පසුගියදා පැවැති ජාතික පරිසර දින උත්සවයේදී රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇත.
“නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන්ම වෙනස් කරනවා.”
රාජ්‍ය නිලධාරීන් පිළිබඳව කරන ලද එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාප පිළිබඳව ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවන බවයි. ඒ අතරම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු අරක්කු වෙළෙඳුන්ගෙන් ‘පගා’ ගන්නා බවයි. ඉදිරියේදී එම අයගේ නම් හෙළි කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ජාතික ජනබලවේගයේ රජය බලයට පත්වීමෙන් පසු රජයේ නිලධාරී යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය රජයේ ඉදිරි ගමනට බාධා ඇතිව තිබෙන බවකි. ආණ්ඩුව තම ප්‍රතිපත්ති සහ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී බලාපොරොත්තු වන ආකාරයේ කාර්යක්ෂමතාවක් හෝ නිපුණතාවක් බොහෝ රාජ්‍ය නිලධාරීන්ගෙන් නොලැබෙන බව ද ඉන් හැඟවේ. අනෙක් අතින් රජයේ නිලධාරීන් අල්ලස් සහ දූෂණවලට යටව සිටීම නිසා රජය ක්‍රියාත්මක කරන යෝජනා අඩපණ කර දැමීමක් සිදුවන බව ද ප්‍රකාශ වේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අවධාරණය කරන්නේ එම තත්වයෙන් ඔවුන් වෙනස් විය යුතු බවත් එසේ නොවන්නේ නම් රජය දැඩි පියවර ගන්නා බවත්ය.
බොහෝ රටවල නිලධාරිවාදය (Bureaucracy) රටේ සංවර්ධනයේදී බාධකයක්ව පවත්නා බව ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වේ. එයින් සිදුවන බාධා නම් කරන ලද්දේ රතු ටේප් (Red Tapes) සහ අවහිරතා (Bottleneck) වශයෙනි. මෙය දේශපාලනඥයන් සහ නිලධාරීන් අතර පවත්නා ගැටුම ලෙස අර්ථ නිරූපණය කළ හැකිය.
දේශපාලනඥයන් රටේ සංවර්ධනයට අදාළ වන ප්‍රතිපත්ති හා යෝජනා තීරණය කර ඒවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නමුදු නිලධාරීන්ගේ පවත්නා අකාර්යක්ෂමතාව සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දිගු කාලයක් වැය කිරීම වැනි හේතු නිසා ඒවා ක්‍රියාත්මක කිරීම් ප්‍රමාද වන බවත්, නිලධාරිවාදය රටක ආර්ථික සංවර්ධනයට බාධා කෙරෙන බලවේගයක් බවට පත්ව ඇති බවත් ඒ පිළිබඳ අධ්‍යයනවලින් ප්‍රකාශ වේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද සමහර අවස්ථාවලදී නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සංවර්ධන ව්‍යාපෘතිවල සහ රජයේ ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම වීමට හේතු වී ඇති බව පෙනේ. ආණ්ඩුවක් විසින් කවරාකාරයේ ප්‍රතිපත්ති, යෝජනා හෝ වෙනස්කම් හඳුන්වා දෙනු ලැබුවද ඒවා ඵලදායී අන්දමින් ක්‍රියාත්මක වීම සහ මහජනතාවට ඒවායේ ප්‍රතිඵල අත්කර දීම රටේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන්නකි. ඒවා ඉතා විශිෂ්ට අයුරින් ක්‍රියාත්මක කර රටට ඉහළම ප්‍රතිලාභ ලබාදීමට ඔවුන්ට හැකියාව ඇත.
එමෙන්ම විවිධ නීතිරීති හා චක්‍රලේඛ ආදියට මුවාවී ඒවා ප්‍රමාද කිරීමට ද ඔවුන්ට හැකිය. අල්ලස සහ දූෂණයට ඉඩ හැරීම තුළ පමණ ඉක්මවා වියදම් දැරීමට සිදුවන තත්වයක් ඇති කිරීමට ද ඔවුන්ට හැකිය. ඒවා සම්පූර්ණයෙන්ම අසාර්ථක වන තත්වයක් ඇති කිරීමට ද ඔවුන්ට හැකියාව ඇත. රජයේ ප්‍රතිපත්ති, සංවර්ධන යෝජනා ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කිරීම මෙන්ම එමගින් මහජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබාදීම ආදී සියල්ලම රාජ්‍ය නිලධාරීන් මත තීරණය වීම කවර රටක වුවද දක්නට ලැබෙන තත්වයකි.
ජාතික ජනබලවේග ආණ්ඩුව පසුගියදා පැවති මැතිවරණ තුනේදීම අතිවිශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ජනාධිපතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවද, මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ලබා ගැනීමට හැකි විය. පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ නමුදු ජාතික ජනබලවේගය ලැබූ ඡන්ද සංඛ්‍යාව විසිතුන් ලක්ෂයකින් අඩුවී තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණයේ සිට පළාත් පාලන මැතිවරණ ඡන්දය දක්වා කාලය තුළ ජාතික ජනබලවේගයට ඡන්දය දුන් මහජනතාව යම්කිසි අපේක්ෂා භංගත්වයකට පත්වීම එවැනි ඡන්ද අඩුවීමකට හේතු වී ඇති බව පෙනේ. වඩා වැදගත් වන්නේ එම කාලය තුළ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ඒ සඳහා බලපෑමක් ඇති කළේ ද යන්නයි. රජයේ ඉදිරි ගමන ජාතික ජනබලවේගය පොරොන්දු වූ ආකාරයෙන් ඉදිරියට නොයෑම සඳහා පරිපාලන ව්‍යුහයෙන් සහ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයෙන් පිටුවහලක් නොලැබුණේද?
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයකු බලයට පත්වීමෙන් පසු ගතවූ මාස නමයක කාල පරිච්ඡේදය තුළ රාජ්‍ය සේවකයන්ගේ සුබසාධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රජය කවර පියවරක් ගෙන තිබේද? රජයේ පහළ මට්ටමේ සේවක පිරිස්වලට ඉහළ වැටුප් වැඩිවීමක් හිමි නොවූ නමුදු ඉහළ නිලධාරීන් සඳහා සැලකිය යුතු වැටුප් වැඩිවීමක් හිමිව තිබේ. මූලික වැටුප ඉහළ දැමීම තුළ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප මෙන්ම විශ්‍රාම වැටුප් සහ වැන්දඹු සහ අනත්දරු දීමනා ද වැඩි වී තිබේ. ඒ හැරෙන්නට රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව හා තෘප්තිමත්භාවය ඉහළ නැංවීම සඳහා වෙනත් කිසිදු පියවරක් ගත් බවක් පෙනෙන්නට නැත. ජාතික ජනබලවේගයට ලැබුණු ඡන්දවලින් තැපැල් ඡන්ද පෙට්ටි පිරවීමට රාජ්‍ය සේවකයන් කටයුතු කළ නමුදු ඒ වෙනුවෙන් ඔවුන්ගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා ගනු ලැබූ වෙනත් කිසිදු තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් නැත.
ජාතික ජනබලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති ආකාරයට හෝ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයන් සහ වෘත්තිය සමිති අමතමින් එහි නායකයන් ප්‍රකාශ කළ ආකාරයේ කිසිදු වෙනස්කමක් මේ දක්වාම රාජ්‍ය සේවයට හඳුන්වා දී නැත. එසේ වුවද රජය පත්වීමෙන් පසු රාජ්‍ය අංශයේ කරන ලද ඇතැම් පත්වීම්වලදී දේශපාලනමය කරුණු මත පමණක් පදනම්ව එම තීරණ ගෙන ඇති බවක් ද පෙනේ. ජාතික ජනබලවේගයට සම්බන්ධ වූ පක්ෂපාතී පිරිස්වලට ඉහළ තනතුරු ලබා දී තිබේ. විදේශ සේවාව දේශපාලනයෙන් තොරව කාර්යක්ෂම තත්වයකට ගෙන එන බව ප්‍රකාශ කළ නමුත් ජාතික ජනබලවේගයේ ඡන්ද අපේක්ෂකයන් පවා විදේශ සේවා තනතුරුවලට පත්කර ඇත. එසේම තම දේශපාලන මතවාදවලට පක්ෂපාත නොවන සහ මැති ඇමැතිවරුන්ට කීකරු නොවන නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.
මෙතෙක් පැවැති රාජ්‍ය පරිපාලන ක්‍රමවේදය වෙනස් කර නිලධාරීන්ගේ වගකීම් සහ කාර්යභාරය පිළිබඳ නිගමනවලට එළැඹිය යුත්තේ ඒ පිළිබඳව සාධනීය සංවාද ඇතිකර ගැනීමෙන් සහ ගැඹුරු අධ්‍යනයක් කිරීමෙන් පසුවය. ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇතැම් නිලධාරීන් පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල නිරන්තරයෙන් සංසරණය වේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිබඳව කර ඇති ප්‍රකාශ ද ඒ අතර වේ. එසේ වුවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ධුරයෙන් සමුගැනීමට සූදානම් වන බව ප්‍රකාශ කළ අවස්ථාවේදී ඔහුගේ සේවය ඇගයීමට ජනාධිපතිවරයාට සිදුවිය. මහ බැංකු අධිපතිවරයාගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමට ද ජනාධිපතිවරයාට සිදුව තිබේ. ඒ තත්වයෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව නිගමනවලට එළැඹීමට පෙර ඒ පිළිබඳව ගැඹුරින් සිතා බැලීමේ අවශ්‍යතාවයි.
ඇතැම් දේශපාලන නායකයන්ගේ ආවේගශීලී ක්‍රියාකාරිත්වයෙන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ක්ෂණික තීරණවලට එළැඹීමෙන් ලැබෙන සාධනීය ප්‍රතිඵලයක් නැත. රාජ්‍ය පරිපාලනය පිළිබඳ අත්දැකීම් අඩු දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාප නිසා රාජ්‍ය නිලධාරීන් සහ ඇතැම් ආයතන ප්‍රධානීන් තනතුරුවලින් ඉවත් වන තත්වයක් ඇතිව තිබේ. නිදහස ලැබීමෙන් පසු ගතවූ පසුගිය කාල පරිච්ඡේදය තුළ විවිධාකාරයේ අභියෝගවලට රට මුහුණ දුන්නේය. වසර හැත්තෑ හයක ඉතිහාසය තුළ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිවක් නොවූ බවත්, රට පරිහානියට පමණක් පත්වූ බවත් ඇඟවීමට රජයේ සමහර පිරිස් කටයුතු කරති. එසේ වුවද එම වසර හැත්තෑ හයක කාලය තුළ රටේ මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් ද සැබෑ ලෙසම සංවර්ධනය වී ඇති බව නිදහස ලැබූ මුල් කාල පරිච්ඡේදය සහ අද තත්වය සංසන්දනය කරන විට පැහැදිලි වනු ඇත.
මෙම කාල පරිච්ඡේදය තුළ රටේ දේශපාලනයේ බොහෝ වෙනස්කම් ඇතිවිය. ඇතැම් දේශපාලන පක්ෂ පරාජයට පත් විය. තවත් පක්ෂ බලයට පත් විය. නව දේශපාලන පක්ෂ බිහි විය. ඒවාට ද බලය හිමි විය. එවැනි වෙනස්කම් රටේ දේශපාලනය තුළ සිදුවෙද්දී රජයේ නිලධාරීන් විසින් රාජ්‍ය පරිපාලනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා කටයුතු කරනු ලැබීය. රටට මුහුණදීමට සිදුවූ විවිධ අභියෝග ජය ගැනීමටත්, භෞතික හා මානව සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇතිකර ගැනීමටත් රටේ රාජ්‍ය නිලධාරීහු විශාල දායකත්වයක් ලබා දුන්හ. එම නිලධාරී ක්‍රමයේ වරදක් ඇත්නම් ඒ වගකීම භාරගත යුත්තේ රටේ දේශපාලන නායකයන් මිස රාජ්‍ය නිලධාරීන් නොවේ. විධිමත්, කාර්යක්ෂම, අල්ලස සහ දූෂණයෙන් තොර නිලධාරී ව්‍යුහයක් ගොඩනැගීමේ වගකීම දේශපාලන නායකත්වයට පැවරේ.
රාජ්‍ය නිලධාරීන් සහ රටේ පාලන වගකීම් දරන දේශපාලනඥයන් අතර ඝට්ටනයක් මතුවී එය තීව්‍ර වන තත්වයක් ඇති වන්නේ නම් එහි ප්‍රතිඵලය අතිශය බියකරු විය හැකිය. රාජ්‍ය පාලනය වියවුල් තත්වයකට පත්වීම රටේ සංවර්ධනය අඩපණවීමට සහ රට අරාජිකවීමට හේතුවක් වනු ඇත. එවැනි තත්වයක් ඇතිවීම වළක්වාගෙන රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ප්‍රශස්ත මට්ටමකින් රටට ලබාගත හැකි ක්‍රම වෙනසක් පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුව ඇත. රටේ ජනතාව අපේක්ෂා කළ ක්‍රම වෙනස වනුයේ ද එයයි.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුම බණ්ඩාර
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රාජ්‍ය නිලධාරීන් රජයේ ගමනට බාධාවක්ද?
nimal Thursday, 12 June 2025 02:49 AM
රාජ්‍ය නිලධාරීන් රජයේ ගමනට බාධාවක් නොමැත. දූෂිත නිලධාරීන් සිටින්නට පුළුවනි. දූෂණයට අකමැති දේශපාලකයන් පවා ඔහු නොදැන රාජ්‍ය නිලධාරීන් නිසා දූෂණයට ලක්විය හැකියි. එනම් ජනාධිපති නොදැන සිරකරුවන් නිදහස් වීම හෝ වෙනත් කාරණා. එහෙත් දේශපාලකයින්ගේ පෙළඹවීම් හෝ මැදිහත්වීම් නිසා රාජ්‍ය නිලධාරීන් දූෂිතයින් බවට පත්වේ. එනම් දේශපාලකයින්ගේ අවශ්‍යතාවයන් සහ බලපෑම් මත රජයේ ආයතන තුළ අවස්ථා නොමති වුවද දේශපාලන හිතවතුන්ට රැකියා ලබාදීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුවේ. දූෂණය අවම කිරීමට නම් සමස්ත දේශපාලන ක්‍රියාවලිය සහ රාජ්‍ය අයතන තුළ නව ක්‍රමවේද හඳුන්වාදිය යුතුවේ.
Pushpakumara Thursday, 12 June 2025 08:30 AM
මේවාට ප්‍රධානම හේතුවක් වන්නේ දේශපාලන හිතවත්කමට රැකියාදීම කියන්න පුළුවන්... එසේම කිව්වත් නිලධාරි කොටසකුත් තමන්ගේ අයට රහසේ කරන උදව් උපකාර මත එවැනි පත්වීම් ගන්නවා පිළිතුරු සමග ප්‍රශ්නපත්‍ර පිටවීම තවත් එවැන්නක් වෙනවා. ඊළඟට දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා විෂය නිර්දේශ සැකසීමේදී බාහිර කෙනෙකු නොදන්නා කරුණු විෂය නිර්දේශයට එකතුකර බඳවා ගැනීමේ පරිපාටි සකසා රාසේකො අනුමැතියට යවා එහෙම තමයි අනුමතකර තියෙන්නේ කියා විභාගයේදී ඇතුලේ සිටින අයගේ හිතවතුන්ට කියාදෙනවා. කිසිම සාධාරණයකට වැඩක් නැහැ. 1970 සමගි පෙරමුණු රජය ආරම්භ කළ හිතවතුන් පත්කිරීමේ ව්‍යාපෘතිය දැන්වත් නැවැත්තුවේ නැත්නම් ලංකාවත් වලපල්ලට ගිය රටක් වේවි...