IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජ්‍ය සේවා කොමිසම එපා නම් තීරණයක් ගන්න

අප රටට අත්වී ඇති ඉරණම කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇති විවිධාකාර චෝදනාවලින් වුවද පැහැදිලි කරගත හැකියි. මෙයට හැත්තෑ හය වසරකට ඉහතදී දියුණු වෙමින් පවත්නා රටක් ලෙස නාමකරණයට ලක්වූ අප රට අද දවස වනවිට ගමනාන්තය සලකුණු කර තිබෙන්නේ ‘බංකොලොත් වූ රටක්’ යන නාම පුවරුව සමගිනි. මෙය ඉතා ඛේදනීය තත්වයක් බවත් එබඳු තත්වයක්  නිර්මාණය වූයේ අහම්බයෙන් නොවන බවත් ඒකාන්ත සත්‍යයකි.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක් පවතින බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදි (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වූ බවය.

 කෝපා කමිටුව හමුවේ අදහස් දක්වා ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ  නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පත්වීම් බලධාරියා අමාත්‍යවරයා වන බැවින්ද අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පත්වීම් බලධාරියා ජනාධිපති වන බැවින්ද කරුණු විමසීම සඳහා ඔවුන් කැඳවීම් කිරීමට කොමිෂන් සභාවට බලයක් නොමැති හෙයින් පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වන බවය.

කෝපා කමිටුව මෙම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් දක්වා තිබෙන්නේ පැමිණිල්ලක් ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට කොමිෂන් සභාවකට නොහැකි නම් එය ක්‍රමයේ වැරැද්දක් බවත් එම වැරැද්ද නිවැරැදි කිරීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම කෝපා කමිටුවේ අදහස වී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ව්‍යුහය තුළ එක් සේවා නිලධාරී කාණ්ඩයකට අයත් නිලධාරීන් පමණක් නියෝජනය වීම අපක්ෂපාතී හා සාධාරණ ක්‍රියාදාමයකට බාධා විය හැකි බවය.එබැවින් මෙම තත්වය නිවැරැදි කිරීම සඳහා කෝපා කමිටුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ට නිර්දේශ නිකුත් කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයට හේතුව ඉතා පැහැදිලිය. එසේ නම් කළ යුතුව තිබෙන්නේ එම හේතුව තුරන් කිරීමය. එහෙත් සිදු වී නැත්තෙත් එයමය. එය එසේ වී තිබෙන්නේ ඇයි? ක්‍රමය නිවැරැදි නොකිරිමේ වගකීම බාරගත යුත්තේ කවුරුන්ද? වැරැදි ක්‍රමවේදය එලෙසින්ම පවත්වාගෙන යමින් එය නඩත්තු කිරීමද බරපතළ වැරැද්දකි.

අප රටට ඇති බරපතළ ප්‍රශ්නයක් වනුයේ කිසිම ක්ෂේත්‍රයකට අදාළව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමය. ආණ්ඩු මාරුවකදී පමණක් නොව එකම ආණ්ඩුවක ඇමතිවරුන් මාරු වූ විටදී ද එතෙක් ක්‍රියාත්මක කරගෙන ආ සියලු කටයුතු අතහැර දමා අභිනව අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දක්නට ලැබෙන්නකි.

ස්ථිරසර වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරිමේ ප්‍රතිපත්තියක් නොමැති හෙයින්  ඒ වගකීම ඇති නිලධාරීන්ටද ඒ සම්බන්ධ වගකීමක් නැත. තමන් ධුරයේ රැඳී සිටින කාලය කොහොමින් හෝ ගෙවා දමමින්  පැලැස්තර විසඳුම් නිර්දේශ කිරීමට නිලධාරීන් පෙළඹි තිබෙන්නේ එහෙයිනි. රාජ්‍ය සේවයට අදාළ පැමිණිලි විභාග කිරීමට ඇති රටේ ප්‍රධානම ආයතනයට අත්වි ඇති දුක්ඛිත ඉරණම රාජ්‍ය සේවයේ අනාගතය සම්බන්ධයෙන් කිසිසේත්ම යහපත් නොවන බව අපි අවධාරණය කරමු. 

(***)



අදහස් (1)

රාජ්‍ය සේවා කොමිසම එපා නම් තීරණයක් ගන්න

Deepal Nirosh Wednesday, 07 February 2024 04:18 PM

පසුගිය පළාත් පාලන මැතිවරණ පමාව ගැන විමසන්න මැ/කො මුදල් අමාත්‍යංශ ලේකම් කැඳෙව්වා. ආවාද? ඉතින් මේ කොමිෂන් ගැන තව මොන කතාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site