IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


රට නිගාවට පත්කළ අමන පුරවැසියෙක්

රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට දායකවීම සෑම පුරවැසියකුගේම වගකීමකි. ඒකාන්ත වශයෙන්ම ඔප්පු වී ඇති සත්‍ය නම් තනි තනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්වලට හෝ ඉන්ද්‍රජාල හා හාස්කම්වලට හෝ මේ රට ගොඩනැගිය නොහැකි බවය. සිවු කොනේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් එක මිටට එකතු වූ සාමූහික ප්‍රයත්නයක් මගින් පමණක් රට ගොඩගත හැකිය. මෙම පරම සත්‍ය ඇස් පනාපිට පැහැදිලිව තිබියදීත් ඒ බව නොතකා ඊට හතුරුව දුෂ්ට ලෙස ක්‍රියා කරන අමන පුරවැසියෝ අප රටෙහි වෙසෙති. එබඳු එක් පුරවැසියකුට අදාළ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

“රුසියන් තරුණියකට ලිංගික අතවර කර දහ දාහකුත් අරන් පැනලා” දුෂ්ට පුරවැසියාට අදාළ සිදුවීම අප පුවත්පත වාර්තාකර තිබුණේ එම සිරස්තලයෙනි. එම සිරස්තලය අද රටේ ඉරණම සමග ගැට ගැසූවිට පුරවැසියා රටට කර තිබෙන්නේ කෙතරම් සාපරාධයක් ද යන්න ඉඳුරාම ප්‍රත්‍යක්ෂය.

රටේ පවතින්නේ ආර්ථික අර්බුදයකි. අපගේ සංචිතවල තිබූ ඩොලර් වාෂ්ප වී ගියේය. එම නිසාම රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ හා ගෑස් ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට නොහැකිව රට හතරගාතෙන් වැටුණේය. හතරගාතෙන් වැටුණු රට තුළ ජීවත් වූ ජනයාට අනාගතය සම්බන්ධ සුබ සිහින වෙනුවට පෙනුණේ සතර අපාය පමණි. උත්තරය වශයෙන් ආදේශ වූයේ ඩොලර් ඉපැයීමය. ඒ සඳහා වන ප්‍රධාන මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරය වේ.

මෙරටට ඩොලර් උල්පතක් බඳු වූ සංචාරක ව්‍යාපාරය බිංදුවටම හිඳී ගියේය. එය ආරම්භ වූයේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙනි. කොවිඩ් මාරාන්තික වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය බිංදුවටම වැටුණේය. කොවිඩ් අඳුරු සෙවණැලි කෙමෙන් තුනීවී යනවිට ආර්ථික අර්බුදය ගංවතුරක් මෙන් ගලා ගියේය. රටට පැමිණෙන සංචාරකයාට රතු පළස් එළා මල් කළඹක් දී පිළිගෙන “ඉඹ” රට ඇතුළට ගැනීමට තරම් තත්ත්වය වර්ධනය විය. එහෙත් සංචාරකයන්ගේ පැමිණීම හැර වෙනත් උත්තරයක් රට හමුවේ නැත. එබඳු පරිසරයක නිවාඩුව විවේකයෙන් ගත කර රටතොට අසිරිසිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයා ඉහළම ආගන්තුක සත්කාරයෙන් පිළිගත යුතුය. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ එසේ මෙරටට පැමිණි රුසියානු තරුණියකට ලිංගික අතවර කර ඇය අත රැඳි රුපියල් දහදාහක මුදලක් ද රැගෙන පලාගිය අමන පුරවැසියකු පිළිබඳවය.

සිද්ධිය වාර්තාවන්නේ මාතර ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකිනි. රුසියානු ජාතික 26 හැවිරිදි තරුණිය මෙම හෝටලයේ නැවතී සිට ඇත. එම කාමරයට හොර රහසේ ඇතුළු වූ අයකු ඇයට ලිංගික අතවර කර රුපියල් දහදාහක් ද කොල්ලකා පලාගොස් ඇති බව මාතර මූලස්ථාන පොලිසියට ඇය කළ පැමිණිල්ලේ සඳහන්ය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට නිසි ගෞරවයෙන් සැලකීම හා අවශ්‍ය ආරක්ෂාව සැපයීම ජාතික වගකීමකි. එහෙත් එම වගකීම නිසි රිසි පරිදි ඉටුවන බවක් නොපෙනේ. මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඔවුන් නවාතැන්ගත් හෝටලය තුළදීම නොයෙක් ආකාරයේ හිරිහැර අතවරවලට ලක්වීමේ පුවත් සුලභව වාර්තාවේ. ඔවුන් සතු මිල මුදල් මෙන්ම අනෙකුත් වටිනා භාණ්ඩ සොරාකෑම් සම්බන්ධ චෝදනා එල්ලවන්නේ එම හෝටලයේම කාර්ය මණ්ඩලවලටය. එක් අවස්ථාවක දී වාර්තා වූයේ හෝටලයේ හිමිකරුම සංචාරකයන්ගේ මුදල් සේප්පු පිටින් සොරකම් කළ බවය. ඇතැම් සංචාරකයන්ට නිදහසේ හා ආරක්ෂිතව මහමග ගමන් කිරීමට හෝ මුහුදු වෙරළක නිස්කාංසුවේ ගත කිරීමට හෝ අවකාශ අහිමිවීමේ සිදුවීම් ද ඉතා සුලභය. ඊට අමතරව ත්‍රීරෝද රියැදුරාගේ සිට තැඹිලි වෙළෙන්දා හා සංචාරක මගපෙන්වන්නාගේ අනවරත සූරාකෑමට ලක්වීමට ද සංචාරකයන් ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී තිබේ.

මෙරට අසිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් මෙසේ නිමක් නැති අතවරවලට හිරිහැරවලට ලක්වීමේ දී අප රට සම්බන්ධයෙන් ඔවුන් කවර තොරතුරු ලෝකය හමුවේ අනාවරණය කරනු ඇද්ද යන්න සිතා ගැනීම අසීරු නැත. එම තොරතුරු අසා කියවා මෙරටට පැමිණීමට යමකු ඉදිරිපත් වේයැයි සිතිය නොහැක. මෙබඳු පරිසරයක සංචාරක ව්‍යාපාරය නව වටයකින් පණගසා පෙරට එනු ඇතැයි සිතීම යථාර්ථයෙන් එපිටය. එහෙයින් මෙබඳු දුෂ්ඨ අශිෂ්ට පුරවැසියන්ට ඉහළම දඬුවම් පැමිණවිය යුතුය.

(***)



අදහස් (0)

රට නිගාවට පත්කළ අමන පුරවැසියෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site