IMG-LOGO

රණවිරු සමරු දේශපාලනය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සමරු උත්සවය පෙරේදා (19) පැවැත්වුණි. එම සැමරුම් උත්සවය පිළිබඳව බොහෝ අය විවිධාකාරයේ මත ප්‍රකාශ කළ නමුදු ලොව දරුණුම ත්‍රස්තවාදයක් පරාජය කර ශ්‍රී ලාංකික ජනතාවට නිදහසේ ජීවත්වීම සඳහා අවස්ථාව සලසා දුන් රණවිරුවන්ට ජාතියේ උපහාර පිරිනැමීමේ කාර්යය මෙවර ද නිසි පරිදි ඉටුවුවා යැයි සිතිය හැකිය.

මෙම සැමරුම් උත්සවයට ජනාධිපතිවරයාගේ සහභාගීත්වය පිළිබඳ විවිධ මත ප්‍රචාරය වීම සඳහා ඉඩ සැලසුණේ රජයේ ඇතැම් ආයතන සහ ප්‍රධානින් අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා බව පෙනේ. රණවිරුවන් සැමරීමේ රාජ්‍ය නිල උත්සවය පිළිබඳව රණවිරු අධිකාරියේ ප්‍රධානියකුගේ මූලිකත්වයෙන් පැවැත්වුණ නිල ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලද්දේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ සහ මාර්ෂල්වරුන් තිදෙනාගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වෙන බවයි.

මෙම රණවිරු සැමරුම් උත්සවයට ජනාධිපතිවරයා සහභාගි නොවන බවක් ප්‍රකාශ කර නොතිබූ බව රජයට ළැදි ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පසුව ප්‍රකාශ කර තිබුණ ද, ජනාධිපතිවරයා සහභාගී නොවන බව ප්‍රකාශ වූයේ ඉහතින් සඳහන් කළ නිල ප්‍රවෘත්ති සාකච්ඡාව හේතුවෙනි. ජනාධිපතිවරයාට එම උත්සවයට සහභාගි වන ලෙස විවිධ සංවිධාන සහ පුද්ගලයන් ඉල්ලීම් කරන තත්වයක් ඇති වූයේ ද එවැනි හේතු නිසාය. ඉන්පසු එම උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ප්‍රකාශයට පත්විය. එම සහභාගීත්වය දැඩි අකැමැත්තකින් සිදුවන බව හුවා දැක්වෙන ආකාරයේ සමාජ මාධ්‍ය ජාලා පෝස්ටු ප්‍රකාශයට පත්වූයේ ඉන් පසුවය.

කෙසේ වුව ද මෙම සිදුවීම තුළ පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ යුද්ධය සහ ජනවාර්ගික ගැටලු පිළිබඳව රට තුළ විවිධ මත දරන පුද්ගලයන් සිටින ආකාරයත්, ඒ පිළිබඳව සැම දෙනාටම එකඟ විය හැකි තත්ත්වයක් නොපවතින බවත්ය. විවිධ මත හේතුවෙන් සමහර කරුණු සම්බන්ධව පැන නගින සංකීර්ණතා පිළිබඳ නිදසුනක් ලෙස එය දැක්විය හැකිය.

රණවිරුවන් යුද්ධය පරාජය කර සාමය ස්ථාපිත කිරීම සඳහා ඉටු කළ කාර්යභාරය කිසිවකුටත් අමතක කළ නොහැකිය. අද උතුරේ මෙන්ම දකුණේ ද ඕනෑම කෙනකුට නිදහසේ දේශපාලනය කිරීමට හැකි තත්වයක් නිර්මාණය වී ඇත්තේ රණවිරුවන් විසින් කරන ලද එම කැපවීම නිසා බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 දී මෙන්ම 1988/89 කාලපරිච්ඡේදය තුළ දියත් කරන ලද කැරැල්ල ද තවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් විය. 1989 දී එම ව්‍යාපාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන හෝ මරා දමා අවසානයේදී රෝහණ විජේවීර මහතා ඇතුළු එහි නායකයන් විශාල පිරිසක් ඝාතනය කර එම ත්‍රස්තවාදය නිම කළේය.

ඒ සඳහා මූලිකත්වය ගත්තේ ද එල්ටීටීය මැඩලූ ත්‍රිවිධ හමුදාව විසින්ම ය. කෙසේ වුවද එම ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු එය සැමරීම සඳහා රජය දිනයක් නියම කළේ නැත. එසේ දිනයක් නියම කර තිබුණේ නම් වර්තමාන ජනාධිපතිවරයා වඩා අපහසුතාවට පත්වන්නට ඉඩ තිබුණි. එම ජයග්‍රහණය සැමරීමට ද රජය  උත්සව පැවැත්වූයේ නම් කවර තත්වයක් ඇතිවේ ද යන්නත්, පවතින දේශපාලනය සම්බන්ධයෙන් විවිධාකාරයේ සංකීර්ණතා ඇතිවන ආකාරයත් පිළිබඳව සිතීම සඳහා මෙමගින් අවස්ථාවක් සළසා දේ.

රණවිරු සැමරුමට පෙර ජනාධිපතිවරයා ආබාධිත වූ රණවිරුවන් හමුවීම සඳහා ගොස් සිටි ආකාරය ද මාධ්‍යයෙන් නිරීක්ෂණය කළහැකි විය. ජනාධිපති මාධ්‍ය අංශය එම හමුව සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ රණවිරුවන් ලෙස සඳහන් නොකර එම පිරිස් සෙබළුන් ලෙස හැඳින්වීම පිළිබඳව දෝෂාරෝපණය කරන ප්‍රකාශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ආකාරය ද දැකගත හැකිවිය. දැන් යුද්ධය බොහෝ දෙනෙකුට අමතක වී ඇත. අද යොවුන් වියේ පසුවන බොහෝ දෙනකුට යුද්ධය නිසා විඳින්නට සිදුවූ බිය හෝ දුෂ්කරතා පිළිබඳව අවබෝධයක් නැත. කෙසේ වුවද ජනාධිපතිවරයා රණවිරු සමරු උත්සවයට සහභාගි නොවන බව ප්‍රකාශ වීමත් සමග රට තුළ ගොඩනැගුණු ප්‍රතිවිරෝධතාව මගින් ප්‍රකාශ වන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳවත්, ඒ තුළින් ජන ජීවිතයට අත් වූ සහනය පිළිබඳවත් ජනතාව අමතක කර නැති බවය.

ශ්‍රී ලාංකිකයෝ මරණ බිය උපරිම මට්ටමෙන් අත්විඳි කොවිඩ් කාලය දැන් පසුකර සිටිති. ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා හුදෙකලා වීම ඒ සඳහා ඇති විසඳුම ලෙස එම කාලවකවානුවේදී සැළකීමට ජනතාවට සිදුවිය. ඉන්පසු රටේ බහුතරයක් ජනතාවට ජීවත්වීම ප්‍රශ්නයක් බවට පත්කළ ආර්ථික බංකොලොත් යුගයකට පිවිසීමට ද සිදුවිය. දැන් කොවිඩ් සියල්ලන්ටම අමතකය. මරණ බිය පහව ගොස් තිබේ. බංකොලොත්භාවය හේතුවෙන් මුහුණදීමට සිදුවූ විවිධ දුෂ්කරතා සහ පීඩා ද මහජනතාවට අමතකය. කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගෙන රට ස්ථාවර කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කරන ලද කාර්යභාරය මහජනතාව තුට්ටුවකට මායිම් කළේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී සියයට දාහතක් පමණක් ඡන්දය ලබාදී ඔහු ගෙදර ඇරියේය. කොවිඩ් සහ බංකොලොත්භාවය පිළිබඳව බොහෝ දේවල් මහජනතාවට අමතක වී ඇති නමුත් යුද්ධය සහ රණවිරුවන් විසින් ඉටුකළ කාර්යභාරය මහජනතාව එසේ අමතක කළ බවක් නොපෙනේ.

යුද්ධය, ත්‍රස්තවාදය පරාජය කිරීම සහ විවිධ රජයන් විසින් ඉන්පසු අනුගමනය කළ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව අතර විවිධ මත පැවතිය හැකිය. එසේ වුවද ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව මහින්ද රාජපක්ෂ රජය ක්‍රියාකරන විට රටේ භූමි ප්‍රමාණයෙන් ඉතා විශාල කොටසක් එල්ටීටීය පාලනය කළ බවත්, ඒ නිසා රට දෙකඩවීමට ආසන්නයේ පැවති බවත් සත්‍යයකි. ඒ 9 මාර්ගය ඔස්සේ උතුරු නැගෙනහිරට පිවිසීමට එල්ටීටීයේ අවසරය ලබාගත යුතුවිය. එම ප්‍රදේශවල එල්ටීටීයේ පොලිසි සහ අධිකරණ ක්‍රියාත්මක විය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල එවැනි තත්වයක් පැවතෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපොළ වැනි ආර්ථික මර්මස්ථාන මෙන්ම දළදා මාළිගාව සහ සිරිමා බෝධිය වැනි ආගමික දායාද විනාශ කිරීමට ද ඔවුහු කටයුතු කළහ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ කුඩා දරුවන් පවා යුද්ධයට සම්බන්ධ කර ගනිමින් එම පවුල් සහ දරුවන් විනාශය කරා ගෙන යමින් සිටියහ.

ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කිරීම ඇතුළු සාමය ගොඩනගා ගැනීමට දරන ලද උත්සාහයන් එකක්වත් සාර්ථක වුයේ නැත. ඉන්දියාව මැදිහත් වී පළාත් සභා ඇති කිරීම, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ ද, ඉන්දීය සාම සාධක හමුදා උතුර නැගෙනහිර රැඳවුව ද ඉන් ප්‍රතිඵලයක් අත් නොවීය. ඉන්පසුව විවිධ රටවල මැදිහත්වීම මත සිදු කරන ලද සාම සාකච්ඡාවලින් ද සාමය ඇතිකර ගැනීමට නොහැකි විය. ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ද, ශ්‍රී ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ද ඝාතනය කරනු ලැබීය. සියලු දේශපාලන පක්ෂවලට අයත් නායකයන් විශාල පිරිසක් එල්ටීටීය විසින් ඝාතනය කරනු ලැබීය. එවැනි තත්වයක් තුළ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම හැර වෙනත් විකල්පයක් රටට නොතිබුණි.

මහින්ද රාජපක්ෂ මහතා ඡන්දයෙන් වරක් පරාජය කර ගෙදර යවනු ලැබීය. මහින්දට එරෙහිව ජනාධිපති තරගයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාට උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු රටේ සියලු ප්‍රදේශවලින් විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබුණි. එහෙත් ඊළඟ මැතිවරණයේදී ඔහු වෙනම පක්ෂයකින් ඡන්දය ඉල්ලූ විට ලැබුණේ ඡන්ද හයදහසක් පමණි. අඩුම තරමින් එම ඡන්දයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුරයක්වත් ෆොන්සේකාට හිමි වූයේ නැත. නායකයන් පිළිබඳව විවිධ අවස්ථාවල මහජනතාව විසින් දරනු ලබන ආකල්ප පිළිබඳ හැඟීමක් ඇතිකර ගැනීමට එමගින් ඉඩ ලැබෙනු ඇතැයි සිතමි.

අභීත යුද විරුවකු වූ කැප්පෙටිපොළ රටේ විමුක්ති අරගලයට දායක වූ මහා යුග පුරුෂයකු ලෙස පිළි ගනිමින් වරෙක ජනතා විමුක්ති පෙරමුණ ඔහු සැමරුවේය. ලොව දරුණුම ත්‍රස්තවාදය පරාජය කර රටේ ස්වෛරීත්වය තහවුරු කිරීම සඳහා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ගනු ලැබුවේ එඩිතර තීන්දුවකි. බොහෝ දේවල් අමතක කළ ද එම යුද්ධයේදී ත්‍රස්තවාදය පරාජය නොකරන්නට රටක් ඉතිරි නොවන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබේ. දේශපාලන අරමුණු මත එම විශ්වාසය පළුදු කිරීමට හෝ එම ප්‍රයත්නය අවතක්සේරු කිරීමට හෝ රණවිරුවන් විසින් ඉටුකළ ඒ උදාර මෙහෙවර අමතක කර දැමීමට හෝ උත්සාහ දරන්නේ නම් රටේ සමස්ත ජනතාවගෙන් බොහෝ දෙනෙකු ඊට එරෙහි වන බව මෙවර රණවිරු සැමරුම පිළිබඳ ඉහත කී අත්දැකීම්වලින් ද පෙනී යනු ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (1)

රණවිරු සමරු දේශපාලනය

nimal Wednesday, 21 May 2025 11:24 PM

යුද්දය අවසන්ව ඇත, දහස් ගණනක් මරණයට පත්ව ඇත, ජිවිත එක්තැන්ව ඇත. පවුල් දහස් ගණනක් අසරණව ඇත. එහෙත් මේ යුද්දයට වගකිව යුතු වන්නේ කවුද යුද්දයක් ඇතිවීමට හේතුව කුමක් ද කියා කිසිවකු පවසන්නේ ද නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 20 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 460 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 237 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site