IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මීනීමරුවෙක් හමුවන්න ගිය කතාවේ ඇත්ත නැත්ත

 

 

ගම්පහ අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ නිලධාරීන් තිදෙනෙක් රජයේ වාහනයකින් මිනී මරුවකුගේ නිවෙසකට ගිය බව පසුගියදා පැවැති අත්තනගල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඛණිජතෙල් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ ගැන රහස් පොලිසියට පැමිණිලි කරන බව ද නියෝජ්‍ය ඇමැති පවසා තිබිණි.
කලාප අධ්‍යාපන කාර්යාලයක නිලධාරීන් මීනීමරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම බරපතළ තත්ත්වයකි. ඒ ගැන අප ඛණිජතෙල් සංවර්ධන ඇමැති සරණ ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළෙමු.

 

ප‍්‍රශ්නය - ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයයේ ප‍්‍රධානියෙක් මිනීමරුවෙක් හමුවෙන්න ගිය බවක් ඇමැතිතුමා සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙදී කියා තිබුණා. මොකක්ද මේ කතාව?
පිළිතුර - ඒක ගොඩක් දිග කතාවක්. අත්තනගල්ල ප‍්‍රදේශයේ පාසලක ළමයින් බිම වාඩිවෙලා අකුරු ලියන ඡායාරූපයක් පසුගියා දා පුවත්පතක ලොකුවට පළ වුණා. කලාපයේ අධ්‍යාපන බලධාරීන් හිතුවා මේක මේ මා විසින් කියලා කෙරෙව්වා කියා. මට එක්තරා නිලධාරියෙක් ඇවිත් කිව්වා ගම්පහ කලාපේ ප‍්‍රධානියෙක් මිනීමරුවකුගේ ගෙදරට ගියා කියලා. එයාලා ගියේ රාජකාරි වෙලාවේ රාජකාරි වාහනයක කියලත් මට ඔහු කිව්වා. අර පත්තරේ ඡුායාරූපය මා දැම්මුවා කියා හිතලා මට හානියක් කරන්න ඒ මිනීමරුවා ගාවට ගියා කියලා තමා මා දැනගත්තේ.

 

 


ප‍්‍රශ්නය - ඇත්තටම ඇමතිතුමාද ඒක දැම්මුවේ?
පිළිතුර - ළමයින් බිම වාඩි වෙලා අකුරු කරන පින්තූරය පත්තරේ දම්මන්න මා කිසිම සම්බන්ධයක් නෑ. මා ඒ මාධ්‍යවේදියාව අඳුරන්නෙත් නෑ. ඒක ඒ මාධ්‍යවේදියාගෙන් අසා දැනගන්න පුළුවන්.

 

 


ප‍්‍රශ්නය - මේ ගැන ඇමතිතුමා දැනගත්තම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් විමසීමක් කළේ නැද්ද?
පිළිතුර- නැහැ. මම සද්ද නැතිව හිටියා. ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මා ඒ ගැන කිව්වා. අධ්‍යාපන බලධාරිනුයි මිනීමරුවොයි අතර සම්බන්ධකම් තියන එක සුදුසු නෑ. ඒක වැරදියි. ඒ ගැන කියන්න සුදුසු තැන තමා සම්බන්ධීකරණ කමිටු රැස්වීම. මා එතැනදි සියල්ල හෙළි කළා.

 

 


ප‍්‍රශ්නය - ඔබතුමාගේ ප‍්‍රකාශයෙන් පස්සේ කලාප බලධාරීන් මොකද කළේ?
පිළිතුර -  මට කලාප අධ්‍යක්ෂ කතා කළා. එතුමා කිව්වා අපි ගියේ වැඩකට ආධාර ගන්න කියලා. මම කිව්වා මිනීමරුවො එක්ක සම්බන්ධකම් තියනවානම් ඒක වැරදියි කියලා. ආධාර උපකාර ගන්න මිනීමරුවන්ගේ ගෙවල්වලට යනවාද? අනික රාජ්‍ය නිලධාරියෙක් රාජකාරි කාලයේ රජයේ වාහනවල මිනීමරුවන්ගේ ගෙවල්වලට ගිහින් සල්ලි ඉල්ලන්න හැකියාවක් තියනවද. එහෙම බෑ. රාජ්‍ය නිලධාරීන් මුදල් එකතු කරන එක හරිද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා.

 

 


ප‍්‍රශ්නය - ඇමැතිතුමා ඔය කියන මිනීමරුවා කවුද?
පිළිතුර - මිනීමරුවා කවුද කියා මා පසුව හෙළි කරනවා.

 

 


ප‍්‍රශ්නය - මේ ගැන කොහෙටවත් පැමිණිලි කළාද?
පිළිතුර - මේ ගැන මා රහස් පොලිසියට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. කලාපේ බලධාරීන්ගේ සහ මිනීමරුවාගේ ජංගම දුරකතන විස්තර වාර්තා අරගෙන බැලූවොත් ඇත්ත හෙළිවෙයි.

 

 


ප‍්‍රශ්නය - කලාප අධ්‍යාපන කාර්යාලයයේ ප‍්‍රධානීන් මොකක් හරි දේකට මුදල් එකතු කරන්න මිනීමරුවෙකුගේ ගෙදර ගියා නම් ඒක ඔබතුමාට ගැටලූවක් නෙමේ නේද?
පිළිතුර - ඇයි නැත්තේ. මා දන්නා විදියට පත්තරේට මා ඡුායාරූපයක් දැම්මුවා කියා මට විරුද්ධව ගියේ. මගේ ජීවිතේ දැන් අනාරක්ෂිතයි. මේ ගම්පහ මිනීමරුවා අවුරුදු 16 ඉඳලා මිනී මැරුවා. ඔහුට විරුද්ධව මා පොලිසියට පැමිණිලි කර තිබෙනවා මීට කලින්. ගම්පහ නාගරික මන්ත‍්‍රීවරුන්ගෙන් ඔහු ගැන අසා දැනගන්න පුළුවන්. ඔවුනුත් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මේ පිටිපස්සේ බස්නාහිර පළාතේ දේශපාලනඥයකුත් ඉන්නවා.  මගේ ආරක්ෂාව ගැන ලොකු ගැටලූවක් තියෙනවා.

 

 


ප‍්‍රශ්නය - ඔබේ ආරක්ෂාව ගැන ඉහළට දැනුම් දුන්නේ නැද්ද?
පිළිතුර - මා පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඉදිරියේ දී නැවත දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. මා ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට මේ ගැන දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට සහ මගේ පවුලේ අයට තර්ජන තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන බලධාරීන් විතරක් නෙමෙයි, පොලිසියේ ඇතැම් නිලධාරීනුත් මේ මිනීමරුවා සමග සම්බන්ධකම් තියෙනවා. ඉදිරියේ දී සාක්ෂි සමග ඒ ගැන මා ඔප්පු කරන්න සූදානම්. නිලධාරීන් මෙහෙම මිනීමරුවො එක්ක සම්බන්ධකම් තියෙන එක හරිද? නිලධාරීන් මිනීමරුවන්ගෙන් යැපෙන එක හරිද?

 

 


ප‍්‍රශ්නය - අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර - මට කියන්න තියෙන්නේ නිලධාරීන් මිනීමරුවන් සමග සම්බන්ධකම් පවත්වන එක ගැන සොයා බලන්න කියලයි.

 

 

 

මිනීමරුවකුගේ ගෙයක් කියා කොහෙවත් බෝඩ් ගහලා තිබුණේ නෑ

ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ

 

ගම්පහ අධ්‍යාපන කාලපයේ නිලධාරීන් තිදෙනකු මීනීමරුවකුගේ නිවසට ගියැයි නගා ඇති චෝදනාව සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතාගෙන් විමසීමක් කළෙමු.


ප‍්‍රශ්නය - ගම්පහ කලාපේ නිලධාරීන් මිනීමරුවකුගේ නිවසට ගියාද?
පිළිතුර - මා දන්නා තරමින් ගම්පහ කලාපේ කිසිම කෙනෙක් මිනීමරුවකුගේ නිවසට ගිහින් නැහැ.

 

 


ප‍්‍රශ්නය - සරණ ගුණවර්ධන නියෝජ්‍ය ඇමැතිතුමා කියා තිබෙනවා ගම්පහ කලාපේ ප‍්‍රධානියකු ඇතුළු තුන් දෙනෙක් මිනීමරුවකුගේ ගෙදර ගියා කියලා?
පිළිතුර - ඔව් මට දැනගන්න ලැබුණා එහෙම කියා තිබෙනවා. නමුත් මිනීමරුවන් හමුවෙන්න අපි ගියේ නැහැ.

 

 


ප‍්‍රශ්නය - ඔබතුමා ඒ ගැන සරණ ඇමැතිතුමාගෙන් විමසීමක් කළේ නැද්ද?
පිළිතුර - ඒ ප‍්‍රකාශය දැන ගත්ත ගමන් මා කතා කළා. මා කිව්ව මිනීමරුවා කවුද කියලා කියන්න කියා.

 

 


ප‍්‍රශ්නය - ඔබතුමා ව්‍යාපෘතියකට මුදල් එකතු කරන්න කාගේ හෝ නිවෙසකට ගියාද?
පිළිතුර - අපේ කලාපෙන් කරනවා කොහොඹාකංකාරිය ශාන්ති කර්මයක්. ඒක විශාල එකක්. ඒකට උදව් උපකාර ඉල්ලන්න ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ගාවට ගියා.

 

 


ප‍්‍රශ්නය - ඒ යන අතරේ මිනීමරුවකුගේ ගෙදරකටත් ගියා ද?
පිළිතුර - මා ගියපු කිසිම තැනක මිනීමරුවෙක්ගේ නිවසක් කියා ගහලා තිබුණේ නෑ. අපි ප‍්‍රසිද්ධියේ ගියේ. හොරෙන් ගියේ නෑ. සාමවිනිසුරු, නීතිඥ වගේ බෝඞ් ගෙවල් ඉස්සරහා ගහලා තියෙනවා දැකලා තියෙනවා. නමුත් මිනීමරුවෙක්ගේ ගෙයක් කියා ගහලා තියෙනවා දැකලා නෑ.

 

 


ප‍්‍රශ්නය - ඇමැතිතුමා කියනවා ඒ ගැන රහස් පොලිසියට පැමිණිලි කරන බව?
පිළිතුර - කමක් නෑ. පැමිණිලි කරන්න කියන්න. ඔය කියන මිනීමරුවා කවුද කියලා නම්කරන්න කියා මා ඇමැතිතුමාට අභියෝග කරනවා. මා ඇමැතිතුමාට ලිපියක් යැව්වා ඔය කියන මිනීමරුවා කවුද කියලා දැනුම් දෙන්න කියලා. ප‍්‍රාදේශීය ලේකම්, දිස්ත‍්‍රික් ලේකම් සහ පළාත් අධ්‍යාපන ලේකම්ටත් ඒ ලිපියේ පිටපත් යැව්වා.

 

 


ප‍්‍රශ්නය- රාජකාරි වෙලාවේ, රාජකාරි වාහනේක ගෙවල්වලට යන එක වැරදි නේද?
පිළිතුර - අපි ගියේ රාජකාරියකට මිසක් හොර වැඩකට නෙමේනේ. රාජකාරියට රාජකාරි වාහනවල රාජකාරි කාලයේ ගියාට ගැටලූවක් නැහැනේ. අපි මේ කරන කොහොඹාකංකාරිය ශාන්තිකර්මය ගැන පළාත් අධ්‍යාපන නිලධාරිනුත් දැනුවත් කර තිබෙනවා.

 

 


ප‍්‍රශ්නය - ඔබ නිලධාරියෙක් විදියට ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි එකතු කරන එක වැරදි නේද?
පිළිතුර - මේ ශාන්ති කර්මයට විශාල වියදමක් යනවා ශීල්පීන් ගෙන්නන්න වගේ දේවලට. අපිට ඒකට ළමයින්ගෙම සල්ලි එකතු කරන්න බැහැනේ. ඒකට පරිත්‍යාග කරන්න කැමති ව්‍යාපාරිකයන්ගෙන් උදව් ලබා ගන්නවා. ඒකේ වැරද්ද මොකක්ද. අනික අපි ගියේ සල්ලි ගන්නම නෙමේ. ශිල්පීන් ගෙන්වා දෙන්න කියා අපි ඉල්ලූවේ.

 

 


ප‍්‍රශ්නය - අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර - අපි මිනීමරුවකුගේ ගෙදරකට ගියා නම් ඒ මිනීමරුවා කවුද කියලා කියන්න කියා මා ඇමැතිතුමාට කියනවා. ඒ ගැන රහස් පොලිසියට පැමිණිලි කරන්න. අපිටත් පුළුවන් ඒ විමර්ශනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මිනීමරුවෙක් නිදැල්ලේ ඉන්නා බව දන්නවා නම් වගකිව යුතු ඇමැතිකෙනෙක් විදියට යුතුකමක් තියෙනවා පොලිසියට ඒ ගැන දැනුම් දෙන්න.

 

 

 



අදහස් (0)

මීනීමරුවෙක් හමුවන්න ගිය කතාවේ ඇත්ත නැත්ත

දර්ශා Wednesday, 04 December 2013 01:06 PM

ඇමතිතුමාගේ කෙරුවාව ගැන බස්නාහිර පළාතේ කව්රුත් දන්නවා, නිලදාරියොත් කලින් එයාගේ ගෝලයෝ නේ ගුරුවරයාගේ අඩිපාරේම යන්න හදනවිට ගුරුවරයාට අමාරුළු.(නදී)

:       0       0

ගයන් Tuesday, 03 December 2013 06:19 PM

මිනීමරුවා කව්ද කියල නිට්ටඹුවේ අයගෙන් අහන්නකො? හැමෝම දන්නවා. හා හා.(නදී)

:       0       0

කුමාරි Thursday, 05 December 2013 08:40 PM

කිරි දියෙහි දෙවියත්........................ අගුරු සුදු වෙන කලෙක් නම් නැත් .... කිවලු..(නදී)

:       0       0

කුමාරි Saturday, 07 December 2013 01:45 AM

ඇත්තටම නොදන්න නිසායි අහන්නේ, කාටද ඔය මීනීමරුවා කියලා කියන්නේ නිට්ටඹුවේ ඉන්න. පිටිපස්සේ ඉන්නවා කියන බස්නාහිර පළාතේ දේශපාලනඥයා කවුද කියලා දන්න කෙනෙක් හෝඩුවාවක්වත් සදහන් කරනවා නම් මට කරන ලොකුම උදවුවක්.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 03 December 2013 07:43 PM

ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා අඩු වැඩි වශයෙන්. ගම්පහ කවුරුත් ඒ ගැන දන්නවා.(නදී)

:       0       0

සදුනි Tuesday, 03 December 2013 09:11 PM

ඇමතිතුමාගේ කෙරුවාව මුළු රටම දන්නවනේ. දැන් අපට නිලධාරීන්ගේ කෙරුවාවත් හෙළිවෙමින් පවතිනවා.(නදී)

:       0       0

ප්‍රදීපා Wednesday, 04 December 2013 02:48 PM

නිට්ටඹුවේ ඉඳලා ගම්පහට යනකන් ඕනෙම කෙනෙක් මේක කියවලා පිටිපස්ස පැත්තෙන් හිනා නොවුනොත් පුදුමයක්. (ස)

:       0       0

තිලින Friday, 06 December 2013 07:04 PM

අනේ පව් මෙයා හොදටම බයවෙලා. මෙයා කඩවල් වලින් ලොරි වලින් කප්පම් ගන්න ඒවා ඇමතිලට හොදද දන්නේ නැ. ඡන්දෙ දුන්න කට්ටියට ගහන්න ඕනේ මේවට.(නදී)

:       0       0

සරත් Tuesday, 03 December 2013 09:59 PM

ඇමති වැඩ ගැන රටම දන්නවා (නදී)

:       0       0

ජගත් Tuesday, 03 December 2013 10:22 PM

අනේ පවු අනේ! අහිංසක අසරණයා. (නි)

:       0       0

සුනිමල් Wednesday, 04 December 2013 01:26 AM

අපි හිතුවා මේවා මෙහෙම වෙයි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site