මෙරට බෞද්ධ සහ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර 1873 වසරේ පානදුරේදී සිදුවූ ‘‘පානදුරා වාදයට’’ සම්බන්ධ ලියකියවිලි කිහිපයක් යුනෙස්කෝ සංවිධානයේ වාර්ෂික ලෝක උරුම ලේඛනයට ඇතුළත් කර ඇත. පානදුරා වාදයට දෙපාර්ශ්වය එකඟවූ සහ ඒ වෙනුවෙන් හුවමාරු කරගත් ලිපි ලේඛන හතරක් මෙසේ ලෝක උරුමය ලේඛනයට ඇතුළත් කර ඇත.
යුනෙස්කෝ සංවිධානය පවසා ඇත්තේ මේ වනවිට පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති එම ලේඛන හතරෙහි විශාල ඓතිහාසික, සංස්කෘතික හා බුද්ධිමය වටිනාකමක් ඇති බවය. රන්කොත් විහාරාධිපති මහාචාර්ය කහපොල සුමනරතන හිමියන් කළ ඉල්ලීමක් මත මෙම ලේඛන ඇතුළත් කර තිබේ. ඒ අනුව පානදුරාවාදය යනු කුමක්දැයි විමසා බැලීම කාලෝචිතය.
යටත් විජිත යුගයේදී බ්‍රිතාන්‍ය පාලනය ලාංකිකයන්ට අප්‍රසන්න කළ එක් කණ්ඩායමක් වූයේ යුරෝපයේ පැවැති විවිධ ආගමික නිකායයන් මෙරට ප්‍රචලිත කිරීමට උත්සාහ කළ මිෂනාරීන්ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරටට පැමිණි සංවිධාන කිහිපයක් ක්‍රිස්තියානි ආගම මෙරට පැතිරවීමට කටයුතු කළේය. එම සංවිධාන පොදුවේ මිෂනාරීන් ලෙස හැඳින්වේ. ක්‍රිස්තුවර්ෂ 1804 දී ලන්ඩන් මිෂනාරි සමාගමද 1812 දී බැස්ටිස්ට් මිෂනාරී සංවිධානයද 1814 දී වෙස්ලියානු මිෂනාරී සංවිධානයද 1816 දී ඇමරිකන් මිෂනාරී සංවිධානයද 1818 දී වර්ඩ් මිෂනාරී සංවිධානයද මෙරටට පැමිණ මෙරට ජනතාවට බුද්ධාගමට එරෙහිව ක්‍රිස්තියානිය ඇතුළු යුරෝපීය ආගම්වල වටිනාකම දේශනා කිරීමට පටන් ගත්හ. ඒ සඳහා පාසල් ඇරඹිනි. එම පාසල් මිෂනාරී පාසල් ලෙස හැඳින්විණි. ලාංකිකයා තල්කොළවල ලියූ එකල මිෂනාරීහු මුද්‍රණ තාක්ෂණය මෙරටට රැගෙන විත් කඩදාසියේ පොත පත මුද්‍රණය කර තම ආගම ජනතාව අතර පතල කළහ.
මිෂනාරීන් සතු බලගතුම අවිය වූයේ පාසල්ය. එකල බෞද්ධ පාසල් නොවූ අතර සිංහල බෞද්ධ දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දුන්නේ පන්සලෙනි. ඉංග්‍රීසි යටත් විජිත රජය පන්සල් අධ්‍යාපනයට උදව් නොකළ අතර රජයේ සියලු ආධාර මිෂනාරී පාසල්වලට ලැබුණි. රැකියා ලබා ගැනීමට ඉංග්‍රීසි දැනීමත් ක්‍රිස්තියානිය වැළඳගෙන තිබීමත් ප්‍රධාන සුදුසුකම විය. මේ නිසා සිංහල බෞද්ධ ධනවතුන් පමණක් නොව ගැමියන් පවා ක්‍රිස්තියානි ආගම වැළඳගෙන තම දරුවන්ට ඉංග්‍රීසි ඌරුවට නම් තබා තම මව් භාෂාව සහ පරාම්පරාගත ආගම අතහැර දමා තිබිණි. දරුවන් ක්‍රිස්තියානින් ලෙස බෞතීස්ම නොකළ හොත් පාසල්වලට භාර ගැනුණේ නැත. මේ නිසා ටිකෙන් ටික යළිත් බෞද්ධ ප්‍රබෝධයක අරුණළු මතුව ආයේය. ඒ සඳහා පෙරමුණ ගත්තේ කොටහේන දීප දුත්තාරාමයේ වැඩ විසූ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ය.
ක්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරය තම ධර්මය මුද්‍රණය කරවා ජනතාවට බෙදාහැරීම හේතුවෙන් බෞද්ධයන්ටද එවැනිම මාධ්‍යයකින් මිෂනාරීන්ට පිළිතුරු දීමට අවශ්‍ය විය. තායිලන්තයේ චූලාලංකාර රජතුමාගේ ධන පරිත්‍යාගයෙන් මුද්‍රණ යන්ත්‍රයක් ගෙන්වා බෞද්ධ පතපොත මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ වන්නේ 1862 වසරේය. මුද්‍රණය කළ පළමු පොත වූයේ ‘‘සුදර්ශනය’’ නමැති බෞද්ධ සඟරාවකි.
දෙපාර්ශ්වය අතර තරගය වඩාත් තීව්‍රවෙද්දී ආගම් දෙකේ හොඳ නරක පිළිබඳ විවාදයකට එන ලෙස මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ මිෂනාරීන්ට අභියෝග කළහ. ක්‍රිස්තියානි පක්ෂය අභියෝගය භාරගත් අතර වාදය 1865 දී බද්දේගමදී පැවැත්විණි. එම වාදයෙන් සිංහල බෞද්ධ පක්ෂය ජයගත් අතර ගුණානන්ද හිමියන්ට එරෙහිව මිෂනාරී ව්‍යාපාරය දිගටම විරෝධතා මාලාවක් ගෙන ගියේය. ඉන්පසුව රඹුක්කන උදන්විටදී 1866 වසරේ උදන්විට වාදය නමින්ද 1871 දී ගම්පොලදී ගම්පොල වාදය නමින්ද මිෂනාරී ක්‍රිස්තියානි පක්ෂය සමග ආගමික කරුණු ගැන විවාද කෙරිණි. 1873 පානදුරේදී පැවැති වාදය අවසන් වූයේ සුවිශාල බෞද්ධ ප්‍රබෝධයකට පාර කපමිනි.
පානදුරා වාදය පැවැත්වුණේ ගල්කන්ද විහාරය හෙවත් පානදුර රන්කොත් විහාරයේදීය. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ගල්කන්ද පන්සලේදී 1873 ජුනි මස 19 වැනි දින රාත්‍රි ධර්ම දේශනයක් පැවැත්වූහ. උන්වහන්සේ එහිදී බෞද්ධාගමේ ඇති පුනරුප්පත්තිය, කුසලා කුසල කර්ම ආදිය ගැන විස්තර කළහ. මෙම ධර්ම දේශනයේ ඇතුළත් කරුණුවලට එරෙහිව දාවිත් ද සිල්වා නම් දේවගැතිවරයකු පානදුරේ වෙස්ලියානු දේවස්ථානයේදී දේශනයක් පැවැත්වීය. පානදුරා වාදයට මාවත විවෘත වූයේ ඒ තුළිනි. ඔහු දේශනය තුළින් කියා සිටියේ ගුණනාන්ද හිමියන් කියන අයුරින් සත්වයකු මිය ගිය පසු යළි උපදින්නේ කුසලාකුසල කළාවූ එම සත්වයා නොව එහෙම පිටින්ම අන්‍ය සත්වයකු බවය. මෙම දේශනයට විරුද්ධව ගුණානන්ද හිමියන් යළිත් කියා සිටියේ යම් සත්වයකු මිය ගිය පසු එම සත්වයා යළි උපදින්නේ පෙර ආත්මයේ කළ කුසලා- කුසල අනුව බවත් එම කුසලා කුසල අනුව නූපදින බවට බුද්ධාගමේ පොතපතේ කරුණු ඇතැයි දාවිත් ද සිල්වා දේව ගැති තැන නිරතුරුවම කියා සිටින ප්‍රකාශ වැරදි බවත්ය. බුද්ධාගමේ එවැනි ප්‍රකාශ නොමැති බවත් දේවගැති තැන ධර්ම ග්‍රන්ථ විකෘති කර ප්‍රකාශ ඉදිරිපත් කරන බවත් ගුණානන්ද හිමියෝ කියා සිටියහ. මෙම ප්‍රකාශයට අභියෝග කරමින් දේවගැති තැනගේ පාර්ශවය ගුණානන්ද හිමියන් වාදයකට කැඳවන ලිපියක් යැවීය. පානදුර උසාවියේ පීතර් දානියෙල් පෙරකදෝරු තැන සහ පානදුරේ පට්ටිය ගමේ මත්තේස් සුවාරිස් ගුණවර්ධන යන දෙදෙනාගේ අත්සනින් එම ලිපිය යවා ඇත. මෙම දෙපාර්ශ්වය අතර වාග් සටනක් බවට පත්වූ සත්වයකුගේ මතු ඉපදීම ගැන වාද කිරීමට තමන් කැමති බවත් එම වාදයට කැමති නම් පානදුරේ කඩවත් හතර ඇතුළත් සුදුසු ඉඩමක්ද ඉරිදා නොවන දිනයක්ද වාදයට නියම කොට තමන්ට දන්වා එවන ලෙසත් ඔවුන්ගේ ලිපියේ සඳහන් විය.
බෞද්ධ පක්ෂය එම අභියෝගය භාර ගත්තේය. වාදයට දින නියම කර ගැනිණි. විවාදය කළ යුතු ආකාරය ගැන දෙපක්ෂය අතර කරුණු දහසකින් යුතු ගිවිසුමක්ද අත්සන් කරිණි. වාදය මුළු වචනයෙන් කිරීම, එක් පාර්ශ්වයකට තමන්ගේ කතාව පිණිස එක් වරකට පැයක් වෙන් කිරීම වාදය කරන අතර කිසි ගාලගෝට්ටියක් හා කැරලි කෝලාහලයක් නොවන හැටියට දෙපාර්ශ්වයම වගබලා ගැනීම වාදය අතරතුර කතා කරන තැනැත්තා හැර අන් සියලු දෙනා නිශ්ශබ්දව අසාගෙන සිටීම වැනි කරුණුවලට විවාදයට පෙර දෙපාර්ශ්වයම එකඟ වූහ.
වාදය කෙරුණේ පානදුර පට්ටියේ දොඹගහවත්තේදීය. එම ඉඩමේ වාදයට සුදුසු බංගලාවක් තනාදීමට සිංහල බෞද්ධයකු වූ මත්තේස් සුවාරිස් ගුණවර්ධන මහතා පියවර ගත්තේය. ඒ මහතා සහ ප්‍රකට බෞද්ධ දානපතියකු වූ ජෙරමියස් දියෙස් මහතා බොහෝ වියපැහැදම්වලට කර තැබූහ.
පණ්ඩිත විමල් අභයසුන්දර මහතා ලියූ මොට්ටිවත්තේ ශ්‍රී ගුණනාන්ද අපදානය කෘතියේ මෙවැනි සඳහනක් ඇත.
‘‘මෙම වාදය ඇසීමට සහ බැලීමට පැමිණ සිටි පිරිස දස දහස ඉක්මවූ බව කියති. කරත්ත, බර කරත්ත, බක්කි කරත්ත, ආදියෙන්ද පා ගමනින්ද දහස් ගණන් ජනයා එහි ආහ. මුළු එළිමහනම මිනිස් සයුරකින් මෙන් වැසී තිබුණි. බුද්ධිමත් පෙනුමක් ඇති මැනවින් හැඳ පැළඳගත් තරුණ පිරිසක් කොළඹින් ගොස් සිටියහ. මොවුන් පැමිණ තිබුණේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ නායක වාදීභසිංහයා හට දිවි වුව පුදනු රිසියෙනි...’’
‘‘ප්‍රධාන වශයෙන් ප්‍රොතෙස්තන්ත යන් සමග පැවැත්වෙන විවාදයක් වුවද ක්‍රිස්තියානි පක්ෂයෙන් බැප්ටිස්ට් මෙතෝදිස්ත, වෙස්ලියන් කතෝලික ආදී සෑම නිකායෙන්ම දේවගැතිවරු මෙම අවස්ථාවට සහභාගි වූහ. පුරා විද්‍යා අධිකාරියෙන් එච්.සී.පී. බෙල් මහතාද ක්‍රිස්තියානි පක්ෂයට සහාය වීම සඳහා අනුරාධපුරයේ සිට පැමිණ සිටියේය. ‘‘යැයි අභයසුන්දර මහතා සටහන් කරයි.
විවාදයේ වීරයා වූයේ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ය. ක්‍රිස්තියානි පක්ෂයට ප්‍රධාන කථිකයා වූ දාවිත් ද සිල්වා දේව ගැති තැන විවාදය කළේ පොදු ජනතාවට නොතේරෙන වචන හා ගැඹුරු ස්වරයෙනි. ගුණානන්ද හිමියෝ සරල බස් වහරින් සාමාන්‍ය ජනතාවට තේරෙන අන්දමට දේවගැති තැනගේ තර්ක බිඳ දැමූහ. පානදුරාවාදය බෞද්ධයන්ගේ ජයග්‍රහණයෙන් අවසන් විය. මිෂනාරී අදහස් පරදවමින් බෞද්ධාගමේ නව ප්‍රබෝධයක් රට පුරා හමා ගියේය. විවාදයෙන් ජයගත් නිසාම ගුණානන්ද හිමියන්ට ‘‘වාදිභසිංහ’’ යන ගෞරව නාමය ජනතාවගෙන් ලැබිණි. විවාදයේ ප්‍රතිඵලය ඇමරිකාවේද පැතිර යාමේ ප්‍රතිඵලයක් වශයෙන් කර්නල් ඕල්කොට්තුමා මෙරටට පැමිණ අලුත් බෞද්ධ ප්‍රබෝධයකට උරදුන්නේය. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම බවට නම් කර ඇත්තේ මෙම වාදයට දෙපාර්ශ්වය අතර හුවමාරු වූ ලිපි සහ වාදයේ සම්පූර්ණ ලියැවිල්ලය.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
යුනෙස්කෝ ලෝක උරුමයක් වූ පානදුරාවාදය