IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මලකඩ කොවිඩ් අඬවැඩියාව

‘අභිධානප්පදීපිකාව’ අපට ඇති එකම පාලි නිඝණ්ඩුවයි. පාලි නම්වල අර්ථ පැහැදිලි කර දීම සහ පර්යාය පද නැතහොත් සමාන පද දැක්වීම එහි පරමාර්ථයයි. මේ පොත සම්පාදනය කරන ලද්දේ ක්‍රි.ව. 1157 දී පමණ ලංකාවේ රජ වුණු මහා පැරකුම්බා රජතුමා කරවූ පොළොන්නරුවේ ජේතවනාරාම මහා විහාරයේ වැඩ වාසය කළ විල්ගම්මුල පරපුරේ මොග්ගල්ලායන මහ තෙරුන්වහන්සේ විසිනි. උන්වහන්සේ මෙම කෝෂ ග්‍රන්ථයෙහි ස්ත්‍රීන් සඳහා සමාන නම් දහතුනක් දක්වති. වෙසෙස් චරිත ලක්ෂණ අනුව ස්ත්‍රීන් හැඳින්වෙන නම් නවයකි.

දැනට විද්‍යමාන ආදිම සංස්කෘත නිඝණ්ටුව අමරකෝෂයයි. එය එනමින් ප්‍රකට වූයේ අමරසිංහ නාමෝපලක්ෂිත ආචාර්යවරයා එහි කර්තෘ වූ හෙයිනි. ඔහු භාරතයේ වික්‍රමාදිත්‍ය නරනාථයන්ගේ (06 ශ.ව.) රාජ සභාවෙහි විජෘම්භමාන පණ්ඩිත රත්නයන් නව දෙනාගෙන් කෙනෙකු ලෙස අංගීකෘතය අමරකෝෂයෙහි ස්ත්‍රී පර්යාය ශබ්ද එකොළොසකි. විශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත චරිතාංග අනුව වර්ග කොට දැක්වෙන ස්ත්‍රී නාම දහතුනකි.

අප සතු පැරැණි සිංහල නිඝණ්ඩු තුනකි. ඉන් පළමු වැන්න වන ‘පියුම් මල’ කවුරුන් විසින් කවර දා කරන ලද්දක් ද යන්න අඥාතය. එහෙත් පසළොස් වන සියවසෙහි එනම් ජයවර්ධනපුර රාජධානි සමයෙහි සෙසු නිඝණ්ඩු දෙක ප්‍රතිපාදිතය. පිළිවෙළින් ලියැවුණු ‘පුරාණ නාමාවලිය’ සහ ‘රුවන් මල’ ඒ නිඝණ්ඩුය.

‘පියුම් මල’ ගැදියෙන් කර ඇති අතර ඉතිරි දෙක පැදියෙනි. ජයවර්ධනපුර රජ පැමිණි සයවැනි පැරකුම්බා රජුගේ දුව සරණ ගෙන සිටි නන්නූරුතුනයා නම් බෑනණුවෝ පුරාණ නාමාවලි සම්පාදකයෝ වෙති. මෙහි ස්ත්‍රී නාමය උදෙසා සමාන නම් විස්සකි. විශේෂ පර්යාය පදහු දහසයකි. සවන පැරකුම්බාවෝ තම රුවන් මල මගින් ස්ත්‍රී පර්යාය ශබ්ද විසිඅටක් ගෙන හැර පාති. ඔහු විශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ස්ත්‍රී නාම පනස්එකක් රුවන් මලෙහි සංග්‍රහ කර ඇත. පැරකුම්බාවෙන් තම ‘රුවන් මල’ සංස්කෘත අමරකෝෂය ආදර්ශ කොට නිපදවා ඇත ද එකී අමරසිංහ ආචාර්යවරයා ද දැක ඇත්තේ විශේෂ ලක්ෂණ සම්පන්න ස්ත්‍රී නාමයන් දහතුනක් පමණි.

මේ සියලු නිඝණ්ඩුවල එන සාමාන්‍ය ස්ත්‍රී පර්යාය නාම මෙන්ම විශේෂ ස්ත්‍රී නාම ද මගේ සුහද විවරණ මිහිර පාඨකයන්ගේ ඇසට හසු කිරීමට හැකි වී නම් ඔබට ඉන් අපූර්ව තීව්‍ර රසාස්වාදයක් විඳ ගැන්මට වාසනාව ලැබෙනු නොඅනුමානය. එහෙත් එවැන්නකට මෙය නොතැනි. එය පවසනුයේ දුකෙනි. මෙහිදී මා ‘නිඝණ්ටු’ සහ ‘නිඝණ්ඩු’ යන දෙවදන්ම යොදා ඇත්තේ වැරැදීමකින් නොවේ. භාෂා භේදය අනුවය. ‘නිඝණ්ටු’ යන්න සංස්කෘත ශබ්දයයි. පාලි ශබ්දය ‘නිඝණ්ඩු’ යන්නය.

අපගේ පැරැණි නිඝණ්ඩු සාහිත්‍යයෙහි හමුවන ස්ත්‍රී පර්යාය ශබ්ද නිමිති කොට ඔබ සමඟ මෙසේ පිළිසඳරක යෙදෙන්නට මෙවන් සිතක් හදිසියේ මතුළ උපන්නේ, මේ දිනවල දුරකතන සංවාදයක යෙදෙන හැම වාරයක් ගානේම ඇසෙන කන් අඩි දෙදරවන ඝෝර මාර නිවේදනයක් නිසාය. එය මෙසේය.

“මෙම නව කෝවිඩ් වයිරසය පෙර නොවූ ලෙස කඩිනමින් අවදානම්ව පැතිර යනු ලබයි. එබැවින් ඔබ මේ ගෙවමින් සිටින්නේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වැඩිම අවදානම සහිත කාල පරිච්ඡේදයකයි. මේ තත්ත්වය දැඩිව අවධානයට ගෙන සංචරණය හැකිතාක් සීමා කර නිවසේම රැඳී සිටින්න. නිරෝධායන රීති සහ සෞඛ්‍ය රීති දැඩිව පිළිපදින්න. මෙම උවදුරින් ඔබත් ඔබගේ පවුලේ අයවලුනුත් රටත් ආරක්ෂා වනු ඇත.”

මෙම නිවේදන පාඨය වනාහි මිශ්‍ර සිංහලයෙන් ගැට ගසන ලද මොට්ට දුෂ්ට කෂ්ට පාඨයකි. එකම හෙළ බස් වෙසරද මම්ම වෙම් යැයි දැපෙන පිපෙන කිසියම් සරසවි මහැදුරෙකුගේ උපදෙසින් ගෙතුණක්දැයි නොදනිමි. කෙසේ වුව ද සිංහල ලේඛනයෙහිදී අප අක්ෂර වින්‍යාසය වෙසෙසින් සැලකිය යුත්තේ අපගේ වත්මන් බසෙහි පවත්නා මේ මිශ්‍ර වාංමාලාව නිසාය. මිශ්‍ර වාංමාලාව යනු ‘තත්සම’ හෙවත් ‘තසම’ වදන් වැලයි. ‘තත්සම’ යන්නෙහි අරුත ‘ඊට සමාන’ යනුයි.

කවරකට සමාන ද? එනම් මුල් බසට සමාන වීමයි. ‘අධම’ යනු සංස්කෘත වදනකි. එහි අරුත ‘පහත්’ යන්නයි. මුසු හෙළයෙහි යෙදෙන විට ඊට අයත් අක්ෂර වින්‍යාසය (අකුරු පිළිවෙළ) වෙනස් කිරීමට අපට අයිතියක් නැත. වැරැදි අරුතක් පළ විය හැකි හෙයිනි. එය ‘අදම’ යනුවෙන් අකුරු පිළිවෙළ වෙනස් කොට යෙදූ කල සිදුවන දේ බලත්වා.

මේ අනුව ඉහත දැක්වුණු මිශ්‍ර සිංහල පාඨය වනාහි අක්ෂර වින්‍යාසය දෝෂයෙන් ප්‍රදුෂ්ට ව්‍යාකරණ දෝෂයෙන් ක්ලිෂ්ට බෙරවා මාප්පරාණ ගහණ මලකඩ වාක්‍ය කණ්ඩයකි.

කන් අඩි දෙදරවන නිවේදිකාව ඒ මලකඩ වාක්‍ය කණ්ඩය වඩාත් ගොරහැඩි කරයි.
මේ ලිපියේ පූර්විකාව වශයෙන් පාලි, සංස්කෘත හා සිංහල නිඝණ්ඩු ගැන විවරණයක් මගේ සුහද පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට පෙලැඹී ගියේ එක්තරා වෙසෙස් ස්ත්‍රී නාමයක් සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ත්‍රෛභාෂා නිඝණ්ඩු පීරමින් ඒවායෙහි එන විශේෂ ස්ත්‍රී පර්යාය නාම මාලා අලළමින් එක්තරා ස්ත්‍රී නාමයක් සෙවුවෙමි.

කවරක් ද ඒ? එනම්, බෙරවා මාප්පරාණ ගහන මලකඩ වාක්‍ය කණ්ඩයක් විකාර උච්චාරණයක් කියවීමට සමත් ස්ත්‍රිය හඳුන්වන නාමයයි. එවැන්නන් පෙර නොවූ බව පැරැණි නිඝණ්ඩුවල එන ස්ත්‍රී පර්යාය නාමාවලියෙන් සනාථ වෙයි. ඊට නමක් ඉන් හමු නොවුණු හෙයිනි. එහෙත් එවැන්නක් ලෝකෙන් උතුම් රට වන සිරි ලංකාවේ අද සුලබ බව මලකඩ කොවිඩ් නිවේදනයෙන් පමණක් නොව ඇතැම් විට ඊට ද ආදර්ශ වූවා විය හැකි සියයට අනූනවයක් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවලින් ද ඉඳුරා සනාථ වෙයි.

(***)



අදහස් (1)

මලකඩ කොවිඩ් අඬවැඩියාව

Ranji Wednesday, 11 August 2021 06:02 PM

මොකක්ද මේ කියන්නේ..?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site