IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


මගේ තට්ටය දැකපු පේ‍්‍රක්‍ෂකයෝ මහපාරෙදි මාව බදාගෙන හැඬුවා

 

 

ඒ ඇස් අදටත් කතා කරයි. ජීවිතය වෙනුවෙන් ලියූ පෙරවදන් වැරදී ගිය දවස් අතීතයට අයත් බව කියන වේදනාවක සටහනක් ඒ නෙත් ගැඹුරේ සටහන්ව ඇත්දැයි මම සොයන්නට වෙහෙසුනෙමි. බුර බුරා ඇවිළෙන ගිනි කඳු සදිසි මහමෙරක් දුක හිතේ සඟවා ජීවත් වූ දිගු දින ගණන් ඇගේ ජීවිත පරිච්ෙඡ්දවලට අයත් වුවත් අද ඒ දෑස් මත දකින්නට ඇත්තේ නිහඬ නිවුණු සැහැල්ලූ හැඟීමක්මය. උදෑසන දහවල අහවරව ජීවිතයේ සැන්දෑව ඉගෙන ගත් පාඩම් මතින් ලබන සැනසුම එයයැයි සිතේ.


මොණරතැන්නෙන් පටන් ගත් ගමන ගුරුගෙදරින් නොනැවතී සෙයිලම දක්වා රැගෙන ගිය සුරබිදෙන, යකඩ පිහාටු ලැබ ඉගිල්ලූනු ගමන කලියුගය ළඟද නොනැවතිනි. ඇගේ රංග ප‍්‍රතිභාව සිනමා කෘති 110 කට ආසන්න සංඛ්‍යාවක් පුරා විහිදී ගියේය.

1987 නවදිල්ලි අන්තර් ජාතික සිනමා උළෙලේදී ඇය රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබීම ඈ පැමිණි ගමන උදෙසා ඇති හොඳම සාක්ෂියයි. ලෝකයේ රටවල් බොහෝ ගණනක සිනමා කෘති හාරසිය ගණනක් සමඟ තරග කර හොඳම නළුවාට හෝ නිළියට ලැබෙන සම්මානයෙන් පිදුම් ලද ඇය ප‍්‍රවීණ නිළි අනෝජා වීරසිංහය.

දු දරුවන් දොළොස් දෙනෙක් ලබන්නට තරම් වාසනාවක් තිබූ මවුපිය යුවළකට දාව උපන් සත්වැනි දියණිය ඇයය. ළමා විය දුක සතුට මැද ගලා ගිය බව ඇය කියන්නීය. පුංචි හිතක් ළඟ සතුටම මිස දුක ඇයිදැයි විමසන්නට සිත්වුණේ ඇය එසේ කියද්දීය.

මගේ තාත්තායි අම්මයි අතරේ නිතර නිතර පොඩි පොඩි හැල හැප්පිලි මත ගැටුම් තිබුණා. අම්මත් කලාවට ආදරය කළ කෙනෙක්. තාත්තා කලාකාරයෙක්. තාත්තාත් තවත් අයත් එකතුවෙලා පිහිටුවාගත්ත කලාකවයක් තිබුණා. තාත්තා නාට්‍යවල එහෙම රඟපෑවා. අම්මා කලාවට ආදරය කළත් අම්මගේ හිතේ සැක සංකා තිබුණා තාත්තා ඒ නිළියන් සමඟ එහෙම සම්බන්ධකම් පවත්වනවාද කියලා. අනිත් එක තාත්තා යාළුවෝ සමඟ ගතකරපු විනෝදකාමී ජීවිතයට අම්මා කැමැති වුණේ නෑ. හැබැයි අම්මාගේ අර කීව සැකය සත්‍යයක්ද කියලා නම් මම දන්නේ නෑ. තාත්තා හොඳ රැකියාවක් කරපු නිලධාරියෙක්. අම්මා තාත්තා අතර ඔය වගේ ප‍්‍රශ්න තිබුණු නිසා මා හැමදාමත් කියන්නේ ඒවා දැකපු අහපු විඳිපු පුංචි ළමයෙක් විදිහට මගේ ළමා කාලය ගෙවිලා ගියේ දුක - සතුට මිශ‍්‍රවුණු හැඟීමකින් කියලා. ඒත් විනෝදය කියා දෙයක් උපරිමයෙන් භුක්ති විදපු දවස් ඒ ළමා වියේ තිබුණා.

දුක සතුට තවත් වරෙක විනෝදය මැද ළමාවිය ගෙවී ගියේ සීතල බදුල්ලේ පුංචි ගමකය.

මගේ තාත්තාගේ ගම වැලිගම. ඒත් ඉපදුනේ බදුල්ලේ. තාත්තා වැඩ ඇරිලා හවස ගෙදර ආවම අපි ඔක්කොම වටකරගෙන සිංදු කියනවා. සීතලත් අරගෙන එන රාති‍්‍රය හැඟුම්බර ගී පදවලින් හැඩ වෙද්දී දෝර ගලා ගියේ නම් සතුටමය. අනෝජා වීරසිංහ පුංචි දැරිය මෙන්ම ඇගේ අක්කණ්ඩියක වූ මායා දමයන්ති දැරියද එදා මේ දරු  කැල අතර හිඳ ආදරණීය තාත්තා සමඟ ගී ගැයුවාය.

පවුලේ අප හැමෝටම සිංදු කියන්න, නටන්න පුළුවන්. ඒ වගේම මම පාසල් යන කාලයේ කී‍්‍රඩා කළා. බාල දක්ෂිකාවක් විදිහටත් කටයුතු කළා. මම බදුල්ල උසස් බාලිකාව, බදුල්ල විශාඛාව, මොණරාගල මහානාම මහා විද්‍යාලය, බදුල්ල මහා විද්‍යාලය, කොළඹ ස්ටැෆඞ් ලේඩි යන පාසල්වල ඉගෙන ගත්තා. පාසල් කාලයේදී මම හුඟාක් බාහිර කටයුතුවල නියැලූණා.

මට මතකයි මම පුංචිම කාලයේ විවිධ ප‍්‍රසංගයකදී මාව ජපන් කුමරියකට ඇන්දුවා. එදා මා හරිම ලස්සනට සිටියා. නැතලි කියලා ටීච කෙනෙක් තමා මාව ඇන්දුවේ. මගේ ජීවිතේ පළමු රඟපෑම ඒ ජපන් කුමරියගේ රඟපෑම. හැබැයි ඒ රඟපෑම කළේ රඟපෑම මොකක්ද කියලවත් දන්නැති පුංචි කෙල්ල කාලයේ. හැබැයි දිගටම පාසලේ නැටුම්වලට රඟපෑම්වලට මාව ගත්තා. මම කී‍්‍රඩා නායිකාව ලෙසත් කටයුතු කළා. ඒ මොණරාගල මහා විද්‍යාලයේ හා බදුල්ල මහා විද්‍යාලයේ ඉගෙන ගනිද්දී. නායකත්වය කියන දෙය පුංචි කාලයේ සිටම මට ලැබුණු දෙයක්. මේ සියල්ල මැද සතුටිනුත්, ඒවගේම අම්මා තාත්තා අතර තිබුණ අර හැල හැප්පිලි නිසා විටෙක දුකකිනුත් මගේ ළමා විය ගෙවිලා ගියා.

මගේ කලා ජීවිතය හුඟාක් ගොඩනැගුණේ මොණරාගලදී. ඒ අපේ ගුරුවරු නිසා. යෝගානන්ද බාලසූරිය කියන ගුරුතුමා, නිව්ටන් කියන සංගීත ගුරුතුමා නම් ගම් මතක නැති තවත් ගුරුවරු හුඟාක් හිටියා. ඒ හැම ගුරුවරයෙක්ම වගේ අපට කලාව පැත්තෙන් ඉදිරියට යන්න අත දුන්නා. හැම සිකුරාදාම ඉස්කෝලය ඇරුණම පැයක් අපිට අපේම නිර්මාණ ඉදිරිපත් කරන්න ගුරුවරු අවස්ථාව දුන්නා. ඉතින් අපි නටනවා සිංදු කියනවා. ඒ ඔක්කොම ළමයින්ගේම නිර්මාණ.
පහසුකම් නැති දුප්පත් පුංචි ඉස්කෝල වුණත් පොහොසත්  හදවත් තියෙන ගුරුවරු අපට හමුවෙලා තිබුණා. මගේ කලා කුසලතා හුඟාක් දියුණු වුණේ මොණරාගලදී. පාසලේ නාට්‍යයක් කළා අඳුරෙන් එළියට කියලා. ඒ නාට්‍ය බලන්න පුංචිහේවා කියන දිසාපතිතුමත් ආවා. ඒ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ මමයි. එදා දිසාපතිතුමා මට කීවා ඔයාට නිළියක් හැටියට ලොකු අනාගතයක් තියෙනවා කියලා.

පුංචිහේවා දිසාපතිතුමා අනෝජා වීරසිංහට කී අනාවැකිය මතු යම් දිනයක සැබෑ වුවත් එදවස වුවද අනාගතයේ නිළියක වීමේ සිහිනයක් බලාපොරොත්තුවක් හෝ ප‍්‍රාර්ථනාවක් ඒ වෙද්දීද ඈ වෙත නොවුණි.

මගේ අනාගත බලාපොරොත්තුව වුණේ වෛද්‍යවරියක් වීම. අම්මාගේ තාත්තාගේ අරමුණ වුණෙත් ඒක. මං ඉගෙන ගන්න හරි ආසයි. නිළියක් වෙනවා කියන ප‍්‍රාර්ථනාව නම් කවදාවත් මගේ ගාව තිබුණේ නෑ. නිළියක් වෙන ආසාව තිබුණේ මගේ අක්කා මායා දමයන්තිගේ හිතේ. හැබැයි මගේ යටි හිතේ මෙහෙම ආසාවක් නම් තිබුණා. වෛද්‍යවරියක් වුණත් සිංදු කියලා ගායිකාවක් විදිහටත් ඉස්සරහට එනවා කියලා. ඒ කියන්නේ සිංදු කියන වෛද්‍යවරියක් වෙනවා කියන එක. හැබැයි ඔය දවස්වලත් මම මාලනී ෆොන්සේකා මහත්මිය ඉන්න චිත‍්‍රපටියක් බැලූවම දවස් ගාණක් යනකම් මාලනී අක්කා වගේ ඇවිදිනවා. කතා කරනවා.

එහෙත් ඉරණම මේ යැයි නිශ්චිතව කිව හැක්කේ කාටද? සිහින සිහිනම පමණක්ම වෙන ප‍්‍රාර්ථනා බලාපොරොත්තු ප‍්‍රාර්ථනා සහ බලාපොරොත්තු පමණක්ම වෙන යථාර්ථය නොසිතූ මොහොතක අත්විඳින්නට අනෝජාටද සිදුවූවාය.

ස්ටැෆඞ් ලේඩි එකේ ඉගෙන ගන්න කාලයේ මා ආදරයක පැටලූණා. ආදරයක් ළඟ නතර වුණාම ඒ වයසේදී හිතෙන්නේ ඒ තමා ලෝකයම කියලා. වැරදෙනකම් වැරදෙන හැටි ගැන තේරෙන්නෙ නෑ. අම්මා තාත්තා කියලා දෙන්න හදන අරුතක් ඇත්තක් පිරිච්ච ජීවිතය ගැන තේරෙන්නේ නෑ.

මටත් වැරදුණා. හදාගන්න බැරි විදිහට මට ජීවිතේ එක තැනක් වැරදුණා. මම ඉගෙනීම පැත්තකට දාලා කසාද බැන්දා. හැබැයි අධ්‍යාපනය කඩාකප්පල් වුණාම වෛද්‍යවරියක් වෙන හීනය බොඳ වුණාම මා හුඟාක් මානසිකව වැටුණා. ඒත් ඒ වෙද්දී මම ප‍්‍රමාද වැඩියි. මම හුඟාක් අඩුවයසින්ම දුවකගේ අම්මා කෙනෙක් වුණා. ඒ වගේම හුඟාක් අඩු වයසින් කසාදය බිඳිලා ගිහින් දුවත් එක්ක තනිවෙච්ච අම්මා කෙනෙක් වුණා. නොගැළපීම් ගළපා ගන්නම බැරි වුණ තැනදී මගේ පළමු විවාහය දික්කසාදයකින් කෙළවර වුණා.  තරුණ වයසේදී ගත්ත හිතුවක්කාර තීරණයක අවසන් ප‍්‍රතිඵලය තමයි ඒ.

 මගේ පළමු විවාහය ගැන මීට වඩා කතා කරන්න මම කැමැති නෑ. මොකද ඒ මගේ දුවගේ තාත්තා. දෙවැනි විවාහයේ ඉරණම වුණෙත් ඒකම තමයි. ඒ විවාහයත් දෙදරලා ගියා.

වයස අවුරුදු 22 අනෝජා වීරසිංහ නම් තරුණ මවගේ ජීවිතයට ජීවන වටිනාකමක් එක්  කළේ ඇය සිනමා නිළියක බවට පත්වීමේ ද්වාරය විවර කරමිනි.
ඒ වෙද්දී මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකාරිනියක ලෙස සේවය කරනවා. මගේ යාළුවාගේ තාත්තා ඒ වෙද්දී ටක් ටික් ටුක් චිත‍්‍රපටිය නිර්මාණය කරමින් හිිටියේ. මගේ යාළුවා නිසා තමා මම ඒ චිත‍්‍රපටියේ තත්පර 30 ක රංගනයකට දායක වුණේ. ඒ පුංචි රංගනය තමා චිත‍්‍රපටියක කළ පළමු රඟපෑම. එදා රඟපාන්න හිටිය නිළිය ආපු නැති නිසා තමයි මට ඒ තත්පර 30 රංගනයට ඉඩ ලැබුණේ.

ඒ චිත‍්‍රපටියේ සහාය අධ්‍යක්ෂ වුණේ සුනිල්සෝම පීරිස් මහත්තයා. සුනිල් අයියා තමා මාව මොණරතැන්න චිත‍්‍රපටියට සම්බන්ධ කළේ.

මොණරතැන්න චිත‍්‍රපටිය තිරගත වෙන්න පෙර මට චිත‍්‍රපටි හතක් සඳහා ආරාධනා ලැබුණා. මම ඒ හැම ආරාධනාවක්ම බාර ගත්තා. සිලෝන් ස්ටුඩියෝ එකේ මම හඬ කැවීම් කරන ආකාරය එහෙම දැකලා තමා චිත‍්‍රපටි අධ්‍යක්ෂවරු මාව චිත‍්‍රපටිවලට සම්බන්ධ කරගත්තේ. මම නිළියක් වීම අහම්බයක්. ඒත් ඒ අහම්බයට අද මම හුඟාක් කැමැතියි. ඒ කාලයේ අද තරම් නිළියක් වීම ලේසි නෑ. ඉදිරියට යන්නත් හොඳ කුසලතාවක් තියෙන්නම  ඕනෑ. කුසලතාව තියෙනව නම් ඉදිරියට යන්නත් පුළුවන්. මට කවදාවත් කැමරාව ඉස්සරහා රඟපෑම අමාරුයි කියලා නම් හිතුණේ නෑ.

රංගනයේ මුල්ම පාඩම ඇයට කියා දුන් සිනමාවේ මුල්ම ගුරුවරිය වූයේ තරුවක්ව දිදුලූ මාලනී ෆොන්සේකා නම් ප‍්‍රවීණ නිළියයි.

මාලනී අක්කා මට ලොකු සහායක් දුන්නා. සිනමාවේ මගේ ප‍්‍රථම ගුරුවරිය ඇයයි. රුක්මනී දේවී නැත්නම් අපේ ඬේසි අක්කත් ඒ වගේම නිරහංකාර නිළියක්. ඒ වගේ පුළුල් හදවත් තිබුණු අයත් එක්ක ඉස්සරලම රඟපාන්න ලැබුණු එක මගේ පූරුවේ පිනක්.

ඇත්තටම මයේ මුල්ම රඟපෑම අධිරංගනයක් වුණා. ඒක මාලනී අක්කා එක්ක කළ රංගනයක්. එතෙන්දී මගේ රංගනයට හැමෝම හිනාවුණා. ඒත් මාලනී අක්කා මට හිනා වුණේ නෑ. මාලනී අක්කා මාව පැත්තකට අඬගහලා කීවා. වේදිකා නාට්‍යවල රඟපාද්දී අපි වැඩිපුර ”ඇක්ට්” කරනවනේ. අතපය විසි කරලා. කැමරාව ඉස්සරහ එහෙම කරන් නෑ කියලා. ඒ තමා මා සිනමාවේදී ඉගෙන ගත් පළමුවැනි පාඩම. ඒ වගේම මාලනී අක්කා ගැන තියෙන පළමුවැනි මතකය.
රුක්මනී දේවී නැත්නම් ඬේසි අක්කා ගැන මට තියෙන පළමුවැනි මතකයත් හරිම සුන්දරයි. ඬේසි අක්කා එක්ක රඟපාද්දී අප දෙන්නා තමා එක කාමරයේ හිටියේ. ඒ කාලයේ මගේ ඔළුවේ හරියට උකුණො පිරිලා හිටියා. ඬේසි අක්කා රෑට මගේ ඔළුවත් බැලූවා. ඒ තරම් මට ආදරයෙන් සැලකුවා.

ඬේසි අක්කා එක්ක ඉද්දී නිෂ්පාදන කළමනාකරු මගෙන් ඇවිත් ඇහුවා කෑමට මොනවද  ඕනා කියලා. ඒ දවස්වල එහෙම ඇහුවම මම ලැජ්ජාව නිසා දෙන උත්තරය තමා තියෙන  ඕනෑ දෙයක් කමක් නෑ කියන එක.

මම එහෙම කියද්දී ඬේසි අක්කා මට පුටුව යටින් අනිනවා. ඇනලා කියනවා කෝසස් ඉල්ලන්න. කෝසස් ඉල්ලන්න කියලා. ඒත් මම තම්බපු එළවලූ කන්න ආසා නෑ. මම ආසා බත් කන්න. ඒත් මාලනී අක්කා, ඬේසි අක්කා ඔක්කොම කන්නේ කෝසස්. ඉතින් ඬේසි අක්කා කියන නිසාම මා කෝසස් ඉල්ලනවා. ඊට පස්සේ අප්පිරියාවෙන් බෙහෙත් කනවා වගේ කෝසස් කනවා. අද ඬේසි අක්කා හිටියා නම් කියලා මට අදටත් හිතෙනවා. ඬේසි අක්කා එයාගේ ජීවිතේ අන්තිම කාලෙදි හුඟාක් කරදර වින්දා.

අනෝජා වීරසිංහ නම් ප‍්‍රතිභාපූර්ණ නිළිය ජීවිතයට තරමටම මරණයටද පෙම් බඳින්නට යත්න දැරූ අමිහිරි දවස්ද ඈ අතීතයේ තිබුණි. එක දෙයක්. එක සංසිද්ධියක් නිසා කියලා කියන්න බෑ. බොහෝ සිදුවීම් නිසා ජීවිතේ ගත්තු වැරදි තීරණ නිසා මා හුඟාක් මානසිකව කඩාගෙන වැටුණු තැන් මගේ ජීවිතයේ තියෙනවා.

ලස්සන දුවක් එක්ක විවාහ දෙකම කඩා වැටුණු ගෑනියෙක් විදිහට මා තනිවුණා. සමාජයෙන් එල්ල වන අපවාද, කයිකතන්දර අහන්න වුණු අවස්ථා තිබුණා. එකක් දෙකක් කියලා කියන්න බෑ. හුඟාක් ප‍්‍රශ්න නිසා මම වරින්වර හත් වතාවක් සියදිවි නසා ගන්න උත්සාහ කළා. මම ජීවත්වෙලා වැඩක් නෑ, මේ වගේ ජීවිතයක් මොකටද කියලා මට හිතුණු වාර අනන්තවත් තිබුණා.

ඒත් මගේ ගුරුවරු, යාළුවෝ, වෛද්‍යවරු, මගේ පවුලේ අය මට මහා ශක්තියක් වෙලා මගේ දුවත් බලාගෙන මට නැවත ජීවත්වන්න ශක්තිය දුන්නා. අද ඒ නිසාම මම මානසිකව කඩා වැටුණු අයට ශක්තිය දීලා ඒ අය නගාසිටුවන්න විශාල වැඩ කොටසක් කරනවා. ඒ අය වෙනුවෙන් වැඩමුළු කරනවා. අංගොඩ ජාතික මානසික ආයතනයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මට ලොකු සහයක් දෙනවා.

හැබැයි පැහැදිලිව කියන්න  ඕනෑ මම උපදේශන සේවාවක් කරන්නේ නෑ. වෛද්‍ය උපදෙස් දෙන්නෙ නෑ. මම කරන්නේ නිරූපණ කලාව ආශි‍්‍රත වැඩමුළු පවත්වා යෝග වැඩසටහන් පවත්වා මානසිකව වැටුණු අය සමාජගත කිරීමේ කාර්යයයි. කේරළෙයි, මදුරෙයි සහ හිමාලයේ ගිහින් යෝග ගැන හදාරලා තමා මම අද යෝග ගැන උගන්වන්නේ.

 මට ලොකු වුවමනාවක් තියෙනවා, බුදු දහම ගැන ගැඹුරින් හදාරන්න. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගෙන් මම බුදු දහම පිළිබඳ විශාල දැනුමක් ලබා ගන්නවා. මම පසුගිය කාලයේ වසර හතරක් මගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපලා තට්ටය ගාලා හිටියා. ඒක මට හරි පහසුවක් වුණා. ඒත් ඒකෙන් සිද්ධ වුණේ මට අනවශ්‍ය ආකර්ෂණයක් ලැබුණු එක. ඇත්තටම එය මට හරිම හිරිහැරයක් වුණා.සමහර අය මගෙන් ඇහුවා ජීවිතය ගැන කලකිරිලද එහෙම කළේ කියලා. මගේ පේ‍්‍රක්ෂකයෝ මාව බදාගෙන මහාපාරෙදි අඬපු තැන් තිබුණා. ඔයා බොරු නේද කියන්නේ. ඔයාට පිළිකාවක් නිසා නේද තට්ටෙ ගෑවේ කියලා ඇහුවා. මම එහෙම දෙයක් නෙවෙයි කිව්වා. සමහර අය ඒක පිළිගත්තෙම නෑ. සමහරු කීවා මට පිස්සු කියලා. තට්ටය මේ විදිහට හිරිහැරයක් වුණු නිසාම මම ආයෙ කොණ්ඩය වවන්න ගත්තා. දැන් හමුවෙන අය කියනවා අපරාදේ ඔයා දිගට තිබුණු කොණ්ඩය කැපුවේ කියලා. මම මේක්අප් නොකරන්නේ ආභරණ නොපළඳින්නේ ජීවිතය ගැන කලකිරීමකින් නෙවෙයි. පොළොවට පස්වෙලා යන මේ කුණුකය ගැන බුදු දහම අනුව මම දකින යථාර්ථයත් එක්ක මම දැන් සැහැල්ලූ අවබෝධාත්මක මනසකින් ජීවත්වෙන නිසා.

අද දවසේ ජීවිතය ඒ අයුරින් දකින ඇය අද මුණුපුරන් දෙදෙනකුගේ ආදරණීය අත්අම්මා කෙනෙකි.

මගේ දුවට හොඳ සැමියෙක් සහ හොඳ පවුලක් ලැබුණා. ඇය හුඟාක් සතුටින් ජීවත් වෙනවා. අම්මා කෙනෙක් විදිහට ඒ ගැන මට හරිම සතුටුයි. මුණුපුරන් දෙන්නගේ හොඳම යාළුවා තමයි මම. දැන් මගේ හොඳම යාළුවොත් ඒ දෙන්නා. දුවගේ නැන්දම්මා වුණේ ප‍්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මියයි. මුණුපුරන් දෙන්නා එයාලට ලැබුණු අත්තම්මලාගේ චිත‍්‍රපටිත් බලනවා. සිංදුත් අහනවා.

 දැන් ජීවිතය පුරා තියෙන්නේ සතුට සහ සැහැල්ලූව. ජීවිතය කියන්නේ විඳවන එක නෙවෙයි. විඳින එක. අප හදාගන්න  ඕනෑ ජීවිතය විඳින්න පුළුවන් ඉඩහසරක්. අද මම ජීවිතය මොකක්ද කියලා තේරුම් අරගෙන සුන්දර ලෙස ජීවිතය විඳින ගැහැනියක්.

ඒ ”ගැහැනියට” ආයුබෝවන් කියන්නට අවසරය.

 

 

 



අදහස් (0)

මගේ තට්ටය දැකපු පේ‍්‍රක්‍ෂකයෝ මහපාරෙදි මාව බදාගෙන හැඬුවා

වසන්ත Sunday, 03 November 2013 10:23 PM

අයියෝ මොකටද ඔය කොන්ඩේ කැපුවේ (දී)

:       0       0

නීල් කොස්තා Thursday, 07 November 2013 03:01 AM

කතෘ තුමනි, අපි හරිම අස කරන නිලියක් තමි මාලිනි ෆොන්සේකා කියන්නේ, එතුමිය ගැන ලිපියක් පල කරන්නකෝ, එක ගොඩදක් රසවත් වේවි. ඇය සිංහල සිනමාවට කර ඇති සේවය කව්රුවත් කරලා නැහැ, ඔබ ඊට ඉක්මනින් මාලිනි ගැන ලිපියක් පලකරාවී කියල මම විස්වාස කරනවා, අපි හරිම කැමති නිලියක් මාලිනි කියන්නේ. ඔබට ස්තුතියි. (නදී)

:       0       0

ඒකනායක Sunday, 03 November 2013 10:23 PM

අනෝජා මහත්මියනි ඔබට දළදා සමිඳු පිහිටයි (දී)

:       0       0

වරුණ Sunday, 03 November 2013 10:23 PM

අනෝජා අක්කේ මම ඔයාට සුභ පතනවා

:       0       0

සේවුවන්දි Sunday, 03 November 2013 10:23 PM

ඔබේ කතාව ඇත්ත ඒ දර්ශනය දැකපු මටත් නිකන් මොකද්ද උනා (දී)

:       0       0

සිරියලතා Monday, 04 November 2013 09:11 PM

අර අපේ ඉන්න තරුණ නිළියෝ වගේ යථාර්තය අවබෝධ වෙන්න ඕනෑ තරුණ කාලෙදිම.වයසට ගිහාම නෙමෙයි.නමුත් එයා දක්ෂ නිළියක්.ඔබට ජය (නි)

:       0       0

නිලා Sunday, 03 November 2013 11:35 PM

කටුක දුක් වින්ද චරිතයක් (දී)

:       0       0

දනුෂ්ක Monday, 04 November 2013 12:30 AM

මම ඔබේ රසිකයෙක් (දී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 05 November 2013 05:47 AM

අනෝජා මට දවසක් මුණ ගැසුනා.කලක සිට ආගිය තොරතුරු විමසීමෙන් පසු ඇයගෙන් එක්තරා දෙයක් ගැන මම විමසුවා. ඇයගේ පිළිතුරෙන් පසු මෙමත්‍රිය යනු කුමක්ද කියා මා හරි හැටි හඳුනා ගත්තා. (නි)

:       0       0

දිසානායක Monday, 04 November 2013 01:32 AM

සංස්කාරක හිතවතුනි මම කලින් ලියපු අදහස් දාන්නා (නදී)

:       0       0

නීල් කොස්තා Monday, 04 November 2013 01:43 AM

මෙයා දැන් භාවනා කරනවා,(නදී)

:       0       0

නිලා Monday, 04 November 2013 10:29 PM

ඇත්තටම කනගාටුයි (දී)

:       0       0

නීල් කොත්ත Friday, 08 November 2013 07:24 PM

මම අකමැතිම කෙනෙක්

:       0       0

ධර්ම Thursday, 07 November 2013 10:33 AM

ඔබට සුභපතනවා මම (දී)

:       0       0

රවී Thursday, 07 November 2013 10:33 AM

අනෝජා මිස් ධර්මය ඉගෙන ගන්න ඕනෙ නම් "මහමෙව්නාව".අසපුවකට යන්න ලංකාවේ ශාඛා 40 යකට වැඩ තියනවා ඉන්ටෙර්නෙට් එකෙන් ඉස්සර වෙලා බලන්න. ඔබට නිවන අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා. (ස)

:       0       0

අරුන්දි Monday, 11 November 2013 09:12 PM

අරුන්දි - නීල් කොත්තගේ ඉල්ලීමට මාලිනිව හම්බවෙන කොට පාටක අපි වෙනුවෙන් එයාගෙන් අහන්න දේශපාලන බලෙත් ලැබිල තියෙද්දී ඇයි රටේ ප්‍රශ්න වලට මුකුත් නොකරන්නේ කියලා ? මිනිසු දුක් විදිද්දී කොහොමද විනෝදෙන් පාර්ලිමේන්තුවේ ඉන්නේ? ප්‍රශ්න ගැන, මිනිස්සු ඉල්ලන විසදුම් ගැන , ජනාධිපති දැනුවත් කරවන්න. ප්‍රශ්න තියෙන තැන් වලට, විශේෂයෙන් නැගෙනහිරට යන්න, (කාර් , ආරක්ෂාව, තියෙනවනේ.?) දැන් තමයි සේවය කරන්න වෙලාව. (දිල්)

:       0       0

ශාමල් Tuesday, 05 November 2013 02:33 PM

අනෝජා තව දුරටත් කියනවා නම් ධර්මය ඉගෙන ගන්න ඕනෙ නම් අද ලංකාවේ තිබෙන වටිනාම තැන "මහමෙව්නාව". ලංකාවේ ශාඛා 40 පමණ තිබේ. ඉන්ටෙර්නෙට් එකෙන් ඉස්සර වෙලා බලන්න. ඔබට ඒ අමා මහා නිවන අවබෝධ කර ගැනීමට ධෛර්ය හා වාසනාව ලැබේවා. (ස)

:       0       0

ටිරල් Monday, 04 November 2013 06:27 PM

මම ඔබේ රසිකයෙක් , මම ඔබ සමගයි . ඔබ තනී වී නැත .(නදී)

:       0       0

හෂනි Monday, 04 November 2013 09:32 AM

කටුක දුක් විඳ, ලාංකීය හදවත් අමන්දානන්දයට පත් කළ නිහතමානි චරිතයක්. (ස)

:       0       0

ලාරා Monday, 04 November 2013 06:59 PM

ශරීරය වැහරීමට පෙර සිට යතාර්ථය අවබෝද කරගත යුතුයි ? (නදී)

:       0       0

කුමාරි Tuesday, 05 November 2013 10:14 AM

ඇත්තටම ජිවිතේ ලැබෙන ප්‍රශ්න, කරදර, හැලහැප්පීම් එක්ක තමා ජිවිතේ යතාර්ථය වැටහෙන්නේ.මෙතුමිය දක්ෂ නිලියක්. නිදුක් නිරෝගී දිර්ඝා යුෂ පතනවා! තෙරුවන් සරණයි! (ස)

:       0       0

ෂාෆික් Wednesday, 06 November 2013 05:30 PM

අවංකව කතා කර ඇත. සත්‍ය මෙය වේ. මේ පිළිසදරෙන් අපටද ගතයුත්තක් ඇත. (නි)

:       0       0

ශාමල් Tuesday, 05 November 2013 10:22 AM

අනෝජා ඔයාට ධර්මය හොඳට හදාරන්න හා ඉගෙන ගන්න ඕනේ නම්, පූජනීය කිරිබත්ගොඩ හිමිගේ ධර්ම සාකච්ඡාත් ඉන්ටර්නෙට් එකෙන් අහන්න. ඔයාට තෙරුවන් සරණයි. (ස)

:       0       0

චතුරංගි Tuesday, 05 November 2013 04:01 PM

ඔයාගේ රඟපෑම් හරි ඉහලයි. අවුරුදු ගාණකට කලින් ඔයාව හමුවුනා. කතා කල දේත් තාමත් මතකයි. යෝග වගේම භාවනා වලිනුත් ශක්තිය වගේම විසදුම් හොයා ගන්නත් පුළුවන්. මගේ ජීවිතයටත් පිළිතුරු හොයා ගන්න පුළුවන් වුනේ ධර්මය/ සුත්‍ර දෙසනා, බුදු වදන් මට මහමෙව්නා mp3 වලින් ලැබුණු නිසයි. ඔයා කරන වැඩ හරිම වටිනවා.. කලකට පෙර මම ලෙඩෙක් බලන්න වෙන කෙනෙක් යනකොට බලෙන්ම ගියා එතන බලන්න හිතාගෙන., හුඟක් නේවාසිකයෝ එක්ක මම කතා කළා. සාමාන්‍ය මිනිස්සු වගේ, ඒත් ජීවිතේට මූණ දෙන්න දැනුම/උපක්‍රම නැතිකම කියලයි මට හිතුනේ. තරුණ ළමයිත් හිටියා. දුකයි. බලන්න. දැන්නම් කන කෑම වල තියෙන විසත් බලපානවා ඇති මොලේට ? හුඟක් කෑම වර්ග තියෙනවා මොලේ සුවපත් කරන. ඔයාගේ ඊමේල් එකක් දානවා නම් එවන්න පුළුවන් විස්තර ?.ලිපියට දාන්න කියන්න බැරිද ඊමේල් එක? මිනිස්සු අයින් කරලා දාන කොටසක් ගැන ඔයා මෙහෙම වෙහෙසෙන එක ලොකු පිනක්, කවදාවත් ආයිත් සංසාරේදී ඔයාට දුකක් වෙන්න එපා. ඔය පින් බලෙන්. තව ශක්තිය ලැබෙන්න සුබ පැතුම්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 240 1

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 177 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 63 0

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 399 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව
2024 මැයි මස 24 192 4

ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි
2024 මැයි මස 24 187 1

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2492 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site