IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලෝක බලවතුන්ගේ රහස් ගිණුම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස්


ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන් බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණයක් සිදු විය. මේ අනාවරණය නම් කර ඇත්තේ ‘පැන්ඩෝරා පේපර්ස්’ (පැන්ඩෝරා පත්‍රිකා) යන නමිනි. ‍

‘පැන්ඩෝරා පේපර්ස්’ (පැන්ඩෝරා පත්‍රිකා) අනාවරණය පසුපස සිටින්නේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදු කිරීමට දායක වී සිටිති. ඒ වසර 7ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින් එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව පෙරේදා (3) පැන්ඩෝරා පෙපර්ස් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වාර්තා සහ ලිපිගොනු ගණන මිලියන 12 ඉක්මවයි. ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ලෝකයේ හිටපු සහ වත්මන් ප්‍රබල රාජ්‍ය නායකයන් 35 ක්, මහජන නිලධාරීන් 300 ක්, ධනවතුන්, කෝටිපතියන්, ක්‍රීඩා තරු, නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්, රාජකීයයන් බදු ගෙවීම් පැහැර හරිමින් සිදු කළ මුදල් එක් රැස් කිරීම්, දේපළ මිලදී ගැනීම් ඇතුළු අකටයුතුකම් රැසක් ‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා ලොවට අනාවරණය වී තිබේ.

මෙම අනාවරණය ‘පැන්ඩෝරා පේපර්ස්’ යනුවෙන් නම් කර ඇත්තේ ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් ‘පැන්ඩෝරා සහ ඇගේ පෙට්ටගම’ පිළිබඳ කතාව සිහිගන්වමිනි. ග්‍රීක මිථ්‍යා කතාවට අනුව, දෙවියන් මිනිසා ලොව බිහි කළ මුල් අවදියේ දී මිනිසුන්ට දැනෙන්න වූයේ සතුට පමණි. දුක කියා දෙයක් හෝ වේදනාව කියා දෙයක් හෝ තිබුණේ නැත. පැන්ඩෝරා උපන් වේලාවේ, දෙවිවරු සියලු‍ දෙනා පැමිණ ඇයට විවිධාකාරයේ තෑගි ලබා දුන්හ. නීරෝගිකම, සුන්දරත්වය ආදී ගැහැනු ළමයකුට අවශ්‍ය සියලු‍ දේ ඇය සතු විය. පැන්ඩෝරාට මහ දෙවිඳු සියුස් කුඩා රන් ආලේපිත ලී පෙට්ටගමක් තෑගි කර ඇත. මෙම පෙට්ටගම රන් නූලකින් හොඳින් ගැට ගසා තිබුණි.

සියුස් මහ දෙවියන්, පැන්ඩෝරාට කියා තිබුණේ මොනම හේතුවක් නිසාවත් පෙට්ටගම විවර නොකරන ලෙසය. වසා දැමුණු පෙට්ටගමකින් ඇති වැඩේ කුමක්දැයි කියමින් පැන්ඩෝරා මහ දෙවියන්ගේ කීමට පිටුපාමින් පෙට්ටගම විවර කරයි. දුක් දොම්නස්, රෝග බිය ආදී සියලු‍ නපුරු දේවල් පෙට්ටගමෙන් එළියට ආ අතර මනුෂ්‍ය වර්ගයා එදා පටන් ජීවිතයේ දුක විඳියි. ‘පැන්ඩෝරාගේ පෙට්ටගම’ යන්න භාවිතයට ගැනෙන්නේ රහස් අනාවරණයකදීය. ‘විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය’ ඔවුන්ගේ මෙම අනාවරණය හැඳින්වීමට භාවිත කර ඇත්තේ ‘පැන්ඩෝරා පේපර්ස්’ යන්නය.

‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා මූල්‍ය අකටයුතුකම්වලට සම්බන්ධ වූ බව අනාවරණය වූ රාජ්‍ය නායකයන් සහ ප්‍රබලයන් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුය. ඊට අමතරව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ශකීරා, ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි ඇතුළු තවත් බොහෝ දෙනෙක් වෙති.

දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක දේපළ රහසිගතව රැස් කර තිබේ. රජතුමා ව්‍යාජ සමාගම් මාර්ගයෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියාවේත්, වොෂින්ටන් අගනුවරත් යුරෝපා රටවලත් ඉඩම් මිලදී ගෙන තිබේ. අබ්දුල්ලා රජුගේ ක්‍රියාකලාපය මෙසේ අනාවරණය වෙද්දී ජෝර්දාන වැසියන් ඒ ගැන නොසතුට පළ කර ඇති බව අල් ජසීරා පුවත් සේවය ඊයේ (4) වාර්තා කළේය. කෙසේ නමුත් අබ්දුල්ලා රජතුමා නීති විරෝධී කටයුත්තක් කර නොමැති බව ඔහුගේ නීතිඥවරුන් පෙන්වා දීමට උත්සාහ ගෙන ඇතැයි ද වාර්තා වේ.

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් අයථා ලෙස මුදල් රැස් කළ බවක් ‘පැන්ඩෝරා පේපර්ස්’ හෙළි කර නැත. කෙසේ නමුත් ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ චෙරීගේ නම ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණයට ඇතුළත් වෙයි. දෙදෙනා පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ දොළොස්දහසක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව ‘පැන්ඩෝරා පේපර්ස්’ පෙන්වා දී තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය කරයි. මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් පවුම් මිලියන 12ක මුදලක් ගෙවා දකුණුදිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇත. ජනතා මුදල් කොල්ල කෑ බවට චෝදනා එල්ල වන අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලිවේස් සහ ඔහුගේ පවුලේ සාමාජිකන් පවුම් මිලියන 400 ක මුදල් යොදවා එක්සත් රාජධානියෙන් දේපොළ මිලදී ගැනීම් සිදු කර තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් පිළිබඳ විස්තර සහ ඩොලර් මිලියන ගණනක මුදල් රැස් කිරීම් පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධියට පත් වී ඇත. ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ශකීරා, ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් ද ‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා ලොවට අනාවරණය වී ඇත.

තව ද කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සහ පවුලේ සාමාජිකයන් සය දෙනකු සතුව රහසේ ක්‍රියාත්මක විදෙස් සමාගම් ජාලයක් ඇති බව අනාවරණය විය. එම ජාලයට සමාගම් 11 ක් අයත් බවත් ඒවායේ වත්කම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 30 ක් බවත් පැවැසෙයි.
 
සයිප්‍රසයේ ජනාධිපති නිකොස් ඇනෙස්ටාටියඩේස් ව්‍යාජ නම්වලින් විදෙස් සමාගම්වල මුදල් තැන්පත් කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී 2019 ජනාධිපතිවරණයෙන් ජයගත් සැණින් ඔහු සතු වත්කම් විදේශ බැංකුවල තැන්පත් කර තිබේ. හිටපු බැංකුකරුවකු ද වන එක්වදෝර් ජනාධිපති ගුයිලර්මෝ ලාසෝ පැනමා පදනමක් හරහා මාසිකව, බාරකාර අරමුදලකට මුදල් ලැබෙන්න සලස්වා ඇත.

පසුගිය කාලය පුරාම ලොව ප්‍රබලයන්ගේ ‘රහස්’ විවිධාකාරයෙන් ලොවට අනාවරණය සිදුවිය. ඊට ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් සම්බන්ධය. ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණයේදී, ‘වොෂින්ටන් පෝස්ට්’, ‘ද ගාඩියන්’ ආදී මාධ්‍ය ආයතන ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර එම මාධ්‍ය ආයතන උපුටා දක්වමින් ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක්ම මෙම අනාවරණ ප්‍රසිද්ධියට පත් කර ඇත.

තම රටේ කවුරුන් ගැන හෝ අනාවරණයක් සිදුවී තිබෙන්නේ නම්, එම රටේ මාධ්‍ය ආයතන ඊට වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙන අයුරු දකින්න ලැබේ. ගත වුණු සත් වසරක කාලය ඇතුළත මේ අයුරින් සිදුවුණු අනාවරණ වන්නේ ‘පැනමා පේපර්ස්’, ‘ලක්ස්ලීක්ස්’, ‘ෆින්චෙන්ෆයිල්ස්’ සහ ‘පැරඩයිස් පේපර්ස්’ බව බීබීසී පුවත් සේවය පවසයි.

බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් සහ බිරිඳ

 

රුසියන් ජනපති, අසර්බයිජාන් ජනාධිපති සහ අබ්දුල්ලා රජු

කෙන්යා ජනාධිපති කෙන්යාටා

(***)
ලු‍සිත ජයමාන්න
‘වොෂින්ටන් පෝස්ට්’ සහ
‘ද ගාර්ඩියන්’ ඇසුරිනි

 



අදහස් (2)

ලෝක බලවතුන්ගේ රහස් ගිණුම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස්

sena Wednesday, 06 October 2021 04:30 AM

ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් පමණක් නොව දුප්පත් ලංකාවේ මහජන මුදල් වංචාකල අය තීරු නිරු යුවළද ලොව කොපමණ ප්‍රබලයන් උවද ලොව සියලු සත්වයෝමෙන්ම ඔවුන් සියලු දෙනාම ජිවිතයෙන් සමුගන්නේ හිසතින් උවත් කල වරදට දඩුවම් ලැබිය යුතු නොවේද ?

:       0       0

Lalith premalal Wednesday, 06 October 2021 01:55 PM

මෙම ලිපිය ඉතාම වැදගත් ලිපියක්... නමුත් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව පැන්ඩෝරා හි සඳහන් කිසිවක් මෙහි අඩංගු නොවිම ගැටලුවකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site