දිගටම පාඩු විඳීමේ අවසන් ප්‍රතිඵලය වැටුප වැඩිවීම කෙසේ වෙතත් රැකියාව පවා අහිමි වී යාම විය හැකිය. මේ බව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ පෙරමුණ ගත් සියලු වෘත්තීය සමිති නායකයන් විසින් තරයේ සිතට ගත යුතු කාරණාවකි.

වැටුප් ප්‍රශ්නය විසඳා ගැනීමට නම් වතු කම්කරුවන් වෙතද මහත් වගකීමක් පැවරෙන බව සඳහන් කරනු කැමැත්තෙමු. කොතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ වුවද තමන් සේවය කරන වතුවල ආදායම තවදුරටත් වර්ධනය කිරීම සඳහා කැපවීමෙන් සේවය කළ යුතු බව ඔවුන් ද වටහා ගත යුතුය. තමන්ට වතු සමාගම් මගින් ලබාදෙන ඉලක්ක සපුරාදීම ඔවුන්ගේ වගකීම වෙයි. කම්මැලිකමට ඔහේ කරන්නන් වාලේ සේවය කර දවස අවසානයේ රුපියල් 1000ක් උපයා ගැනීමේ චේතනාවට තවදුරටත් ඉඩක් නැත.

වැවිලි සමාගම් ද කම්කරුවන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ලෙස කටයුතු කිරීමද අවශ්‍ය වෙයි. හැමදාම කැත්තට පොල්ල මෙන් වෘත්තීය සමිති ඉල්ලීම්වලට එරෙහි වනවාට වඩා කම්කරුවන්ගෙන් උපරිම ඵලදායීතාවක් ලබාගැනීම සඳහා අලුත් ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කිරීම අවශ්‍යය. වැවිලි සමාගම් මගින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන බව සත්‍යයක් වුවද එම ආදායම ලබාගැනීම සඳහා වැවිලි සමාගම් පාලකයන් පමණක් නොව වතු කම්කරුවන්ගේ දායකත්වය ද අවශ්‍ය බව වැවිලි සමාගම් තේරුම් ගත යුතුය. වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමට නම් මේ දෙපිරිසේම තෘප්තිමත් භාවය රැකෙන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබේ.

(***)



අදහස් (1)

වතු කම්කරු ප්‍රශ්නය විසඳීමට දෙපැත්තම නම්‍යශීලී විය යුතු

එරා Saturday, 13 February 2021 12:29 PM

මම කුඩා වතු හිමියෙක්. පඩි පාලක සභාව අනුමත වැටුප අනුව EPF, ETF සමඟ රු 1140 පමණ,ගෙවි යුතුය. Gratuity සඳහා දිනකට වියදම රු 40 ක් වත් වෙයි. එතකොට වියදම 1200 කරා යයි. රබර් දැන් 350/- විතරයි. කිලෝ 6 ක් ගෙනෙන කැපුම්කරුවෙකුගෙන් ආදායම 2100ක් පමණයි. එවිට දළ ලාභය රු 900 කි. පොහොර එළිකිරීම්වලට, කංකානි පඩි වැය කළ විට මෙය රු 500 ට වඩා බහී. රබර් රුපියල් 280/-ට බැස්ස විට විට ලාභයක් නැත. තවත් අඩු වුවහොත් රබර් කැපීම නැවැත්විය යුතුයි. එවිට කම්කරුවන්ට වැඩ නැතිවෙයි. කම්කර ප්‍රශ්න ගොඩ ගැහෙයි. එකම ප්‍රතිකර්මය පඩි පාලක සභා වැඩ ප්‍රමාණය, පැය ප්‍රමාණය නිර්ණය කිරීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site