වසරේ තුන්වැනි කාර්තුව අවසන් වනවිට බදු අය කිරීම සම්බන්ධයෙන් වාර්තාගත තත්වයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවලින් හෙළිවේ.
මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ, පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී බදු ආදායම සියයට 32.5 කින් ඉහළ ගොස් තිබේ. එයට මූලිකවම හේතුවී ඇත්තේ ආනයන සඳහා ඉහළ වැට් බදු අය කිරීමත්, සුරාබදු ආදායම ඉහළ යෑමත්, රේගු බදු ආදායම ඉහළ යෑමත්ය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස අවසන් වනවිට මුළු බදු ආදායම රුපියල් බිලියන 3,563 දක්වා ඉහළ ගොස් තිබේ.
මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව රටේ ප්‍රධාන බදු එකතු කිරීමේ ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව එකතුව මේ වසරේ තුන්වැනි කාර්තුව අවසානයේ දී 2025 වසර සඳහා වූ බදු ඉලක්කයෙන් සියයට 78ක ප්‍රමාණයක් සම්පූර්ණ කරගෙන තිබේ. ආනයනවලින් අය කරන වැට් බදු ප්‍රමාණය එම කාලයේ දී රුපියල් බිලියන 605 ක් වූ අතර එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 42ක වැඩිවීමකි. සුරාබදු ආදායම රුපියල් බිලියන 552ක් වූ අතර එය සියයට 94ක වැඩිවීමකි. මුළු වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,239ක් වන අතර එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 31ක වැඩිවීමකි.
2025 නොවැම්බර් 17 වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුළු බදු ආදායම රුපියල් බිලියන 2002ක් වන අතර එය දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඉහළම බදු ආදායම ලෙස වාර්තා ගත වන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. මෙය 2024 වර්ෂය හා සසඳන විට රුපියල් මිලියන 60,079කින් බදු ආදායම ඉහළ යෑමකි. 2024 වසරේ දී එම දෙපාර්තමේන්තුව අය කර ගත් මුළු බදු ආදායම රුපියල් බිලියන 1942කි. එසේ වුව ද 2025 වසරේ නොවැම්බර් 17 වැනිදා වනවිට රුපියල් බිලියන 2002 දක්වා වූ බදු ආදායමක් එකතු කරගෙන තිබේ. ඉහත තොරතුරුවලින් පැහැදිලි වන්නේ රජයට බදු එකතු කර ගැනීම සම්බන්ධයෙන් ඉහළම ප්‍රගතියක් අත් කර ගැනීමට හැකිවී ඇති බවයි.
2025 වසරේ දී රජය බලාපොරොත්තු වූයේ රුපියල් ට්‍රිලියන 4.59ක බදු ආදායමක් ලබා ගැනීමටය. එසේ වුව ද බදු ලබා ගැනීම සම්බන්ධයෙන් රජය අත් කරගෙන ඇති ප්‍රගතිය හේතුවෙන් එම ඉලක්කය රුපියල් ට්‍රිලියන 4.72 දක්වා ඉහළ දමා ඇත. 2025 මාර්තු මාසයේ දී රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතය හා සැසඳීමේ දී සියයට 11.9ක් විය. එය 2025 ජුලි මාසයේ දී සියයට 15.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ද මේ දක්වා ළඟා කර ගෙන ඇති ඉහළම මට්ටම වේ. මේ ආකාරයට වාර්තා ගත අන්දමින් බදු ආදායම ඉහළ නංවා ගැනීමට හැකිව ඇත්තේ 2023 වසරේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවලට අනුව බදු ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකිවීමෙනි.
2023 වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගන්නා ලද විස්තීර්ණ ණය ගිවිසුම අනුව රටේ බදු ප්‍රතිපත්ති, බදු අනුපාත සහ බදු අය කර ගන්නා ක්‍රම සංශෝධනය කිරීමට රජය එකඟ විය. 2022 වසරේ ගිවිසුම් පූර්ව එකඟතා සහ 2023 වසරේ දී පශ්චාත් ගිවිසුම් කොන්දේසි ඉටු කිරීමක් ලෙස බදු සංශෝධන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ඒවා ක්‍රියාත්මක කරනු ලැබීය. 2024 වසරේ නොවැම්බර් මහ මැතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන ලද නමුදු බදු ක්‍රමයේ සැලකිය යුතු මට්ටමක සංශෝධනයක් සිදුවූයේ නැත. පෞද්ගලික ආදායම් බදු ගෙවිය යුතු පළමු මට්ටම ඉහළ දැමීම හැර වෙනත් කිසිදු සංශෝධනයක් බදු ක්‍රමය හෝ අය කිරීම පිළිබඳව හඳුන්වා දී නැත. එසේ තිබියදී බදු ආදායම මේ ආකාරයට වාර්තාගත අන්දමින් ඉහළ නංවා ගැනීමට හැකිවී ඇත්තේ වැට් බදු ආදායම ඉහළ යෑමත්, මෝටර් රථ ආනයන හේතුවෙන් ඒවායෙන් විශාල බදු ප්‍රමාණයක් අය කර ගැනීමට හැකිවීමත්, අයිඑම්එෆ් විසින් යෝජනා කරන ලද බදු ප්‍රතිසංස්කරණ සියල්ලම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමත් නිසාය.
පසුගිය කාලය තුළ දී රජයේ බදු එකතු කරන ආයතනවල කටයුතු පරිගණක ගත කිරීම පිළිබඳව විවිධාකාරයේ දුර්වලතා පැවැති ආකාරය හඳුනා ගැනීමට හැකිවිය. කෝප් කමිටුව හමුවේ කරන ලද විමසීම්වල දී ප්‍රකාශ වූයේ පරිගණක ක්‍රම හඳුන්වා දෙන ලද නමුදු පුහුණුව සහ පිරිස් බල හිඟය වැනි හේතු නිසා නව පද්ධති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීම ප්‍රමාදවී ඇති බවය. එසේ වුව ද 2024 වසරේ දී පරිගණක ක්‍රමවේද සැලකිය යුතු ඉහළ මට්ටමකින් බදු එකතු කිරීම සහ ගණනය කිරීම වැනි ක්‍රියාවලි සඳහා වැඩි වැඩියෙන් යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට බදු ගෙවන්නන්ගේ ආදායම් වාර්තා ආදිය පරිගණක ක්‍රම මගින් ලබා ගැනීමට හැකිවී තිබේ. උදාහරණයක් ලෙස බදු ගෙවන අයගේ වැටුප් ඇතුළු ආදායම් තොරතුරු බොහොමයක් ස්වයංක්‍රීයව වාර්තා කිරීමට හැකි තත්වයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් දැන් ඇති කරගෙන තිබේ. මේ වසරේ රටේ මුළු බදු ආදායම ඉහළයෑම කෙරෙහි මේ ආකාරයට නව තාක්ෂණ ක්‍රම භාවිතයට බොහෝ දුරට හේතුවී ඇති බව පෙනී යයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බදු පරිපාලනය සම්බන්ධයෙන් ඇති කරනු ලැබිය යුතු බවට නිර්දේශ කර ඇති වෙනස්කම් තවමත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නැත. බදු ආදායම උපයා ගන්නා ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ බදු ආදායම වැඩිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් බලපා ඇති බවයි. ඉන් එක් හේතුවක් වන්නේ ඉහත සඳහන් සංඛ්‍යා ලේඛනවල දැක්වෙන පරිදි අය කර ගන්නා ලද වැට් බදු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමකට පත්වීමයි. අනෙක් හේතුව වන්නේ මෝටර් රථ ආනයනයට ඉඩ දීමෙන් වැඩි බදු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීමයි.
නියමිත ඉලක්කවලට අනුකූලව බදු අය කර ගැනීමට හැකිවීමෙන් සාර්ව ආර්ථික කළමනාකරණය ඉතා හොඳ මට්ටමකින් පවත්වාගෙන යෑම සඳහා අවස්ථාව සැලසේ. නියමිත පරිදි අයවැය හිඟය ඉලක්කගත මට්ටමකින් පවත්වා ගැනීමට ඉඩ ලැබෙන අතර ආදායම් ඉලක්ක සම්පූර්ණ නොවන විට හිඟ ප්‍රමාණය ණය මගින් පියවා ගැනීමට සිදුවීම ද වැළකේ. ශ්‍රී ලංකාවේ බදු ආදායම සම්බන්ධයෙන් මේ දක්වා එල්ල වූ ප්‍රධාන විවේචනයක් වූයේ දළ දේශීය නිෂ්පාදනය හා සසඳන විට බදු අනුපාතය දිගින් දිගටම අඩුවී තිබීමයි. අයිඑම්එෆ් සමග ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව සියයට 15 ඉක්මවා යන අනුපාතයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවේ. මේ වනවිට එම ඉලක්කයට ළඟාවී තිබීම සතුටුදායක තත්වයක් බව පෙන්වා දිය යුතුව ඇත.
බදු ආදායම එකතු කර ගැනීම පිළිබඳ ව්‍යුහාත්මක තත්වය සලකා බලන විට වඩාත් දියුණු බදු එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් වෙත අවතීර්ණය වීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැත. මූල්‍ය කටයුතු බොහොමයක් බැංකු හා මුල්‍ය ආයතන හරහා සිදුවන බැවින් සහ ගනුදෙනු බොහොමයක් ගෙවීම් පද්ධති හරහා සිදුවන බැවින් ද මේ වනවිට පුද්ගලයන්ගේ සහ ආයතනවල බදු ආදායම සැඟවිය නොහැකි තත්වයක් ඇතිව තිබේ. ඒ සියල්ල වාර්තාගත වන බැවින් බදු අය කර ගැනීම පහසුවී තිබේ. එසේ වුව ද තවමත් බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවන ආකාරයෙන් බදු පදනම (TAX BASE) වර්ධනය වී නැත. ඒ අතරම බදු පැහැර හැරීම් ද, බදු වංචා ද තවදුරටත් සිදුවන බව රහසක් නොවේ. එවැනි තත්වයක් තුළ බදු පදනම වර්ධනය කර ගැනීම, බදු පැහැර හැරීම් සහ බදු වංචා මර්දනය කිරීමට කටයුතු කිරීම සහ බදු පරිපාලනය ශක්තිමත් කර ගැනීමෙන් විධිමත් ලෙස බදු ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාවක් ලැබේ.
දළ දේශීය ආදායමෙන් සියයට 9ක් වැනි මට්ටමකට පත්ව තිබූ බදු අනුපාතය සියයට 15 දක්වා වැඩිකර ගැනීමෙන් පැහැදිලි වන කරුණ වන්නේ බදු අයකර ගැනීම පිළිබඳව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවී තිබෙන බවයි. එසේ වුව ද එකතු කරගත් බදුවලින් වැඩි ප්‍රමාණයක් වක්‍ර බදු වීමත්, තවමත් මුළු බදු ආදායමෙන් සෘජු බදු ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවත්නා බවත් අමතක කළයුතු නැත. වක්‍ර බදු ප්‍රමාණය මුළු බදු ආදායමෙන් සියයට 80ක් වැනි ඉහළ ප්‍රතිශතයක් අත්කර ගැනීමෙන් පැහැදිලි වන්නේ රටේ සියලුම ජන කොටස් මෙම බදු වැඩිවීම සඳහා තම ආදායමෙන් කිසියම් ප්‍රමාණයක් කැප කර ඇති බවයි. එය ඉහළ ආදායම් ලබන පිරිස්වලට මෙන්ම ‘අස්වැසුම’ ආධාර ලබන පිරිස්වලට ද, ආබාධිත සහ රෝගී තත්ව මත ආධාර ලබන අයට ද, මහමග ජීවත්වන යාචකයන්ට ද බලපවත්වයි. රටේ බදු ආදායම වැඩි වෙද්දී එහි වක්‍ර බදු අනුපාතය ඉහළ අගයක් ගනී නම් එහි ප්‍රතිඵලය වන්නේ ඉහළ ගොස් ඇති බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ රටේ අඩු ආදායම් ලබන සහ දිළිඳු පිරිස්වලින් බවයි.
කොවිඩ්වලින් පසු ඇතිවූ ආර්ථික අර්බුදයේ පීඩනයෙන් සම්පූර්ණයෙන් අත් මිඳීමට තවමත් රටේ බහුතරයක් පිරිස්වලට හැකිවී නැත. එවැනි තත්වයක් තුළ වක්‍ර බදු මගින් රටේ බදු ආදායම වැඩි කර ගැනීම යනු මහජනතාව වෙත එල්ල වන පීඩනය තවදුරටත් ඉහළ නැංවීමකි. බදු අයකර ගැනීම පිළිබඳව සාර්ථකත්වයක් අත්කර ගත හැක්කේ මහජනතාවට බරක් වන වක්‍ර බදුවලින් නොවේ. බදු ආදායමේ ඉහළ ප්‍රතිශතයක් සෘජු බදු මගින් ලබා ගැනීමට හැකි තත්වයක් අත්කර ගැනීමෙන් පමණක් බදු සම්බන්ධ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ප්‍රකාශ කිරීමට හැකිවේ. එම තත්වය ඇතිකර ගන්නා තුරු බදු ආදායම ඉහළ නැංවීම පිළිබඳව තබා ඇති නව වාර්තාවලින් ප්‍රකාශ වන්නේ දැනට පවතින බදු ක්‍රමයෙන් මහජනතාවට එල්ල වී ඇති පීඩනය ද ඉහළ ගොස් ඇති බවයි.
(***)

2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වක්‍ර බද්දේ නොපෙනෙන අර්බුදය