IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාධ්‍ය ගැන විපක්ෂයේ චෝදනා ගැනත් සිතන්න

 

සිරස මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍ර තහනම් කිරීමට රජය උත්සාහ දරණ බවට විපක්ෂය ආණ්ඩුවට බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රවෘත්ති විකාශන ආයතන අතුරින් සිරස ප්‍රමුඛතම විකාශන ආයතනයක් වශයෙන් සැලකෙන අතර, වත්මන් ආණ්ඩුව දැඩි විවේචනයකට හසුකරන මාධ්‍ය වේදිකාවක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. කෙසේ වුව ද රජයේ ප්‍රතිචාරය නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්ව නැති අතර, කොයි ආකාරයකින් හෝ සිරස ආයතනයට නීතිමය වශයෙන් කිසියම් හෝ ආකාරයකින් බාධා ඇති කිරීමට උත්සාහයක් ඇත්නම් එය පිළිගත නොහැකි තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.

මොනම මාධ්‍ය ආයතනයක් වුව ද නීති විරෝධී ආකාරයකට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම නීති විරෝධී ක්‍රියාවක් විය නොහැකිය. පසුගිය කාලය තුළදී රටේ ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ පවා දැඩි විවේචනයට ලක්වූ කැලෑ කැපීම පමණක් නොව අලි මිනිස් ගැටුම, රසායනික පොහොර ගැටලු‍වෙන් පීඩා විඳින ගොවියන්ගේ ඉරණම, ගිනිගත් නැවෙන් සිදු වී ඇති පරිසර හානිය වැනි විෂයයන්ට අනුබද්ධව සිරස ආයතනය ඉටුකළ මාධ්‍ය කාර්යභාරය කැපී පෙනෙන බව ද සඳහන් කළ යුතුය. එවැනි හෙළිදරව් කිරීම් හේතුවෙන් ආණ්ඩුව විවේචනයට හසු වුව ද ඒ තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඉදිරිපත් කරන තොරතුරු අසත්‍ය නම් ඒ පිළිබඳව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් තරම් නීතිමය ප්‍රතිපාදන ද ආණ්ඩුව සතුය. එසේ තිබියදීත් හුදෙක් රජයේ කටයුතු විවේචනයට ලක්කිරීම නැවැත්වීමේ අරමුණින් නීතිවේදීන්ගේ උපදෙස් ගැනීම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ද එරෙහිව යාමක් බව කිව යුතුය.

සිරස ආයතනයේ විකාශන බලපත්‍ර තහනම් කිරීමට රජය කටයුතු කරන බවට තොරතුරු ඇතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය එහි ගාලගෝට්ටියකට ද හේතු විය. රජයෙන් මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වන බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය. ආණ්ඩුව මාධ්‍යවලට එරෙහිව ආරම්භ කර ඇති දැවැන්ත මර්දන ක්‍රියාවලිය වහාම නවත්වන්නැයි ඔහු ඉල්ලීමක් ද කළේය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයේ සඳහන් වූයේ, මේ ආණ්ඩුවේ මර්දන සම්බන්ධයෙන් වාර්තා තබා ඇති නායකයන් සිටින බවය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යැයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවය. සිරස ආයතනය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යවරයා වහාම ප්‍රකාශයක් කළ යුතු බව ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කර තිබිණි.

මේ අතර, පාර්ලිමේන්තුවේදී රජය වෙනුවෙන් කතා කළ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කළේ, විපක්ෂය බොරුවට අවුල් සෑදීමට මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කරන බවය. රිචඩ් ද සොයිසා මැරූ, හැටදහසක් ජනතාව ඝාතනය කළ පුද්ගලයන් අද මාධ්‍ය මර්දනයක් ගැන කතා කළත්, එවැන්නක් තිබෙන්නේ කොහේදැයි ඔහු ප්‍රශ්න කළේය. දැනට ඔය මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින විපක්ෂයේ එක්තරා කැප්ටන් කෙනකු, ඔහු බලයේ සිටියදී එක්තරා මන්ත්‍රීවරයකු කළ සඳහනක් වාර්තා කිරීම ගැන කිපී අදාළ මාධ්‍යවේදියා සිය කාර්යාලයට කැඳවා තර්ජනය කළ අවස්ථාවක් ගැනද සිහියට එයි. කෙසේ වුව ද රිචඩ් සොයිසා ගැන කතා කරන විට ලසන්ත වික්‍රමතුංග ගැනත් කතා කළා නම් හොඳය.

කෙසේ වුව ද මාධ්‍ය මර්දනයකට ආණ්ඩුවේ කිසියම් හෝ සූදානමක් ඇත්නම් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අභියෝගයට ලක්කිරීමක් බව සඳහන් කරමු. මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් හෝ ඉලක්ක කරගනිමින් මර්දනයක් දියත් කිරීමට කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළ යුතු නැත. එසේම බලය අතැතිව තිබියදී ඇතැම් දේශපාලන නායකයන් මාධ්‍යවේදීන්ට, පුවත්පත්වල ප්‍රධානීන්ට සහ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ආයතනවලට තම වරප්‍රසාදවලට මුවා වී පහර ගැසීම ද මාධ්‍ය මර්දනයකි. එවැනි අවස්ථාවලට අතීත උදාහරණ ඕනෑ තරම් පවතින බව ද අද මාධ්‍යයේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින ඇතැම් විපක්ෂයේ නායකයන්ට ද මතක් කර දිය යුතුය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ මේ වනවිට සිටින්නේ යහපත් වාතාවරණයක් යටතේ නොවන බව ද රජය අවබෝධ කරගත යුතුව තිබේ. මානව හිමිකම් සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තරය සමඟ අප්‍රකාශිත යුද්ධයක පැටලී සිටී. එයට පසුබිම් වූ කාරණා අතර ජාත්‍යන්තර දේශපාලනයේ වුවමනා එපාකම් ද තිබෙන නමුත්, රටක් වශයෙන් අප දැන දැන අමාරුවේ වැටිය යුතු නැත. කුමන ආකාරයක හෝ මර්දන පිළිබඳ ඉදිරිපත් වන වාර්තා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය තවදුරටත් හෑල්ලු‍ කරන බව රහසක් නොවේ. ජාත්‍යන්තර මාධ්‍ය නිදහසේ දර්ශකයක් වශයෙන් සැලකෙන ආර්.ඩබ්ලිව්.බී. (දේශ සීමා රහිත වාර්තාකරුවෝ) සංවිධානයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව නිදහස් මාධ්‍යයේ සතුරකු වශයෙන් හඳුන්වා දී තිබෙන බව ද අප සඳහන් කරන්නේ අකැමැත්තෙනි. අප කොතරම් අකැමැති වුව ද ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන පිළිගන්නේ එම වාර්තා මිස ශ්‍රී ලංකාව ලබාදෙන වාර්තා නොවේ. එවැනි අවස්ථාවකදී සිරස වැනි ප්‍රබල මාධ්‍ය ආයතනයක විකාශන බලපත්‍ර තහනම් කිරීමට රජය කටයුතු කරන්නේ නම් එය ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට තවත් කළු පැල්ලමක් එක් කිරීමක් පමණක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (0)

මාධ්‍ය ගැන විපක්ෂයේ චෝදනා ගැනත් සිතන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13307 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 57 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site