IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලොක්කන්ගේ මැයි රැලි වර්ජනයක්

මැයි දින සමරුව පිළිබඳ උණුසුමද මේ වන විට පහව ගොස් තිබේ. එහෙත් මැයි දින වේදිකාවේ දේශපාලනඥයන් කී කතා පිළිබඳව වාද විවාද තවමත් අඩුවක් නැත. එක්සත් ජාතික පක්‍ෂ මැයි සමරුව  කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අවස්ථාවේ  ඇමැති සජිත් ප්‍රේමදාස කී දේශපාලන කතා සහ රාජිතගේ කතා  පිළිබඳව දැඩි විවේචන එල්ලවී තිබේ. සජිත් ප්‍රේමදාසගේ කතා සහ රාජිත ගේ කතා හෙළාදකිමින් ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෝ වේදිකාවේ පැහැදිලි කිරීම් හා විවේචන ඉදිරිපත් කරති. මේ අතර මඩකලපුවේ පැවැති ශ්‍රීලනිප මැයි දින වේදිකාවේදී මහින්ද අමරවීරද 2020 ජනාධිපතිවරණය ගැනත් එහිදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය ගැනත් අනාවැකි කීවේය. ඊට පිළිතුරු දෙමින් ඒකාබද්ධ විපක්‍ෂයේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීවේ “මැයි වේදිකාවේ ඉඳගෙන ජනාධිපතිතුමා කතාවක් කිව්වා. හැමෝම සිහින දකිනවා. ඒ සිහින සැබෑවෙන්නේ නැහැ. මහින්ද අමරවීරගේ කතාව එදා ජනාධිපතිවරයාම ප්‍රතික්‍ෂේප කළේ සිහිනයක් බව කියමිනි”යැයිද ඩිලාන් පෙරේරා කීවේය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශ්‍රාම කතාවටද ඇතැම්හු අටුවා ටීකා සපයන්නට පටන්ගෙන සිටිති. වේදිකාවේදී ජනාධිපතිවරයා කීවේ “මම 2020 දී විශ්‍රාම යන්නේ නැහැ.” කියාය. ජනාධිපතිවරයා කීවේ තවදුරටත් දේශපාලනයේ ඉන්න බවයි. දේශපාලනයේ ඉන්නවාය කියන්නේ ඡන්දය ඉල්ලනවාය කියන එක නෙමෙයි.” යැයි සමහරු විග්‍රහ කරද්දී තවත් පිරිසක් වෙන කතාවක් කියති.

“ජනාධිපති කීවේ 2020 දීත් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.” ඔවුහු අර්ථ නිරූපනය කරති. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ විශ්‍රාම කතාව විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකියැයි තවත් පිරිසක් පවසති. කෙසේ වෙතත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුනම මැයි දින සමරු රැලි පැවැත්වූයේ සිත් බිඳවාගෙනය. එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින සැමරුමට පක්‍ෂයේ සභාපති කබීර්  හෂීම් ඇතුළු ප්‍රබල දේශපාලනඥයෝ පිරිසක් නොපැමැණියෝය. ශ්‍රීලනිප මැයි රැලියට හිටපු ඇමතිවරුන් පිරිසක් සහභාගි නොවූහ. දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රධාන වේදිකාවට නොපැමිණියද ඔවුහු රැලිය පැවැත්වූ  පරිශ්‍රයට පැමිණ සිටියහ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ගාල්ලේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන සහභාගි වූයේ නැත. කෙසේ වුවද ඩලස් අලහප්පෙරුම මහතා දැනට විදේගතව සිටී. ආරංචිමාර්ග සඳහන්  කළේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුනේම අභ්‍යන්තරයේ පුපුරමින් තිබූ අර්බුදය මැයි දින සැමරුමේදී යම්තාක්  දුරකට පුපුරා ගිය බවය. 

එජාප ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අසාර්ථක වූ බව කියමින් හා තමන්ට සාධාරණයක් නොවූ බව කියමින් එජාප දේශපාලනඥයන් පිරිසක් මැයි සැමරුම මගහරිද්දී ශ්‍රීලනිප දේශපාලනඥයන් මැයි දින වේදිකාවට ගොඩ නොවූයේ ආණ්ඩු විරෝධය ඉදිරියට දමමිනි. ඒකාබද්ධ විපක්‍ෂයේ බැසිල් හා ගෝඨා කල්ලි දෙකේ අර්බුදය හේතුවෙන් ඒකාබද්ධ මැයි සමරුමට ප්‍රබලයන් සහභාගී නොවූ බවද  පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් කියැවිණ. 

ඉකුත්දා රාජිත සේනාරත්න ඇමැතිවරයා විශේෂ කතාවක් මතක් කර දුන්නේය. “2015 ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාත විජයග්‍රහණය කළේ හංසයායි. බුලත්කොළයට එදා ඡන්දයක් තිබ්බේ නැහැ. දිවයින පුරා මුස්ලිම් මිනිස්සු සියයට හතළිස් පහක්ම අපේ රජය බලයට පත්කරන්න කටයුතු කළා. මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව  අමතක කරලා මේ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. අපේ ජනාධිපතිවරයායි අගමැතිවරයායි බලයේ ඉන්නේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව ලබාදුන් ඡන්දය නිසා යැයිද රාජිත කීවේය. ඒ නිසා දෙමළ මුස්ලිම් ජනතාවට සම අයිතිවාසිකම් ලබාදෙන තුරු අපි ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන සටන් කරනවා” යැයිද රාජිත කීවේය. රාජිත එම කතාව කී පසුව ඊට අටුවා ටීකාද එකතු කළේය. “හැබැයි  මම මෙහෙම කිව්වාම දකුණේ අන්තවාදීන් කලබලයට පත්වෙලා අපට මඩ ප්‍රහාර එල්ල කරාවි. කමක් නැහැ අපි ඒවාට බය වෙන්නේ නැහැ” යැයිද ඔහු කීවේය.

එක්සත් ජාතික පක්‍ෂයේ නව මහලේකම්වරයා ලෙස පත්වූ ඇමති අකිල විරාජ් කාරියවසම් ඉකුත් සඳුදා සුබ මොහොතින් රාජකාරි ආරම්භ කළේය. ඇමැති අකිල විරාජ් කාරියවසම් සර්ව ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පැවැති රාජකාරී බාර ගැනීමේ අවස්ථාව චාම් අයුරින් පැවැති අතර එම අවස්ථාවට එජාප ක්‍රියාකාරීන් හා හිතවත්හු පිරිසක්ද සහභාගී වී සිටියහ. මේ අතර ඊට පෙරදින රාත්‍රියේ සිරිකොත මූලස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක්ද පැවැති අතර එහි අරමුණ වූයේ පක්‍ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමය. 

 

ප්‍රසන්න රණතුංග හැමදාමත් ආණ්ඩුවට එරෙහිව විවිධ කතා කියන්නට දක්‍ෂය. ඔහු උඩුගම්පලදී කිවේ “විධායක ජනාධිපති ධුරයේ බලතල තිබියදීත් අගමැතිට ඕනෑ ආකාරයට රට කරන්නට ඉඩදුන් ජනාධිපති අලුතින් විශ්‍රාම යන්න දෙයක් නැහැ. ඇත්තටම එතුමා විශ්‍රාම ගියේ 2015 ජනවාරි 9 වැනිදාමයි. ඒ කියන්නේ ජයග්‍රහණය කරදාට පසු වෙනිදා. අද රටේ ජනතාවගෙන් වැඩිහරියක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වටේ එක් රොක්වී සිටිනවා. මැයි රැලිවලින් ඒ බව තහවුරු වුණා.” යැයි ප්‍රසන්න රණතුංග කීවේය. “අපට මතකයි පසුගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැලිය පැවැත්වුණෙත් ගාල්ලේ. එදා ශ්‍රීලනිප රැලියට ආපු සෙනග වගේ දහස් ගුණයක ජනතාවක් මේ පාර ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට ආවා. මේ වනවිට ඒකාබද්ධ විපක්‍ෂයේ මේ රටේ ආණ්ඩු හොල්ලපු බලවේගය බවට පත්වෙලා ඉවරයි” යැයිද ඔහු කීවේ ඒකාබද්ධ විපක්‍ෂයේ ආධාරකරුවන් පිරිසකගේ ඔල්වරසන් මධ්‍යයේය.
 ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන්ට තවමත් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ආරාධනාවක් ලැබී නැතැයි වාර්තා වේ. 
ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් පොදුවේ සහ තැන් තැන්වල කරන කතාබහවලට අනුව විපක්‍ෂයට පැමිණි මන්ත්‍රීවරුන් පිළිගන්නා බවක් කියති. එහෙත් පෞද්ගලිකව හා ගෞරවණීය ලෙස හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයක් ලැබුණහොත් පමණක් සලකා බැලිය හැකි බවට එම මන්ත්‍රීවරුන් අතර අදහසක් පවතින බවද  පැවසේ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයද ඉක්මන් නොවන තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ.

 “කොහොමටත් දැන් ඔය දහසය දෙනා විපක්‍ෂයට ඇවිත් ඉවරයි. දැන් ඒ අයට අපේ පැත්තට නෑවිත් මොනවා කරන්නද? අනිවාර්යෙන්ම මේ අයට ඡන්දයට  යන්න වෙන්නේ අපිත් එක්ක තමයි යැයිද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ පවසති. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාරිලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ඉකුත් අඟහරුවාදා සිදුකෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ ඉකුත් අලුත් අවුරුදුදාට පෙරය. ජනාධිපතිවරයා එලෙස පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමත් නැවත සැසිවාරය ආරම්භ කිරීමට ගැසට් නිවේදන නිකුත් කිරීම නීත්‍යනුකූල ක්‍රමවේදයයි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි  සැසිවාරය ආරම්භ කිරීම පිළිබඳ නිවේදන හතරක් නිකුත් කරන්නට සිදුවිය. ගැසට් නිවේදන හතරක්ද නිකුත් කෙරුණ අතර පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරද්දී මහලේකම් ධම්මික දසනායකට එම ගැසට් නිවේදන හතරම කියවීමට සිදුවූයේය. මේ අතර අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීම උත්සවශ්‍රීයෙන් පැවැති අතර එය සාම්ප්‍රදායානුකූල ගරු ගාම්භීර අයුරින්ද සංවිධානය කර තිබිණ. ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැති ඇමැතිවරුන් වෙනුවෙන් තේපැන් සංග්‍රහයක්ද පැවැත්විණ. එම තේපැන් සංග්‍රහයට ආණ්ඩුවේ මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් සහභාගි වුවද මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනා සහභාගි වූයේ නැත. මුල සිටම ඔවුන් සහභාගී නොවීමේ තීන්දුවක් ගෙන තිබිණ. ඊට හේතු වූයේ එම දහසයේ කණ්ඩායම  පිළිගැනීම සඳහා වැඩසටහනක් සංවිධානය කර තිබීමය. ආරංචිමාර්ග සඳහන් කළේ හැම මන්ත්‍රීවරයකුටම ආධාරකරුවන් දෙසීය බැගින් රැගෙන ඒමට තීන්දුවක් ගෙන තිබූ බවය. මන්ත්‍රීවරුන් දහසය දෙනාම එලෙස ආධාරකරුවන් දෙසීය බැගින් ගෙන ඒමට බස්රථ පවා කුලියට ලබාගත් බවද පැවසේ. ලොරියක සකස් කළ ජංගම වේදිකාවක් මතට ආධාරකරුවන්ගේ කරමතින් පැමිණි මන්ත්‍රීවරුන් ආණ්ඩුව විවේචනය කිරීමට හා ශ්‍රීලනිපයේ අනාගතයට අදාළව කෙටියෙන් අදහස් පළකළහ. එහිදී විශේෂ සිදුවීමක්ද වී තිබිණ. මන්ත්‍රී එස්.බී. දිසානායකගේ ආරක්‍ෂකයා සතුව තිබූ පිස්තෝලය අතුරුදන් වීම එම සිද්ධිය වූ අතර මන්ත්‍රීවරන් පිළිගැනීමට පැමිණි ආධාරකරුවෙකු විසින්ම  එම පිස්තෝලය සොරාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කළේය.

විවේචනය තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් හා ආණ්ඩුවේ පැවැත්මට බාධාවකැයි ඇතැම් දේශපාලනඥයන් කල්පනා කළද ඇමති මංගල සමරවීරගේ අදහස වෙනත් එකකි. විවේචන කිරීම හා වැරදීම් වීම යහපතක් ලෙස මංගල සමරවීර ඇමැතිවරයා කල්පනා කරන බව ඉකුත්දා ඔහුම ප්‍රකාශ කළේය. “අපි රජයක් විදියට අලුත් අලුත් අභියෝගවලට විටින් විට මුහුණ දෙනවා. ගැටළු ඇතිවීම අපේ වැඩපිළිවෙළ සාර්ථකවීමක්. අලුත් විදියට ක්‍රියාත්මක වෙනකොට යල්පැනගිය ක්‍රමවේදයන් ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. එතකොට අපේ කටයුතු සාර්ථක වෙන්න නම් ඇතිවන ගැටලුවලට නිර්මාණශීලී පිළිතුරු සොයාගන්න වෙනවා” යැයි මංගල සමරවීර කීවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සමඟය. 

සයිටම් ගැටළුවටද තවමත් අවසන් විසඳුමක් ලැබී නැත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සයිටම් සිසුන්ද මේ වනවිට විටින් විට කොළඹදී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීන්දුවක් ගෙන තිබේ. මාලබේ සිසුන්ගේ ගැටළුවලට විසඳුමක් ලෙස ඔවුන්ට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවද මේ දක්වා ප්‍රායෝගිකව එය ඉටුකර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. සයිටම් සිසුන් කොතලාවල පිඨය ඉල්ලද්දී අන්තරේ සිසුහු කොතලාවල ලබා නොදෙන්නැයි කියමින් විරෝධතා පවත්වති. ආරංචිමාර්ග සඳහන් කළේ සයිටම් ගැටළුව මුල්කර ගනිමින් ඉදිරියේදී උද්ඝෝෂණ වැලක් කොළඹදී පැවැත්වෙනු ඇති බවය.



අදහස් (0)

ලොක්කන්ගේ මැයි රැලි වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site