IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


විජයාලෝකයෙන් ආලෝකවත් වන තන්තිරිමලේ

තන්තිරිමලේ පුදබිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම 21 වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ මේ මස 21, 22 සහ 23 යන දිනවලදී   පැවැත්වේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිට අග භාගය දක්වා විහිදෙන පෞරාණික උරුමයකට හිමිකම් කියන තන්තිරිමලය, සඟමිත් මහරහත් තෙරණින්ගේ පා පහස ලත්, සිරිමා බෝ සමිඳු එක් රැයක් වඩා හිඳුවාලූ ඓතිහාසික පුද බිමකි.

ප‍්‍රාග් ඓතිහාසික සිතුවම්, මහ රහතන් වහන්සේ පරිහරණය කළ ස්වාභාවිකව නිර්මාණය වූ විශාල ජල පොකුණු, සෙල් පිළිම, ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක රැසකින්  සමන්විත අක්කර දෙසිය පනහක මහා කළු ගල් තලාව පුරා විහිදෙන තන්තිරිමලේ පුද බිම ශ්‍රී ලාංකේය ජනතාවගේ ජාතික උරුමයකි. මහ කළු ගල් තලාව මුදුනේ විස්මිත ලෙස වැඩ හිඳින අෂ්ඨමහාඵල බෝධීන් වහන්සේ පුද බිමේ ආගමික වැදගත්කම මැනවින් කියා පායි. කළු ගලක් මුදුනේ මහ නියං සමයේදී පවා කිසිදු උපද්‍රවයකින් තොරව අෂ්ඨඵල බෝධීන්වහන්සේ වැඩ හිඳීම ආශ්චර්යයක් බව බොහෝ අය පවසති. එපමණක් නොව තන්තිරිමලේ පුද බිම අලංකාරවත් කෙරෙන මහ කළු ගල් තලාව ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයකි.

රිටිගල කන්දෙන් ආරම්භ වන කදම්භ නදිය හෙවත් මල්වතුඔය අනුරාධපුර නගරය මැදින් කනදරාඔය හමුවන තෙක් උතුරු දිසාගතව ගලා බැස, ඉන් අනතුරුව වයඹ දිසා ගතව ගලා බැසීම නිසා නිර්මාණය වී තිබෙන තැනිතලා භූමියේ උස් ගල් තලාව මධ්‍යයේ ඓතිහාසික තන්තිරිමලේ පුදබිම පිහිටා තිබේ. ඉන් ඔබ්බට බටහිර දෙසින් ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි.

ඓතිහාසික තොරතුරු අනුව සිරිමා බෝ සමිඳුන් දඹදිව සිට ලක්දිවට වැඩම කරවූ දෙවැනි පෑතිස් රජුගේ පාලන සමයේ තන්තිරිමලය හඳුන්වනු ලැබ ඇත්තේ ‘‘තිවක්ක බමුණුගම’’ ලෙසිනි, සඟමිත් මහරත් තෙරණිය දඹදිව සිට ජය සිරි මහා බෝ අංකුරය වැඩමවා ගෙන ලක්දිවට පැමිණි ඓතිහාසික ගමනේ දී දඹකොළ පටුනෙන් නැවෙන් ගොඩ බැස, පෙරහරින් උත්සවශ්‍රීයෙන් අනුරාධපුරයට පැමිණෙද්දී තන්තිරිමලේ පුද බිම පිහිටි සුවිශාල ගල් තලාව මත නැවතී රැයක් පහන් කළ බව එම ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

එම අවදියේ වර්තමානයේ තන්තිරිමලේ ලෙස හඳුන්වන මේ ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ දෙවැනි පෑතිස් රජුගේ හිතෛෂිවන්තයකු වූ තිවක්ක නම් බුමුණු තෙමේ විසිනි. එබැවින් එදා එම ප‍්‍රදේශය තිවක්ක බමුණුගම ලෙස හැඳින්විණි. තන්තිරිමලේ මහ ගල් තලාව මත රෝපණය කර තිබෙන අෂ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ පිළිබඳව ජනප‍්‍රවාදයේ පවතින්නේ මෙවැනි කතාවකි.

‘‘සඟමිත් මහ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගෙන ආ ජය සිරි මහාබෝ අංකුරය අනුරාධපුරවරයේ මහමෙව්නා උයනේ උඩ මළුවේ දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් රෝපණය කරවන ලද අවස්ථාවේ ආශ්චර්යයක් ලෙසින් සිරිමා බෝ සමිඳුන්ගෙන් අංකුර අටක් පැන නැගී තිබිණ. ඉන් එක් බෝ අංකුරයක් දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් තම හිතෛෂිවන්ත තිවක්ක බමුණු තෙමේට ප‍්‍රදානය කර තිබිණ. ඒ, සිරිමා බෝ සමිඳුන්වහන්සේ දඹකොළ පටුනේ සිට වැඩමවා ගෙන අනුරාධපුරවරයට පෙරහරින් එන ගමනේ දී සඟමිත් මහරහත් තෙරණිය සහ සහපිරිවරත්, දෙවැනි පෑතිස් රජතුමන් ඇතුළු පිරිසත් තිවක්ක බමුණුගම දී මහත් හරසරින් පිළිගෙන මහ ගල් තලාව මත රැයක් පහන් කිරීමට පහසුකම් සලසා දී දැක්වූ ගරු සැලකිලි වෙනුවෙන් තිවක්ක බමුණු තෙමේට කෘතවේදීත්වය පළ කිරීම උදෙසායි.

බමුණු තෙමේ ද රජුගෙන් තමන්ට ලැබුණු බෝ අංකුරය මහත් හරසරින් පිළිගෙන පෙරහරින් තිවක්ක බමුණුගමට වැඩම කරවා කලින් අවස්ථාවේ සිරිමා බෝධීන් වහන්සේ රැයක් පහන් වන තුරු වැඩ සිටුවා තැබූ ගල් තලාව මත්තෙහිම බෝධි ප‍්‍රාකාරයක් තනවා එතැන රෝපණය කරන ලදී. අදත් ඇත්තේ එදා ඒ රෝපණය කෙරුණු අෂ්ඨ මහාඵල බෝධීන් වහන්සේ බවට ජනතාව අතර විශ්වාසයක් පවතී.”

තන්තිරිමලය පුද බිමක් බවට පත් වන්නේ ඉන් අනතුරුව බවත් මහ රහතන් වහන්සේ මේ පින් බිමේ භාවනානුයෝගීව වැඩ විසූ බවත් ඉතිහාසයේ සඳහන් වන අතර, අදත් මේ පින්බිමේ දක්නට ඉතිරිව තිබෙන නටබුන් ඊට සාක්ෂි දරයි.

අෂ්ඨමහා පල බෝධීන් වහන්සේ වැඩ වසන මහ ගල් තලාවේ නැගෙනහිර බෑවුමේ නටබුන්ව තිබෙන පධානඝර භාවනායෝගී මහරහතන් වහන්සේ මේ පින්බිමේ වැඩ විසූ බව සනාථ වන හොඳම සාක්ෂියයි. උන්වහන්සේ පරිහරණය කළ කළු ගලින් නිමැවූ පොත් ගුල, ස්නානය කළ නෙළුම් මලින් පිරුණු ජල පොකුණ අදත් මේ පින්බිමේ දී දැකගත හැක.

බෝධීන් වහන්සේ වැඩ වසන ගල් තලාවට පහළින් ඒ ආසන්නයේ දකුණු පැත්තෙහි ගල් කුලෙහි නෙළා තිබෙන සමාධි පිළිමය අඩි අටක පමණ උසින් යුක්තය. පිහිටි කළු ගල හාරා මතු කොට සැකසූ මෙය උන්නත නිර්මාණයකි.

සමාධි පිළිමය දෙපසින් වාමනධාරී දෙවිවරුන් නිරූපණය කර තිබේ. පිළිමයේ පසුපසින් අපූරු මකර තොරණක් නිර්මාණය කර ඇත්තේ එහි බර උසුලන ආකාරය දැක්වෙන සිංහ රූප දෙකක් ද සමගිනි. මෙම සමාධි පිළිමය අව්වෙන්, වැස්සෙන්, සුළගින් ආරක්ෂා කිරීම සඳහා පියස්සක් ඉදි කර තිබූ බවත් පෙනෙන්ට තිබේ. එහි සුවිශාල දොරටුවෙහි උළුවහු හා කුළුණු නිමවා ඇත්තේ කළු ගලෙනි. බොරදම් කැටයම්වලින් එම උළුවහු හා කුළුණු අලංකාරවත් කර තිබේ.

අෂ්ඨ මහාඵල බෝධීන්වහන්සේ වැඩ වසන මහ ගල් තලාවෙහි උතුරු බෑවුමේ පිහිටි කළු ගලෙන් මතු කර නෙළා තිබෙන අඩි 45ක් දිගින් යුතු සැතපෙන පිළිමය අනුරාධපුර යුගයේ විසූ අපේ පුරාණ ගල් කැටයම්කරුවන්ගේ කුසලතාවන් පිළිබිඹු කෙරෙන අපූරු නිර්මාණයකි.

මීට සියවස් දෙකකට පෙර නිධන් හොරුන් විසින් විනාශ කර තිබූ මෙම සැතපෙන පිළිමයේ ශීර්ෂය ඇතුළු කොටස් පුරාවිද්‍යාඥයින්ගේ උපදෙස් මත  මීට පෙර සංරක්ෂණය කෙරිණි.

මහ ගල් තලාව මත කිරි බුබුළක් සේ දිස්වෙන මනරම් චෛත්‍යය ඉදි කර ඇත්තේ පුරාණයේ චෛත්‍ය ඉදි කර තිබුණු ස්ථානයේම බව පැවසේ. ඊට අමතරව මෑත භාගයේ ඉදි කෙරුණු විහාර මන්දිරයෙන් ද මෙම පින්බිමේ අලංකාරය තව තවත් වැඩි වෙයි.

ඓතිහාසික තන්තිරිමලය පුදබිමට වරක් පැමිණි අයෙක් තවත් වරක් හෝ පැමිණෙන්නේ මේ පින්බිම ආගමික අතින් මෙන්ම ඓතිහාසික අතින් ද පාරිසරික අතින් ද ඉතා වැදගත් බැවිනි.

මෙවර පොසොන් උත්සවය සම්බන්ධයෙන් තන්තිරිමලේ  චන්දරතන නා හිමියෝ මෙසේ පැවසූහ.

‘‘තන්තිරිමලේ වන්දනාවේ පැමිණෙන සහ සිල් සමාදන් වන සියලු‍ම දෙනාට අවශ්‍ය කරන පොදු පහසුකම් මේ වන විට  සූදානම් කර අවසන්. දන්සල්, පානීය ජලය, වැසිකිළි කැසිකිළි පහසුකම්  නවාතැන්, රථගාල්  සහ සෞඛ්‍ය පහසුකම් ඒවාට අයත් වෙනවා.

‘‘මෙවරත්  විජය පුවත්පත් සමාගම මඟින් අඛණ්ඩව පවත්වනු ලබන ආලෝක පූජාව 21 වැනි වතාවට මෙවරත්  සිදු කෙරෙනවා,  පුර පසළොස්වක පොසොන් පොහොය දින උදෑසන සිට රාත්‍රිය දක්වා පෝය වැඩ සටහන්  රැසක් එකිනෙකට පෙළ ගස්වා තිබෙනවා. අට සිල් සමාදන් වීම, භාවනා වැඩ සටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සුපුරුදු පරිදි සංවිධානය කර තිබෙනවා.’’

‘‘දහම් හමුවට සමගාමීව  දහම් පාසල් ළමයින්ට  නිළ ඇඳුම් බෙදා දීම සුපුරුදු විදියට සිද්ධ කෙරෙනවා. පහන් කූඩු  සංදර්ශනයක් සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා  දහම් පාසල් ළමයින්  එකතු වෙලා පහන් කූඩු ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම කූඩු සඳහා වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීමත් සිදු කරනවා. සිවිල් ආරක්ෂක බළකාය මගින් ජාතික මට්ටමෙන් ඉදිරිපත් කර වෙසක් පහන් කූඩු හතරක් ප්‍රදර්ශනය කෙරෙනවා ඒ සඳහා වැලිඔය, වවුනියාව සහ විල්පත්තුව කලාපයේ ආරක්ෂක බළකා කඳවුරුවල සහායෙන් සිදු කෙරෙනවා.’’

‘‘ඒ වගේම සිලෝන් බිස්කට් සමාගම මගින් බත් දන්සලක් බිස්කට් දන්සලක් පවත්වනු ලබනවා, ගම්පහ බත් දන්සල සහ කුරක්කන් හේනේ ගෙදර  හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් බත් දන්සලක් 42 වැනි වතාවටත්  මෙම පුදබිමේ පැවැත්වෙනවා. ඊට අමතරව තන්තිරිමලේ විමලඥාන  විද්‍යාලය, බිල්ලෑව මහා විදුහල පේමඩුව සාලිය මාලා විද්‍යාලය සිසු දරු දැරියන්ගේ දායකත්වයෙන් ඔසුසැල් දන්සල් පැවැත්වෙනවා, සඳ මල් එළිය පන්සලෙත් දන්සලක් පැවැත්වෙනවා, ම.නූ.ප ප්‍රාදේශීය සභාව මගින් ජනතාවගේ සනිපාරක්ෂක කටයුතු සඳහා කැසිකිළි වැසිකිළි පහසුකම් පානිය ජලය සපයනු  ලබනවා. විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා යුද හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ස්ථානයේ වැඩ කටයුතු සඳහා නොමඳ සහයෝගයක් ලබාදෙනවා’’

‘‘මේ සියලුම දෙනා හා ආයතන එක්ව මෙවරත් පොසොන් ආලෝක පූජාව සඳහා අප සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා.’’ 

(***)
සටහන හා ඡායාරූප
අනුරාධපුර විශේෂ 
බී.ජී. චතුරංග



අදහස් (0)

විජයාලෝකයෙන් ආලෝකවත් වන තන්තිරිමලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1901 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1519 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site