IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු

2022 මැයි 9 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ කළු දිනයකි. ශිෂ්ට සම්පන්න ජනයා කවර හේතුවක් මත හෝ අනුමත නොකරන ජුගුප්සාජනක මෙන්ම තක්කඩි සිදුවීම් මාලාවක් එදින පෙරවරුවේත් සන්ධ්‍යාවේත් සිදුවිය.

එමෙන්ම එම දිනය අප හඳුනාගත යුත්තේ හැත්තෑ හතර වසරක් පුරා මෙරට ක්‍රියාත්මක වූ ත්‍රාඩ හා කොල්ලකාරී දේශපාලන වත්පිළිවෙත්වලට එරෙහිව සාමයට ලැදි ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න බහුතරයක් ජනයා නිහඬව එදෙස බලා සිටි දිනයක් ලෙසය.

‘‘අබ වපුරා මුං නෙළිය නොහැකි’’ බව එම ජනයා තේරුම් ගෙන සිටියහ. එහෙයින්ම මැයි 9 වැනිදාව දේශපාලකයන්ගේ හදවතේ ගැඹුරින්ම නිධන්ගත වූ දිනයක් විය යුතුය. එමෙන්ම දේශපාලනඥයන්ට පමණක් නොව පොදු මහජනතාවටද වළංගුය. 

ඇතමකුගේ කියුම් කෙරුම් මෙන්ම හැසිරීම් දෙස බලනවිට ගාලු මුවදොර අරගල බිමෙන් ඉපදී මැයි 9 වැනිදා ප්‍රචණ්ඩ වාසුළියක්ව ප්‍රකාශයට පත්වූ සංඥාව නිවැරැදිව කියවාගෙන ඇති බවක් නොපෙනේ. ඒ බව පසක් කෙරෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය කළඹවමින් තිබේ. 

එම වීඩියෝවෙන් දැක්වෙන්නේ ජීප් සහ අධි සුඛෝපභෝගී වාහන 30 – 40 කින් යාල අභය භූමියට ඇතුළුවූ පිරිසක් වන සතුන්ට හිංසා වන පරිදි හැසිරෙන බවය. එමෙන්ම වන සතුන්ට වෙන්වූ අධි සංවේදී කලාපයේ ඔවුන් ‘‘රේස් පදින’’ බවකි. වන සතුන්ට පීඩාකාරී ලෙස වාහනවල ‘‘හෝන්’’ හඬ නංවමින් කටයුතු කරන බවය. එම හැසිරීම් දෙස බලනවිට සිහිමද ගතියෙන් පෙළෙන අයකුට විනා හොඳ සිහියෙන් සිටින අයකුට එසේ හැසිරිය නොහැක. 

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී යකා නැටූ පිරිස් අතර ඇමති පුත්‍රයකුද සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. අප පුවත්පත වාර්තා කර තිබුණේ එම පිරිසට එරෙහිව නඩු පැවරීමට වන ජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවය. එමෙන්ම එම පිරිස සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවය. 

අප පුවත්පතට ප්‍රකාශයක් කර ඇති කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කර ඇත්තේ යාල වනෝද්‍යානයට ඇතුල් වූ පිරිසට කිසිවකුගේ හෝ විශේෂ අනුග්‍රහයක් නොලැබුණ බවත් ඔවුන් සාමාන්‍ය සංචාරකයන් පිරිසක් බවත්ය. එමෙන්ම එම පිරිස පිළිබඳ සියලු තොරතුරු ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපින හා වාහන අංක හා අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්‍ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බවය. 

විශේෂ බලයක් ඇතිව හෝ නැතිව යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ පිරිස් හි හැසිරීම් ඉතා නින්දාසහගතය. විශේෂයෙන්ම වනෝද්‍යානයක වටිනාකම දන්නා අයකු වේනම් එසේ හැසිරෙන්නේ නැත. එමෙන්ම වනෝද්‍යානයක වටිනාකම නොදන්නා පිරිස් එහි අතුළුවීමද තේරුමක් නැති ක්‍රියාවකි. උමතුවෙන් මෙන් හැසිරීමට නම් එයට සුදුසු වෙනත් ස්ථානයක් සොයාගත යුතුය. 
වනෝද්‍යානයේ පරම අයිතිය වන සීපාවුන්ට අයිතිය. මිනිසා ප්‍රේක්‍ෂකයෙක් පමණි. ජාතික වනෝද්‍යාන නම් කර තිබෙන්නේ ඒ වෙනුවෙනි. ඒ සම්බන්ධ නීති රීති පද්ධතියක්ද තිබේ. රටේ පුරවැසියන් තරාතිරම් බේදයකින් තොරව එම නීති රීති පද්ධතියට යටත්ය. 

යාල ජාතික අභය භූමියට ඇතුල්වී යකා නටන පිරිස් දෙස බලනවිට වනජීවී නිලධාරීන් නොසිටියේද යන්න ප්‍රශ්නයකි. වනෝද්‍යානයට ඇතුල්වූ විට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මග පෙන්වීම අනිවාර්ය වේ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පිරිසට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත් දෙනකුගේ සහාය ලැබී ඇත. ඔවුන් නිසි රිසි ලෙස රාජකාරිය කර ඇද්දැයි සොයා බැලිය යුතුය. එම නිලධාරීන් මග හැර ගොස් මෙසේ පිස්සු නැටුවේ නම් එතැන බරපතළ හිඩැසක් තිබේ. එබඳු හිඩැස් තබාගෙන ජාතික වනෝද්‍යාන පවත්වාගෙන යා නොහැකිය. 

අප රටේ ජාතික වනෝද්‍යාන මස් වැද්දන්ගේ පාරාදීසයකි. ඇතැම් පිරිස් ජීවනෝපාය පිණිස සතුන් දඩයම් කරති. තවත් පිරිස් විනෝදයට සතුන් දඩයමේ යති. ඇතුන් මරා දළ කපාගෙන යාම මහා පරිමාණ ජාවාරමකි. මේවා මෙසේ වීමට ඉඩ හැරියහොත් අනාගතයේදී ජාතික වනෝද්‍යානවල ‘‘බෝඩ් ලෑලි’’ පමණක් ඉතිරිවනු ඇත. 

‘‘හැරමිටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නාසය අගින් කෙළවර වේ’’ යන්න දේශපාලන විද්‍යාවේ ඉගැන්වීමකි. එහෙත් එය පුරවැසි හැසිරීමට නිවැරැදි ලෙස ගළපා ගත යුතුය. විශේෂ බලයක් ඇතිව හෝ නැතිව වුවද අප කටයුතු කළ යුත්තේ අපට අදාළ සීමාවේ රැඳෙමිනි. ඒවා එසේ සිදු නොවීමේ තර්කානුකූල ප්‍රතිඵලය මැයි 9 වැනිදා ප්‍රකාශයට පත් විය. එය නිවැරැදිව කියවාගත යුත්තේ එහෙයිනි.

(***)



අදහස් (0)

යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site