ශ්රී ලංකාවට මිහිදු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිදුවන්නේ ඉන්දියාව පසුබිම් කරගෙනය. එයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව අද මෙන්ම එදාත් ඉන්දියාව ඇතුළු රටවල වැඩි අවධානයට ලක් වූ රාජ්‍යයක් ව පැවැති බවය. ලංකාවේ භූමි පිහිටීම එම වැදගත්කමට විශේෂයෙන්ම බලපාන්නට ඇත.
ධර්මාශෝක රජු තම ධර්ම දූත ව්‍යාපාරයේ දී තමන්ගේම පුත්‍රයා ලංකාවට එවන්නට මේ කාරණා හේතු වන්නට ඇත. දේශපාලනික පසුබිම ද මේ සදහා බලපාන්නට ඇතත් මහින්දාගමනය සහ ඉන් මෙරටට ලැබුණු දායාදය දේශපාලනයට සීමා නොවූ එය ඉක්මවා ගිය එකකි.
මිහිදු මහ රහතන් වහන්සේ වැඩමවීමෙන් පසු උන්වහන්සේ මුලින්ම දේශනා කරන්න්නේ
සමනාමයං මහා රාජ- දම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය- ජම්බු දීපා ඉධාගථා
යනුවෙනි. මේ ප්‍රකාශයට අනුව බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප දඹදිව සිට වැඩමවූයේ ඔබලාගේම යහපත සදහා බව අවධාරණය වේ. එයින් පැහැදිලි වන්නේ මේ වැඩමවීමේ අරමුණ ධර්ම දූත සේවය පිණිසම බවය. මහින්දාගමනය සත්‍ය වශයෙන්ම සිදුවූ අන්දම සහ කාලවකවානු පිළිබද සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක ද පවතී. ලංකාවේ පමණක් නොව ඉන්දියානු මූලාශ්‍ර මගින් ද එය තහවුරු වේ. දීපවංශය, මහාවංශය, සමන්තපාසාදිකාව, වංසත්තප්පකාසිනිය වැනි ලාංකික සාහිත්‍ය මූලාශ්‍ර ඒ අතර මූලික වේ. ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් ඉන්දියාවේ සාංචිවල කරන ලද කැණීම්වලදී ලද සාක්ෂි මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවල පුරාවිද්‍යා සාධක ද මේ කරුණ සනාථ කරයි. අම්පාර රජගල ශිලා ලේඛනය සහ මිහින්තලා සෙල් ලිපිවල ද මේ සම්බන්ධ සාක්ෂි හමුවේ.
රාජ්‍යය සම්බන්ධයෙන් මහින්දාගමනය වැදගත් වන්නේ ඇයි? රටක් සංවර්ධනය කිරීමට නම් මූලික වශයෙන් එරටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුය. ඔවුන්ගේ සමාජ කියැවීම දැනුම හා අවබෝධය පුළුල් විය යුතුය. තුන් වැනි කාරණය නම් එරටේ ජනතාව සතුටින් සිටිය යුතුය. මිහිදු මහ රහතන් වහන්සේගේ මැදිහත්වීම අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ රටක් සංවර්ධනය කිරීමට මූලිකව අවශ්‍ය වන ඉහත සදහන් කාරණා තුනම කෙරෙහි උන්වහන්සේ අවධානය යොමු කර ඇති බවය.
කවර කලෙක වුව ද රටක යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ දී හොදම කාලය, හොදම විධිය, හොදම තැන ආදිය සම්බන්ධයෙන් අවධනය යොමු කෙරේ. බුදුන් වහන්සේ ද බුද්ධත්වයට පෙර පස්මහ බැලුම් බැලූ බව දැක්වේ. මේ අනුව යම් කාර්යයකට අවශ්‍ය පසුබිම කෙරෙහි බෞද්ධ පරිසරයෙහි ඉඩක් ලැබේ. මිහිදු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩමකර අඹ පැනයක් විසදූ බව දැක්වෙන පුවතක් එයි. එහිදී උන්වහන්සේ මතු කරන්නේ තාර්කික ප්‍රශ්නයකි. ඒ අනුව මිහිදු හිමියන් විමසා බලන්නේ තාර්කික කරුණක් අවබෝධ කරගත හැකි බුද්ධිමත් පාලකයකු මේ රටේ සිටින්නේ ද යන්නයි.
දේවානම්පියතිස්ස රජු පාලනය බාරගන්නා තෙක්ම මිහිදු හිමියන්ගේ ලංකාගමනය ප්‍රමාද කළ බව ඇතැම් මූලාශ්‍රවල එයි. ඒ අනුව හොදම අවස්ථාවේ හොදම දේශපාලන පසුබිමක් සහිත පරිසරයක් තෝරාගෙන මිහිදු හිමියන් ලංකාවට වැඩම කළ බව පැහැදිලිය.
දේශපාලනයේදී රාජ්‍යතාන්ත්‍රිකභාවය අතිශයින් ම වැදගත් කාරණයකි. මිහිදු හිමියන් වැඩම කරන විට රාජ්‍යයක් හැටියට දිය හැකි උපරිම සහයෝගය ලංකා රාජ්‍යය ලබා දුන් බව තහවුරු වේ. මෙය අනර්ඝ අවස්ථාවක් බව ලංකාවේ පාලකයා තේරුම් ගෙන තිබුණි. දෙරටේ එවකට පැවැති ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රිකභාවය මේ අනුව මනාව පැහැදිලි වේ. එය රට සංවර්ධනය කිරීමට අවශ්‍ය දේශපාලනික පසුබිම සකසා ගැනීමක් ද වේ.
මිහිදු මහරහතන් වහන්සේ මෙරට සුවිශේෂ සංස්කෘතික පරිවර්තනයක් සිදු කළහ. උන්වහන්සේ දේශනා කළ සූත්‍ර අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ ලංකාව ලෝකයේ කවර තැනකටත් වඩා වැදගත් සංවර්ධනීය භූමියක් කිරීමට පසුබිම සැකසෙන සූත්‍ර දේශනා ඉදිරිපත් කිරීමට කැප වී ඇති බවය. සදාචාරයක් නොමැති රටක සංවර්ධනයක් ළගා කරගත නොහැකිය. මහජනයාගේ අවබෝධය පුළුල් විය යුතුය. මහින්ද හිමියන් මේ ජන අවබෝධය පුළුල් කිරීමට විශේෂ අවධානයක් යොමු කළ බව පෙනේ. මේ සූත්‍ර දෙස බෞද්ධ දාර්ශනික විග්‍රහයට අනුව බැලූ විට ඒවායේ සර්වකාලීන වැදගත්කම තේරුම් ගත හැකිය.
මිහිදු හිමියන් දේශනා කළ එක් සූත්‍රයක් නම් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. එයින් අවධාරණය වන්නේ අනුපූර්ව ශික්ෂණයක අවශ්‍යතාවයි. මිනිසුන්ගේ තත්වය වැදගත්කම එහිදී අවධාරණය වේ. නිර්වාණය දක්වාම වැදගත් වන පුද්ගල සදාචාරාත්මක වර්ධනය මෙම සූත්‍රයෙන් හෙළිදරව් වේ. මිහිදු හිමියන් දේශනා කරන සාමඤ්ඤ ඵල සූත්‍රයේ දී ශ්‍රමණභාවයේ උසස් බව අවධාරණය වෙයි. මිහිදු හිමියන් මෙහිදී කරන්නේ මානව සදාචාරය එහි අවශ්‍යතාව අවධාරණය කරන අතරේ මෙතෙක් ලංකාවේ නොතිබුණු උත්තරීතර ජීවන ප්‍රතිපදාවක් ඇති බව පෙන්වා දීමය. උපාසක උපාසිකාභාවයේ සිට මහණකම දක්වා යා හැකි ගමන එහිදී විස්තර කෙරේ. එපමණක් නොව පුද්ගල ශරීරය අනුක්‍රමයෙන් වියපත් භාවයට පත්වන අන්දම උන්වහන්සේ දේව දූත සූත්‍රයෙන් පැහැදිලි කරති. පුද්ගලයා ලෙඩවන හැටි මරණයට යන හැටි කියමින් ජීවිතය පිළිබද යථාර්ථය රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වාම තේරුම් ගැනීමට අවස්‍ථාව ලබා දෙති. මිහිදු හිමියන් දේශනා කරන බාල පණ්ඩිත සූත්‍රය වැනි සූත්‍ර දේශනා මෙරට සමාජය ශිෂ්ටාචාරවත් කිරීමට ප්‍රබල වශයෙන් හේතු වූවා පමණක් නොව ඒවා අදටත් හෙටටත් වශයෙන් සර්වකාලීනව වලංගු වනු ඇත. තමන් පණ්ඩිත බවත් උගත් බවත් බොහෝ දේ දන්නා බවත් මිනිස්සු සිතා සිටිති. තමන් දන්නා තරම ප්‍රමාණවත් යැයි ඔවුහු කල්පනා කරති. බාලපණ්ඩිත සූත්‍රයෙන් අවධාරණය කෙරුණේ මේ අදහස්වලට නව අර්ථකථනයක් සැපයීමය. සැබෑ උගත්කම යනු කුමක්ද? මෝඩකම යනු කුමක්දැයි මේ සූත්‍ර දේශනාවෙන් මනාව පැහැදිලි කෙරේ. යහපත් ලෙස සිතන යහපත් ලෙස කතා කරන යහපත් ලෙස වැඩ කරන මිනිසා උගත් මිනිසා ලෙස සැලකෙන බව මෙහි විස්තර වේ. එසේම මිහිදු හිමියන් දේශනා කරන අග්ගි සූත්‍රයෙන් විස්තර කෙරෙන්නේ රජ මැදුරුවල උසස් තානාන්තරවල සිටින අය අසාධාරණයෙන්, අයුක්තියෙන්, ද්වේශ සහගතව රාගයෙන් කටයුතු නොකළ යුතු බවය. මුළාවෙන් මෝහයෙන් යුතු පැවැත්ම අත්හළ යුතු බව මෙමගින් හෙළිදරව් කෙරේ.
මේ සූත්‍ර දේශනාවල පුද්ගලයා අප්‍රමාදීව කටයුතු කිරීමේ වැදගත්කම නිතරම මතු කෙරේ. අප්‍රමාදය යනු වචනාර්ථයෙන් පමා නොවීම ම නොවේ. සිහි කල්පනාවෙන් යුතුව කටයුතු කිරීමය. මෙය සංකල්පයක් ලෙස අද වන විට බටහිර රටවල නිතර අවධාරණයට ගන්නා කරුණකි. සිහි කල්පනාවෙන් කටයුතු කිරීම යනු භාවනා කිරීමම නොවේ. ගුරුවරයා තමන් ගුරුවරයකු බව දැන ක්‍රියා කළ යුතුය. ශිෂ්‍යයා තමන් ශිෂ්‍යයකු බව දැන ගෙන ක්‍රියා කළ යුතුය. මව පියා තම මවුපියන් බව සිහිතබාගෙන කටයුතු කළ යුතුය. තමන් කරන කාර්යය පිළිබඳ අවදියෙන් කල්පනාවෙන් සිටීම අප්‍රමාදීව කටයුතු කිරීම බව උන්වහන්සේ පෙන්වා දෙති. පුද්ගලයා අප්‍රමාදීව ක්‍රියා නොකිරීම යනු ඔහු සදාචාරාත්මකව පිරිහීම යනුය. බුදුන් වහන්සේ දේශනා කළේ උත්තරීතරභාවයට පත්වූවකු ලෝකය දෙස බැලීමේදී පෙනෙන්නේ මිනිසුන් කළ යුතු වැඩ තිබියදී නොකළ යුතු වැඩ පසුපස දිව යන බවකි. සූත්‍ර දේශනා මගින් මිහිඳු හිමියෝ ශ්‍රාවකයන්ගේ චින්තනය බොහෝ සෙයින් පුළුල් කළහ. එක් පැත්තකින් බුද්ධිය දියුණු කළහ. අනෙක් පැත්තෙන් හදවත දියුණු කළහ. වැදගත් කරුණක් නම් උන්වහන්සේ දාර්ශනික වශයෙන් බුද්ධිය දියුණු කරන ගමන්ම සංස්කෘතික වශයෙන් සමාජය පෝෂණය කිරීමට පදනම දැමීමය. මෙකල ඇතැම්හු සංස්කෘතික කාරණාවලට දැඩි ලෙස පහර ගසති. ගර්හා කරති. එහෙත් කිසිම විටෙක දර්ශනය තනිවම පවතින්නේ නැත. සංස්කෘතිය එයට ඒකාබද්ධ වේ. මේ සංයෝගය මිහිඳු හිමියන්ගේ දර්ශනය තුළ මනා සේ දක්නට ලැබිණ. උන්වහන්සේ දර්ශන මාර්ගය පමණක් පෙන්වා දුන්නේ නම් ග්‍රීසියේ සොක්‍රටීස්, ඇරිස්ටෝටල් වැන්නන්ගේ මෙන් දාර්ශනික සිද්ධාන්ත පමණක් මෙරට සමාජයේ ඉතිරි වන්නට ඉඩ කඩ තිබිණ. ඉසුරුමුණිය වැනි කලා නිර්මාණ බිහිවන්නේ දාර්ශනික හා සංස්කෘතික යන දෙඅංශය සමපාතව පෝෂණය වීමේ ප්‍රතිඵල ලෙසය. මහින්දාගමනයෙන් පසු සිදුවන සංඝමිත්තාගමනයේදී ඉන්දියාවෙන් ශ්‍රේණි දහඅටක ශිල්පීන් මෙරටට පැමිණි බව මූලාශ්‍රවල දැක්වේ. එයින් මෙම සංස්කෘතික පරිසරය තවදුරටත් තහවුරු විය. මේ සියල්ල සිදු වන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතවය.
මිහිදු හිමියන්ගේ මෙම මැදිහත්වීම අනුව එක් පැත්තකින් දර්ශනය දියුණුවූ අතර අනෙක් පැත්තෙන් මානව සමාජයේ සතුට හා විනෝදය අර්ථවත්ව පෝෂණය විය.
සමාජයක මේ සියල්ල කළ හැකි වන්නේ රටේ ආර්ථිකය දියුණු වුවොත් පමණි. යහපත් ආර්ථික මාර්ගයක් මිහිදු හිමියෝ ලංකා වැසියන්ට මේ අනුව හදුන්වා දුන්හ. කෘෂිකර්ම ක්ෂේත්‍රය දියුණු කරමින් ඊට අවශ්‍ය පරිසරය උන්වහන්සේ නිර්මාණය කළහ. ගම පන්සල වැව දාගැබ සංකල්පය එයින් බිහි විය. අටුවාවල සදහන් පරිදි අනුරාධපුර සමයෙහි නිර්මාණය වූ වෙහෙර විහාර දැක බලා ගැනීම සදහා විදේශිකයන් මෙරටට පැමිණි බව පැහැදිලිය. එයින් යම් ආර්ථික පරිසරයක් නිර්මාණය වූ වගටත් සාක්ෂි තිබේ. එදා පමණක් නොව අදත් අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගත් ආර්ථික පරිසරය සලකා බැලුවොත් ඊට මේ බෞද්ධ සංස්කෘතිය පදනම්වී තිබේ. ආර්ථිකය දියුණු කිරීමට පන්සල මුල් කරගත් වැඩපිළිවෙළක් පුරාණයේ පැවැති බව ඇතැම් සෙල්ලිපිවලින් හෙළිවේ. තෝනිගල සෙල්ලිපිය ඒ සදහා උදාහරණයකි. මිහිදු හිමියන් හදුන්වා දුන් අධ්‍යාපනයෙන් බිහිවූ අය එම දැනුම භාවිත කරමින් අද දක්වාත් අනාගතයේත් බැබළෙන බව පෙනේ. මිහිදු හිමියෝ පාලි භාෂාව හා ත්‍රිපිටකය රැගෙන ආහ. එහි ඇත්තේ අධ්‍යාපනය හා ධර්මය පමණක් නොවේ. එහි මහා දැනුම් සම්භාරයක් මෙන්ම මහා සංස්කෘතියක් වේ.
අනෙක් වැදගත් කාරණය මහින්දාගමනයෙන් සදාචාරාත්මක සමාජයක් නිර්මාණය වීමය. පන්සිල් රකින සමාජයක් නිර්මාණය කිරීමට මිහිදු හිමියන් ප්‍රමුඛ මග පෙන්වීමක් සමාජයට ලබා දී තිබේ. යුක්තිය, ධර්මය, නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමට පාලකයන් පෙළැඹවූ බව පැහැදිලිය. නීති විශාරද ස්වාමීන් වහන්සේලා පවා අනුරාධපුර යුගයේ සිටි බවට සාක්ෂි ලැබේ. අනෙක් වැදගත් කරුණ නම් ලෝකයේ කොහේවත් දක්නට නොලැබෙන ධර්ම රාජ්‍ය සංකල්පයක් ලංකාවට හදුන්වාදීමට මිහිදු හිමියෝ කටයුතු කළහ
මේවායින් පෙනී යන්නේ සුරක්ෂිත, සුපෝෂිත යහපත් රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු මාර්ගෝපදේශ මිහිදු දහමේ ඇතුළත් බවය. රටක් හැටියට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ වටිනාම තැනක තබන්නට අවශ්‍ය පදනම උන්වහන්සේ නිර්මාණය කළහ. එදා පාලියෙන් ලියැවුණු ත්‍රිපිටකය අද වනවිට ලෝකය පුරාම ව්‍යාප්තව එය උගත් බුද්ධිමතුන්ගේ නොමද අවධානයකට ලක්වී ඇති බවක් පෙනීමෙන්ම මේ කාරණය පැහැදිලිවේ. එය ලෝකය පුරාම බුදුදහම පැතිරී යාමට පරිසරය නිර්මාණය කරන්නකි.
මිහිදු හිමියන්ගේ පරමාදර්ශය නිවැරැදිව තේරුම් ගෙන සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර වඩා නිවැරැදි හා සාර්ථක කරගැනීම කෙරෙහි අප අවධානය යොමු කිරීම වැදගත්වේ. මිහිදු හිමියන් අද වැඩ සිටියා නම් දේශපාලනය ඇතුළු මේ කියන ක්ෂේත්‍ර ගමන් ගතයුතු මග පිළිබද මනා මගපෙන්වීමක් කරනු ඇත. දේශපාලනයේ අපට වැරැදුණු තැන් මොනවාදැයි මනාව පැහැදිලි කර දෙනු ඇත. මේ සියල්ලට ඇත්තේ එක මූලධර්මයකි. එනම් බුද්ධ දේශනාවේ එන මධ්‍යම ප්‍රතිපදාවයි. එයින් කියන්නේ මධ්‍යස්ථ විය යුතු බව නොවේ. මෙය තිබුණොත් මෙය සිදුවේ යන ධර්මතාව එහි ඉගැන්වේ.අසාධාරණය රටේ පැවැතියහොත් දුරාචාර සිදුවේ. අවබෝධය නොතිබුණොත් මුළාව ඇතිවේ. වර්තමානයේ බොහෝ ක්ෂේත්‍රවල පවත්නේ සදාචාර පරිහානියයි. සදාචාරය හා ආර්ථිකය එකට බැදී යා යුත්තකි. බුදුන් වදාළ ධර්මය මිහිදු හිමියන් පෙන්වා දුන් දර්ශනය හා සංස්කෘතික පරිසරය පිළිබද සිහි නුවණින් කල්පනා කර ඒ මග ගමන් කිරීම කාලෝචිතය.
(*** සාකච්ජා සටහන ගාමිණී කන්දේපොළ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහින්දාගමනයේ දේශපාලනික සංස්කෘතික බලපෑම