IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මාසයක උපවාසයෙන් පසුව සමරන රමසාන්

ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන වගකීම් පහෙන් ප්‍රධානතම වගකීමක් වන මාසයක් උපාවසය සුරැකීමෙන් පසුව එළැඹෙන පළමු වැනි දිනය ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව  ‘ඊදුල් ෆිත්ර්’ රමසාන් උත්සවය අද (22) සමරති. මේ ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව සමඟ එක්වී ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ද අද (22) දිනයේ රමසාන් උත්සවය සමරති. මෙදින අලුයම අවදිවන සියලු‍  මුස්ලිම් බැතිමතුන් දිය නා පිරිසුදුව අලු‍ත් ඇඳුම් හෝ තමන් සතුව ඇති පිරිසුදු ඇඳුමක් හැඳ ආගමික වතාවත්වල නියැළේ.

ඉස්ලාම් ධර්මය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ශුද්ධ වූ අල් කුරාණය සහ නබි තුමන්ගේ හදීස මතයි. ශුද්ධ වූ අල් කුරාණය සඳහන් කරන ආකාරයට ඉස්ලාම් ධර්මය ආරම්භ වන්නේ ලොව පළමු වන මිනිසා වූ ආදම් නබි තුමන්ගෙනි. ස්වර්ගයේ සිට මෙලොවට බිහිවූ ආදම් තුමාණෝ ඉස්ලාම් දහම අනුව ලොව පළමු වන මිනිසා මෙන්ම පළමු වන වක්තෘවරයාණෝ ද වෙති. උන් වහන්සේගේ ඉල ඇටයකින් හව්ව තුමිය මවා මෙලොව මිනිස් පරපුර බිහි කළ බව ද ඉස්ලාමය කියයි. ආදම් නබි තුමන්ගෙන් පටන් එක් ලක්ෂ විසි හතර දහසක් වක්තෘවරුන් මෙලොවට පැමිණ තම තමන් ජීවත්ව සිටි කාලයේ දී පැවැති සමාජය යහමඟට ගැනීමට වෙහෙස වූ බව ඉස්ලාමය කියයි. එම භාරධූර කාර්යය මුහම්මද් නබි තුමාණන් සම්පූර්ණ කළ බව ද එතුමන්ගෙන් පසුව කිසිදු වක්තෘවරයකු නොපැමිණෙන බව ද ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීමයි.

ඉස්ලාම් ධර්මය පදනම්ව ඇත්තේ මූලික කරුණු පහක් මතයි. ඉස්ලාම් ධර්මය රඳා පවතින ප්‍රධාන කරුණු පහක් ලෙසත් එය හැඳින්විය හැකියි. එහි පළමුවැන්න විශ්වාසයයි. අල්ලාහ් දෙවියන් වහන්සේ විශ්වාස කිරීම සහ දෙවියන් වහන්සේගේ දූතයාණන් වන මුහම්මද් නබි තුමාණන් විශ්වාස කිරීම වේ. මෙම විශ්වාස අතර තවත් අතුරු විශ්වාස රැසක් ද පිළිපැදීමට මුස්ලිම්වරු බැඳී සිටිති.

දිනකට පස් ‍වේලක් සලාතය ඉටු කිරීම දෙවැන්න වන අතර තෙවැන්න රමසාන් මස පුරා මාසයක්ම උපවාසය සුරැකීමයි. සිව් වැන්න දුප්පත් ජනතාව වෙනුවෙන් තමන් සතු දේපළවලින් සියයට දෙකහමාරක දුගී බද්දක් ලබා දෙන සකාතය වන අතර අවසන් වගකීම වනුයේ මක්කමට ගොස් හජ් වන්දනය ඉටු කිරීමයි. 

මෙම වගකීම් පහෙන් සකාත් හෙවත් දුගී බද්ද ලබා දීමත් හජ් වන්දනය ඉටු කිරීමත් යන දෙක යමක් කමක් ඇති උදවියට පමණක් අනිවාර්ය වන අතර අනෙකුත් වගකීම් තුන සියලු‍ දෙනාට අනිවාර්ය වෙයි.

මෙම වගකීම් අතුරින් තුන් වන වගකීම වන පුරා මාසයක උපවාසය සුරැකී‍මෙන් පසුව එළැඹෙන දිනයේ හෙවත් රමසාන් උත්සව දිනය මුස්ලිම් ජනතාව සතුටින් සමරති. ඉස්ලාමීය ක්‍රමය අනුව සියල්ල සිදු කරනු ලබන්නේ හිරු, සඳු සහ තාරකා මුල්කරගෙන යි. ඒ අනුව රමසාන් උත්සවය තීරණය කරන්නේ ද සඳ දැකීමෙනි. රමසාන් මස උපවාස දින 29 ක් සම්පූර්ණ කිරීමෙන් පසුව එළැඹෙන සවස් කාලයේ දී සඳ බැලීම සිදු කරන අතර එදින සඳ දිස් වුවහොත් පමණක් පසු දින රමසාන් උත්සවය සමරන අතර එසේ නොවුණහොත් දින 30 ක් ම උපවාසය සම්පුර්ණ කර රමසාන් උත්සවය සැමරීම සිදු කරනු ලබයි.

පුරා මාසයක් දිවා කාලයේ නිරාහාරව සිට උපවාසය සුරකින ලෙස ඉස්ලාමය කියන්නේ පුළුල් අර්ථයක් ඇතිවයි. ලෝකයේ විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ජීවත් වෙති. ඇතැම්හු විශාල වශයෙන් ආදායම් උපයමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන අතර තවත් පිරිසක් දිනකට එක වේලක් හෝ නිසි ආහාරයක් නොමැතිව ජීවිතය ගත කරති. එවන් වූ  කෝටි සංඛ්‍යාත දුප්පත් අසරණ මිනිස්සුන්ගේ කුසගින්න වටහා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. තමන්ට ද කුසගින්න දැනීමත් සමඟ එවන් දුප්පත් ජනතාවට තමන් සතු දේපළින් ඉස්ලාමය කියන සියයට දෙක හමාරේ  දුගී බද්ද සහ එයට අමතරව තව තවත් ආධාර කිසිදු පැකිළීමකින් තොරව ලබා දීමට පෙළැඹවීමක් ද මෙයින් බලපොරොත්තු වෙයි.

ඊදුල් ෆිත්ර් නම් වන මෙම රමසාන් උත්සවය තුළ සුවිශාල  ලබැඳියාවන් බැඳී පවතී. සැබවින්ම මෙය ප්‍රීතිමත් උත්සවයක් බව ඉස්ලාමය කියයි. එම නිසා එදින ඔබ අසල ජීවත් වන කිසිවෙකුත් කුසට අහරක් නැතිව නොසිටිය යුතු බව ද ඉස්ලාමය කියයි. තමන්ගේ අසල්වැසියකුට ඒවා ලබා ගැනීමට ආපහසුතාවක් වේ නම් ඔවුන්ට ඒවා සපයා දීම සියලු‍ දෙනාගේ වගකීමක් ලෙස ද ඉස්ලාමය කියයි.

වර්තමානයේ අපේ රටේ පමණක් නොව ලෝකය පුරා විශාල ආර්ථික අර්බුදයක් පවතී. ලෝකයේ දියුණු මෙන්ම ශක්තිමත් රටවලට එය තදින් නොදැණුනත් අප ජීවත් වන ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටකට එය ඉතා තදින් දැනෙයි. මෙවන් අවස්ථාව ඇති නොවීමට ද ඉස්ලාමය යම් යම් කරුණු පෙන්වා දෙයි. ඉස්ලාමය සඳහන් කරන සියයට දෙක හමාරේ  දුගී ජනතාව වෙත ලබා දෙන බද්ද ද එවන් එකකි. තමන්ගේ එදිනෙදා භාවිතයට ගන්නා දේපළ හැර අනෙකුත් සියලු‍ දේපළවලින් සියයට දෙක හමාරක් ලබා දීම මෙයින් අදහස් කෙරේ. ‍මෙලෙස දුප්පත් ජනතාව වෙත ආධාර ලබා දීම මගින් අදහස් කෙරෙන්නේ ඔවුන් එම මුදල උපයෝගී කර ගෙන ජීවිතය ජය ගන්නට මඟ පාදා ගැනීමයි.

රමසාන් උත්සව දිනයේ දී මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන කාර්යභාරය වනුයේ එදින දිය නා පිරිසුදුව නව ඇඳුම් හෝ තමන් සතුව ඇති පිරිසුදු ඇඳුම ඇඳ ආගමික කටයුතුවල නියැළීමයි. ඉන්පසුව තම මවුපියන්, සහෝදර සහෝදරියන් ඥාතීන් හමු වී සුහදව එදින ඉතිරි කාලය ගත කිරීම ද මෙදින බලාපොරොත්තු වේ. එමගින් ඥාතීන් සහෝදරයින් සහ පවු‍ලේ සාමාජිකයින් අතර යම් හිත් අමනාපකම් පවතී නම් ඒවා නැති කර ගැනීම මෙයින් අදහස් ‍කෙරේ.

උපවාස මාසය තුළ එළැඹී ගෙවී ගිය උපවාසයේ 27 වැනිදා රාත්‍රිය ඉස්ලාම් ධර්මය සඳහන් කරන ආකාරයට මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් රාත්‍රියකි. පුරා මාසයකට ආසන්න කාලයක් උපවාසය සුරැකීමෙන් පසුව එදින රාත්‍රියේ දෙවියන් වහන්සේගෙන් කරනු ලබන සියලු‍ යහපත් ඉල්ලීම් දෙවියන් වහන්සේ ඉටු කර දෙන බවට විශ්වාස කරනු ලබයි. මෙවර එළැඹුණ ඒ උතුම් රාත්‍රිය පුරා මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක් නිදි වර්ජිතව දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ අප රට වර්තමානයේ මුහුණපාන අර්බුදවලින් ගොඩ ගෙන ජනතාවට යළි සුඛිත මුදිත දිවියක් ගත කරන්නට අවස්ථාව උදා කර දෙන ලෙසයි. ඒ උතුම් වූ ප්‍රාර්ථනාව  අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ඉටු කර දෙනු ඇතැයි සියලු‍ දෙනාගේ අපේක්ෂාවයි. ඔබ සැමට සුබ රමසාන් උත්සවයක් වේවා!

(***)
ඊද් මුබාරක්
සටහන - මොහොමඩ් ආසික්
ඡායාරූප: අන්තර්ජාලය ඇසුරිනි.



අදහස් (0)

මාසයක උපවාසයෙන් පසුව සමරන රමසාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site